Friday, January 15, 2016

අටුවා ඔටුවා වීම හෙවත් චිල් මෑන් චිල්... | 2015


අපේ අටුවාගේ මඟුල තිබුණනේ. ඒකට අපේ පරණ ම ඩිෂිබිල් කැම්පස් බුවාල සෙට් වෙලා හිටියා. නෙරංජන් අනුරුද්ධ මහතා හෙවත් අටුවා ගැන කොහෙන් පටන් ගන්න ද මන්දා. කැම්පස් ආපු මුල් ම කාලේ අටුපුතා මා එක්ක වැඩි භජනයක් තිබ්බේ නෑ. හැබැයි පස්සේ අපේ චමිත භායිගේ මඟුල් ගේ දවසේ දි මේ අපූරු හාදයා මට මුණ ගැහෙන්නේ මනාලයගෙ පාර්ශවයෙන් ගිය අපි හොටෙල් එක ඉස්සරහ පට්ට චාටරයක් කද්දි.
අප්පට ගජ සිරි - තිදසපුරේ කිව්වලු.... උඹ කොහේ ද මචං මෙහේ. මේක ඔයාලගේ මඟුලක් ද අපි ආවෙ වෙස් නටන්න මචං. උඹ වෙස් නැට්ටුවෙක් කියලා දන්නවා නමුත් මෙතනදි හම්බවෙයි කියලා හිතුවෙ නෑ පුතා. එදා අපේ හේමන්ත ගුරුන්නාසෙගේ පණිවිඩයකට එහේ ආපු අටුවා තව මඟුලකට යනවායි කියාගෙන පිටත් වුනා. මේ හේමන්ත සර් කියන පුද්ගලයා ගැනත් හොඳ යාන්ස් තියෙනවා. ඒවා අපිට කිව්වේ මේ බොහෝ ළඟකදි විවාහ වුන දෙසැම්බර් මාසෙ අපේ සිඟිති අක්කාගේ පෝරුව ගහන්න ආපු පොඩියායි ජලා අයියයි. මේක පුංචි ලෝකයක් කියලා හිතුනේ ඒ වෙලාවෙ. හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නේ ඒ සලාදෙ ලිව්වෙත් නෑ ඉතිං... (මං කිව්වේ පොඩියා පැය පහක් ඇතුළත මඟුල් පෝරුවක් ගහලා, හෝල් එකේ හයි කරලා වාර්තාවක් තිබීමේ ඓතිහාසික සදාලය)

සෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් හේමන්ත සර් කියන්නෙ ක්ෂේත්‍රෙයේ ඉන්න අෂ්ටක කියවන්න්ගෙන් අයගෙන් ඉර හඳ පෝරුවේ හොඳට ම  මඟුල් චාරිත්‍ර කරවන කෙනෙක්. එතුමා අර කච්චියක් රෙදි සරි තෙමෙන්නට ඇති දුවට දුන් කිරි... කවියත්, කියා කිරිකඩ සේලෙ දුන්නයි කියලා නාටකීය විදියට කිරිකඩ සේලය මනමාලිගෙ අම්මට ගන්න කියන විදියයි හරි අපූරුයි. ඒ චාරිත්‍රවලට හැට පැයක් ගත වුනත් එපා වෙන්නෙ නෑ. අටුවා ගැන ලියන්න ගිහිල්ලා ස්තෝත්‍රකරු ගැන කියනවා නෙමෙයි. අටුවගේ වෙඩිමෙත් චාරිත්‍ර කරලා තිබුණේ හේමන්ත සර් තමා. වෙඩිම මිස් වුනා අපි ගියේ හෝම් කමිනයට.  

