Saturday, June 4, 2011

අර පේන්නෙ දන්සැලක් ද එහා වීදියේ......

ඇවරිගේ වෙසක් දන්සැල් ඉතිහාසය මේ ආකාරයි. මුලින් ම අපි කොල්ලො එකතුවෙලා ෆැන්ටා දන්සැලක් දුන්නා. ඊළඟ අවුරුද්දෙ ස්ප්රයිට් දුන්නා. සිසිල් පැන් කියනවට වඩා මිනිස්සුන්ට ෆැන්ටා කිව්ව ම කික් එක වැඩියි. ඒ දවස්වල පිටකොටුවෙන් හයසීය හැත්තෑපහකට ෆැන්ටා එසන්ස් ‍පුංචි කුප්පියක් ගෙන්න ගෙන සීනියි, අයිසුයි දාලා බැරල් එකකට දිය කළා ම ගමකට ෆැන්ටා දෙතෑකි. පස්සෙ අපි වෙසක් එකට කොස් දන්සැලක් වසර කිහිපයක් දුන්නත් මීට අවුරුදු දෙක තුනක ඉඳන් දෙන්න බැරි වුනා. අපෝ කොස් කිරිල්ල වගේ ම කොස් කෝස් එක හරි ම අමාරු වැඩක්. කොහොල්ල ගාගෙන මදුළු ගලවලා. පොරොවෙන් කපලා. ඊළඟට තම්බලා තව පොල් සම්බෝලත් හදන්න එපැයැ? කොහොම නමුත් අවුරුදු ගාණක් දුන්න ම අපිට තේරුණා වැඩේ අවුල කියලා. අනික අර මහ කල්දේරම් වලින් පොල් සම්බෝල ඉවර වෙලා තිබුණත් මිනිස්සු බෙදාන ගිය නිසා දීලා පිරිමහන්න බැරි වුනා. සාපේක්ෂව දත් බන්සැලක් වගේ ම විශාල පිරිසක් ඊට අවශ්‍ය කරනවා.



මාකොළ මුලින් ම දන්සැල් කළේ ඔය පෙරේරා හෝටලය හිමි මියගිය තිස්ස පෙරේරා මහතායි. එතුමා මිය ගියා ම පුතා අචිර මල්ලිත් තාත්තා වගේ ම දන්සැලකට ආධාර එකතු කරන්න ටවුමෙ කඩවල ඇවිදිනවා මං දැකලා තියෙනවා. පස්සෙ විදුලි සැර වැදීමකින් ඉතාමත් ළාබාල වියේ දී අචිරත් මියගියා. ඉන් පස්සෙ මාකොළ බත් දන්සැලක් කළේ 2010 පොසොන් උත්සවයට. මෙදා සැරේ 2006 සම්බුද්ධ ජයන්ති මාකොළ වෙසක් කළාපයට 19 වැනිදා රාත්‍රී බත් දන්සැලක් එක් වුනා. අපේ පුංචි නිසා මාත් 19 හවස හයට විතර දන්සැල පැත්තෙ ගියා.


මුලින් ම මාව යොමු කෙරුණෙ බත් තුනී කරන තැනට. අප්පා පණ පිටින් ස්ටීම් වෙන්න කියාපු තැන. කල්දේරමෙන් වීදුරු පිඟානට ගන්න බත් මේසයට හැළීමයි මගෙ රාජකාරිය. වැරදිලාවත් අතේ ගෑවුණොත් ඉවරයි. ගින්දරට පිච්චෙනවට වඩා හුමාලෙට පිච්චෙන එක අමාරුයි කියලා අහලා ඇතිනේ. තව පත්ත අරං කඩලා ගන්නත් ඕන. නැත්නම් කැට වෙනවා. අමාරුවෙන් සාස්පාන් දෙකක් විතර අහවර කළා. දන්සැල පටාන් ගන්න කළින් අපිට බත් කල්දේරම් දෙකක් තිබුණා. දෙකම ටිකක් බෙරි වෙලා. තුන්වෙනි කල්දේරමේ බත අමුයි. කන්න ම බෑ. එතන ඉන්න කාන්තාවො මේ බත් එකත් යවමු කියනවා. පිරිමි තග දාලා බෑ කියනවා. මටත් ඉතිං කට තියාන ඉන්න බැරි නිසා මාත් කිව්වා ඒ බත් එක නම් දන්සැලට යවන එක හරි නෑ කියලා. ඔය අතරේ කෝ එහාට පලයල්ලා කියලා අපේ පුංචම්මා පැනපි.


