බෙන්තර වනවාස විහාරය.. |
තෙල්ගාන අවුරුද්දේ මේ පාර නිවාඩුවක් ලැබුණ
නිසා ඇවරිතුමා වහාම අලුත්ගම යාමට කටයුතු යෙදුවා. සාමාන්‍යයෙන් නිවාඩුවකට කොහේ හරි
දිබ්බාගයක ට්‍රැවල් එකක් දාන්න ඇවරි දැන් පුරුදු වෙලා. තැන නිශ්චිත නෑ. ඔහේ බස්
එකක නැංගා නැත්නම් කෝච්චියේ ගියා. අතේ සල්ලි තියෙනවා නම්, ඒ නැතත් කාර්ඩ් හැට
හුටාමාරක් ඇති පර්ස් රාජයා තියේ නම් ආයෙ මොන ප්‍රශ්න ද යාළු. රෑ වුනොත් කොහේ හරි
හෝටලේක හිටියා නැත්නම් ඕවර් නයිට් ලක්ෂරි බස් එකක් බුක් කලා. පාන්දරට එළි වෙද්දි
කොළඹ. හූ කෙයාර්ස් බේබි. සිම්පල් ප්ලෑන් එකක්.
හැබැයි එදා නම් අපි දෙන්නා ගියේ නුවන්
අයියාගේ දෝණියැන්දෑ ඇතුළු මඟහැරුණු බිළිඳු දැකුම් කීපයක් සම්පූර්ණ කිරීම සඳහා.
කොකුන් ගෙනා බබුන් බලන්නට යන බවට ඇවරි දුන් ප්‍රතිච්ඥා ප්‍රකාරව ඒ කටයුතු සිද්ධ
වුනා. බේරුවල අක්කර පහේ ඒ පැත්ත අපි කලින් නොගියපු ඒරියල් එකක්. එදා එහේ අවුරුදු
උත්සවයකුත් තිබුණා. ආ අවුරුදු උත්සව කිව්වා ම අපේ ක්ලෝසලෑ අවුරුදු උත්සවේට ගිහින්
කොටුව කපාගෙන එන්න ඇවරිතුමාට මේ වංගියේ බැරි වෙන්නේ කාර්ය බාහුල්‍යටත් වඩා විවේක
සමාපත්තියට පත්වීමට තිබූ අවශ්‍යතාවය නිසා. ඒ සතියේ ඉරිදා දම්පාසල් නිවාඩුත් නිසා
ඇවරි බෙඩ් රෙස්ට් කළා. ඔව් හිංගලෙන් කීවොත් ඇඳ බදා වැද හොත්තෝ ය තමා. කොහොම හරි
අපි ගිහින් බබා බලලා එහෙන් රෑ කෑමත් අරන් ආවෙ. අලුත් නෑයෝ ගොඩාක් බැහැ දකින අතරේ
පරණ නෑයෝ අමනාප වුනේ ඇවරිට ඔවුන්ගේ ගෙවල්වලින් කන්න යන්න බැරි වුන නිසා.
චෛත්‍ය කර්මාන්තයන්.. |
ඒ එක්ස්කර්ෂන් එක එහෙම අහවර වෙද්දි බෙම්තොට
නෑයෝ ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න කී නිසා ආයෙත් පාරක් ඇවරි මාතා සමඟ
අලුත්ගම මහ ගෙදර ගියේ ආච්චි සීයලෑ දානය වෙනුවෙන්. එදා ඉරිදාවක ඇවරි දහම් පාසල්
ගිහින් වරුවෙන් දානමය පින්කමට ගියා. ඇවරි මාතාව ඒ වෙද්දි එහි ගිහින් තිබුණා. ඇවරි
ආස ම බෙන්තොට ගඟ අද්දර යාත්‍රාමුල්ලේ සේන මාමලගේ වෙස් මූණු ගෙදර, එහේ මහ පන්සල,
ආච්චි සීයාගේ සොහොන් දෙවැටේ පාර වගේ ගොඩක් තැන් වලට ඇවරිතුමා මෑණියන්දෑ සමඟ සංචාරය
කළා. හරියට ම අර ආපසු ගමනේ ඉස්කෝලෙ හාමිනේ එක්ක යටලමත්තෙ ගියා වගේ.