එදා අපේ ගැන්සිය ටිකක් උද්යෝගිමත් වෙලා හිටියේ. නෑ රෙඩ්බුල් බීලා නෙමෙයි. ඊට සති කීපයකට කලින් අපි ගාලු කෙල්ලගේ මඟුලට ගිහින් සෙට මෝල් වෙලා හිටියේ. පුරුදු පරිදි අපේ ගමන් සගයා ඉෂාන් ඇවරිතුමාව උදේ නවයට පික් කළා. අපි මිරිස්වත්තට ගිහිල්ලා වත්සලා එනකම් ඇගේ ප්‍රිය වල්ලභතුමාගේ ගුණ ගායනා කරමින් උදේටත් නොකා හිටියෙ නැතෑ. අයියත් හැදෙන්නේ නෑනේ.. මේ උරච්ක්කර මාලෙ එල්ලගෙන අයියත් බැණුම් අහනවා. ඇත්තට ම වත්සලා වෙලාවට පෝරුවවත් නඟියි ද මන්දා. නැඟිල්ල කෙසේ වෙතත් මල්ලි ඉක්මණට බැහැගන්න සෑහෙන්න ට්‍රයි එකක් දෙයි. අහන්න දෙයක් නෑ. වත්සි ගම්පහ රත්නාවලියේ හිටපු අණ්ඩපාල ප්‍රිෆෙට් කෙනෙක්නේ. එදා වත්සි ආවම ඉෂාන් වෑන් එකෙන් බැහැලා බස් හෝල්ට් එකේ සෙනඟ බලාගෙන ඉද්දි වත්සිට නෝන්ඩි කරලා අපිව හිනැස්සුව හැටි තාම මතකයි.

එදා සෙට් වුන අපේ ටුවරිසම් යුනි ගැන් එකේ ලක්කාරි තමා අපේ අනුරාධී. අපි පැයක් ඩිලේ කියලා ටෙක්ස්ට් කළේ එදා නිවාඩුත් දාගෙන ආපු කාන්තා රත්නයේ ටින් බෙලෙක් දෝංකාරය අහගෙන අටුවගේ වෙඩිමට යන්න බැරි හින්දා. ඉට්ස් ඕකේ මචං. උඹලා එනකම් අයියා මාත් එක්ක ඉන්නම් කිව්වා. අනූ වාහනේට නැග්ග ගමන් කට්ටිය ඇහුවේ අනූගේ අයියාගේ වෙස්සන්තර වෘත පූර්ණය ගැන. අපේ අනූට අයියලා දෙන්නෙක් හිටියත් ඒ දෙන්න ම ඇගේ වැඩ වලට අබමල් රේණුවකින්වත් සහයක් නොදෙන බව තමා අනුරාධි අපිට කියන්නේ. ඕක ඉතිං සෑම නැඟණියක් ම කියන කොමන් කම්ප්ලේන් එකක්. ඇත්තට ම මාත් අයියා කෙනෙක් වශයෙන් කියන්න ඕන ඔය නංගිලා කියන ජාතියට අයියලාව හූරං කෑමට තියෙන්නේ සහජ හැකියාවක් ද මන්දා. කොහොමින් කොහොම හරි ප්‍රශ්නෙට ඈ දුන්නේ හතර හිනා උත්තරයක්.

මගේ සුදු අයියට එහෙම කියන්න එපා ඉතිං. (අනුරාධි නම් සුදු සුදු නම් අනුරාධි තරමට ඒ විශේෂණ පදය ඈට ම පත්තියම් වූ එකක් බව දන්නෝ දනිතිලු හරිය) මෙහෙමනේ දැන් මං එයාගේ හොඳ ම යාළුවාව බඳින්න යන එකේ මාව පාරෙ දාලා ගියා ම වැඩේ අප්සෙට්නේ. ඉතිං මෑන්ස් හිටියා. නැත්නම් එයා ඉඳියි. ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එළියට. මල්ලෙන් නෙමෙයි අයියෝ. කටෙන් කටෙන්. මං නොකියන්න උඹලා ඒ ඕපාදූපෙ දන්නේ නෑනේ. ඒකත් ජය සිරි මංගලම් කිව්වලු.

දවසේ බයිටිය වුනේ අපේ ටුවරිසම් පවුලේ බාගෙට පරිණාමය වුන ඇවරිගේ ළඟම සහෝදරිය කව්වා. කෞෂල්‍යා, ඇවරි, මලිනි වගේ අපි කට්ටිය ශරීර ප්‍රමාණයෙන් හරි පුංචියි. හුළඟට පිම්බත් වීසික්කා වෙනවා. අපේ ටුවරිසම් පවුලේ අම්මා නර්මදා මැතිනිය කිව්වේ ඒවා ඔය බාප්පාගෙ වැඩ කියලා. මේ අපි යන්නේ බාප්පගේ හැබෑ ජීවිතේ කසාදෙට. අටුවා බාප්පා වෙද්දි සිතුවම් තාත්තා වෙච්චි අපේ පවුල මෙලෝ සම්මජ්ජාතියකට නැති මහ හිපා ෆැමිලියක් ඔව්. මහ අපත ඕපාත බැච් එකක්. ලොල්

