Tuesday, January 30, 2018

ඇනුවල් සිරිපා කරුණාව හෙවත් දිවි හපුවාට අග්ගලා කැවීම..

ඇවරිතුමා සාමාන්‍යයෙන් වසරේ චාරිකා සටහන පටන් ගන්නේ ජනේරුවේ සිරිපාදෙ කරුණා කරලා. ඒ ගැන බ්ලොග් කියවන ඇත්තො හිටන් දන්නෙ ඇවරිතුමාගේ සිරිපා කරුණා සටහන් බොහෝමයක් බ්ලොග්ගත කෙරිලා තියෙන නිසා. ගියපාර කෝච්චියේ ආසන වෙන් කරවා නොගෙන බොහොම හිතුවක්කාර කරුණාවක් කරලා ඇවරිතුමා මට්ටු වෙච්චි නිසාත් ගිය නුණන ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි නිසාත් මෙදා පොටේ ආසන වෙන් කරවා ගන්න ඇවරිතුමා කටයුතු යෙදුවා. වෙලාව කියන්නේ යද්දි පළමු පන්තිය හෝ නිදන මැදිරි හෝ කිසිදු වෙන් කළ ආසනයක් ගන්න ඇවරිට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. හැබැයි දෙවියන් බුදුන් බැහැදකින්න යන ගමනේ කොළඹට එද්දි පළමු පන්තියේ ආසන වෙන්කරවා ගත හැකි නිසා යාම ගැන දෙවරක් නොසිතා ඇවරිතුමා කරුණාව ස්ථිර කරනවා.

සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරනවා කියලා තීරණය කළ වහා ම ඇවරිතුමා මුළුතැන්ගෙයි ඇත්තන්ට නිල වශයෙන් සතියක නිර්මාංශ කාලයක් ප්‍රකාශයට පත් කරනවා. පේවීම සඳහා අදාළ මූලික වත් පිළිවෙත් පටන් ගන්නේ එතැනින්. ඇවරිතුමා බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් වගේ ම සමන් දෙවියන්ගේ බැතිමතෙක්. සතරවරම් දෙවියන් ප්‍රධාන දේව ගණයේ සමන් දෙවි හාමුදුරුවන්ට බාර වෙන ඇවරිතුමා අතුරු ආන්තරවාක් නැතිව කරුණාව සම්පූර්ණ කරන්න ලැබෙන්න, යේ රබ් අප්නාහේ - හම්හේ රබ්කේ බන්දේ....! කියලා පින් දෙනවා. 

සමන්දෙයි හාමුදුරුවො හරි කරුණාවයි කියන්නේ උන්නාන්සේ මේ ගමන පුරාවට තමුන්ගේ බැතිමතුන්ට කරුණාව හෑල්ලු කරනවා.  ඇවරි සමන් බොක්සැල්ට ආදරේ කරන්න ගොඩක් හේතු තියෙනවා. සුදු ඇත් වාහනය අරන් ලෝකෙ සැරිසරන උන්වහන්සේ කඩු, තෝමර ආදී කිසිදු ආයුධයක් නොදැරීම වගේ ම පද්මයක් දරාගෙන ලංකාරක්ෂක දේව ගණයේ ප්‍රධානියා හැටියටත් කටයුතු කරන අපේ දෙව් හාමුදුරුවො බැහැදැකුම් කරන්න ඇවරිතුමා දෙසැම්බරයේ අන්තිම සපරගමු දේවාලෙටත් ගෙවදිනවා. ඒ වෙද්දි නම් සිරිපා කරුණාව ගැන අදහසක් හිතේ නොතිබ්බට මේ ගැත්තා අවුරුද්දට සැරයක්වත් උන්නාන්සේ වැද පුදාගන්න හිමේ කරුණාකරණ බව මහා සුමනයන් දන්නවා. ඒ ළෙංගතුකම හරි අපූරු එකක්. 

බුදුන්ගෙන් බණ අහලා සෝවාන් වුන අපේ දෙයි හාමුදුරුවෝ කරුණාවට ඇවරිතුමා වෙනුවෙන් බොහෝ පිහිට වුනා. මුල ඉඳන් ම තනි තීරණේට වැඩ කරපු ඇවරිතුමා රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න ගල්කිස්සෙන් පිටත් වුනේ හයට හතට විතර. වෙන් කළ ආසන නැති එකේ මරදානෙන් ගොඩවුනා නම් යම් පහසුවක් තිබුණා. ඕනකමක් තිබුණනම් බ්ලැක් මාර්කට් එකෙන් තුන්දාහකට විතර ටිකට් එකක් ගන්න තිබුණා. ඒත් කමක් නෑ කියලා ඇවරිතුමා කොටුවෙන් බැහැලා හිටියා. නමුත් කෝච්චිය විනාඩි දහයක් ප්‍රමාදයි. පස්සෙ ඇවරිතුමා දැනගත්තු හැටියට මරදානෙන් නඟින්න සෑහෙන්න සෙනඟක් ඉඳලා. හිස් කෝච්චියක කොටුවට ගමන් කිරීමේ දඩය රුපියල් තුන්දාහයි කිව්වත් මිනිස්සු බැහැලා නෑ. එහෙම සිඟිති ආතල් නොදී එක්කො ඒ කෝච්චිය වේදිකාවක නතර නොකර කෙළින් ම කොළඹට එවන්න ඕන. එතකොට මරදානෙන් තැපැල් පටවන්නේ කොටුවෙන් වෙන්නෑ..??

ඒ තර්ක ප්‍රායෝගික නෑ. කෝමත් ෆස්ට් කම් ෆස්ට් සර්වඩ් බේසිස් නිසා ඇවරිතුමා ආසන ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. නමුත් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ගත්තා. කෝචිචියට ම සෙකන්ඩ් ක්ලාස් පෙට්ටි දෙකයි ආවෙ. ඇවරි තෝරගත්තේ නිදන මැදිරියත් දෙවන පන්තියන් වෙන් කරන පෙට්ටි දෙක සබ්බන්ධ කරන තැන යන්න. දෙවන පන්තියේ නිදන මැදිරිය සම්පූර්ණයෙන් ම වාගේ වෙන් කරවාගෙන තිබුණේ විශ්ව විද්‍යාල අංගනාවන් පිරිසක්. ඉතිං ඒ දායිකාවන්ගේ අංගර ඉංගරත් ලබාගෙන තමුන්ට වෙන්වුන පනිට්ටුවේ ඇවරි පහසුවෙන් ගියා. එතැන යන්න සෑහෙන්න පළපුරුද්දක් ඕන. පෙට්ටිය පිරෙන්න සෙනඟ හිටියට කවුරුත් එතෙන්ට ආවෙ නැති නිසා ඇවරිතුමා හොඳට නිදාගෙන ගියා. ගම්පහින් බදුල්ලේ යන්න නැඟපු නඩයක් ඇවරිතුමා ඉදිරියෙන් තමුන්ගේ බෑග් තැම්පත් කරලා ආරක්ෂක ප්‍රකාරයක් ඉදිකළ නිසා තවත් කවුරුවත් එහි ආවෙ ම නෑ.

පැය පහක ගමනක් කියන්නේ හිටගෙන යන්න අමාරු එකක්. නාවලපිටියේදී ඇවරිතුමා කෝචිචයෙන් බැස්සේ ටික වෙලාවක් නවත්වන් ඉන්න නිසා. නියාමකයන් මාරුවෙන අතරේ ඇවරිත් රිලැක්ස් වුනා. ඒ වෙද්දි අපේ අංගනාවො සැප නින්දේ. ඒ සෙට් එක නිදන මැදිරියෙත් සින්දු කියන්න තියාගත්තනේ. අන්තිමේදී පොල්ගහවෙල වෙද්දි නංගිලා සින්දු කියලා නටලා ඉවරයි. කඩුගන්නාව වෙන්දි හැමෝම දොයිය බබා. නාවලපිටියේ ඉඳන් මන්දගාමී නිසා ඇවරිගේ ගණනය කිරීම් අනුව එකහමාර වෙද්දි අපි හැටන් ආව. ආව ගමන් ඇවරි එළියට දිව්වේ බස් එක අල්ලා ගන්න. මොක ද නල්ලතන්නි බස් එකේ සීට් එකක් නොලැබුණොත් හිටගෙන පැයයි විනාඩි දහයක් යන එක අමාරුයි. ඒ වෙලාවෙ තදට නින්ද යන වෙලාව නොවැ.

ඇවරිට නම් බස්වල දී ගොඩක් හොඳට නින්ද යන නිසා ඩෙල්හවුස් වෙනකම් ම ඇහැරුණේ නෑ. පාන්දර තුනහමාර වේද්දි ඇවරිතුමා ගමනට සූජානම්. රෑටත් නොකෑ නිසා තද බඩගින්නේ හිටි ඇවරිතුමා උණුවෙන් රොටි අරන් මෑණියන්දෑ හදලා දුන්න විශේෂ සීනි සම්බෝල දාගෙන කන්න විනාඩි කීපයක් ගත කළා. ඒ සැණින් කරුණාව පටන් ගත්තා. සමන් දෙයියෝ මට ඉරසේවය බලන්නත් ඕන පැය දෙකෙන් මළුවට කරුණා කරවනවා හොඳයි අපේ හාමුදුරුවනේ. සුමන සමන් දෙවිඳේ කියාගෙන ඇවරි බොහොම අවධානයෙන් සාම චෛත්‍ය පාර වෙනකම් ආව.