මේ තැන් ඇවරිගේ ළමා කාලය එක්ක ගොඩක්
සම්බන්ධයි. සේන මාමලා යාත්‍රමුල්ලේ වෙස්මූණූ කඩයක් කළා. ඉස්සර සුද්දෝ ඒ ගෙදරට ම
එනවා වෙස්මූණු ගන්න. ඒ ගෙදර ඔරු දෙකක් විතර තිබුණා. ඉස්සර අපි නාන්න යන්නෙ ඒ ගෙදර
තොටුපළට. තව පුංචි සත්තු වත්තකුත් තිබුණා. දාර ගැට කිඹුලකුත් එක්ක කිඹුල් පැටව්
පහක් විතර එහි ඇති කළා. ඒ කාලෙ රටේ නීතිය කොහොම වුනත් බෙන්තර පැත්තේ මිනිස්සු ළඟ
සත්තු හිටියා. ඇවරි කියන කාලෙ ඔය අහුංගල්ලෙ සත්තු වත්ත හේමත් හොඳට ම තිබුනා. තව
බෙන්තර ගඟ ඉහළට වෙන්න දිවියෙක් එහෙම හිටපු ගෙයක කෙරුණු සත්තුවත්තක් බලන්න ඇවරි
පිතා ඇවරිව ඔරුවෙන් එක්ක ගිහින් තියෙනවා. ඔය කිඹුල් සීන් එක නම් තාමත් ඒ පැත්තේ
තියෙනවා. බෙන්තර වෝටර් ස්පෝර්ට්ස් කරන්න ගියාම බෝට් රයිඩ් එක යද්දි කිඹුලා
පෙන්නන්න කිව්වොත් ඒ අය හුරතල් කිඹුල් පැටියෙක් ගෙනත් දෙනවා කැමති විදියට පොටෝ
ගහගන්න.
තව ඇවරි කැමති ම තැනක් තමා බෙන්තර වනවාස
විහාරය. ඒ සෙටප් එක මාරම කොසී. පන්සල තියෙන්නේ මාවත කෙළවර. පඩි විශාල ගාණක් නඟින්න
තියෙනවා චෛත්‍ය, පිළිම ගෙය සහ බෝ මළුවට යන්න. ඒ මඟ අතර සිරිපාදෙත් තියෙනවා. ඒ
සමනොල කන්දෙ මහවැලි, කැලණි, කළු වලවේ හදලා ඒවායින් වතුර එන්න සෙට් කරලා තියෙනවා. හාමුදුරුවනේ
දැන් මේ මෝටරේ වැඩ කරන්නේ නැද්ද? මට මතකයි පුංචි කාලෙ ලොකු සද්දෙකින් වතුර
වැක්කෙරෙනවා. හාහා ඉන්න මහත්තයෝ ස්විච් එක දාන්නම් කියලා පොඩිනම ආවාසෙ පැත්තට
දුවලා ගියා. ටිකකින් පුරුදු සද්දයත් එක්ක වතුර එද්දි ඇවරිට ලොකු හිනාවක් ගියා. තව
එතන මද්දුම බණ්ඩාර කතාව, විහාර මහා දේවිය, රීස් ඩේවිඩ් පඩිතුමා, කැප්පෙටිපොල වගේ
වීරයන් අඹලා තියෙනවා. උසත් එක්ක පන්සලට ඒ වටේ ම තියෙන ගෙවල් ගව් ගාණක් දුරට පේනවා.
තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර - සුර සිදු විදුරදන් සැදි සඳලු මනහර වගේ තමා. මළ
හිරු බැස යන හැන්දෑවේ ඒ මුහුදට ම දිවෙන අහස ලස්සනට පෙනුනා.