කොහොමින් කොහොම හරි අපේ කව්වට තිබිච්ච උනන්දුව කියන්නේ කලින් දවසේ කුරුණෑගල ටිලින් ටිලින්ලගේ ගෙදර ගිහිල්ලා, මේ යෝදි පහුවදා මඟුලට කෑගල්ලට ආවනේ. දැන් මේ අංගනාව මේ සියල්ල කළේ ඇගේ නිවසට කිලෝමීටර් දහයක් ඈතින් හිටි අනුරාධිත් එක්ක පහුවදා එන්න පුළුවන්කම තියෙද්දි. එච්චර කට්ටක් කාල ගියපු කෙල්ලට මුකුත් කියන්නත් හොඳ නෑනේ. ඒ ඇත්තට ම ඇයි බං කලින් දා ආවෙ...? කෑ ගහන්න එපා යකූ සාරි අඳින්න දන්නැති නිසා. ඉතිං අපිට කියන්න එපැයි කව්. අපි මෝහිනීටත් සාරි අන්දපු බුවාලනේහ්??? ඈට මල පැන්න පාර ඉන්නේ වෙඩිමේ බව අමතක වුන. ඉරි ඉරි ඉරි ඉරි

ඊළඟට ඉර මුදුන් වෙච්ච වෙලාවෙ උදේ කෑම ගන්න ඕන වෙලා එක නැටුමක් නැටුවා. සියලු ම භද්‍රාවන්ට ගෑස්ටික් බැවින් ළඟ ම ඇති හෝටලයට නතර කිරීමට ඉෂාන් ෂීන්නට සිද්ද වුනා. එදා ඉෂාන් පියදාස තලගුලි හි පුංචි සේල්ස් කෙල්ලක් බයිට් කළේ ඇවරිවත් හොල්මන් කරමින්. වටපිට බලපු ඉෂාන් පියදාස තලගුලි හි නිර්මාතෘගෙ පින්තූරයක් හේම බලලා කෑම ඇණවුමත් දීලා ඒ කෙල්ලගෙන් මෙහෙම ඇහුවා. මේවා ඕගොල්ලොම වෙන්නැති හදන්නේ නේද? ඔව් අපේ කට්ටිය තමයි හදනනේ සර්. මට අරින් පැකට් එකක් දෙන්න. (මුදල් ගෙවමින්) මේ තරහවෙන්න එපා මෙහෙම අහනවට අර පින්තූරෙ ඉන්න ඕගොල්ලොන්ගේ ලොක්කා පියදාස, ජිනදාසගේ නෝනා එක්ක යාලු වෙලා ජිනදාසව මරලා පස්සේ ජිනදාස තලගුලි එක එයාව සිහිවෙන්න පටන් ගත්තා කියලයි ඉතිහාසයේ තියෙන්නේ.. සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඕවා ඉතිං ව්‍යාපාරවල හැටිනේ. ඉෂාන් සීරියස් කියපු කතාවෙන් මාත් අර කෙල්ලත් මූණට මූණ බලා ගත්තා.

මේ වාහෙ නොනවත්වාම කතාව. අර කෙල්ල ස්ටෑන්ඩ් ස්ටිල්. දැන් අවුරුදු විසිපහකට වැඩියි නේද බිස්නස් එක? ඒ දැරිවි ඔළුව හෙල්ලුවා. බලන්න ඉතිං මේ ළමයා තමුන්ගේ ජීවිතකාලෙන් බාගෙකට වඩා මේකෙ ගෙවලත් ඉතිහාසය දන්නෙ නැති හැටි. අපි යමුද එහෙමනම්? මහාචාර්ය ඉෂාන් ෂිවන්දන ඇවරිත් මාට්ටු කරගෙන ඉස්සරහට යනවා. උඹ ඇත්ත ද බං කිව්වේ? බලපං නේ මේ මිනිස්සු. බලපං අර කෙල්ල තාම විරවපට්ටම් ගහල ද කියලා. මොකෝ ඒ ගෑනි මැනේජර්ගෙන් අහගන්න යැ. පව් බං අලුතින් ආපු කෙල්ලෙක් ද කොහේ ද? චිල් මෑන් චිල්.


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....