දහසක් බුදුන් බුදුවූ පැයේ අතිමහත් බහුතරය කරුණා කළේ තේ වත්ත මැදින් වැටුණ වටේ පාරෙන්. හැබැයි වෙලාව ගැන හිතලා ඇවරි මිනිත්තුවක් කල්පනා කරලා සාම චෛත්‍ය පාර තෝර ගන්නවා. කොච්චර පඩි තිබ්බත් ඒ පාර තෝරගන්න ඇති විශේෂ හේතුව ඇවරි කලින් සලාදෙක ලියලත් ඇති. බොහොම අඳුරු එළියක් ඇති සාමාන්‍ය බල්බ් දැල්වෙන පාරේ ඇවරි ම විතරයි. හැබැයි සුළඟ මා එක්ක හිටියා. ඇවරි ඉතිපිසෝ කියමින් ආව නිසා. පළමු මහල, දෙවන මහළ නැඟලා තුන්වන තැන්න එද්දි තමා ඒ වැඩේ වුනේ. ඇවරිට මිටර් පණහක් තියෙද්දි දිවියා පාර මාරු කළා. මාර ලස්සන සතා. එයා කිසිම කරදරයක් කරන්න ආවෙ නෑ. බයක් දැනුනෙත් නෑ. අපේ බ්‍රැන්ඩොට වඩා ටිකක් උසයි.  ඇවරි  දිහා බලලා හිමේ වහන් වුනා. ඇවරිත් ගමන නතර කළේ නෑ. පස්ස හැරිලා බැලුවෙත් නෑ. එයාගෙ ගමන තමා ලස්සන. නැට්ට උස්සන් පැද්දි පැද්දි කැලේට ඇදුනේ. බොහොම කෙටි වෙලාවකින්. සමහර වෙලාවට මේ පාරෙන් එන්න හිත කිව්වේ මෙයාව මුණගස්සන්න වෙන්න පුළුවන්. ඇවරි මේ ගැන පවුලේ වයිබර් සංගමයේ කොමෙන්ට් කළා ම චමිත අයියා වහා ම ශ්‍රී පාද දිවියා ගැන කටයුතු කරන අපේ නිමල්කා සංජීවනී අක්කාගේ නම්බරේ එවලා එතුමියට කියන්න කියල දැනුම් දුන්නා.

කලින් නිමල්කා අක්කා එක්ක අපි කරුණා කරලත් තියෙනවා. මකර තොරණ ළඟ තමා අඩෙවි වන කාර්යාලය තියෙන්නෙ. අක්කාට ඇවරි කෝල් කරලා එයාගේ පුතයා දැක්ක බව කීවා. ආහ් බොහොම සන්තෝෂයි මල්ලි ඔව්, මේ දවස්වල රෙකෝරේඩ්ස් ඇවිත් තියෙනවා එයා ඉන්නවා කියලා. මිනිස්සුන්ට කියන්න බයයි. එයාලා කලබල වෙන නිසා. ඇටෑක් කරලා නම් නෑ. හැබැයි තව මිනිස්සු වැඩි වෙද්දි එයා ඈතට යයි. ලොකු එකෙක් ද? අඩි හතරක් විතර උසයි. මාර ශාන්ත දාන්ත ගමන. එග්සැක්ට්ලි කැට් වෝක්. අපි බලමුකෝ මොකක් හරි කරන්න. කොටි හපුවා ඇවරිගේ කරුණාව වර්ණවත් කරන්නේ එහෙම.

මේ කතාව ඇවරිගේ හිතලුවක් කියලා කෙනෙක්ට හිතන්නත් පුළුවන්. නමුත් අපි නිමල්කා අක්කලා මේ දිවියා ගැන වැඩ කරන්නේ 2015 ඉඳන්. මෙන්න පෝස්ටුව. පට්ට ලක් එක කියන්නේ 2018 දී පුතයාව මගේ නේත්‍රා දෙකින්ම බලා ගන්න ලැබීම. 


මගදි ඇවරිතුමා නැවතුනේ එක තැනක විතරයි. ඒ කෝපි එකක් බොන්න. කෝපි එක හතලිහයි. මාරු නැති නිසා චොකලට් එකක් දුන්න කඩේ කොලුවා පන්සීය දුන්නා ම ඇවරිට හාරසීයක ඉතිරි දුන්නා. ගාන වැරදියි නේ පුතා. තව පණහක් ඕන. ආහ් පණහේ ඒවා නෑනේ. ඒකනේ චොකලට් එක දුන්නේ. ඒක රුපියල් දහයයිනේ චාමර..? හාහා මේක සමන්දෙයියන්ගේ අඩවිය. ඔහොම හොරාට වෙළඳාම් කරන්න එපා... යා දෙන්නෙ නෑ. මෙන්න රුපියල් හතළිහක්. තව සීයක් දෙන්න. ඇවරි උදේ පාන්දර රුපියල් පන්සීයක් මාරු කරගත්තේ එහෙම. 

Monday, January 22, 2018

බිළිඳු බැහැදුකුම් කරනා.. අපි සතොසිනා BUT මහේෂ නම් කුළු හරකා අපට දෙහි කපනා.. #Lakshi's Baby Visit 1

පහුගිය දවසක ඇවරිතුමා සහ පාත්‍ර වර්ගයා අපේ ලක්ෂිතාවන් සහ සුමේධ තාපසතුමාගේ බිළිඳිය බැහැ දකින්න ගියා නොවැ. ඒ කුමාරිකාව උපන්නේ නොවැම්බර් මාසෙ එක්තරා දවසක. ඔන්න මං ආව කියලා මෙසේජ් එකක් ඇවරිතුමාගේ කළුබෙරියාගේ සටහන් වෙලා තිබුණා. සාමාන්‍යයෙන් එහෙම රුවිතෙට එන මෙසේජ් දැක්කා ම ඇවරි ටිකක් කලබල වෙනවා. මොකද ඒ ආකාරයේ ටෙක්ස්ට් එවන්නේ බොහෝ විට ඇවරිගේ එතෙර කොන්ටැක්ස් තමා. මේ අලකලංචි නරි නාටක අස්සේ එහෙම ඒරොප්පෙන් ඈයෝ ආව ම කොහොම හරි වෙලාවක් වෙන් කරගන්න වෙනවා. මොක ද එයාල එන්නේ කඩදහි ලිපේ දාලා වගේ දුවන්න බලාගෙන නේ. ඉතිං තියෙන සුළු කාලෙ ඇතුලේ සියල්ල කරගන්න ඕන. එහෙම එන ඇවරිතුමාගේ ඩෙලිගේට්ස්ලා එක්ක රෝන්දේ ගැහුව ම සතියෙ වැඩ හිරවෙන එක පුදුමයක් නෙමෙයි. අනික් කාරණේ එහෙම ටෙක්ස්ට් කරන බහුතරය අංගනාවෝ කියලා ඇවරිතුමා පුරුද්දෙන් දන්නවා. ඇවරිතුමා චිත්තාපර වුනේ කවුද මල්ලි මේහ්? කියලා ටිකක් විපරම් කරන්න.

අනේ නෑනේ අමුත්තෙක්, බැලුව ම ඉන්නේ ගජ යාළුවෙක්. කෙටි පණිවිඩය ලක්ෂිතාවන්ගෙන් කියලා දැනගෙන ඇවරි එතුමියට ඇමතුමක් ගත්තා. අම්මයි බබයි දෙන්න ම හොඳින් ඉන්නවා. ඔයාලා එන්න ඕන වෙලාවක. අනිවා අපි එන්න ඕන. ලක්ෂිතාවන්ගේ වෙඩිම ගැන සලාදයේ තමා අර බ්‍රයිඩ් කරට ගැනිම හෙවත් ගල්මාලු දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය කියලා ලියැවුනේ. දැන් ඊළඟ චැප්ටර් එක. කෝමත් කොකුන් ගෙනා බබුන් බැලීමට යන සලාද ලියද්දී ඇවරිතුමා මේ විසිට්ස්ටික අහවර කරනවා කියලා ප්‍රතිච්ඥා දුන්නා නෙව. අනික මේවා අපේ ඉයර් ප්ලෑන් එකේ තියෙන ඉවෙන්ට්ස්.

කොහොමින් කොහොම හරි දූ සිඟිත්ත ඉපදිලා පෝය තුනක් ගෙවෙද්දි ඇවරි මිතුරු සරෝරුවට මේ ගැන මතක් කරන්නට යෙදුනේ වැඩේ තවත් කල් යන එක ගැන එපමණ පැහැදීමක් නොවූ නිසා. අන්තිමේ දී වැඩේට සෙට්වුනේ ඇවරිතුමාගේ සැපට දුකට සනී, මයිනා මහතා සහ මිසිස් ඉදලානි හෙවත් අපේ සුලක්කනා නිර්මාණී මැතිනිය. අතීත ජන්මයේ ඇවරිතුමාට ඉදලින් ගැසීමේ පාප කර්මය නිසා එතුමිය වඩා ප්‍රසිද්ධ මිසිස් ඉදලානි නමින්. කොහොමින් කොහොම හරි සුලා කිරිබත්ගොඩට එද්දිත් ඇවරි ඒ ඉරිදාවේ සම්පත් බැංකුවේ තිලිණපත් තෝරන ගමන් හිටියේ. තිලිණපත් කියන්නේ බිළිඳු දරුවන්ට තෑගි දෙන පොෂ් විදියක්ලු ඈ. කොහොමත් පුංචි උන් ඉපදුන හැටියේ බැංකු ගිණුම් අරින සිරිතක් නැති නිසා අපි චාරිත්‍රයක් හැටියට බැංකු ගිණුම් තෑගි දෙන කල්චර් එකකට සෙට් වෙලා. එදා දෙසැම්බර් තිස් වෙනිදා බැංකුවේ බොහෝ සෙනඟක් හිටියේ විකෘති නෝට්ටු මාරු කරන්න ආපු සෙනඟගෙන්. ඒ අහු අස්සේ මයිනාතුමා විනාඩියෙන් විනාඩියට අහනව කොහි වාහෙ ඉන්නේ කියලා..?

