Saturday, June 4, 2011

තොරණ වරුණ

හ්ම්.... ඇවරිත් ඉතිං හරි හමං විද්යාර්ථියෙක් හැටියට මෙච්චර කාලෙකට කුරුළු තොරන් බැලුවට මොක ද හූදී ජන පාන් සංවේගය උදෙසා තොරන් බැ‍ඳෙන්නෙ ඉතිං වෙසක් කාලෙට නොවැ. අර වෙසක් ලබනවා තොරන් බඳිනවා... තැන තැන දන්සැල් ඉදිවෙනවා කියන්නෙ. ඉතිං තොරණක් කියන්නෙ බලගතු ආමිස පූජාවක්. බෞද්ධ අපිට හුඟක් ම හුරු පුරුදු තොරණ තමා මකර තොරණ. මේ මකර තොරණෙ ඉන්න මකරටත් තියෙන්නෙ එක එක සතාගෙන් අහුලගත්තු හරි අපූරු අවයව කියලා අහලා ඇතිනේ??? තාම දන්නෙ නැත්නම් ඊළඟ පාර මකර තොරණක් දැක්ක ම බලාගන්න. මකරට ඌරු කන්, මාළු කොරපොතු ..................... ආදී ශරීරාංග රාශියක් තියෙනවා දැක ගන්න ලැබේවි.


මකර තොරණ ගැන කතාව අහවර කරලා අපි වෙසඟ තොරණ ගැන කතා කරමු. මෙදා පොටේ ලංකාවෙ මුල් ම වතාවට වෙසක් තොරණක චිත්‍ර නොඇඳ ඩිජිටල් ප්‍රින්ට් ආකාරයෙන් ඉදිරිපත් කෙරුණා. මේ තොරණ දැකගන්න ලැබුණෙ සිරස වෙසක් කළාපයේ. හැමදාම බැ‍ඳෙන අනික් තොරන් ඒ ඒ තැන්වල ඉදිවුනා නොවැ. ඇවරි මේ පෝස්ට් එක වෙන් කළේ මාකොළ ඇවරිගෙ ඒරියල් එකේ බැඳිච්ච අඩි හතලිස් අටක් උස මහා තොරන් රාජයා ගැන වචනයක් ලියන්න.



මාකොළ ඉදිරිපත් කරපු පළමු තොරණ හැටියට ‍කිව්වත් මීට අවුරුදු ගාණකට කළින් මාකොළ හන්දියේ තොරණක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පුංචි එකක්. ජාතක කතාව හරියට ම මතක නැති වුනත් ඒ පුංචි තොරණටත් ඇවරි සම්බන්ධ වෙලා අණ්ඩපාල වැඩකුත් කොරලා වැඩේ අල කළා කියලා නම් මතකයි. ඒ තොරණෙ කතාව පටිගත කළේ අපි දන්න ඥාති නිවසක. කස්ටියට ම සයිලන්ස් කරලා ලෙසට ම රෙකෝර්ඩින් යන අතරේ තේ පිළිගැන්වුනා. හිස් ‍ට්රේ එක තිබ්බෙ ඇවරි ළඟ. චුට්ටි ප්‍රමාද දෝසයක් නිසා සලාං ගාල ට්රේ එක ඩවුන් ද පල්ලම් වුනා. ටේක් එකක් වැරදුනත් අපිට කතා කරන්න එපා කියලා තිබුණ නිසා රෙකෝර්ඩිස්ට් වැඩේ නවත්තනකම් කවුරුත් සද්ද නෑ.ඉස්සෙල්ල ම බුවා අයියෝ මල්ලී............ කිව්වා. අනිත් ඈයො‍ත් මා දිහා බලාන කණ්ඩ වගේ අනිමිසලෝචනයේ යෙදෙනවා. කඳුළු පනින්න ළං වෙද්දි මහ මොළකාරයා පොඩි එකානෙ කියලා බේරගත්තා. නිකමට වගේ ආයෙත් ඒ ටික ප්ලේ කළා ම ඇහුනෙ මේ වගේ.....



