Monday, October 25, 2010

නෑ ඉතිං අපි යාළුවොනේ???


මේ තියෙන කතන්දරේ ටිකක් විතර බරපතල නිසාත් ඉන් මගේ ප්රතිරූපයට (සමාවෙන්න එහෙම එකක් තිබ්බ නම් යාළුවො නිසා ම නැති වුනා) හානි දායකයි වගේ හිතුන නිසාත් මේ කෙටි සටහන ලියන්න හිතුවා. ඇත්තට ම මං ලියුවේ මට අහන්න ලැබුණ දෙයක්.
හැබැයි මේක ද්වේශ සහගත ප්රකාශනයක් මොක ද චිලී මට තර්ජනය කරල ‘උඹ ඉවරයි නලින්’ කියලත් කිව්වා. මගේ විනෝදාංශන ඕපදූප සෙවීම හෝ ලිවීම නම් නෙමේ. මොකෝ මට වෙන වැඩ නෑනේ. අනික මේ නඟා හිතාන ඉන්නෙ අපි පැපරාසි වගේ එයා ගැන හොයන්නෙ එයා ප්රින්සස් ඩයනා නිසා කියලයි. හැබැයි චිලී ඩයනට එහා කියලා දන්නෝ දනිති. ඇත්ත කතන්දරේ ඒ තවත් ගොසිප් එකක් විතරයි. නමුත් ඒක ඒ දිග කතාවක පුංචි පටුනක් වෙන්න බැරි ද? පුළුවන්.
ඉස්සරහට මං ‘චරිත’ කියලා පෝස්ට් පෙළක් ලියන්න ඉන්නවා. දැන් කීපයක් ලියලත් තියෙන්නේ. මං දන්න මිනිස්සු ගැන තමයි එහි ලියැවී ඇත්තේ. ඔය දන්නවා කියන එක මගේ අදහස අනුව මහ පරණ යෙදුමක්. මොකද නොදන්න මිනිස්සු ගැන නොදැනගත්තත් අපිට මිනිස්සු දැනෙන නිසා. Do you feel him/her? කියලයි අහන්න ඕන. ඒක හැඟීමක්. මේක ඉතිං සලාදෙ නේ හැමදේ ම තියෙනවා. හැබැයි මාව ඔය කියන තරම් ආක්රමණිකයෙක් හැටියට හිතනවා නම් සාධාරණ විදියට පාලනය කරන්න ඔබට ම පුලුවන්. මං ලියන්නෙ මා වටා ඉන්න අයගේ ගොසිප් උනාට නම් පාවිච්චි කරන්නේ නම් නෑ. පෝස්ට් ලියලා පබ්ලිෂ් කරලා අපි හැමෝ ම සෙට් වුණ වෙලාවක ‘ආ ඒක ලිව්වෙ ඔයා ගැන කියලා කියනවා මිසක්’ සමහර වෙලාවට කියවපු මිනිස්සුත් ‘ ආනේ ඇත්ත ද? එයා ගැනද ලිව්වෙ... අපි දැන්නෙ’කියලා කියන්නෙ මං කිව්වට පස්සෙ. මං හිතන්නෙ විකල්ප අඩවියක් බිහිවේවි කියලා. ඒත් තාම නෑනේ.... පාළු ගෙයි වළං බිඳලා මටත් ජොලියක් නෑ.
අද අපි ලියන ඒවා ඕපදූප වුනාට ඊළඟ පරම්පරාව ඒවට අර්ථයක් දේවි කියලා මං විශ්වාස කරනවා. දැන් මේ ඩිජිටල් ලෝකේ පුංචි එකෙක් උපන් දා සිටන් සියල්ල සුරක්ෂිත කරන්න පුළුවන්. පෙරේදා අක්කගෙ පුතාගේ උපන්දිනේට අපි පුංචි මිනිඳු උපන් දා ඉඳලා සියලු සේයා රූ අරං ඩෙමෝ එකක් කළා. පුංචි එකාට ඒකෙ අමුත්තක් නැතත් උගේ දහවෙනි උපන්දිනේටත් ඒකම දැම්මොත් මොනා වේවි ද? මේක අපේ පවුලෙ වැරැද්දක් ලබන 30 වැනිදා අපේ ආච්චිගේ 14 වැනි දානය. මිය ගියේ 1996 දී. මට අවුරුදු කීයද. මේ දානෙදි කවුරු හරි අම්බුණ්ඩි‍ගේ මළගෙදර ඩී.වී.ඩී එක දානවා. දාලා බලනවා 1996 දී අපි දිහා. ඒ ඉන්න සමහරුත් මැරිලා. මැරිච්ච අයගේ ළමයි ‘අන්න අපේ තාත්තා...අම්මා’ කියනවා. හොටු පෙරාන අඩන අපි දිහා අපි ම බලලා හිනා වෙනවා. මොන වැඩේ තිබ්බත් ලංකාවෙ ඉන්න ආච්චිගේ මුණුබුරෝ 17 දෙනා ම එදා මහගෙදර එනවා. අපේ ආච්චිගෙන් ගැන කියන කතා ඇරුණම අපිට කියලා ඉතුරු වුණේ අර තැටිය විතරයි. අපේ ළමයෙක් මී ආච්චි ගැන ඇහුවොත්????
හිතන්න ඔබේ මව පියාගේ තරුණ කාලය ගැන ඒ අය නොකිව්වොත් ඔබ කිසිවක් දන්නවා ද? පුංචි පුංචි සිද්ධි රසකතා.... නෑ ඒ හැමදේ ම කාලයේ වැලි තලාවට වැහිලා ගිහිල්ලා. මේ බ්ලොග් ලිවිල්ලේ තේරුම ඒකයි. හැමෝගෙ ම කතාවල පුංචි පුංචි පරිච්ජ්චේද එකතු කරන්නේ නූපන් අනාගතයක් වෙනුවෙන්. සමහර විට මං මැරිච්ච දවසක හරි කෙනෙක් ඒ කතාවෙ ඉතිරිය සම්පූර්ණ කරන්න හිතන්න පුළුවන්. අන්න එහෙම එන කෙනෙක් වෙනුවෙන් පුංචි පුංචි කතන්දර එකතු කරන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා. මට විශ්වාසයි ඔබ අද අල්ලන කස්තිරම් ගැන ඔවුන් හුඟක් සන්තොෂ වේවි.....මන් නෙමේ ඔබ පරිස්සමින් ඒ අය ඔබට එහා නෛයාඩමක් නටන්න බැරි නෑ!!!