ඇවරිතුමාට පැවරුණු මූලික රාජකාරිය වුනේ තිලිණපත් ගැනීම හා සුලා මැතිනිය වැඩමවාගෙන ඒම. බැංකුවේ වැඩේ ටිකක් කල් ගිය නිසා ඉදලානිට බැංකුවට එන්න කීව ම මේ වැඳිරි කියාපි මම මහජන බැංකුවේ කියලා. කඩවලේ.... එන්න කදෙයි අන්නී, මක්කල් වංකියිල් නී එන්න සෙයිදි? පරක්කුවෙලා තියෙනව මදිවට තව බැංකු ගානෙත් ගාටන්න තියාගත්තු ඉදලානි ඇවරිතුමාගෙන් කන් බෙර සුද්ධ වෙන්න අසාගන්තෙ සංශුද්ධ දෙමළින්. මං බිලක් ගෙවන්න ආව බං. ඕකනේ කියන්නේ බොලා සුවර්ගෙට ගියත් මල් පැලයක් ගලවන් එන්නේ කියලා. දැන් උඹ කියන්නේ මේ ළමයි බලන්න පේවෙලා යන්න ඕන කියලා ද? ඇරත් මොකක් ද බං මල් පැල සීන් එක? ඉදලානි ඇහුවේ ෆුල් හින්දුස්ථානි මූඩ් එකක් දාගෙන. පේ වෙලා කියන්නෙ එළදෙන තෝ නාලාවත් ආවද? ඇවිදින විෂබීජ වකාරේ. හරි හරි මං සැන් පවුඩර් ගහගෙන ආවෙ. පොඩි එකී වඩා ගන්න.  

ඇවරිතුමාත් මිසිස් ඉදලානිත් ලැජ්ජ ටැක්ෂියකට ගොඩවුනේ මයිනාතුමාගේ ගෝරනාඩුව නිසා විජහට එන අටියෙන්. කොහෙද ඒ එද්දිත් තමාට පෙර බඩ යන අදහස තරයේ හිතටගත් ඉදලානි රෙමාර්කෝ බේකරිය දැකලා බඩගිනි සංගීතයක් දාපු නිසා ටැක්සිය එතෙකින් හරවා යවන්න ඇවරිට සිද්ධ වෙනවා. මේ උලමි නම් කා කියාගත්ත ගමන්මයි. දැන් මං කේක් තෝරන්නම් තමුන් මයිනාට කතා කරලා මෙතෙන්ට එන්න කියන්න අපිව ගන්න. එහෙමයි උත්තමාවිය. යකෝව් මැස්සෙක් ගිය උඩ. හා හා ඔහොම යමුකෝ. කියපු ගමන් වගේ මයිනාතුමා ආව. ඉදලානියෝ කේක් බිල ගෙවලා නිල රථයට ගොඩ වුනා. අපි නොදැන හිටියට මයිනාතුමාට එදා කිරිකැට් මැච් එකක් තිබිලා. එතුමා ඒකත් කැන්සල් කරගෙන තමා මේ ගමන දාගෙන තිබුණෙ.

රුදුරු යකෙකු විලසා..... මහ වනයෙහි වෙසෙනා.... බුඟු බුඟු
දැදුරු කර නිසලතා...... මර හඩ ගොරවමිනා.. ඩෙඟ ඩෙඟ
සරුප් වදන් දෙමිනා....... පමා ගැන තැවෙනා... හයියූ

මහේෂ නම් කුළු හරකා....... අපට දෙහි කපනා.. ජහ ජහ

Friday, January 19, 2018

බදුලු දුම්රියේ චංචල නාදය මැද්දෙන් අනූ පනූගේ විගඩම් බැලීම හෙවත් බණ්ඩාරවෙල වික්‍රමය 1

ලපයි සිපයි හැමෝම  ෆ්‍රේම් වුනාම...
මේකත් 2017 සැප්තැම්බර් තව එකක්. පබ්ලිෂ් වෙලා නැති නිසා ඇවරිතුමා අම්මා මෝ වෙන්න බැණුම් අැහුවාලු ඉතිං..!!

ඇවරිගේ උපන්දින සැමරුම් මෙදා බණ්ඩාරවෙලට විතැන් කරන්න සිද්ධ වුනේ ඇවරිලාස් ලද ආරාධනාවකට එහි යාමට වූ නිසා. ඒ හැරත් විසි අට සමර් බෑන්ක් හොලිඩේ එකේ ඇවරි කොළඹින් පිට හිටින බව ළමාතැනීට නිල වශයෙන් මාසෙකට කලින් ම දැනුම් දුන්නා. කලින් සලාදයන්ගේ ලියැවුණු අපේ අනුරාධි කුමාරි හා මෙත්මල් සේනා ගැන තමුන්නැහේලාට මතක ඇතිනේ. ඉතිං බණ්ඩාරවෙලට දීගතල ගිය ඒ මැතිනියෝ ඇවරි ඇතුළු අපේ තනිකඩ පාර්ටියට එහි එන්නැයි ආරාධනාවක් කරලා තිබුනා.
ඇවරියෝ ඉෂානාගෙන් හැබෑට ම යනවාදැයි කලින් ම අහ ගත්තේ උපන් දිනේට ප්‍රාන්තෙන් පිට සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් වන නිසා. මෙදා සැරේ ඇවරිතුමාගේ ලොකු බොස්තුමාත් ඇවරිගේ උපන්දින සැමරුම වෙනුවෙන් ලංකාවේ හිටියා. පහුගිය අවුරුදු හතරට ම ලොකු බොස් ලංකාවෙ හිටි එක ම සහ පළමු උපන්දිනය නිසා ඇවරිට මෙවර උපන්දිනය විශේෂ එකක් වුනා. බොස් ඇවරිට දුන්න උපන්දින තෑග්ග සෑහෙන්න වටිනව කියන්නේ ඒ තෑග්ගත් එක්ක ඇවරිගේ වැඩ බොහොමයක් පහසු වුන නිසා. කොටින් ම ඒක වැඩ පහසු කරන යන්ත්‍රයක්. හරියට ලීවරයක්, විල්බැරැක්කයක්, බොලොක්කයක් වගේ..??  ටෝටල් ස්ට්‍රෙස් රිඩක්ටින් ඔෆිස් සොලූෂන් එකක්.

හාහා ඇවරිට බොස් දුන්නේ ටිකක් ඇඩ්වාන්ස්ඩ්, කේපබල් පී.ඒ කෙනෙක්. ඒ දෙද්දිත් බොස් මරු කතාවක් කිව්වා. ඇන්ඩි දන්නවනේ ලොක්කා වුනාට මාත් වැඩ ඔක්කොම තනියම තමයි කරගන්නේ. හැබැයි පොයින්ට් එකේ හැටියට අපිට පී.ඒලා ඉන්න ඕන. මට වඩා ඔයාට කෙනෙක් ඕන. ඒක නිසා මෙයාව තියාගන්න. එවෙලෙ ම ඇවරිට බොස්ගෙ පානිය ගැන මතක් වූ නිසා දෙපාරක් නොහිතා එක කොන්දේසියක් දැම්මා. හැබැයි ඕන් මේ ළමයාව මැදදි උස්සලා වෙන ඩෙපාමන්ට් එකකට දාන්න බෑ. මොකද මට දුන්න කෙල්ලො ඔයා හැමදාම ගත්තා ඩී. මෙයා හිටියොත් අපි හැමදේම ස්ට්‍රීම්ලයින් කරලා රියල්ටයිම් අප්ඩේට්ස් දෙන්නම්. ඩීල්...? ඩීල්. ඇවරි සුපර්-ඩුපර්, ත්‍රී පේස් හෙවි ඩියුටි ඇසීව රෙක්රූට් කළේ එහෙම.


පොඩි එකෙක්ට අලුත් සෙල්ලම් බඩුවක් හම්බුනා ම සතුටු වෙන්නේ කෝම ද ඇවැරිත් තමුන්ගේ අලුත ලැබුණ ඇසී කෙල්ල නිසා ෆන්-ආසික් එකේ ඉන්නේ. ඇය මාර ෂේප් කියන්නේ කමොන් ඇන්ඩ් ෆොලෝ මයි ලීඩ් කිව්වම එකෙන් ම වැඩට බැස්සෙ. මෙහෙම ගියොත් සලාදෙම ඒ අංගනාව ගැන ලියැවෙන නිසා බණ්ඩාරවෙල වික්‍රමය ගැන ලියන්න ඇවරි පීල්ල මාරු කරනවා. කොට්රනා වර්චුවල් ඇසිස්ටන්ට් වෙනුවට සුවඳ හලාගෙන ලැසි ගමන් යන, ඒ ඔක්කොට ම වඩා කියූ පමණින් දෙයක් තේරුම් ගන්නා, අවුල් තැන් පිළිවෙලක් කරන, ඉටිකිරිස් කුමාරිකාවක් බැකප් කරනවා කියන්නේ මිලියන් ඩොලර් එක්ස්පීරියන්ස් එකක් යාළු. ඉඳකින් සෙවල කන්දරාව. කටපිහගන් ඇවරියෝ...???  