දේවිය රටවැසියා මේ උවදුරින් මුදවා ගන්නට කුමක් නමුත් වහා කළ යුතුව ඇත.‍මා ප්‍රිය බිසවුනි...... සලාාාාාාාං



කුජී...........තයි. නමුත් කවුරුත් නැවත රෙකෝර්ඩ් කරන්න බෑ කියපු නිසා මාස්ටර් ටේප් එකෙත් සලාං කෑල්ල තිබුණා. එදායින් පස්සෙ කස්ටිය මං ඉන්න තැන දේවිය කියනවා. අනික් කතන්දර නවත්තලා ඒ කියපු එකාට කන් දුන්න ම ඌ මහ හයියෙන් සලාාාාාාං කියපි. මං ඉතිං මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම නිසා කරබාගෙන හිටියා. මෙදා තොරණ ඉදි කළේ මාකොළ වෛශාඛ්‍ය සමිතිය විසින්. ඔවුන් ලක්ෂ දහයකට ප්‍රදර්ශන අයිතිය දින දහයකට හිමි කරගත්තා. තොරණේ අයිතිය ඇත්තෙ එහි නිර්මාණකරුවාට. සමිතිය විසින් ටික කාලයකට නිර්මාණකරුවා කුළියට ගැනීමක් තමා වෙන්නෙ. නම් දරාපු කවිකාරයන් එහි පැමිණ සිටියා. නිරෑපණය වුනේ මහා ජෝත ජාතකය.


කවිකාරයින් ගැන කියද්දි නියම කතාවක් තියෙනවා. අපේ අයියණ්ඩි අලුත ගෙනා මනමාලි එක්ක අපි වෙසක් බලන්න ගියා. එදා තොරණ අන්තිම දවස. කොහොමින් කොහොම හරි අලුත් ජෝඩුවට ආශිර්වාද කරලා අපි ආධාරයක් දුන්නා. නම් දෙක ලියැවුණේ දුලන්ජය-දීප්චන්දි කියලයි. පළමු කවියෙ පද දෙකක් මෙහෙමයි.



"ආසිරි පතන්නට මෙහි නම් දෙකක් ඇති-ඒ නම් කියද්දී මගෙ දිව උළුක් වෙති" මේක ඇහුන ම අපි තොරණ ඉස්සරහ ම ඉඳන් හිනා වුනා. අපේ පිරිස දැකපු කවිකාරයො එක දිගට ම කවි කියාගෙන ගියා. කිවිඳියගෙ ආශිර්වාදය මෙහෙමයි.
"දුලන්ජය - චන්දි දිවිමඟ සරුවේවා - සතුට සමාදානය දෙපලට වේවා
සැප සම්පතින් කිරි පැණියෙන් ඉතිරේවා - තොරණෙ බල්බ් ගාණට දරුවන් වේවා" ආශිර්වාදය කොච්චර වැඩ කළා ද කිව්වත් රටා මවමින් එළි විහිදුවන තොරණක අවම බල්බ් ගාණ හිතාගත්තු නෑනා එතන ම ක්ළාන්ත කළා..............

2 comments:

  1. තොරන් කිව්වම තමා මතක් උනේ කොළඹ මහම මහා චාටර් තොරණක් මෙදා පාර ගහලා තිබ්බා. ඒකෙන් කියවෙන්නේ ගෑනුන්ට වෙන අසාධාරණ. පිස්සු පීකුදු වෙනවා. එහෙම දේවල් ලංකාවේ වැඩිය සිද්ධ වෙන්නේ නැති තරම්. බුදුගුණ සිහි කරන කාලේ මොකටද ඔහොම ඉලව්, තොරන්වලට ගහලා පෙන්වන්නේ.

    ReplyDelete
  2. කලන්ත වෙන්නේ නැතුවද බොලව්. තොරණේ බල්බ් කීයක් තියෙනව ද ??? අම්මෝ.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....