Sunday, October 24, 2010

හෙළිදරව්ව හා මගේ කලදසාව

ගිංඔය සම්බන්ධයෙන් මා හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අදහස්, චෝදනා, යෝජනා සියල්ලට පළමුව තුති පුදමි. මේ දිනවල මාගේ ජංගම දුරකථනය ද බොහෝ විට ක්රියා විරහිත කර ඇත්තේ නිර්නාමික මරණ තර්ජන ලැබී ඇති බැවිනි. නමුත් මේ තර්ජන එල්ල කරන්නෝ විශාල සේවයක් කරති. එනම් තමා අසවල් මුදලාලිගේ මිනිහෙක් යැයි කියන විට මට ලැබී ඇති නම් ලැයිස්තුව ප්රකාව මේ කවුරුන්දැයි මම නිශ්චය කරගනිමි. අඩුම තරමේ කසිප්පු වාඩියේ නියම කෙරුම්කාරයන්ගෙන් දෙතුන් දෙනෙකු ගැන හෝ නිර්ණාමික ඇමතුම්කරුවන් හෙළි කරයි. නැත්නම් මා ඔහු පචකර ඇමතුම විසන්ධි කරමි. උන්ගේ ඇමට මා කූනිස්සෙක් තරම් වත් නොවන හෙයින් “තමුසෙ හැමදේ ම දන්නවා උනාට හරකා වගේ ලියන්න එපා මිනිහෝ” යැයි කී කසිප්පු පෙරන්නන් ගණන තුනකි. දැන් ඔවුන් මා හා ෂේප් ය. “ඇත්තට ම මල්ලි අපිටත් ප්රශ්න තියනවා. මුදලාලියා නම් ෂේප් වෙයි. අපි එපෑ හිරේ දපන්න. සල්ලි ගෙව්වට බං මේක මහ කරුම රස්සාවක්” ඒ ඔවුන්ගේ අඳෝනාවයි.
ගිංඔය කසිප්පු ජාවාරමට පසුවදනක් සැපයීමට තව ම කල් වේලා වැඩිය. ඒ තවත් තොරතුරු ලැබෙමින් පවතින හෙයිනි. මේ සියල්ල කම්මල ප්රදේශවාසීන් දනියි. මා හෙළි කිරීමේ අමුත්තක් නැත. අවම වශයෙන් දැන් කසිප්පු ජාවාරමේ ඇත්ත ස්වභාවය ඔබ දනී. මේ තාක් කසිප්පු ජාවාරම ඔබට අමුත්තක් විය. ඒ නිසා ඔබ මා දන්නා දේ ලියා තැබීම අනාගතයට අවශ්යීය. පාතාලය සම්බන්ධයෙන් ද එසේය. මැද කොළඹ සිංහල පාතාලය සේම ෆාජි, ඔහුගේ බිරිඳ කුඩු චූටි ගේ පටන් මෑතකදී මරණයට පත් ආනමාලු ඉමිටියාස් දක්වා මුස්ලිම් පාතාලයේ කතන්දරය නොදන්නෙක් නැත. ඔබ එය නොදන්නේ නම් ඒ හුදෙක් ඔබ පාතාලය ගැන සවිඤ්ඤණික නොවීම නිසා ය. අනුර හොරේෂස් ගිනි අවි සහ ගිනි කෙළි මගින් සිනමාත්මකව හෙළි කළේ මේ යථාර්ථයයි. ගෝණවල සුනිල් මා දන්නා අනෙක් චරිතයයි. ගෝනවල සුනිල්ලා වැඩ පෙන්වනවිට මා ඉපදීවත් නැතැයි ඔබ කියනු ඇත. නමුත් ඔහුගේ පුතා තාත්තා මෙන් නොව වඩා නිහඩ චරිතයක් වූ මා පන්ති සගයා ය. තාත්තා ගැන ඔහු කියූ කතාන්දර බොහොමයක් මා මතකයේ තිබේ. ඒ සියල්ල වෙන ම ලිවිය යුතුය.
මේවා තවදුරටත් රහස් නොවේ. පාතාලය ඇතුලු සියල් ජාවාරම් අපි වටා ම ක්රියාත්මකය. එහි හොඳක් නැතුවා ම නොවේ. උදාහරණ ලෙස කඩුවෙල වසන්ත ජීවත්ව සිටියදී ජාම වෙලාවට වුව ද කලාපයේ කෙල්ලන්ගේ ආරක්ෂාව ඔහු විසින් සහතික කර තිබිණි. දැන් තත්ත්වය වෙනස් වී තිබේ. මා නැවතත් අවධාරණය කරන්නේ මේ සියලු අපරාධකරුවන් ම.ද.නි ලෙස නම් කර හංවඩුගැසීම යුක්ති යුක්ත නොවන බවයි. අප කළ යුත්තේ ඔවුන්ගේ ස්වභාවය තේරුම් ගැනීමය. ඔවුන්ට විරුද්ධ වීමට පෙර ඔවුන්ගේ ක්රියාකාරීත්වය අවබෝධ කරගත යුතුය. ඊට සාමාන්යය වැසියා ලෙස ඔබ මා දන්නා තොරතුරු කුමන ආකාරයකින් හෝ විසුරුවා හැරිය යුතුය. මේ සියල්ලට ආවේණික තාක්ෂණයක් ඇත. බසයේ ගැටකපන්නේ ද පිටකොටුවේ ගෑනු උස්සන්නේ ද කුඩු බිස්නස්, කොළඹ කොටුවේ පුංචි පෙට්ටි කාමර වල නීති විරෝධී කැසිනෝ ආදී සියල්ල කෙරෙන්නේ නිසි තත්ත්වයන් යටතේ සිදු කෙරෙන තාක්ෂණයන් සමගිනි. එය වඩා රසවත් ය. පුද්ගලිකව මට අපරාධ මැඩීමට ඇති ආසාවක් නැත. නමුත් මේ සියලු මගඩිකම් යට ඇති ටැක් ටික්ස්, ශිල්ප ක්රම දැනගන්නට මා අසීමිතව ආශා කරමි. ඒ බොහෝ දේ ඔබ ද දන්නවා ඇත. කළ යුත්තේ නිහඩ නොවී ඒ සියල්ල හෙළි කිරීමයි. අප දැනුවත් වන තරමට ඔවුන් නව ක්රම සොයාගනී. ඊට කම් නැත. අපිට ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකි නම් සාර්ථකත්වය එතැනය

හුටා මූ ද බැටා?? [Janelen- Part 2]

මට මූලික අවුල වූයේ මේ නව නිෂ්පාදනයේ චරිත මාරු කිරීම ම නොවේ. සමස්තයක් ලෙස නාට්ය!යේ දෘෂ්ටිය සහ අන්තර්ගතයට මේ යැයි කිව හැකි දර්ශනයක් නොවීම මා වඩාත් සසල කළ කරුණයි. ඇත්තට ම මෙහි එන යුධ සෙබළා සහමුලින් ම නව නිෂ්පාදනයෙන් ඉවත් වීම කාලෝචිතය. මාගේ මතකය නිවැරදි නම් මෙහි පෙර කී නිබන්ධනයට අදාල නිෂ්පාදනය එළිදක්වන විට ද යුද්ධය නිම වී මාස කිහිපයක් ගතව තිබුණි. ඒ නිසා තවදුරටත් යුද්ධයෙන් සෙබළුන් මියයා නොහැක යන තර්කනය මත ඒ ඉවත් කළා විය හැකිය. ඒ වෙනුවට නාට්යට ප්රස්තුතය කඳවුරක සිර කර සිටින යාපන විශ්ව විද්යා ලයේ දෙමළ සිසුන් පිරිසක් ඉන් මුදවා ගනීම සඳහා කරන පන්ති වර්ජන, උද්ඝෝෂණ ආදී ඔවුන්ට අනුව ‘ඇදහිය හැකි’ කාරණාවක් මත ගලායාමට සලස්වයි. මා දුටු අනෙක් ප්රධාන දුර්වලතාවය නම් අජිත්ගේ චරිතය මතු කිරීමයි. මේ අජිත් හරහා වත්මන් රෙජීමයේ සිසුන් මර්දනය උලුප්පා දැක්වීමට උත්සහ කළ ද අවසානයේ ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන්නෙන් එය ගම්යක නොවීය.
පෙර නිෂ්පාදනයේ මෙවන් විසංවාද ඇති නොවිණි. පසුම්බිය නැති කරගත් තරුණිය සෙබළා සමඟ පෙමින් බැඳීම, ඔවුන්ගේ විවාහය, අවසානයේ දී යුද්ධයේ දී ඔහු මිය ගියෙන් දරුවකු සමඟ ඇය තනිවීම තුළ සත්යි ප්රේමය එළිදැක්විණි. සෙබළාගේ එක් දෙබසක් මට මතකය. “දාර්ශනික වෙනවයි කියන්නේ මොකක්ද? - ජීවත් වෙන එකටයි මැරෙනවටයි හේතු ඉදිරිපත් කිරීම” රේණු ද පොළොව සමඟ ඔට්ටු වන තම පෙම්වතා ගැන සිතන අතර කසුනි ගැන කතා කර වැඩක් නැත. අන්තිමේ ප්රසාදිනී (මේ නිළියන්ගේ නම් වෙනුවට සැබෑ නම් යෙදීමට සිදුවීම ගැන සමාවන්න. මට නම් අමතක බැවිනි) ජගත් හා අනියම් සම්බන්ධය අසුවීමෙන් හා ඇය ඔහුගෙන් ගැබ්ගත් බව දැනගැනීමෙන් බැටා ඈ හැරයන අතර කසුනි හා විවාහ වීමට අවසර පතයි. එහිදී කසුනිගේ තර්කය ද සාධාරණය.
ඇයි ඔයා ප්රසාදිනී බඳින්නැත්තෙ, “අප්පෙක් නැති දරුවෙක්ට තාත්ත වෙන්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයාගන්න මට බෑ.” ඔහු කියයි. “මට ආදරේ කරන්නේ නැති මිනිහෙක්ව බඳින්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයා ගන්නත් මට බෑ. ඔයා ආදරේ කළේ මගේ ශරීරයට” කසුනි කීවාය. වැඩේ කම්මුතුය. එහි පැහැදිලි චින්තනයක් තිබිණි. ඒ යථාර්ථය විශ්ව විද්යාතල භූමියෙන් එපිටට වලංගු වන්නේ යන්තමින් වුවත් සංකීරණ නැත.
නමුත් මෙහි කසුනි මෙහෙයුමේ ප්රධාන කොටස්කාරියකි. මෙවර ජනේලයෙන් පැන්නේ ද තුමිඳු ය. මට නම් ඔහු බැටා තරම් සිරා නැත. පෙර නිශ්පාදනයේ බැටා ලව් කරද්දී සිරා ය. නමුත් මාරාවේශ වූ විට අතිශය භයානක විය. තුමිඳු එතරම් භයානක නොවීය. නමුත් මෙහි මේ යැයි කිව හැකි සාධනීය ලක්ෂණ තිබුණි. ශිල්පීන් විශාල ප්රමාණයක් යොදවා තිබුණි. අවසානයේ වේදිකාවට පැමිණි පිරිස තිහ ඉක්මවීය. අර කොළ විසි කළ ආකාරය අපූරුය. එය ක්ෂණික ප්රහාරයකි. විරු ගීතය ද සැලකිය යුතු මට්ටමක තිබූ අතර කාල් ද ජනේලෙන් පනින්නට යාම අපූරුය. වදන් වදන් ගීතයේ නම් පුංචි අවුලක් තිබිණි. මුල් ගායනය තරම් පන්ච් එකක් නොවීය. ව‍රදක් ම නැත.
මා විචාරකයෙක් හෝ වෙනයම් විශාරදයෙකු නොවන බව මෙහිලා කියමි. චේතනාන්විතව කිසිදු පාර්ශවයකට චෝදනා ‍නොකරන අතර මා කියන්නේ මා දුටු මට හැඟුණු ජනේලයෙන් පනින්ද? විචාරයයි. එහි අන්තර්ගතය හා අවසානය මීට වඩා වෙනස් විය යුතුව තිබුණි. ඒ නැතත් මා ආදරය කළ කලා කෘතියක් කබලෙන් ලිපට වැටීම ගැන කණගාටු වෙමි. කලාකෘතියක් සමාජ ගත කළ පසු එය රසිකයාගේ වින්දනයට පත්වේ. ඉඳින් එහි පසුකාලීන වෙනස්කම් කළ යුත්තේ වඩාත් ප්රවේශමෙනි. එදා මනමේ බැලූවන් අද මනමේ බලා සරච්චන්ද්රට පලු යන්න බනින්නේ ඒ ගුණාත්මක බව රඳවා ගන්නට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි. කාරි නැත ඒ චෝදනාව කරන්නට 56 තරුණ තරුණියෝ තවත් ජීවතුන් අතර නොසිටී. ඇති ස්වල්ප පිරිස ඒ ගැන කුමක් කීවාට කිම? අලුත් මනමේ මේ යැයි අපි නව පරපුරට කියමු. ඒත් ජනේලෙන් හි එසේ කළ නොහැක්කේ මුල් රසික පිරස තවමත් නාට්යි නරඹන හෙයිනි. අවම වශයෙන් ඒ ගැන කූඹි පුකක් තරම්වත් කල්පනා කළ යුතුව තිබුණි.
මධ්ය් ඇගයුම් සියල්ල නොසලකා මා පාදඩ ලෙස අන්ත ඇගයුමකට එළඹෙමි. මේ මා ඇතුළු සමස්ත ප්රතිචාරය සැලකිල්ලට ගෙන කරන ප්රකාශනයකි. සාමාන්යනයෙන් රාජ්යම නාට්යම උළලේ සෑම දිනක ම කෙටි හෝ දිගු නාට්යන අවසන් වන විට ඇසෙන නොන්ස්ටොප් අත්පොළසන් හඩ ඔබට මතක ඇතැයි සිතමි. අවසන් ජවනිකාව හමාරවී බ්ලැක්අවුට් වූ පමණින් මුල් ම අත්පුඩිය ඒ ඇසිල්ලෙන් පටන් ගනී. කිසිවෙක් ඊට නැවත වේදිකාව ආලෝක කර නළු නිළියන් කර්ටන් කෝල් පැමිණෙනකම් බලා සිටින්නේ නැත. නාට්යි බැලූ අය ඒ අවසානය බව දනිති. අමුතුවෙන් කිවයුතු නොවේ. මා වාඩි වූයේ අප විශ්ව විද්යා්ලයේ ම නාට්යක ආචාර්ය යුවළක් ළඟින් බව කළින් කීවෙමි. නාට්ය ඇඳුරන් වූ නිසා ම දෙදෙනා ම එහි අවසානය ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන දෙබස බව දරන සිටියාට සැක නැත.
නමුත් මා විශ්වාස කරන්න දෙබස අවසානයේ දී ම අත්පුඩිය පටන්ගත්තේ මාත් අදාල ආචාර්යවරයාත් පමණකි. සැක නැතිව ම අපි දෙදෙනාට මුහුණට මුහුණ බලා ගතිමු. නාටකය නිල වශයෙන් අවසාන වූයේ අප දෙදෙනාට පමණි. නමුත් ශාලාවේ සියලු ආසන පිරී තිබූ බව අපි දනිමු. අන් සියල්ලෝ ම මොහොතක් වික්ෂිප්තව සිටියේ නියම අවසානය දකිනු රිසියෙනි. ඒ නිසා එක්කෝ එදා ලයනල් වෙන්ඩ්ට් සිටි ප්රේක්ෂක පිරිසට ජනේලයෙන් පනින්නද? බොක්කට ම වැදුණි. නැතිනම් මයිල් ගහකට හෝ නොදැනුනු බව කණගාටුවෙන් මුත් ලියා තබමි.......!!!!!!