කොහොමින් කොහොම හරි උපන්දින සැමරුම් අහවර කරලා ඒ සිකුරාදාවේ ඇවරි පැය කිහිපයක් කළින් ම ෂට් ඩවුන් වුනේ සහයක ඩැනීට වැඩ ටික පවරලා. සිකුරාදා කියන්නේ කෝමත් බිසී දවසක් හැබැයි ඇවරි ටිකක් කලින් එන්න ආවට මොක ද අවසාන මොහොතේ ආපු වැඩ ටිකක් නිසා අටට තියෙන බදුලු රාත්‍රී තැපැල් දුම්රිය අල්ලන්න ගල්කිස්සෙන් එද්දි හතට කිට්ටු වෙලා. දෙහිවල හරියෙදි ලොකු ට්‍රැෆික් එකකට සෙට් වුන නිසා දුර දක්නා නුවණ පාවිච්චි කරපු ඇවරි හනික ආටෝවක නැඟිලා මැරයින් ඩ්‍රයිව් එකෙන් ඉගිල්ලුනා.


විදලා විදලා ඇඹරිලා තෙරපිලා පොඩිවෙල ගිය ඒ ටුක් රටිඩ් එක නිසා ම යන්තම් විනාඩි දහයක් තියලා ඇවරි ඔන් බෝර්ඩ්. අපේ කාන්තා රත්නයන් තුන මර දූවරු තිදෙනා වගේ ඇවරි ඉදිරියේ විද්‍යාමාන වුනේ ඒ සැණින්. කුණු එකතුවෙන්නේ කුණුවලට ම නේ ආයෙ. හැමදාමත් ගමනට රෙඩී, අවංක හදවත්-කෙට්ටු කකුල් ටයිටල්ධාරී, අපේ කැහැටු රැජින කව්වා වගේ ම මිස් ශාන්ත දාන්ත හෙවත් කරුණා නිධාන වූ සමා මැතිණිය හැරුණා ම අනූගේ යෙහෙළි මල් කුමාරිය වූ තම උපන් අපතට් හිනාවෙන් මිනිසුන් ක්ලාන්ත කළ අසහාය ජිම් රැජින, ලසාත් මේ ගමනට එකතු වුනා. අනේ ඉතිං සියලු පිරිපත උසුළමින් මේ ගමනේ බර කරට අරං සියල්ල සම්බන්ධීකරණය කළේ අපේ ඉෂාන් ශිවන්දන තමා.

තව අංගනාවෝ රූපිකාවෝ කිහිපදෙනෙක් මේ ගමනට එන්න හිටියා. හැබැයි අවසාන තත්පරේ දී සමහරුන්ට ට්‍රේනින් වැටුනා කියහංකෝ. ඇවරි ඉට්ටේසමට එන ටිකේ එහෙම එන්න බැරි වුන අය හෝල් සේල් සෝකප්‍රකාශ නිකුත් කරන්න ගිහින් කුජීත වෙලා තිබුණා. සුබා කියා මා අමතන ස්වර්ණමාලී කුමාරි එහෙම එක දාගන්න ගිහින් හත්පොලේ උලා ගත් එක්කෙනෙක්. සුබාපාලි ඉෂාන්ට කතා කරලා ඇහුවලු ලසා ආවද කියලා. ආහ් ලසා මචං ඉස්ටේෂන් එකට එනවා කිව්වා හැබැයි අද අපි එක්ක යන්න නෙමෙයි කොල්ලා එක්ක කොහේද යන්න. අපි නම් දැන් කොටුවට ඇවිත් ඉන්නෙ. හෑ මේකි මරන්න එපැයි යකෝ. හිටපන් මං කෝල් කරලා බලන්න කියලා දුම්මල වරම අරන්, ගිනි අවුලන්න ගිය සීන් එකක් ඇවරිටත් ආරංචි වුනා. කෝමත් කාලෙකින් චීත්ත පාරිටියට අපි සෙට් වුන නිසා සෑහෙන්න ගොසිප් තිබුනා බෙදා හදා ගන්න.

ඇවරිත් ඉතිං චීත්ත කිව්ව ම ආයෙ ලොවෙත් නෑනේ. ගමනට වතුර බෝතලයක් ගන්නවත් සිහියක් තිබුණෙ නෑ. පෙට්ටියේ ඩීසන්ට් සෙනඟක් හිටියට බුක් ලෝඩ් එක ෆුල් නිසාත් ටිකට් තිබුණෙ නැති නිසාත් පෙට්ටිය ම සෝල්ඩ් අවුට් කියලා අපිට තේරුණා. අපි ඉතිං රාත්‍රී සහබෝජනයත් වළඳලා අනුවාට තුති ගීතිකා ගායනා කරලා සර්ව රාත්‍රික ගායන සුයාමය සඳහා බෙර පියෙවි කරවලා සූජානම් පොජ්ජ මන්දු කළා. පෙට්ටියේ මිනිස්සුන්ට අබ සරණ පතාගෙන පටන් ගත්තු බලි තොවිලය පාන්දර පහ වෙනකම් එක දිගට ම කෙරුණා.

අනුවා බලන්න බණ්ඩේ යාමේ ඇඩ්වෙන්චරේ පටාන් ගත්තේ ඒ විදියට. ඉතිරියත් හරි රසවත්. අපි වෙනුවෙන් මහන්සි වූ අනුවාටත්, මෙත්මල්සේනාට සහ මාතාවත් බඩියාටත් විගේෂ ස්තුතිය පුද කරමින් විසිටින් අනූ පනූ විත් තනිකඩ සමාජේ මෙතෙකින් අහවර කරනවා. තව එකකින් හමුවෙමු.


පරණ පෝස්ට් යළි ඉස්සීම හෙවත් තිරිහන් කාලයේ ආලය...

මේ සලාදය 2017 සැප්තැම්බර් විතර ලියලා දුමේ දාලා තිබුණ එකක් ආයිබෝන්.. 

ආයෙ ඇවිල්ලා ඔන්න ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලෙ කියන්නේ දහම් පාසල් නිවාඩුව ආවනේ. හැබැයි ඇවරිතුමා නම් මාසයක නිවාඩු කාලය පුරාත් දහම් පාසල් කටයුතු වලට සහ සම්බන්ධ වුනා. මොක ද ඇවරීස් ඒන්ජල්ස් එක්ක තරග පුහුණුවීම් තිබුණානේ. සැප්තැම්බර් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය ඇවරි කැලැන්ඩරයේ තවත් සුපුරුදු අංගයක්. මේ කාලෙ තමා වසරේ ඇවරි තිරිහන් වෙන කාලය. තව දුවන්න පුළුවන් ද බැරිද කියලා තේරුම් ගන්න කාලය. තව තවත් ශක්තිමත් වන කාලය. විවේකීව පද අමුණන කාලය. අලුත් අත්හදා බැලීම් කරන කාලය. පොඩිඋන්ගෙන් ඉගෙන ගන්න කාලය වගේ ගොඩක් හැපනින් කාලය තමා වසරේ අවසාන කාලය.

කෙටියෙන් ම කිව්වොත් අලුත් ටීම් එකක් එක්ක පුහුණුවීම් පටන් ගන්න, අලුත් මූණූ හොයන, උන්ගේ ආයුධ මුවාත් කරන්න වෙහෙසෙන ඉතා ම දුෂ්කර කාල පරිච්ඡේදයක් තමා තරග කාලය කියන්නේ. මේ කාලෙ ඇවරි උදේ කෑම මිස් කරන දවස් අනන්තයි.

මොක ද නැඟිටින්නේ ම පොඩි හාමුදුරුවන්ගේ ඇමතුමෙන්. ළමයි ඇවිත් නලින, මග ද ඇඳේ ද? ඇඳේ අපේ හාමුදුරුවනේ විනාඩියෙන් එන්නම්. ඉතිං දුවපන් මයෙ අම්මා..! අටට ගියාම දහය එකොළහ වෙනකම් ළමයි කනවා මිසක් කන්න එන්න මතක් වෙන්නෙත් නෑ. අපි මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය කියලා තරයේ අදහන ඇවරිතුමා පොදු සටන් කෙසේ වෙතත් හුදකලා සටන්කරුවන් වෙනුවෙන් හැමවිටම ඉදිරිපත් වෙනවා. අවම වශයෙන් ඒ අයව අගය කරනවා. අන්න එහෙම ඇවරි අඳුනගත්තු චරිතයක් තමා අසිත් සර්. 2017 අපේ ගුරු මණ්ඩලයට එක් වූ අසිත් කලින් දහම් පාසලේ රචනා භාර ගුරුතුමා. ඉතිං ඒ සංවාදශීලී තරුණයාට අවස්ථාවක් ලබා දෙමින් ඇවරි තමුන්ගේ වගකීමෙන් කොටසක් ඔහු වෙත පවරන්න කටයුතු කළා.