බෝමළුව සහ දඹදිව අසිරිය අඹා ඇති ප්‍රාකාරය.. |
මනාව වැවුනු උඳුපියලිය යායක් මතින් වනවාස
විහාරයේ බෝමළුවට යතෑකි. එහේ ලුම්බිණිය, කුසිනාරාව, ගයාව වගේ ගොඩක් දඹදිව
සිද්ධස්ථාන අඹලා තියෙනවා ඇවරි දැක්කා. තවත් කිව්වොත් එහි අමතක නොවන සුළං කපොල්ල
ඇවරි කැමති ම තැනක්. පන්සල් ගෙයි ටෙරාකොටා බිම තැම්පත් වෙලා බුදුන් වැඳලා ඒ රයිඩ්
එක ඉවර වෙද්දි පැය දෙකකට කිට්ටු වෙලා. ඒ පන්සලට ඇවරි මාතාවත් හරි මනාපයි. ඇවරි කුස
දරාන එතුමියත් මේ පන්සලට ඇවිත් තියෙනවලු.
ගම අලුත් වෙලා - ගමවෙනස් වෙලා පුංචි කාලෙ
අපි දුටු ගම හීනයක් වෙලා කියමින් ඇවරි මාතාව මාලනී ඇන්ටිගේ සින්දුවක් කියවමින් ආව.
අපි පුංචි බෝක්කුව ළඟ නැවතිලා තාමත් තිත්ත පැටව් ඉන්නව ද කියලත් බැලුව නොවැ. ගීත
කෝකිලා ඇවරි මාතාගේ මී පැණි වැක්කෙරන සත්සර මාධූර්යට සමවැදී තාල තියමින්, මහපාරෙ
සින්දු කියකිය එද්දි වට පිට හිටපු පාරෙ යන උදවිය හේම අපුලට බැලුවත් අපි දෙන්න ඔහේ
ආව අනේ. මොකෝ අපේ ගම කියලැයෑ. කවුරුත් අපිව අඳුනනව කියලයෑ ආයෙ.
අපි එහෙම හිතුවට පින්වතුනි, ඒ අහු අස්සේ
කොහෙන්ද ආපු මාතලී කෙනෙක් ඇවරි මාතාව අඳුනගෙන තමුන්ගෙ ආටෝව නවත්තලා ස්ටෑන්ඩ් එකට
ගිහින් දාන්න පොරොන්දු වුන නිසා අපේ සින්දු චාරිකාව නිමා වුනා. ඩීසන්ට් පිට යන්න
එපැයි. නැත්නම් අප්පොච්චිගේ කීර්ති නාමය පළුදු වෙනවානේ කිව්ව ම ඇවරිමාතා හිනා
වුනා. ඇවරි මාතාව හෙවත් ඇවරි තාමත් තේරුම් ගන්න උත්සාහ කරන ඉතාමත් ආකර්ශනීය
ගෑල්ලමයත් එක්ක ගත කළ අහම්බකාරක අලුත්ගම දාන ගමන නිමා වුනේ ඕන් ඔහොම. ඕක ම
ඇවරිපිතා එක්ක ගියා නම් සහමුලින් ම වෙනස් විදියක්.
ප.ලි - ඇවරි මාතා- ඇවරි පිතා කියන චරිත දෙක
සහමුලින් ම වෙනස් දෙන්නෙක් බව දන්නෝ දනිති. මේ දෙන්නගේ කොම්පැටිබිලිටි එක හොයන්න
ඇවරිගේ ජීවිත කාලෙන් බාගයක් ම ගියපු බවත් කියන්න ඕන. සමහර වෙලාවල් හරි ෆන් සහගතයි
අෆ්ෆා. හරියට මේ දෙන්නා ඉස්සර ගෙදර යතුර නැති කරගත්ත ම කියන හතර පද සැහැල්ල වගේ...
මගේ ආදර පතී
ගෙදර යතුර නැතී
සෙව්වෝතින් ගති
මං ඔයාගෙ වතී
හැබැයි දෙන්නා කොකු ඇද
ගන්න වෙලාවට ඇවරිතුමා ඇතුළු අත්වැල් ගායක පිරිස කියන්නේ අර නදීක ගුරුගේ කියන
සින්දුව
ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැනී
එක්වෙලා...
අනාගතේ හි ඉතිහාසය
ගොඩනඟනා දා
වැගිරෙයි දිය වී
ආදරේ... රෝමියෝ...!!
ඒක කීවාම දෙන්නට හිනා යනවා ඉතිං.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....