ජනේලයෙන් ඇත්තට ම පැන්නා ද? [Janelen- Part 1]




ජනේලයෙන් පනින්න යනු කැලණිය විශ්ව විද්යාාලයේ නාට්ය් අධ්යටයන ඒකකය මගින් ඉදිරිපත් කරන ලද පැරණි නාටකයකි. මා පැරණි යනුවෙන් දැක්වූයේ මෑතකදී මේ වසරේ දී එහි ප්රදර්ශනය වුනේ නව නිෂ්පාදනයක් හෙයිනි. මා වැරදි නම් ඒ නිවැරදි කිරීම ඔබට බාරය. නමුත් විශ්ව විද්යා ලයීය සංස්කෘතික මධ්යපස්ථානයේ (වලේ) ඇති ඡායා රෑප වල දැන් එම චරිත නිරූපණය කරන්නන් නොව වෙනත් ශිල්පීන් දක්නට ලැබෙන හෙයින් මේ නව නිෂ්පාදනයක් බව තහවුරු කළ හැකිය.
ජනේලයෙන් හා මගේ ඇති රසික බැඳීම ද ඉතා දුර ගිය එකකි. මුල් ම නිශ්පාදනය නම් මට බැලීමට නොහැකි විය. නමුත් අප ලද අභ්යතන්තර තොරතුරක් මට මුලින් ම ධර්මාලෝක ශාලාවේ ජනේලයෙන් පනින්න ද? නැරඹුවේ එය අවසන් වසර නාට්ය සිසුන්ගේ නිබන්ධනයක් ලෙසට මහජන දර්ශනයකින් තොරව හුදෙක් විභාගයට ලකුණු දීම සඳහා වේදිකා ගත කල අවස්ථාවකදීය. මා මිතුරු අරවින්ද චන්ද්රහපද්ම එහි භූමිකාවකට පණ පෙවූ හෙයිනි. තවද අලුත්වත්ත මහතා එහි සංගීතයට සම්බන්ධ වීමට ඉරිදා දිනක පුහුණු වීම් පැමිණි අතර ඔහුගේ බෝඩිමේ සිටි මා හා ක්ලෝසා ද පැමිණියෙමු. අපි එදා එහි පසුතල දර්ශන කෙටි සටහන් ඇඳ දුන් බව මතකය. මහජන දර්ශනයක් නොවූ නමුත් පනවන ලද ආසන සංඛ්‍යාව පිරෙන තරම් පැමිණි පිරිසට තුමිඳු දොඩන්තැන්න ආචාර්යවරයා ද ස්තුති කළා මතකය. පසුව මේ නාටකය පෙන්වූ සෑම විටක ම මා බැලුවෙමි. අවසානයේ දී එහි දෙබස් ද කටපාඩම් විය.
නාටකය ඇරඹෙන්නේ ප්රසාදිනී අතපත්තුගේ ගිටාර් වාදනයකට කෙරෙන සිරා ම උරුවම් බෑමකිනි. ඇය කැපවීම් කරන නිළියකි. ඇය දැක ගැනීම මෙවර රාජය නාට්යන උළෙලට ඉදිරිපත් කළ ජනේලයෙන් පනින් ද? හී මා බලාපොරොත්තු වූයෙමි. අහෝ ඛේදයකි. ඇය නිදා සිටි නමුත් ගායනයක් නොවීය...... නාටකය වෙනස් කර ඇත හොඳය. මාරය ආතල්ය.... නැවුම්ය ආදී වශයෙන් සිතුවිලි ගණනාවක් මට ඇති විය. දැන් කම්මැලි කමක් නැත. පුරුදු නාටකය නොවේ...
එදින රාජ්ය නාට්යු උළලේ අවසන් දිනයයි. ආරාධිත කමල් අද්දරාරච්චි පමා වී පැමිණියේ බිරිඳ අනුරානි හා පුතු සමඟිනි. මා අසුන්ගෙන සිටියේ ද ආදරණීය යුවලකට පසුවය. ඒ අප විශ්ව විද්යාමලයීය නාට්ය. ආචාර්යවරයකු හා ආචාර්යවරියකි. මා ඒ යුවල හැඳිනගත් මුත් ඒ දෙදෙනා මා හැඳිනියේ නැත. දැන් නාටකය ඇරඹී ඇත. නමුත් මගේ පුදුමය මුල පටන් ම වැඩි විය. එනම් මේ නිෂ්පාදනයේ චරිත පටලැවිල්ලයි. නාටකයේ බෝඩිමේ ඇන්ටි ලෙස රඟපෑ නිළිය මගේ පසුපස අසුන් පෙළේ අසුන්ගෙනය. ඇය රඟපාන්නේ නැති අතර ආදේශකය කවුදැයි බැලිය යුතුව ඇත. බැටා නම් මා යද්දී සිගරට්ටුවක් දල්වාන සිටි නිසා ඔහු අද ජනේලෙන් පනිනු ඇත. බැටා කවදත් ඔහොමය. (මීට කලින් සරසවියේ නාටකය පෙන්වද්දී පටන් ගන්නට මොහොතකට පෙරත් බැටා එළියේ දකිනු ලදිමි. මා දකින හැටියට ඔහු එතරම් ආයාසයකින් තොරව රඟපාන නළුවෙකි. ප්රකට ආලෝක ශිල්පියෙකි.
මාගේ සැකය තහවුරු කරමින් ඇන්ටී රංගාව තරණය කළාය. නැත “ මේ මොනා ද? එකතු කරපු දෑවැද්ද ද?” යන්න නියම පන්ච් එකෙන් ආවේ නැත. පෙර රඟපෑ නිළියගේ තරම් තියුණු කටුක කටහඩක් නව නිළියට නොවීම අඩුපාඩුව විය. අර ප්රසාදිනී අක්කා සමඟ අතිශය සංවේදීව බෝඩිමේ ඇන්ටි කරන කතාව මේ නිෂ්පාදනයේ නොවූමුත් ඒ වන විට ඇන්ටී (අදාල නිළිය) මවකගේ චරිතය අපූරුවට දක්වයි. ඒ නිසා නව පිටපත තුළ ඇන්ටීගේ නියම ස්වභාවය මනාව මතුනොවීය. මා ආසා කළා ගීය නම් ඇන්ටී රංගාවතරණයට සමඟ වාදනය විය.
කොහෙන් හොයන්න ද? කොල්ලෙක්
මට ම ගැලපෙනා.....
කොහේ ද ඉන්නේ කොල්ලෙක්
මට ම ගැලපෙනා.......
පාරක් පාරක් ගානේ හෙව්වා හම්බවුනේ නෑ මට කොල්ලෙක්
පෝයක් පෝයක් ගානේ වැන්දා තාමත් දැක්කේ නෑ කොල්ලෙක්

* සැලකිය යුතු කාරණය මේ දක්වා ඇත්තේ ද එහි පෙර නිශ්පාදනයේ සේයා රුවකි.