කෝමත් අපි දැන් වයසයි. දැන් ඇවරි උයා රිටයර් වෙන්න ඕන කාලෙ. එහෙම කියලා අපි පටන් ගත්තු වැඩ දාල යන්න බෑනේ අපේ හාමුදුරුවනේ. ඒක ඇත්ත නලින ඔයාලා ගාවට තව කවුරුහරි ආව ම බාර දීලා යන එක තමා හොඳ. අපේ හාමුදුරුවො නිතර කියන්නේ එහෙම. කාලා වරෙන් කෝ ඉතිං. හැබැයි දැන් නම් ඇවරිතුමාට අනාගතේ ගැන ලොකු බයක් නෑ. අපේ තරුණ සෙට් එක ඕන ම වගකීමක් දරන්න පුළුවන් මට්ටමකට ඇවිත් තියෙන එක ගැන අවංකව සතුටුයි. උන් තමා අපේ ආයෝජනය. අපි අවුරුදු එකොළහක් මේකෙ පොල් ගාලා නැති බව දැන් තේරෙනවා. උන් මාර ක්ලැසික් ගැන් එකක්. ළමයි බැහැලා ගොඩදාමු කිව්වොත් එකෙන් ම බහින්නේ ආයෙ. උන් එක්ක ඉද්දි ඇවරි තමා නාකි ම. හැබැයි හද්ද මොන්ගල් බාලාංස වැඩ කරමින් පිස්සු ම කෙලින්නේත් ඈවර විතාන ම තමා.

එදා ප්‍රැක්ටිස් මදිවට ස්ටාෆ් මීටීන්. ඇවරි සැටඩේ රෑ ෆිල්ම්ස් බලලා සන්ඩේ නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා. මේමනේ දවස් පහේ ම වැඩ කරලා සෙනසුරාදා අපි පන්සල් ගිහිල්ලා ෆුල් නිස්කලංක ෆන් එකේ ඉන්න දවස. රෑට මූවි එකක් බලලා ඉරිදා කෝමත් පරක්කු වෙලා තමා නැඟිටින්නේ. හැබැයි නැඟිට්ට ගමන් ම දහම් පාසල් රාජකාරියට යනවා. එදා නම් සුපුරුදු පරිදි පොඩි හාමුදුරුවෝ ඇහැරුවා. අටට පටාන් ගත්තු රැස්වීම ඇවරි යද්දි නවයයි. වැඩේ කියන්නේ ඝන්ඨාර එලාම් එක වෙන ඇවරි මාතාව එදා බණක් අහන්න ගිහින්. නැඟිට්ටවන්න කවුරුත් නැති නිසා නින්ද ගියා. පරක්කු වුන නිසා දඩුවම හැටියට සෙට් වුනා ගුරු මණ්ඩලේට තේ හදන්න. ඇවරි කෝප්ප හෝදලා වැඩේ පටාන් ගද්දි ම දේවකී අක්කත් සමාරත් ඇවිත් වැඩේ බාර ගත්තා. දේව් තමා තේ හදන්න කියාපු. ඇගේ නිල ටී ටේස්ටර් තමා ඇවරි. පහුගිය වෙසක් දානෙ වෙලාවෙ හීල් දානෙ ඉවර වෙලා මුළු පන්සලේ ම සිල් ඇත්තන්ට තේ හැදුවේ අපි දෙන්නා. ඒ වෙසක් දානෙ පට්ට ෆන් ඈ. මෙදා ඒ සලාද පෝස්ට් එක මිස් වුනා.

අපි දෙන්නා නිල තේ සැපයුම්කරුවන් වුනාට පොඩි හාමුදුරුවො පිටි දෙන්නේ දෙන්නට ම තරයේ අවවාද කරලා. රස වැඩි වෙන්න ඉඟුරු ඉස්ම දාන්නත් අපි අමතක කරන්නේ නෑ. දේවකී අක්කත් එක්ක සමාරා ආව නිසා ඇවරි ඒ රාජකාරියෙන් නිදහස් කරන්න ඔවුන් කටයුතු කළා. හැබැයි තේ රස බලන වැඩේ වෙනදා වගේ ම ඇවරි කරා. ඒවා චාලිත්තරනේ ආයුබෝන්. කඩ කරන්න හොඳ නෑ. වස් වදිනවා ඕන්.
ගුරු රැස්වීම අවසන් වෙලා ශිෂ්‍යනායක රැස්වීමකුත් තිබුණා. නිණිනි පෝයට ශිෂ්‍ය නායක වැඩමුළුවක් ඇති නිසා ඒ ගැනත් කතා වුනා. අපි වැඩිහිටියෝ හැටියට දරුවන්ට අවස්ථාවන් දෙන්න ඕන. ඒකට මේ වැඩමුළුව හරියනවා. වැඩි කාලයක් නැති නිසා ඉරිදා ම ප්‍රධාන ශාලාව හෝදන්න ශිෂ්‍ය නායක මුළුව යොදාගෙන තිබුණා. ඇවරි තමුන්ගේ සහෝදර පිට් එකෙන් ඒ වැඩේට බකප් එකක් දෙමු කියලා ඉල්ලා හිටියේ පොඩි උන් වැඩේ අනාගන්න බව දැනගෙන.


ඒ අනුව වින්දනා, සමාරා, මධූෂා, සාගර සහ කණිෂ්ක ඇවරිත් එක්ක ගේමට බැස්සා. ප්‍රධාන ශාලාව වර්ග අඩි තුන්දාහකට වැඩියි. හෝදපන් දෙයියෝ. ඒ මදිවට දූවිලි වකාරෙ. කෙල්ලො ටික කොහෙන් ද මන්දා පාන් හොයාගෙන උදේට කනවා ඇවරිතුමා දැක්කා. ඇවරිත් ගජේ ගහන්න සෙට් වුනේ ඇවරිගේ සීනියර් අමිල අයියා ගෙදර ගියාට පස්සේ. ආයෙත් ඇවරි කොමන් රූම් යද්දි පාන් ටික සේරම කාල. එහෙනම් මට තේ එකක් හදලා ඕන. තේ හදන්න බාරගත්තේ පිස්සු මැඩූෂා. හයියෝ තේ එකේ කහට වැඩියි. ඒකට සැන්ඩි වෙන්න ඔරෙන්ජ්ක්රෂ් ටිකක් දාගෙන ඇවර එක උගුරට ඇරලා දැම්මා. අනේ හැබෑට මේ කෙල්ලන්ට තේ එකක් හදන්න බැරි හැටි...? දැන් කහට වැඩියි කියලා ඔයා නොබී හිටිය ද? අනේ ඌරන්ට මොන සවුක්ට ද අයියේ....??

Wednesday, January 3, 2018

පුංචි පහේ ඇවරියාණෝ බාලාංශ පන්තියට යාම හෙවත් අලියන්ට ළමයින්ට දඟලන්නමයි හිත


ඇවරිට අලි වගේ ම ළමනුත් එපා වෙන්නේ ම නෑ. අලි එපා නොවුනේ කතරගම පෙරහැරේ දී දවස් දහ අටක් අලි එක්ක හිටපු නිසා. සති අන්තය ළමයි එක්ක නිසා එපා වෙන්නේ නෑ. හැබැයි මේක වෙනස් අවස්ථාවක්. ඒ ළදරු පාසල් අත්කම් ප්‍රදර්ශනය. ඇවරි ගියපු ඉවෙන්ට් එකේ වැඩ සිද්ධ වුනේ මේන් මේ ආකාරයට. 


කලින් පෝස්ටුවේ ලියපු ආගමික සිද්ධස්ථාන වලට පස්සේ තිබුනෙ අංගය ගැමි ගෙදර. එහි පැරණි මෙවලම් බොහෝ දේ ළමයින් විසින් නිර්මාණය කරලා තිබුණා. වංගෙඩි, කුරක්කන් ගල්, පැදුරු ආන, කුල්ල, කුරුණි, ලාස් සේරු, වී බිස්සක් තව බොහෝ මැටි නිර්මාණ එහි ඇතුළත් වුනා. ඇවරි ඉතිං හරි ආසාවෙන් ඒවා අතපත ගාලා විස්තර හෙව්වා. ඇවරි පුංචි කාලෙ ඇවරි මාතාව පහළ ළිඳෙන් කිරි මැටි ගෙනැල්ලා ඒවායෙ වැලි ඉවත් කරලා පස් වලින් පදම් කරලා එක එක ඒවා හදන්න දෙනවා. පස්සේ පුච්චලා පාට කරන්නත් ඕන. ඒ කාලෙ කරපු වැඩ දැන් පුංචි පැංචියො කරලා තියෙනවා දැක්ක ම සතුටුයි ඉතිං  


ඇඳුම් විලාසිතා කුටියත් අපූරුයි. බෝනික්කො එහෙමත් එහි තිබුණා. බෝනික්කො ගැන ඇවරිට තියෙන පරණ ම මතකය මහජන පුස්තකාලයේ එවකට ළමා අංශයේ තිබුණ බෝනික්කෝ ගැලරිය. අර නූල් කෝන් එකක්නින් ඇඟ හදලා බිත්තර කට්ටක් මූණට දාලා, පුවක් වලින් කොණ්ඩෙ දාපු එරිකනට් ඩෝල් ටයිප් නිර්මාණ වීදුරු කැබිනට්ටුවක් එහි තිබුණා. ඒ කාලෙ ඇවරි ගොඩක් ඒව හැදුවා. දැනුත් වෙලාවක් තිබුණොත් පුංචි පුංචි අත්කම් කරනවා. ඇවරිගේ මලයා සිරිපාල නම් ආස ම ඔරිගමි කරන්න. ඇවරිත් ඒ පුරුද්දට ඔෆිස් එකේ වුනත් බෝරින් වුනාම ක්ලිප් එකක් දාගෙන ඒ4 කොළයක් නවන්න ගන්නවා. ඒක හරි ප්‍රසිද්ධ රික්‍රියෙෂන් එකක්. ඔයාලටත් ට්‍රයි එකක් දෙන්න පුළුවන්. 