හරි මේ බත මං බාරගන්නම්.කොල්ලො ඔය සාස්පානක් ගං කියලා අපේ චෙෆී වැඩේට බැස්සා.ස්පානට බත් දාලා තව වතුරත් දාලා ඈ කහපාට කලරින් ටිකකුත් දැම්මා. (ඒක තමා රහස ඒක අමු බත් වලට දාන රසකාරකයක් කිව්වා.) දැන් බත පැහෙනවා. ඔන්න බෑවයි කියමුකෝ දැන් බත අමු නෑ. හැබැයි කහ පාටයි. පස්සෙ ඒ මුළු කිලෝ විසිපහ ම අර විදියට ආයෙත් උයලා ගොඩ දැම්මා. පුංචි අම්මා දවසේ කාන්තාව වුනා. ඇගේ කල්දේරම නැතිවුනා නම් වැඩේ ගස්. අපි හැදුවෙ බත් කල්දේරම් හතයි. එකක් අමුයි කීවනේ. තුනක් මදක් බෙරි වුනා. කිරිබත් ටයිප්. දෙකක් රොස්. අන්තිම එක අපිට කන්න හදපු එක විතරයි බත් කියලා කන්න පුළුවන් වුනේ. අපේ චෙෆ් ගැන කස්ටියට මල පැනලා......


ඒ දන්සැලේ පරිප්පු, අඹ, සලාද, කරවල හා පපඩම් තමා ව්‍යාංජන වලට දුන්නෙ. ප්‍රමාණය ගැන කිව්වොත් අපි කිලෝ පණහෙ මුට්ට විස්සක් උයන්න ඉලක්ක කරලා තිබුණා. ගණනය කිරීම් හැටියට ඒ සියල්ල කන්න අවම වශයෙන් නවදාහක් පැමිණිය යුතු වුනා. අර කියපු පණහෙ මුට්ට විස්සෙන් හාල් මුට්ට නවයයි පළමු දවසේ අහවර වුනේ. ඒත් ඉතිං කිරිබත්නේ??? සියල්‍ල ම බැන්නෙ කෝකිවරුන්ට. ගිය පාරත් ඒ අය ම තමා ඉව්වෙ නමුත් මේ පාර බත අවුල. පස්සෙ සමිතිය ඒකමතිකව තීරණය කළා පහුවදාට කෝකියන් රහිතව තම සාමාජිකයින් මගින් ආහාර පිසගෙන දෙවන දවසටත් දන්සැල දෙන්න. ඒ වගේ ම පාර්සල් තහනම් කිරීමටත් පාර්සල් අවශ්‍ය පිරිස් දහ වරක් හෝ පෝලිමේ පැමිණ බෙදාගත යුතු බවත් නිවේදනය කෙරුණා. පාර්සල් ඔතා ගැනීමට කොක්කක එල්ලූ පත්තර පිටුත් ඊට වෙනමම මේසත් දෙවන දිනයේ සම්පාදනය කළා. අපේ දන්සැල තුළ එකවරකට එකසිය පණහකට ආසන පහසුකම් තිබුණා. එක ම වෙනස වුනේ කරවල වෙනුවට සෝයා මීට් ආදේශ වීම.


20 වැනිදා නම් පළාතක දන්සැල් නෑ. පෝලිම ඉවරයක් කරන්න අමාරුයි. සිංහ වදන් දාලා, අඹකයි ගහලා පටන් ගත්තට මොක ද පරිප්පුයි, සෝයාමීටුයි, අඹ මාළුවයි, බතුයි ඇරෙන්න අනිත් සියල්ල ම අහවර වෙන්න වුනා. මං කිව්වෙ පපඩම් හා සලාද ගැන. සෝයා මීට් ද එකොළහට පමණ අවසාන වුනා ම අපි පොල් සම්බෝලයක් හදන්න හිතුවා. මැදියම වෙද්දි පරිප්පුයි, පොල්සම්බෝලයි පපඩමුයි විතරයි නමුත් පෝලිම කිලෝමීටරක් විතර. අපේ පෙරමුණේ රාළ නැවතත් සලාදයක් හදමුයි කී නිසා ඒකත් පස්සෙ එකතු කළා. අන්තිමේ දී 21වැනිදා පාන්දර එකයි හතළිස්පහට දන්සැල නිමා කරලා අපි කන්න බලද්දි පරිප්පුයි බතුයි විතරයි. කාට කියන්න ද ඉතිං කාලා ආව. හැබැයි උණු උණුවෙ බත්කාපු මිනිස්සු කෑම බෙදන තැන හිටිය අපිට ඇවිත් පින් දීල ගියපු හැම වෙලාවක ම බඩ කෙසේ වෙතත් හිත නම් පිරුණා....

3 comments:

  1. merenakan matak karakara sathutu wenna puluwan weda tamai mewa,

    ReplyDelete
  2. යහපත් චේතනාවෙන් කරපු නිසා ඔය පිනම ඇති නිවන් යන්න...

    ReplyDelete
  3. නියම සීන් ටිකක් නේ වෙලා තියෙන්නේ පුංචම්මා තමා දවසේ කාන්තාව. ලොකු නාස්තියක් අවම කරලා දුන්නා.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....