Friday, October 15, 2010

මතට තිත තියන්න පුළුවන් වෙයි ද? [Episode 3]


හොඳ කසිප්පු සෑදීම කලාවකි. ගිංඔය වැසියන්ට කසිප්පු යනු අමුතු දියක් නොවේ. ඔවුන් පාරම්පරිකව පොල් අරක්කු මගින් කසිප්පු සෑදීමට පුරුදුව සිටියහ. එය අත්වඩි නමින් හැඳින්වේ. පොල් රා තෙදිනක් පැසවීමට හැරීමෙන් මේ අත්වඩි නිපදවා ගනී. මඟුල් ගෙදරකට අත්වඩි අනිවාර්ය විය. බෝතල් විස්සක් නෑමට වුව සෑහේ. විස්කි තරම් රහට අත්වඩි පත්වීමට වළ දැමීමට ඔවුහු පුරුදු වූහ. එලෙස වල දමා තිබූ අත්වඩි බෝතලයක් මා වෙනුවෙන් ගොඩගත්තේ කම්මල නිවසක පිළිකන්නෙනි. මා මිතුරා ඉන් එකක් තෑගි කළේ ය. ඊට විස්කි පරාද බව කිවයුතුය.
ඊස්ට්, සීනි ගෙන පදමට සාදන කසිප්පු සඳහා ශ්රමය දියකරන්නේ දවස් පඩියට වැඩකරන විවාහක පිරිස්ය. කිසිදු තරුණයෙක් මේ ජරා රස්සාවට සම්බන්ධ නොවීම ගැන මම සතුටු වීමි. එය පුරුදුකාරන්ගේ පන්නයකි. අන්තරාය හැමවිට ම එහි ඇත. හැලි අරක්කු බැරල් කල්දේරම් හි ඊයම් විශසහිතය. මෙතනෝල් මගින් අන්ධභාවය හා සිරෝසිස් වලට වැඩි ඉඩක් ඇත. දවසේ කම්රුවන්ට රු 500ක ගෙවීමක් සිදු කරයි. සාමාන්යයයෙන් සවස හය පමණ වන විට කන්ඩෙන්සර සූදානම් කරන්නේ අයෙක් හෝ දෙදෙනෙකි. ගිං ඔය ‍ ආශ්රිත කැළයේ සඟවා ඇති බූලි සහිත බෝට්ටු එළියට එන්නේ ඉන් පසුය. මේ බෝට්ටු ඉතා අපිරිසිදුය. බූලි නම් කිසිදිනක සෝදා නැත. අරක්කු වලින් ම සේදී ඇති සෙයකි. පැසවීමේ සුවඳට ඇදෙන සතුන් එහි දී වැටීමෙන් තැන්පත් වූ කටුසු මළකුණු ඒවායේ බහුලය. බූලියකට මුව පොවා බැලීමි. දුගඳ නාස් පුඩු අඹරවන සුළුය. ක්ලාන්තය ඔක්කාරය සියල්ල එක විට ඇතිකරයි.
සෝඩා වර්ග, රෙදි සෝදන කුඩක්, ෆෝමැල්හයිඩ් නම් විෂබීජ නාශකයක්, රසායනික පොහොර සහ යූරියා යොදන්නේ පදම වැඩි කිරීමට ය. අවර්ණ ස්ප්රීෆත්තු පාට වන්නේ මේ රසකාරක ප්රකරමාණයට හා බැරල් මලකඩ පමණටය. දිවයින පුරා සේවයේ යොදවා ඇති සුරාබදු නිලධාරීන් ගණන 274කි. ඊට අමතරව වලාන පොලිස් මත්ද්රනව්ය. මර්දන ඒකකය සහ සී.අයි. ඩී ය මේ සම්බන්ධව ක්රියා කරයි. කෙසේ වුවත් අද එය සංවිධානාත්මක කටයුත්තකි. වැරදීමකින් හෝ හදිසි වැටලීමකට ඉඩක් නැත. ඔත්තුව ඒ වන විටත් මුදලාලි අතේය. පොලිසිය ජරාව ගන්නා තුරු කිසිත් කළ නොහැක. කිසිවිටක නඩු දමන්නට සැකකරුවන් අසුවන්නේ නැත. අසුවන්නේ බඩු පමණි. මුදලාලිට නඩු නොවැටේ. මන්ද මුදලාලි වෙනුවෙන් හිරේ යන්නට සීයක් දෙනා පෝලිමේ සිටින බැවිනි. ඒ මුදලාලිට ආදරේට නොව, ආණ්ඩුවෙන් කකා බිබී තමන් හිරේ ඉන්නා අතරේ මුදලාලි දරු පවුලට වියදම් කරන බැවිනි.
අපි හිතුවාට ආණ්ඩුවේ බෝඩිම අපූරු තැනකි. හොඳ ම කුඩු මුදලාලිලා, පාතාල අයියලා හිරේ සිටින්නේ එළියේ සිටිනවාට වඩා එය ආරක්ෂාකාරී බැවිනි. හොඳ ම සල්ලිකාරයෝ වැලිකඩ සිටිනබව ඔබ අසා ඇත් ද? හිරගේ අපරාධ විශ්වවිද්යාටලය වූ කල කුළියට වෘත්තිය වශයෙන් හිරේ යන්නේ මෙරට හිඟ නොවේ. අනික් කරුණ නම් පොලිසිය පෙර වැරදි ඉදිරිපත් නොකරයි. මේ නිසා දඩ මුදල සොච්චමකි. එය ගෙවා නිදහස් විය හැකිය. දැන් අලුත් විලාසිතාව නම් පොලිසිය මුදලාලි මගින් නඩු ඉල්ලා ගැනීමයි. “ඔන්න මේ මාසෙ නඩුවක් ඕනෑ” යැයි තමාගෙන් බැරල් කිහිපයක් වටලා නඩු දමා ගාණ කපා ගන්නා පොලිස් කාක්කන් විරල නොවන බව මුදලාලි මා සමඟ කීය.
මාධ්යදට ෂෝ පෙන්වීම කාකි කෝට්ලාගේ හොඳම ගොන්පාට් එකයි. නියමිත දිනක තමන් වැටලීම සූදනම් කර ඇති බව කියා සියලු ම මාධ්යවන්ට එන්නට කියන පොලිසිය ගිංඔයට ගොස් බැරල් තොග පිටින් විනාශ කර මාධ්යි වාර්තා ලබා දේ. ඔවුන්ගේ පහසුව පිණිස තම අබලි බැරල් නියම ස්ථානයන්හි සඟවා තබන්නේ ද මුදලාලි විසිනි. මහජන මුලාවේ තරම ඉන් වටහා ගත හැකිය. මෙහි පරිසර හානිය නම් ගෝඩා ගඟට මුදා හැරීමයි. ප්රදේශයේ ආගමික සංවිධාන මේ කාරණයේ දී මුනිවත රකින්නේ ඉන් පලක් නැති නිසා බව වයික්කාල ශුද්ධ වූ ඔදිලියා මුනීස්වරියන්ගේ පල්ලියේ පියනම මා හා කීය. ඉස්සර බැරල් රත් කළේ දර භාවිතයෙනි. ගිංඔය රක්ෂිතයේ දර ප්රමාණවත් තරම් තිබූ නමුත් දැන් දර නැත. දර වලට ඉහළ මිලක් ගෙවීම වළකා දැන් කජු ලෙලි ඉන්ධන ලෙස යොදා ගනී. ගැටලුව වන්නේ මේ කජු ලෙලි දැවීමෙන් හටගන්නා දුම මගින් ශ්වසන ආබාධ ඇති වන බවට ගම්වැසියන් චෝදනා කිරීමෙනි. මුදලාලි නම් කීවේ කජු ලෙලි ලොරිය ම තුන්දහසක් බව හා භූමිතෙල් ටිකක් බැරල් සීයක් වුව දැවීමට ප්රමාණවත් බවයි.