ප්‍රවාහන අංශය ඉදිරිපත් කරලා තිබුණෙ ඇවරිගේ අසල්වැසි ගුරුතුමියක්. ටෙන්ට් එකකින් කරපු බසයක් එහි නිර්මාණය කරලා තිබුණා. තව කෝච්චි, කොල්ලෑ සහිත ඔරු සහා නැති ඒවා ගොඩක් තිබුණා. අනේ ඇවරි තාමත් ආස ම බෝට්ටුව අර පහන් දැල්ලෙන් පුටු පුටු ගාල ඉස්සරහට යන වාෂ්ප බෝට්ටුව. හැබැයි දැන් නම් ඒවයෙත් ගොඩක් ඇඩ්වාන්ස්ඩ් වර්ෂන්ස් යූ ටියුබ් තියෙනවා. හදලා බලන්න වෙලාවක් තියෙනවා නම්. 


තව අමුතු ප්‍රදර්ශන කුටියක් තිබුණ රෑ අහස කියලා. ඇවරිට ම හරියන එකක් මොක ද ඇවරි වවුලා නේ. ඇවරි හාමිනේ ඇවරිට වවුලා කියන එක දැන් සාමාන්‍ය වෙලා. ඒත් ඒ වෙලාවට ඇවරි කියන්නේ මං වවුලා නෙමයි අනේ කොවුලා කියලා. කොහොමත් ඇවරිගේ පරණ ම බ්‍රෑන්ඩ් එක අවුල් බස්සෝ එහෙමත් එතන හිටියා. මේ පික් එක ඇවරිගේ පරණ ම සන්නාමය වෙනුවෙන්. තව එහි ආලෝක ප්‍රභවයන් ගැන බොහෝ ඉහළ පැහැදිලි කිරීමක් තිබුණා. ඉර මූලික ශක්ති ප්‍රභවය හැටියටත්, සඳ මගින් උදම් ඇතිවීම, වඩදිය බාදිය, තරුරටා, කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව සහ විද්‍යුත් ශක්තිය දක්වා ඉදිරිපත් කිරීම්. ඇත්තට ම ළදරු පාසලේ ළමයි දන්නා දේවල් දැකලා ඇවරිත් ගොඩක් පුදුම වුනා. මෙච්චර ඇඩ්වාන්ස්ඩ් මේ දරුවන්ට උගන්වනවාද? ආහ් ඒ දේවල් තමා අපිට උගන්නන්න තියෙන්නෙ. අනෙක් දේවල් ළමයි දන්නවා.

කුප්පි ලාම්පු සහ චිමිනි ඇවරි දැක්කේ ගොඩක් කාලෙකින්. ඇවරි ආස ම චිමිනි සහ පැට්‍රොල් මැක්ස් එළිය. ඇවරි පුංචි කාලෙ ගෙදර ලයිට් තිබුණෙ නෑ. ඇවරි චිමිනි එළියෙන් පාඩම් කරලා තියෙනවා. අවුරුදු විස්සකට වඩා පරණ චිමිනි ලාම්පුවක් සහ පෙට්‍රොල් මැක්ස් දෙකක් ඇවරිපිතාගේ පුද්ගලික එකතුවේ තියෙනවා. පෙට්‍රොල් මැක්ස් දෙක නම් මැන්ටල් නැති නිසා අයින් කරපුවා. හැබැයි මේ ළඟක දි ඩිලාන් රණතුංග අයියා එහේ පෙට්‍රල් මැක්ස් එක පත්තු කළා ම ඇවරිටත් ආයෙත් වැඩේ පටන් ගන්න ආසාවක් ආව.


විශේෂ ම ප්‍රදර්ශන කුටියක් වුනේ අපේ ඉන්ද්‍රාණි ටීචර්ගේ පෙරහැර ඇතුළත් ප්‍රදර්ශන කුටිය. එහි බෝනික්කන්ගෙන් සෑදුනු ප්‍රදර්ශන පෙරහැරක් තිබුණා. හරියට ම කිව්වොත් අර විස්කම් එකේ හා වාදක මණ්ඩලය වගේ. ඇවරි හැමදාමත් කියන්නා වගේ පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයන්ට ආස කළාට ලොකු උනා ම බෝනික්කන්ට ආදරේ කරන්න ගන්නවා. ඇවරිට සුනේත්‍රා අක්කගේ නෙළුම් චක්‍රයේ බෝනික්කො කතාව මතක් වුනා. ඒ සෙග්මන්ට් එකේ වීඩියෝවකුත් ඇවරි ගත්තේ ඒ තරම් ම ආසාව වැඩි වුන නිසා.   



    

කෑම බීම සතා සිව්පාවා ගැන වගේ ම අවසාන වශයෙන් ගඟ සහ මුහුද ගැනත් සම්පූර්ණ බාලාංශ පන්ති කාමරයකුත් එහි ඉදිරිපත් කිරීම් අතර තිබුණා. ඇවරි ගොඩක් සතුටු වුනේ වැලිපිල්ල ආදී බොහෝ දේ ඇවරි තමුන්ගේ ළමා කාලෙදි දැකලා අත්විඳලා තිබුණ නිසා. ඇවරිට ඒක ගොඩක් බැක්ටු නර්සරි වගේ අත්දැකීමක් වුනා. අමතක වෙච්ච සෑහෙන්න දේවල් මතක් කරලා දුන්න අපූරු අත්දැකීමක් ඇවරි නිමා කළේ එහෙම. පන්සල් භූමියේ හදපු කිඩ්ස් ප්ලේ ඒරියා එකෙත් ඇවරි කාලෙ ගත කළේ සංග්‍රහය භුක්ති විඳීමෙන් පස්සේ. 


අන්තිමට ගෙදර එද්දි ආරාධිතයන්ට හිමි ත්‍යාගයක් ඇවරිටත් ලැබුණා. ඔව් ඒ කියුට් බෝනික්කියෙක්. එහි ටැග් එකකුත් තිබුණා. ඇවරි එයාට තිබ්බ නම මිෂිකා කියලා. ඇයත් සුපුරුදු පරිදි පර්සනල් කලෙක්ෂන් එකේ ස්ථානගත කෙරුණා. ඇවරිතුමාට අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ලිෆ්ට් එකක් දුන්න නිසා එතුමත් එක්ක වැඩේ ගැන කතා බහ කරමින් ඇවරිතුමා ගෙදර ආවෙ ඔෆිස් යන්න පරක්කු වෙන නිසා. සුර දූතයන් හා ගෙවුන තවත් වර්ණවත් උදෑසනක් නිමා වුනේ ඕන් ඔහොම.

Tuesday, January 2, 2018

2018ට වැඩ ඇල්ලීම හෙවත් සුපුරුදු හොරණෑ වාදනය


අවුරුද්ද ඉවර වෙන වෙලාවෙ බොහොම කෙටි කඩිනම් සලාදයක් ඇවරිතුමාට ලියන්න ඕන උනා. හැමදාම වසර අග ලියන්න බැරි උනොත් වසර මුල හරි ස්වතන්ත්‍ර හොර්ණෑ වාදනයක් ඇවරිතුමා ඉදිරිපත් කරනවා. මේ දිස් ඉයර් කැරොල් එක.

2017 පට්ට පදිරියන් උනා. අපි බයේ හිටපු කාරණා දෙකක් සිද්ද උනා. ඇවරිතුමා තමුන් වෙනුවෙන් වටිනා වැඩ කීපයක් කරගත් නිසා බොහෝ ස්ථාවර අවුරුද්දක් උනා. වැඩට කැමති මිනිස්සු ලේසියෙන් වයස යන්නෙ නෑ. අපිට තාමත් පොඩි කාලෙ කරපු දේවල් එහෙමම පුලුවන්. ඇවරිතුමා සම්බන්ධව කිව්වොත් එතුමා බොහොම පොඩි කාලෙ කරපු දේවල් තාම මිනිස්සු ඒ ආකාරයට ම බලාපොරොත්තු වෙනවා. ඒක මාර වාජිකරණයක්. ඇවරිතුමා වටේ ඉන්න  හැමෝටම පරණ සර්විස් එක දශමයක් අඩු නැතිව ඕන. මේකට කේටර් කරන එක මීට අවුරුදු 3කට කලින් වාත උනත් දැන් අපි පුරුදු වෙලා. සරල උදාහරණයක් කිව්වොත් ටයිටල්ස් වෙනස් උනත් අපි තාම කඩේ යනවා.