මේ සියලු කාරණා අනුව මතට තිත කෙසේ වෙතත් ගිං ඔය දී තිතට මත්වීමට පුළුවන. නමුත් ප්රාහදේශීයව මෙම මත්පැන් බෙදා හැරීම නොකරන බව ඔහු කීවේ සිනාසෙමිනි. “නෑ සර්, අපි කොළඹ පටවනවා මිසක් මෙහේ විකුණන්නේ නෑ. පොලිසියෙන් ඒකට තව කප්පමක් ඉල්ලාවි. අපිත් මිනිස්සුනේ??” මුදලාලිගේ පරම හතුරා පොලිසියයි. ඒ මත්පැන් පෙරීමට එරෙහි වන නිසා නොව ඉල්ලා සිටින ඉහළ පගාව හේතුවෙනි. මා මුදලාලිගේ අමුත්තකු ලෙස ගොස් මුදලාලිගේ නිවසින් දිවා ආහාර ගෙන ඔහු සමඟ ම නයිනමඩම පාළම අසල ඇති අරක්කු තිප්පලට ගොස් එහි කාර්යන් දැක බලාගෙන ඔහුගේ දුර ඇමතුමකට අනුව වෙන්නප්පුව පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්චාවක් ගෙන සිදු කළ ගිංඔය නීති විරෝධී මත්ද්රපව්යය පෙරීම පිළිබඳ අධ්යනයනයට අදාල මගේ පසු සටහන මෙයින් නිමා කරමි. ඉහත තොරතුරු සපුරා සත්ය‍ වෙතත් ඒ මා සොයාගත් ස්වල්පය පමණි. ඔවුන්ගේ නම් ඔබ දැනගැනීම පිණිසය.
අවසාන වශයෙන් සියල්ලන්ට සොබාදහමෙන් උරුම වූ ගිංඔය තනි බූදලයක් ලෙස පාවිච්චි කිරීම ගැන මා මුදලාලිට කීමි. ඉන් සංචාරක කටයුතු වුවද දිවාකාලයට පමණක් සීමාවන බව මම මතක් කළෙමි. මට ඇහුන්කන් දුන් ඔහු අදාල පාර්ශව සමඟ සාකච්චා කර තම ව්යාටපාරය නිශ්චිත ඉසව්වකට සීමා කළ හැකි මුත් තව පරම්පරා ගණනකට නතර නොකරන බව මට කීය. නමුත් ඉදිරියේ දී බෝට්ටු සචාරිය වෙනුවෙන් නිශ්චිත ගමන් මාර්ගයක් නම් කිරීමට හා ඒ සීමාවේ අරක්කු පෙරීම පිළිබඳ කිසිදු සලකුණක් ඉතිරි නොකිරීමට ඔහුගේ අවධානය යොමු වනු ඇත. පුද්ගලිකව අධ්ය යනය මගින් මා ලද සාර්ථකත්වය එපමණකි. මහින්දට මතට තිත තබන්නට තව බොහෝ කල් බලා සිටින්නට සිදුවනු ඇත්තේ මුදලාලිගේ දැන් දවසේ ඉලක්කය බකට් 150 දක්වා ඉහළ ගොස් ඇති බැවිනි.

ගිංඔය කසිප්පු මුදලාලිලා හමුවීමි. [Episode 2]



ඒසා මහා ධනයෙන් ඔවුන්ට ලැබෙන්නේ සොච්චමක් පමණි. මා පෙර කී මුදල ශුද්ධ ලාභය නොවේ. වර දාන වශයෙන් මසකට කෝටි ගණනක් වැය වන බව එක් මුදලාලි කෙනෙක් මට කීය. කර්මාන්තය යහතින් කරගැනීම පොලිසියට, සුරාබදු නිලධාරීන්ට, ආදී පෙරහැරකට ම පගාව දිය යුතුවේ. නැතහොත් කෙරුවාව හමාරය.
ගිංඔය ම මේ කර්මාන්තය පිණිස යොදා ගන්නේ එය නියම තිප්පොලක් බැවිනි. සාමාන්යදයෙන් කල්දේරම් (still) රත්කිරීමේ දී අරක්කු පිටවන්නේ වාෂ්ව ස්ප්රීයත්තු වශවෙනි. ජය මූලාශ්රයක් යටින් යවා එම වාශ්ප සිසිල් කර ද්ර)ව තත්ත්වයට හරවා බූලි කෙරේ. ගංගාවක් ඇලක් ආදී ජල මූලාශ්රයක් අවශ්ය් ඊටය. පෙරන ලද කසිප්පු නියම පදම පැමිණ ඇත්නම් හැන්දකට ගෙන දැවීමේදී නිල් පැහැ දැල්ලක් පැමිණිය යුතුය. නැතහොත් බාල කසිප්පු පිටකරන්නේ කහ පැහැති දැල්ලකි. කසිප්පු ජ්වල‍නාංකය ඉහළ අගයක් ගනී. වහා ගිනි දැල්වෙන සුළුය. වෙඩි බෙහෙත් මගින් ද හොඳ කසිප්පු පරික්ෂා කළ හැකි බව මා අසා ඇතත් නියම නිර්ණායක නොදනිමි.
හොර අරක්කු ජාවාරම හෙවත් Moon Shining සාමාන්ය යෙන් කෙරෙන්නේ රෑටය. ඉංග්රීසි ව්ය වහාරය ඇත්තේ ද එහෙයිනි. සාමාන්යiයෙන් ලංකාව පුරා ඊට යොදා ගන්නේ ආවරණය වූ ආරක්ෂාව ඇති කරදර අඩු තැනකි. ගිංඔය කඩොලාන පරිසර පද්ධතියක් සහිත ය. රූක්ෂ ගිංපොල් ගස්වලින් ආවරණය ලබා දෙන නිසා එය කදිම තිප්පොලකි. අනික් අතට හදිසි වැටලීමකදී දුවා ගන්නට පුළුවන. බඩු දමා ගියත් නඩු නැත. මන්දයත් අයිතිකරුවන් නොමැති දේපල ලෙස එවිට කන්ඩෙන්සර, බූලි, ගෝඩා සියල්ල රජයේ රක්ෂිතයේ ඇති බැවින් පුද්ගලික ඉඩමක් නොවන නිසා නඩු පැවරිය නොහැක. ඊට වදරකරුවෙක් නොමැති බැවිනි.
ගිංඔය කසිප්පු ජාවාරම බහුලව කරන්නේ එක් පවුලක සාමාජික පිරිසක් විසිනි. පළාත් වැසියන් පොලිසිය සියල්ල දන්නා (මාගේ ද දැන් හොඳ ම මිතුරන්) මේ සටහන හරහා එළි කරමි. ඔවුන්ගේ නම් ප්රකාශය තුළින් කර්මාන්තයට කිසිදු අවහිරයක් සිදුනොවේ. මේ සිරි ලංකාවයි. පුළුවන් ජගතෙක් මේ තොරතුරු මත ගිංඔය කසිප්පු ජාවාරම නවත්වනු ඇත. රංලගන්මුල්ල වසමේ කෙරුම්කාර මුදලාලිලා තිදෙනා මෙසේය. වර්ණපොලසූරියගේ ආර්.ශාන්ති ප්රනාන්දු, වර්ණපොලසූරියගේ වෙස්ටස් සුමිත් තරංග පීරිස්, වීරසිංහ පතිරන්නැහැලාගේ සමන් පතිරණ මේ තුන්කට්ටුවයි. මොවුන්ට නොදෙවැනි කම්මල වසමේ රජ වැඩකාරයෝ වන්නේ වර්ණපොලසූරියගේ ඩෙන්සිල් බර්නාඩ් ඩබරහේවා, වර්ණපොලසූරියගේ ඩෙන්සිල් අයිවන් ඩබරහේවා සහ හැන්සි හැරල්ඩ් ප්රූනාන්දුය. මේ අනුව මෙය පවුලේ ව්යානපාරයකි. වර්ණපොලසූරියගේ පවුල එහි ඒකාධිකාරය හොබවයි. පොලිස් කුක්කන්ට කළ හැකි වූයේ 2007දී එක් සහෝදරයකු අත්අඩංගුවට ගැනීමට පමණි. දැන් ඔහුද නිදහස්ව පැමිණ සිටී. නැඟි ආ සාර්ථකම ව්යාදපාරිකයා හැන්සි මුදලාලිය. ඔහු පිටගම්කාරයෙකි. පොලිසියට දැනට වැඩිම කප්පමක් ගෙවන්නේ ඔහු ය. ශාන්ති ප්රනාන්දු මේ ව්යා.පාරයේ අවුරුදු 20ක් පමණ තෙම්පරාදු වූයෙකි. සියල්ලෝ ම අංක එකේ සුපිරි කකුල් ය. නමුත් තවමත් මොවුන් ප්රාතමික පන්තියේ ය. කිසිවෙක් මේ කාර්ය සඳහා මෝටර් බෝට්ටු භාවිතා නොකරන අතර කිසිවෙකුත් තම සේවකයන් වෙත අවි ආයුධ ලබා දී නැත. එක් අතකට සන්නද්ධ වීමඋවමනාවක් ද නැත. මොනර නෝට්ටු පිදේනියේ පිහිටෙන් ගම්බට්ටෙක් හෝ ඔවුනට එරෙහි නොවන කල කාගෙන් නම් ආරක්ෂාවන්න ද?
කරුණු කාරණා එසේ වුව ද මේ කිසිවකු අතර තරගයක් හෝ එදිරිවාදිකමක් නැත. මේ සියලු කසිප්පු කොළඹ‍, මහනුවර, කුරුණෑගල ආදී ප්රධාන වෙළඳපොළ වෙත යැවේ. කසිප්පු ජාවාරමේ දී වෙන ම වාග් මාලාවක් ඇත. අනික මේවා වෙළඳපොළට යන්නේ උපක්රේමිකවය. බහුල ක්රමය නම් ආයුර්වේද ඔසු ලෙස ව්යාුජ නම් වලින් කසිප්පු වෙළදාමයි. ‘මෘත සංජීවනී’ එවැනි වෙළඳ නාමයකි. අනුරාධපුරයේ පිහිටි එහි ප්රධාන කර්මාන්ත ශාලාවේ අයිතිකරු රංජිත් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කෙරුණේ ඉකුත් සතියේ දීය.
මෙන්න මේ රූපෙ තියනවා වගේ වේදිකාවක තමයි කසිප්පු පෙරන්නේ මේ වගේ අට්ටාල දිගට ම එහි තියෙනවා.