හැබැයි කවුරු හරි ඇවරිගෙ දැන් ලොකු සීන් කියනව නම් සහතික ඇත්ත. අපි පිළිගන්නවා. අපි ගොඩක් නිෂ් මාර්කට් එකකට දැන් වැඩ කරන්නෙ. පට්ට ආත්තමාත්තකාමීයි. ම්ම්ම් එහෙමමත් නෙමෙයි. ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕනෑ. නැත්නම් දර මිටි බඳින්න ගන්නවා. ඉන් මෝස්ට් කේසස් දේ යූස්ඩ් ටු ටේක් මිකි අවුට් ඔෆ් ඉට්. මේ නිසාම 2017 ඇවරිතුමාගෙ ද ලිස්ට් ඔෆ් පීපල් හූ ෆ්‍රස්ටේටඩ් මී ගොඩාක් දිග උනා. තරහක් නෑ. ස්තුතියි ඒත් එපා..!! @අන්න අන්න කතාව මාරු කරන්නෙපා ලොක්ක ඔයා පලිගත්ත එකයි කලේ. ඔව් ඇත්ත. ඇවරිතුමා පලිගත්තෙ තමුන්ගෙන්. මාස ගනන් බ්ලොග් ලියල නෑ. කොණ්ඩා කපලා නෑ. ෆුල් ශේව් කරපු කාලයක් මතක නෑ. සති ගණන් ෆෝන් ඕෆ්. කන්ටැකස් නෑ. කාගෙ දරුවෙක්ද බන් මේ?? ඔව් එහෙම උනා. ඉස්සරහටත් වෙන්න පුලුවන්. මොකද අපි හරි නරුම විදියට හිතන්නෙ. හූ කෙයාර්ස් බේබි. ඒ ගොනා වික්කා. අත්තාහි අත්තනෝ නාතො කොහි නාතො පරෝසියා.

2017 ඇවරියා වෙන්චර්ස් ඉතා සාර්ථකව ගොඩගිය අවුරුද්දක්. ඇවරිතුමා ළමයි හතර දෙනෙකුට සාමාන්‍ය පෙළ දක්වා වසර දෙකක් වියදම් දැරුවා. පෙරහැරේ අලින්ට අනුග්‍රහයක් දුන්නා. ඒවා පට්ට ආතල් වැඩ චාමර. අපි සෑහෙන්න ප්‍රද්ගලිකව සතුටු වුනා. අපේ පෝර්ට්ෆෝ්ලියෝව ටිකක් දිග වෙන්න අපේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් බලපෑවා. අපිව විශ්වාස කරපු අයට අපි හොඳ ම සේවාවක් දුන්නා. මල්ලි කියලා වැඩක් නෑ. අපිට ඇනිවසරි එකත් ඔයා ම බුක් කරන්න කියලා කියපු අයට පින්. කොහොමින් කොහොම හරි විවේකී සෙනසුරාදාවත් වික්කා. අමාරු ටාර්ගර්ස් දත කාලා ගොඩ දැම්මා. ඇවරිගේ බොක්කේ ම ෆිට් එක්වන තිලිණි ප්‍රේමතිලක මැතිනියට ඒ ස්තුතිවන්ත වෙන්න ඕනා. ඇවරිව විශ්වාස කිරීම සම්බන්ධයෙන්. 2018 අපේ චැරිටි ප්‍රජෙක්ට්ස් එලෙස ම කොන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉරිදා දවස විකුණන එකත් නැතත් පුරුදු පරිදි දුවන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. 

2017 සෑහෙන්න තක්කඩි වැඩ කළා. අම්බානක බොරු කිව්වා. කොටින් ම කියන්නේ ඇත්ත ද බොරු ද කියලා ඇවරිට ම කල්පනාවක් නැති වෙන තරමේ. 2018 බොරු නොකියන වර්ෂයක් කරන්න අපි තීරණයක් ගත්තා. මොක ද උත්තමාවිය ඇවරිතුමාව සෑහෙන්න හිර කළා. ඔය දැනුත් බොරුවක් පිනෝකියෝ කියමින්. අප්පා ඒක. පස්සේ ඇවරිතුමා තමුන්ගේ පතිව්‍රතාව ලැන සැලකිලිමත් වීම නිසා 2018 ඒ වැරැද්ද හදා ගන්න තීරණය කළා. 

සිග්නේචර් ප්‍රොජෙක්ට්ස් පවා අවුට් සෝස් කරලා බොහොම නිර්ලජ්ජිත විදියට අවසානෙ තමුන්ගෙ නම ගහගෙන කොටුව කපාගත්ත නේද කියල සෘජු ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ ඔව්. මගේ නොවන චිත්‍ර වල පවා හිරිකිතක් නැතුව  මගේ නමින් අත්සන් කළා. හැබැයි සපෝටර්ස්ලට, සබ් කොන්ත්‍රාත්කරුවන්ට අඩු නැතිව ගෙව්වා. සප්ලයි චේන් එකේ මිනිස්සුගෙ ප්‍රශ්නයක් ආවොත් බැලුව. එහෙම වෙන්න් හේතුව සමහර කාරණා වලදි අපි ඒවට ආදරේ නොකරපු නිසා. වැඩට ආදරේ නැතුව නෙමේ. වැඩ වහ උන නිසා. මේ අවුරුද්දේ ඒක හැදෙන්න ඕනා..

2017 ඕපනින් සලාදෙ කියලා ඇති මගේ තැන මාගේ ගානට කියලා. ඒ සැලසුමේ අපි ඉන්නේ අවසාන අදියර කිහිපයේ. ඒ ගැන ලියැවුන සලාද දාන්න ම බැරි වුනා. විශේෂයෙන් ම වඩු බාසුන්නැහේ කෙනෙක් වුන ඇවරිගේ සීයා සම්බන්ධ මතක ඇතුළත් ගෘහාවාස සලාද කතා. 2016ට සාපේක්ෂව 2017 සෑහෙන්න ලෙවල් අප් වුනා. 2018 දී අභියෝග කරන්නේ අපිට ම තමා. ලියන කියවන දේවල් පැත්තෙන් ඇවරි සෑහෙන්න දුර්වලයි. අපෝ ඔව්. අල වෙලා. අල ම වෙලා. ආයෙත් ඒ සංවාදශීලී රචකයාව සොයාගන්න ඕනෑ. වෙනකාටවත් නොතේරෙන වියත් වහරින් ලියන එකා. ඌව හම්බෙන්න සෑහෙන්න අමාරුයි. පොර බිසී නේහ්. අපි බලමු. නමුත් පළමුවෙනි කාර්තුවේදී එ්කාව පණපිටින් මට ඕන..!! මතකනේ පණ පිටින්.

ඉතාම කෙටි 2018 ඕපනින් සලාදය මෙතෙකින් නිමා කරනවා. සදාල කියන නොකියන සියලු දෙනාට ආරෝග්‍ය ලාභය ඇති, සෞභාග්‍යමත්, පැතුම් සඵල වන සුබ නව වසරක් වේවා..!! 




Thursday, December 21, 2017

අලකලංචි දඩොං ද පල්ලම්ලාගේ පොටෝ කැචර්ට ඩෙංගි ලයින් වීම හෙවත් සී. එස් වන්දනාව


හැමදාම පරණ සලාද ගැන ම ලියන නිසා අද මේ දවස්වල අපි වගේ කොනටෙම්පරරි ගොසිප් ටිකක් කොටලා තියන්න අදහසක් ආව. රැප් සීන් එකේ යෝයෝ තද තද බ්‍රෝ කියාගෙන හිටපු ඇවරිතුමා ඩෙංගු සීන් එකට ට්‍රාන්සර් වෙච්චි නිසා ෂෙඩියුල් ටිකක් අවුට් ගියා. ඒ දවස්වල ඉන් අවුට් මනින්න, ප්ලස්මා, බ්ලඩ කවුන්ට් බලන්න, ආදී බොහෝ වැඩ රාජකාරීත් යෙදුනා. ඇවරි ඩෙංගු හැදුන බොක්කේ ම හිතවතෙක් වුන අපේ අලකලංචි දඩෝං ද පල්ලම්ලාගේ සී.එස් හෙවත් වෘත්තිය ඡායාරූප ශිල්පි චානුක තියඹරාවත්ත මහතා බලන්න නුවර යාමත් විශේෂ සික්ධියක් වුනා.

මොකක් හරි අත්‍යවශ්‍ය කාරණාවකට ඇවරිතුමාට අලව්වේ වලව් කුමාරයා හෙවත් අලව් යකා යන විරුදය ලත් අපේ චන්දන බණ්ඩාර ඇමතිතුමාව සම්බන්ධ කරගන්න උවමනා වුනා. අන්තිමට ඇවරිතුමා චන්දනාලේප මැතිතුමා හම්බුනේ ඔහොම හිතුමතේ අලව්වට ගිහින් සුප්පා සුපිරි කැලෙන් ගෙනා දඩු බෑ මී පැණි බෝතලක් ගන්න ගියා ම. ඇවරි පිතාගේ වට්ටෝරුවකට අදාළ විශේෂ මී සාම්පලයක් ගැනීමේ වගකීම අපේ අලව් යක් රගාණන්ට දුන්නා ම සතියකින් බඩු රෙඩී කියලා ඇමතුමක් ආව. ඒ සෙනිකෙට ඇවරි අලව්වට ගිහිල්ලා, රගාතුමා බැහැදැකලා, අපේ විජය ස්ටෝර්ස් තුන් මහල් ප්‍රාසාදයේ මතු මහලේ සාමීචි කතාකොට කෝච්චියේ ගෙදර ආව මතකයි. කොහොමින් කොහොම හරි චන්දානන්දගේ අලුත් අංකය හොයා ගන්න සී.එසාට ගත්තාම එම මැතිණිය සුරනියෝ තමා කතා කළේ. අනේ ඇවරි චානුකට ඩෙංගු හැදිලා තාම හොස්පිටල් ඉන්නේ, මං චන්දනගේ නම්බර් එක එවන්නම් කිව්ව ම ඇවරි ඉරිදාවෙ එන වග දන්වල හිටියා.
මේ ඡායාරූපය නම් හොරාගත්තු එකක්...