සුන්දර ගිංඔයේ අසුන්දර කතාව [Episode 1]



ලංකාවේ සංචාරක ආකර්ෂණ වශයෙන් හඳුන්වා දී ඇති සංචාරක කළාප 45 අතුරින් වයික්කාල, ගිංඔය ආශ්රිත සංචාරක කලාපය තෙවන ප්රධාන සංචාරක කලාපයයි. මෙම කළාපයේ ප්රධාන භූගෝලීය පිහිටීම වන්නේ වයික්කාල වෙරළ තීරයයි. නමුත් ගිංඔය එහි මූලික මිරිදිය ජල මූලාශ්රය වශයෙන් වැඩි ජනප්රියත්වයක් හිමි කරගෙන සිටියි.
කොළඹ සිට පැය එකහමාරක පමණ දුරකි ගිංඔයට ඇත්තේ. මීගමුවේ සිට කි.මි 9.5ක් ඈතින් වයික්කාල, අංගම්පිටිය පසුකොට බෝලවත්ත හන්දියෙන් වමට හැරී ඇති අතුරු පාරේ කි.මී හතරක් ගියතැන ගිංඔය ගම්මානයට ළඟා විය හැකිය. කරදිය ආශ්රිත ගම්මානයක්යැයි ඔබ මවාගන්නා චිත්ර ය එහි ගිය විට වෙනස් වන්නේ කුඹුරු ඉඩම් බහුවලව දක්නා ලැබෙන නිසාය. ඒ සියල්ල ගිංඔය ජලයෙන් පෝෂණය වේ. ගිංඔය බෝට්ටු සවාරිය, ලංකාව වටා යන සංචාරක කට්ටල වල අනිවාර්ය අංගයකි.
වර්තමානය වන විට ගිංඔයෙන් යම් ප්රලයෝජනයක් ගන්නා ලද්දේ නම් ඒ මේ බෝට්ටු සවාරිය සඳහා පමණි. මීට පෙර ගිංඔය පිරිසිදු ජල මූලාශ්රයක් වශයෙන් ජනතාවගේ පානීය ජල අවශ්ය්තා පවා ඉටු කරන ලදී. නමුත් අද එයින් රෙද්දක් හෝදන ගැමියෙක් හෝ දක්නට ලැබෙන්නේ කළාතුරකිනි. කිසිවෙකුත් එයින් නොනාන තරම් ය. මහඔය මෝය, සුනාමි මෝය, කම්මල මෝය යන සුන්දර මෝය කටවල් තුනක් සහිත රංගන්මුල්ල සහ කම්මල ග්රාම නිලධාරී වසම් වලට යාව පිහිටන ගිංඔයෙන් අද උපරිම ආර්ථික වාසි ලබන්නේ හොර අරක්කු ජාවාරම්කරුවන්ය. වෙනත් රටවල ගෘහස්ත සීමිත අරක්කු පෙරීම නීත්ය නුකූල වුවත් ලංකාවේ පවත්නා නීතිය යටතේ බලපත්රන රහිතව අරක්කු පෙරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ වන විට නීත්යුනුකූල පෙරුම්කරුවන් 28 ක් රජයේ ලියාපදිංචිව සිටී. රට බීම මිළ ඉහළ හෙයින් හොර අරක්කු ව්යාවපාරයට ද හොඳ කලක් උදා වූයේ අද ඊයේ නොවේ.
ගිංඔය අරක්කු ජාවාරමට කුප්රරකට ඉතිහාසයක් ඇත. මේ සියල්ල විවෘත ආර්ථිකයේ ප්රපතිඵල ලෙසින් කෙනෙක් කිවහොත් පුදුමයක් නොවේ. ලංකාවේ රේන්ද ව්යා පාරය සුද්දාගේ පටන් වැදගත් මෙන්ම ලාභදායී කර්මාන්තයක් විය. එදා රේන්ද මුදලාලිලා අද අරක්කු මුදලාලිලා නොවෙතත් ඉන් හරි හම්බකරගත් ‘වැදගත්’ පවුල් ගණන මෙතෙකැයි කිව නොහේ. ඊට සාපේක්ෂව ගිංඔය හොර අරක්කු පෙරීම ඇරඹෙන්නේ 70දශකයේ සිටය. මාගේ ගණනය කිරීම් අනුව එහි ස්වර්ණමය අවදිය වන්නේ 80 දශකයයි. 77 විවෘත ආර්ථිකය සමඟ ඇතිකළ පැලවත්ත, සෙවණගලහිඟුරක්ගොඩ සීනි කම්හල් මගින් ලංකාවේ හොර අරක්කු පෙරීම ලාභදායී ව්යාතපාරයක් වශයෙන් ආරම්භ වීමට අවශ්යු පදනම නිර්මාණය කළේ ය. දේශපාලනය හා ව්යාකපාරික ප්රාජාව ඊට නොමද අනුග්රයහය ලබා දුන්නේ තම වාසිය කතාගෙනය.
එනම් උක් දඩු වලින් සීනි සාදා ඉතිරිවන අපද්රසව්යන මනාව කළමනාකරණය කර මුදා හැරීමට වැඩපිළිවෙලක් නොවූ තැන රජය කළේ හිතවත් ව්යා පාරිකයන්ට හොර අරක්කු පෙරීමට බවුසර පිටින් එම සීනි සාන්ද්රකණ ලබා දීමයි. ඉන් අත පිහිදාගන්නට එවකට රජයට හැකිවිය. කුණු කොල්ලයට බවුසර පිටින් මිලට ගත් ව්යා්පාරිකයෝ ද ආර්ථික වාසිය දඩමීමා කරගෙන ව්යා්පාරයක් ලෙස එය සංවර්ධනය කළහ. මෙලෙස ගිංඔය අරක්කු පෙරීම ඇරඹි මුල් යුගයේ සාර්ථකම මුදලාලි වන්නේ ඔස්මන් මහතාය. පසුකලක ඔහුට අරක්කු පෙරීම අන්තයට ම එපා විය. ඔහු මේ වන විට ඔහු මීගමුව ප්රදේශයේ කාර් සේල් හිමියෙකි.
‘මං ඒ කාලේ හිතුවේ මගේ ලාබෙ ගැන විතරයි. දියුණු වෙන්න කියාපු රස්සාවක් කියලා හිතුවා. දැනටත් අරක්කු පෙරිල්ල හරි ම ලාබයි. ඒත් මං කොහොම ද වෙන පවුලකට ගින්දර දෙන්නේ??’ ඔස්මන් මහතා තම පෙර වැරදි ගැන කීවේ එලෙසිනි. ඔහු නිවැරදිය. අද ගිංඔය අරක්කු පෙරීමෙන් ලබන දෛනික ආදායම 500 000/= කි. ඒ ස්ප්රීත්තු ගැලුම රු 5000/=ට විකිණීමෙනි. ගැලුම් 100ක් හෙවත් ඔවුන්ට අනුව බකට් 100 පෙරීම හැම මුදලාලි කෙනෙකුගේ ම ඉලක්කයයි. මාසික ආදායම තිහෙන් වැඩි කළ අගයයි. නමුත් ඔබ හිතනා තරම් මේ කසිප්පු මුදලාලිලා පොරවල් හෝ ධනවතුන් නොවන බව කියමි. ඉඳින් හූල්ලා පලක් නැත.

ඩලස් සමඟ දෙපැයක්


ඔක්තෝබර් අට වැනිදා නාටක බලන්නත් මං ගියා. එදා මං කැම්පස් ආව ම පවුඩා අදත් එනවනේ කියලා ඇහුවා. දවසේ එහෙම වැඩක් දාගෙන තිබුණෙ නැති නිසා මං බෑ කියද්දි වර වර හොඳ ප්ලේ එකක් තියෙන්නෙ කිව්වා. පස්සේ මං හවහට සිංහ සාලාවට සෙට් වුනා. එදා කෙටි නාට්යහ දිනය. ආරාධිතයා ඩලස් අලහප්පෙරුම. ඩලස් අන්කල් පස්ට කැසුවල් ආවා. ගාඩ් එකක් හිටියෙ නැති තරම්. හලෝ ඩලස්ගෙත් චුට්ටක් තට්ටෙ තියෙනවා. ඇයි අනේ අපේ මහින්ද අන්කල්ගෙත් තට්ටෙ තියෙනවානේ....??? අර සිරස දම්සර මතකද? ඒකෙ මහින්ද අන්කල් වාඩි වෙලා බණ අහද්දි සිරසෙ කැමරාකාරයො කැමරාව පස්සෙ ඉඳන් අල්ලන් ඉස්සරහට ගේනවා. අන්න ඒ මිඩ් ෂොට් එකේ දි මහින්දගේ තට්ටෙ පෙනුන නිසා තමයි රජ ගෙදර පෝයට ධර්ම දේශනාව කැන්සල් වුනේ. අපේ ප්රේමදාස අන්කලුත් ඒ කාලේ කැමරා කරන්න දුන්නේ දකුණු පැත්ත විතරයි කියනවනේ. වම් පැත්තෙන් බැලුවම ප්රේමෙ අන්කල්ගේ නපුරු පාටක් පේනවලු. හැම රෑපගත කිරීමක් ම දකුණෙන් විතරයි. දැක්කනේ දේශපාලනේ කැමරා කෝණ කොච්චර බලපානව ද කියලා.
ඩලාට නම් ඔය එක කෙහුරක්වත් අවුලක් නෑ. මේ ආණ්ඩුවේ ඉන්න ප්රපත්තියක් තියෙන ඇමතියෙක් තමා ඩලා. එහෙම නැතත් මං මිනිහට කැමතියි. එදාත් අන්තිම නාටකටත් බලලා හොඳට එන්ජෝයි කරලයි මෑන්ස් යන්න ගියේ. කාටවත් කරදරයක් වුනේ නෑ. කොටින් ම නම වත් කිව්වෙ නෑ. නමුත් ඉස්සරහින් අසුන්ගත්ත මෑන්ස් ටිකකින් අයිකොන් එකක් වුනා. මං හිතන්නේ ඇමතිට වඩා ඩලස් කියන මනුස්සයා පට්ට කලාකාරයා.
මුල්ම කෙටි නාටකේ සිහින සිත්තම් ප්රාතමික මට්ටමේ එකක්. ඉස්ත්රී වාදය තමා මාතෘකාව. නමුත් කික් එකක් තිබුණෙ නෑ. හොඳ උත්සහයක් කාන්තා අධ්යඑක්ෂකවරිය චලනි ලක්ෂිකා. ඊළඟට පෙන්නුවේ බොක්ස් නාට්යක. පට්ට කොන්සෙප්ට් එක. නියමෙට කළා. නාට්යාට කලින් එහි චිත්තරපටියක් පටන් ගන්නවා. නළුවයි නිළියයි ඇතුළට එන්නේ ඉන් පස්සේ. අධ්යනක්ෂ චාලක රණසූරිය කියන හැටියට බොක්ස් ඇතුළට වෙලා චිත්රපට බලන අය ඕන තරම් ඉන්නවා. ඒ තරමට ම ප්රේක්ෂකාගාරයට වෙලා බොක්ස් එකක් දිහා බලා ඉන්නත් මිනිස්සු හරි කැමතියි.
රජයේ සේවකයෙක් පිටකොටුව බෝ ගහ ළඟින් කෙල්ලක් උස්සනවා. දෙන්න ම එන්නෙ බොක්ස් එකකට. කෙල්ල බලන්නෙ චිත්ර පටිය බොනී මහත්තයා වෙනුවෙන් ඇය ශෝක වීම ඹහුට දරාගන්න බෑ. ඔහු සල්ලි ගෙව්වෙ වෙන වැඩකට. ‘ මං හිතුව ඔයා ටිකක් වෙනස් ජාතියක පිරිමියෙක් කියලා. වෙන මිනිස්සු නම් හදන්නේ විනාඩියකට හරි කාමරේකට රිංගන්න.’ පිරිමියාට ඉස්මුරුත්තාවට තද වෙනවා. ‘නැතුව තොපිත් එක්ක පෝරුවේ නඟින්න යෑ’ නෑ අනේ මං කිව්වෙ අපේ තාත්තට පස්සෙ මාව චිත්රපටියක් බලන්න ගෙනාවෙ ඔයයි කියලයි.
ඇය තදින් ම චිත්රපටිය රසවිඳිනවා. ඒ එක්ක ම විදුලිය විසන්ධි වීමක් ‘කවුද යකෝ ලයිට් නිව්වෙ?’ ඉතිං හොඳයි නේ මෙහෙට එනවා.’ දෙපැත්තෙ බොක්ස් දෙකෙනුත් සද්ද පිටවෙනවා. නැවතත් කරන්ට් එනවා. අන්තිමේ දි තමා ආපු කාරණේ නැවතත් මතක් කරන්න ඔහුට සිද්ද වෙනවා.
‘ඔයා මේ චිත්රපටිය බලලා තියෙනව ද? නෑ.... එහෙනම් බලන්නකො අනේ. මං මේ හිතුවෙ ඔයා මීට කලින් බලපු නිසා අල්ලපු බොක්ස් එක දිහා බලන් ඉන්නවා කියලයි.’ ඔය එක්කම චිරි සද්දයක් වැඩි වෙලා එහා බොක්ස් එක කඩා ගෙන කකුළක් එළියට එනවා. ‘මේ ඕයි මං තමුසෙගෙ කකුළටත් එක්ක ටිකට් ගත්තේ නෑ.’ ඔහු කෑගානවා.
ඒ අතරේ බිරිඳ ඇමතුමක් දෙනවා. චිත්රපටය බලන ගණිකාව කැරට් අලයක් හපමින් ඉන්නෙ. ‘එළවළු ගත්ත ද? ඔව් ආ.... කැරට් ඉවරයි.... නෑ එක අලයක් ඉතුරු කරගත්තා.’ ඔහු ජයග්රාහී හැඟීමෙන් කියනවා. පස්සේ ඔහු කාරණාව කෙළින් ම කියනවා. ‘අයියෝ කළින් කියන්න එපැයි මහත්තයා. මීට වඩා පුංචි ඉඩකදි පිරිමි මගෙන් ගොඩක් දේවල් අරං ගිහින් තියෙනවා. හැබැයි බැරි වැඩ කරන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. හ්ම් කරන දෙයක් කරගන්නවා.’
නමුත් ඒ එක්ක ම චිත්රපටිය නිමා වෙනවා. ශාලාව ආලෝකවත් වෙනවා. අපිත් ඇත්තට ම බොක්ස් එක දිහා බලන ඉඳලා කියලා හිතෙන්නේ එතකොටයි. කළිසම ඇඳගෙන නළුවත් වේදිකාවට ආවා. උපරිම සිරා.

පන්සල වහලා
පන්සල වහලා හි කතාව එන්නේ හාමුදුරුවො පාර්ලිමේන්තු වැඩම කිරීම පිළිබඳ කතාවක්. රාත්රියට පන්සල ආරක්ෂක හේතුන් මත වහලා. ලොකු හාමුදුරුවො හම්බ වෙන්න පුළුවන් ජාතික ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරන්න පමණයි. තාත්තා අසනීස වෙච්චි වෙලාවෙ සීයා ගමේ පන්සලේ බෝ ගහට බාර වෙච්චි අහපු නිසා දැන් තාත්තට සැත්කමක් කරන්න ඉස්සර පඩුරක් ගැටගහලා යන්න පන්සලට එනවා. නමුත් පන්සල වහලා. හාමුදුරුවො දියවන්නා වැඩලා.
වාණිජ ලෝකය තුළ පන්සල ව්යාවපාරික ස්ථානයක් විදියට වෙනස් වන්නේ කොහොම ද කියන එක ගැන හරි අපූරුවට දක්වලා තිබුණා. ඒක ටිකක් සංකීර්ණ ප්ලොට් එකක්. නමුත් අපූරුවට ඉදිරිපත් කළා. අපේ පන්සල නම් රෑට වහන්නේ නෑ. කොහොමින් කොහොම හරි නාටක ටික බලලා මං ගෙදර එද්දි රාත්තිරි මැදියමත් වෙලා. නමුත් ගෙදර ලයිට් දාගෙන කස්ටිය සාලෙ මොකක් ද බලනවා. මං මේ මොන අරුමැකක්ද කියලා බලන්න මං සාලෙට ආවා. කවදාවත් නැතුව අම්මත් නිදි නෑ. අපේ අම්මා දොළහෙන් පස්සේ ඇහැරගෙන ඉන්නේ බොහො කලාතුරකින්. බැලින්නම් මල්ලා වැඩට ගිහින් තාම ඇවිත් නෑ. ඒකයි මේ සියලු සාමාජිකයන් බලා ඉන්නේ.

වී ආ ෆැමලි


මේ දවස් වල අපේ ගෙදර වාතාවරණය විපරීත වෙලා. හරියට මහ ඔරලෝසුව නැවතිලා වගේ. පවුලේ හතර දෙනෙක්ට හුස්ම වැටෙන බව තේරෙන්නැතිලු. ඒත් මැරිලත් නෑලු. තත්ත්වය බරපලතයි වගේ නේද? මේ සියල්ලට හේතු වුනේ අපේ මලයා හදිසියේ වරායේ පුහුණුවකට තෝරා ගැනීමත් එක්ක. ගෙදරට සුනාමියක් ඇවිදින්. හිනාවුන මූණු අද මැලවිලා ගිහිල්ලා. අපි හිතින් ගොඩක් ලෙඩ වෙලා.
අපේ ගෙදර සංස්කෘතිය හරි විවිධයි. විෂමයි. අම්මයි අප්පච්චියි දෙන්න ම වැඩට යන නිසා අපිට රෑ ගොඩක් පුංචියි කියලයි හිතෙන්නේ. නමුත් ඒක නැති කරන්න නියම වැඩ පිළිවෙලක් එහි තියෙනවා. සාමාන්යඅයෙන් දෙන්න ම ගෙදර එන්නේ හයට. නමුත් මේ කාලය හයාමාර හත වෙන්නත් පුළුවන්. ඉතිං සවස තේ එක අපි පස්දෙනා බොන්නේ රෑ හයයි හතළිස් පහට විතර. එතැන් සිට සවස හතයි තිහ දක්වා දීර්ඝ සපර් එකක් සවස් කෑම වේලක් සමඟ හැපී අවර් එක ඇරඹෙනවා. යාන්ස් කිම් දවසේ සමබර පුවත් පෙළගැස්ම සියල්ල මේ වෙලාවේ තමා. ස්නැක් මොනා හරි කකා ඔහේ කතාකර කර ඉන්න අපේ පවුලේ අය හරි දස්සයි. අම්මා එයාගේ කොරියන් මිත්රයන් ගැන කතාවක්. නංගි ඉස්කෝලෙ පුවතක් ගේනවා. අප්පච්චි තමා මේ ගමේ විස්තර ගේන්නේ. අප්පච්චිගෙ විස්තර වඩාත් වටිනවා. ඒවා ඕප දූප වුනාට ගමේ රටේ සිද්දිනේ. ඒ අතින් අපේ ගෙදර ඕපදූප සෙවීම භාර වෙන්නේ පිරිමි පාර්ශවේට. මේ මං වුනත් හොඳ චීත්තයක් වෙලා තියෙන්නේ අපේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා.
අපේ මල්ලා කරන්නේ මේ හැම වෙඩිමකට ම හිනා වෙන එක. ඒ ඒ යාන්ස්කරුවන්ට නියමිත වෙලාව හදලා දෙන්නෙත් පොර. අපේ ප්රධාන රසිකයා. දැන් යාන්ස් අහන්න කවුරුත් නැති නිසා අපි කියන්නෙත් නෑ. මං කම්පියුටරේ, නංගි කාමරේ, තාත්තා පත්තරේ අපි හතර දෙනා හතර පැත්තක. බලාගෙන ගියා ම ඔක්කොම එක්කාසු කරලා තියෙන්නේ මල්ලිගේ ගොන් පාර්ට් වලින්. අද ඌ නැති වුනා ම දැනෙන පාළුව විස්තර කරන්න බැරි තරම්. ටී.වී එක නිකම් ම වැඩකරනවා. මං ගිහින් ඔළුව දාලා එනවා. නමුත් සතුට එතන නෑ. පවුලෙ කෙනෙක් නැති පාළුව තේරෙන්න එයා ගෙදරින් ඈත් වෙන්න ඕන. මං නැති වුනාට අපේ ගෙදර මිනිස්සුන්ට පාළු නෑ. ඒත් මහ පාළු මූසලක් ගේ පුරා ම තියෙනවා. මේ ට්රේනින් පීරියඩ් එක ඉවර වුනා ම සියල්ල ආපහු යථා තත්ත්වයට පත් වේවි. අඩුම තරමින් මූව උදේ හවස බලන්න පුළුවන්නේ??? හැමෝට ම දුකයි. නමුත් ඔක්කොම දුක වහගන්නවා. අම්මා කෑම උනත් හදන්නේ කැමැත්තකින් නෙමේ. රෑ අට වෙද්දි සියල්ල නිෂ්ක්රීමයයි. අපි ආයෙත් නැඟිටින්නේ රාත්තිරි එකට මල්ලිව පිළිගන්න. තත්වෙ මෙහෙම නම් ඊට පස්සෙ මල්ලිව රට යවනව ද කියන එක ගැන අම්මාලා කල්පනා කරයි වගේ. නංගි නම් දැනටත් යුද්ධ ප්රිකාශ කරලා. කාලෙකට පස්සේ අපි කටවල් වහගෙන ඊයෙ මැද සාලෙට වෙලා ඔහේ ටීවී එක දිහා බලාන හිටියා. කොහොම කිව්වත් නෝනේ කුරුළු කූඩුව පාළුයි කියාගෙන අප්පච්චි කාමරේට ගියා. මාත් ගිරා මාරු උනා. නංගියි අම්මයි අඩන්න තියාගත්තා.
සක්කරයා කීවත් මල්ලා නම් ගෙදර නවතින්නෑ. අපි ටිකෙන් ටික පාළුවට හුරු වේවි. මං කෝමත් නිශාචරනේ. තව පැයක් ඇහැරන් ඉන්න එක වැඩක් නෙමේ. නමුත් නංගි පහුවදා ඉස්කෝලෙ යන්න නැඟිටලා. මල්ලිගේ කාමරේට ගිහින් යන්නේ. අන්තිමේ බැලුවම වී ආ ෆැමිලි තමා!!

බුදු දහම මානවවාදී දහමක් නොවේ??


පහුගිය දවසක මං ව්යාතපෘතියකට ගිහින් පාර හොයා ගන්න බැරුව මීගමුව පැත්තේ වයික්කාල හරියෙ කරක් ගහද්දි ක්ලාස් මේටෙක්ගෙන් ඇමතුමක් ආවා. මචන් අපේ වැඩක් තියෙනවා මේ ඉරිදි තුනට නාග විහාරෙට වර. ඔන්න කිව්වා. බෙල්ල දාලා පලයන්. කතා කළේ පොඩි සන්නස්ගල කියලා මගේ අනන්දීය බොක්කක්. මොන කෙහුරක් වුනත් අපේ වැඩේනේ කියලා මං යන්න සෙට් කරගත්තා. ඔන්න ඉතිං කියාපු විදියට මාත් නාග විහාරයට තුනට ගියා. බලද්දි සායි බබා කියලා අපේ සිංහල පන්තියේ පොරකගේ බුක් ලෝන්ච් එකක්. පොත ‘අපේ යුගය කෝට්ටේ’ උදාර කණිෂ්ක බණ්ඩාරගේ පළමු පොත. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සල නොවැ. අපේ කාලේ හිටි බොහෝ දෙනා එහි පැමිණි සිටියා. සමහරු බැඳලා. තව උන් ජෝඩු දාලා ආවා. ඒක අපූරු අවස්ථාවක් වුනා අපේ පරණ නෑකම් අලුත් කරගන්න.
පොත පිටු හැත්ත පහයි. ආරාධිත දේශනය අපේ විශ්ව විද්යා ලයේ සංස්කෘත අංශාධිපති ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවන්ගෙන්. මොකකද් ද මේ ඉතිහාසය කියන්නේ? ඉතිහාසය කියන්නේ රජවරු ගැන කියලයි ඔබ කියන්නේ? ඉතිහාසය කියන්නේ කිරීටයට මරා ගත්තු කුමාරවරුන්ගේ කතාවයි. නෑ ඉතිහාසය කියන්නේ ඒක නෙවේ. නමුත් අපි හිතන්නේ එහෙමයි. ඉතිහාසය දිනපොත් වලින් ලියන්න පුළුවන්. ලියුම් වලින් ලියන්න පුළුවන්. කෝට්ටේ සංදේශ වලින් ඉතිහාස කරුණු කොච්චර තියෙනවා ද? ඉතිහාසය මූලාශ්ර කියලා අපි නොහිතන තැන්වල ඉතිහාස කරුණු දත්ත තියෙන්න පුළුවන්. දැන් බලන්න කටුගෙට ගියොත් දත්කූරෙත් කැටයම් දකින්න පුළුවන්. දත්කූරට කැයම් කරන්න තරම් සියුම් කලාවක් අපිට තිබුණා. අන්න කවුශල්ය. ඒක ශිල්පයක් වෙන්න ඕන. ඒවා පුරුදු කරපු මිනිස්සු තවත් ඇති. වෙන වැඩ නැද්ද මේ දත්කූරු කැයටම් කරන්න? ඒ කියන්න කන්න අඳින්න හොඳට තියෙන්න ඇති. ආර්ථිකය සුරක්ෂිතයි. ඔන්න දත්කූරකින් යන්න පුළුවන් දුර???
බුදුදහම මානව වාදී දහමක් නෙවි. මානව වාදය කියන්නේ මිනිසා ප්රධාන කොට සැලකීම. බුදුදහම සත්ත්ව වාදී දර්ශනයක්. තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න සත්තු යොදා ගන්න පුළුවන් කියලා මානව වාදීන් හිතන්නෙ ඒ නිසා. නමුත් අපි සත්තුන්ගෙන් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා. ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ සං ජීවිතං පියං’ දැන් බලන්න අපේ ගම්වල ඉස්සර කුරුළු පාළුව කියලා කුඹුරෙන් කොටහක් වෙන් කරනවා. ඒ සත්තුන්ට.
ධම්මරතන හාමුදුරුවො කියන්නේ අපිට තියෙන්නේ අනාගතයක් හා අතීතයක් පමණයි කියලයි. වර්තමානය කියන්නේ අනාගතයෙන් ගෙන අතීතයේ තැන්පත් කිරීමයි කියලයි උන්නාන්සේ කිව්වේ. අපිට අවුරුදු දෙදහස් පන්සියයක අතීතයක් තිබුණා. දැන් මේ යන විදියට අනාගතයකුත් තියෙයි කියලා උන්නාන්සේ කීවා.