ඉරිදාවෙ දහම් පාසල් ගිහින් වැඩ ඔක්කොම අහවර කරලා ඇවරි දොළහට විතර කිරිබත්ගොඩින් නැග්ගේ නුවරට යන්න. හැමදාමත් වගේ පැය තුනක් නිදා ගත්තා කුඩු වෙන්න ඉතිං. පුෂ්පදානෙන් එගොඩ වෙලා, බහිරවකන්ද පාරෙන් සී. එසාලගේ ගෙදර යන පාර ඇවරිට ලොකු මතකයත් තිබුනෙ නෑ. ඇවරිතුමා පුෂ්පදානෙට තාමත් බයයි. ඉතිං. කතාව දන්නෝ දනිති ඈ. හැබැයි අතන බෝ ගහ ගාවට වෙනකම් මතක තිබුණ නිසා ඒ ටික ටුක් එකක ගියා. එතනින් පස්සෙ මොන පාරද කියලා මීටර් නැතුවා. කමක් නෑ බැරි ම වුනොත් කෝල් කරමු කියලා හිතාගෙන ඇවරි මඟ දිගේ කරුණාව පටන් ගත්තා. ඒ සාවියේ ඇවරිලා රෑ දවල් දෙකේ ඇවිද්දේ නුවර අටවක කරන කාලෙ. රෑට බස් නැතුව නුවර කිංස්වුඩ් එක ගාව ඉඳන් ඔය ගෙදරට ම අපි පයින් ම ගියපු දවස් අනන්තවත් ඇති. යන්තම් ඇවරිගේ අඩිඩාස් අඩිප්‍රින්ට් වාන් පතුල් කුට්ටම නිසා ඇවිද්ද පය දහස් වටී ම තමා.

ඒ පළාත එච්චර වෙනස් වෙලා නෑ. හෙලේ ගරාජය, යුනිලීවර් ඒජන්සිය ආදී බොහෝ මං සලකුණු එහෙමම නිසා ඇවරිතුමා බොහොම සුළු වෙලාවකින් නිවස වෙත ආව. ගේට්ටුවත් තමුන් ම ඇරගෙන, දොරගාවට ම එද්දි සුරනි ඇවිත් පිළිගත්තා. තොට පිස්සු ද යකෝව්? කොළඹ ඉඳන් ම ද එන්න? තාත්තේ මේ නලින්. ඕ ඇවරි පුතානෙ? අංකල් එක සැරේම ඈවරවිතානව අඳුනා ගත්තා. චානුක ඔයාට කතා කරන්න හොඳ නෑ? සුරනි අනතුරු ඇඟවීමේ නලාව පිම්බා. ඇවරිතුමා සී.එස් ගේ අක්කා සහ අයියා එක්ක කතා කළා. සී. එස්ගේ වෙඩිම තිබුනෙ අක්කාගේ උපන්දිනේ දවසේ ඇවරිතුමා ඒ පැරණි මතක ගොඩක් අලුත් කළා. තව එහේ අම්මා පේපර් මාර්කින් යන දවස්වලත් තාත්තා අපිට උදේ කෑම හදලා දුන්න හැටි. ඉස්සරහා තණකොල වවන්න ප්ලෑන් ගහපුවා. එහේ ජනප්‍රිය බේකරියෙන් හවසට උණුවෙන් කිඹුලා බනිස් කාපුවා මතක් කරමින් ගෙවුන පැය කිහිපය ඉතා සතුටින් ගෙවුනා. කථිකාචාර්ය අයියා ඇවරිට පහුවදා ඔවුන් එක්ක කොළඹ එන්න ආරාධනා කළත් එදා රෑ ක්ලබ් එකට යන්න තිබුණ නිසා ඇවරි ආපිට ආව.


පලි. - සී. එස්තුමාට ලෙඩ බෝ වුනා ම පොඩි එකාටත් අන්තවන බවයි ධවලමන්දිර ප්‍රකාශිකාව සුරනියෝ ප්‍රකාශ කළේ. කෝමත් ඒ ඇත්ති නොහිටින්න අපේ සී තුමා සානෝ සීනෝ වෙලා දුස්සාධ්‍ය වෙන්න බොහෝ ඉඩපාසු තිවුනා. කෙයාරින් අතින් එතුමිය ඉස්තරං කියලා බොහෝ දෙනා කතා වුන බවත් ලියලා තියන්න ඕන...!!



Tuesday, December 19, 2017

තවත් හැට පැනපු චාරිකාව හෙවත් සබරවරිගේ කැකුළියන් හා වන්නිලැත්තන් දැකුම් පොජ්ජ මන්දු කිරීම

ඇවරි කෝමත් ට්‍රැවල් ස්පෙෂලිස්ට් නිසා ඒ සම්බන්ධ රාජකාරී වලදී කට්ලට් එක සෙට් වෙනවා. වාර්ෂිකව ඇවරියා වෙන්චර්ස් වෙතින් සංවිධානය කරන චාරිකා අතර අපේ ගුරුභවතුන්ගේ චාරිකාව ප්‍රධානයි. කෝමත් ගෘෘප් ට්‍රැවල් කියන්නේ අර යමු කිව්ව ම හත්මුතු පරම්පරාවෙ මැරිච්චච එව්වොත් වලින් නැඟිටල එන, යන දවසට සූගාලා දෙතුන් දෙනෙක් වෙන ජාතියේ අමුතු සබ්ජෙක්ට් එකක්නේ. ඇවරිතුමා ඕවා කරද්දි එච්චර ම පැක්ස් කවුන්ට් එක ගැන හිතන්නේ නෑ. ආයෙ යන්නෙ කොහේ ද කියලා හිතන්නැති එකේ යන්නේ කවුද කියලා හිතන්න අහවල් අමාරුවක් තියෙනවයි කියලැයි..? මූලික සූදානම හැටියට අදාල දවසට බසයක් නම් බුක් කරනවා. කෑම ගැන එච්චර වද වෙන්නෑ මොකද අපේ අයිලන්ඩ්වයිඩ් නෙට්වර්ක් එකේ හැටියට කෑම නතින් කිනන් ඩොප්පි නකින් වගේ.



උදෑසන සප්පායම... 
අපේ රිපීටර්ස්ලා ටික කෝමත් එනවා. තරුණ ගුරුවරු තමා එහෙ මෙහෙ වෙන්න ඉඩක් තියෙන්නෙ. දැන් අවුරුදු ගාණක් අපි බැක් ටු බැක් බුක් කරන නිසා සමහර ගුරුභවතුන්ගේ පවුලේ උදවිය සියල්ල ම වගේ චාරිකාවට සහභාගී වෙන අවස්ථා වැඩියි. සීට් මදි වුනොත් මිසක් අඩු වෙන්නෑ. හරි බජට් කවර් නොවුනොත් අපි අතින් දාන්නම්. මොකෝ අපි එහෙම බැරි කස්ටිය නෙමේනේ බ්‍රෝ. යන තැන ගැන බොහෝ දෙනා පුරස්න අහපු නිසා ඇවරි ඒ සම්බන්ධ ස්වයං තීරණ අයිතිය වැඩිහිටි ප්‍රජාවට ම දුන්නා. මේක වැඩිහිටි ඔබතුමන්ලාගේ - ඔබතුමියන්ලාගේ වැඩේ. අපි ඔබ කියන ඕන තැනකට එක්ක යනවා. ඒක නිසා ඔබ ම තීරණයක් ගන්නැයි කීවා ම මහියංගනය යෝජනා වුනා.

වන්දාමි සාධු මහියංගන ථූපරාජං
නාකි විසේ ගෙයට උසේ කීවාලු. දැන් බින්තැන්නේ කැකුලියන්ට තිසා හාමි ඇත්තෝ දැකුම් පොජ්ජ මන්දු කරන්නයි ඇල්ම හා? කාරි නෑ. කාරි නෑ. ඔය අතරේ තරුණ පාර්ශවය නාන්න ඕනෑයි කී නිසා දඹුල්ල කණ්ඩලම අතුරු යෝජනාවකුත් ආවා. මහියංගනය දුර නිසාත් පාන්දර පිටත්විය යුතු නිසාත් දඹුලු ගලේ නඟමුයි ස්ථිර කරලා කන්ෆර්මේෂන් ගන්න ගියාම ඇවරිට එලෝ පොල් මෙලෝ පේන්න ගත්තා. පැයක් තුළ කැන්සලේෂන් දොළහක්. හරියට මිලංක මිල දර්ශකය එසැණින් පහළ යනවා වගේ ඇම්බුෂ් කැන්ලේෂන් හාර්ඩ් හිට් එකෙන් ඇවරි පද්ධතියේ දෝසයක් ඇති බව වහා වටහා ගත්තා. කවුරුත් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කරන්නෙත් නෑ. එන්න වෙන්නේ නෑ විතරයි. ඔය අතරේ ඇවරිට අපේ ජ්‍යේෂ්ඨත ම ගුරු මාතාව කුසුමා විජේතුංග මැතිනිය කතා කළා. පුතා දැන් මහියංගන නෙමෙයි ද යන්නේ? මට නම් එහේ යන්න ආසයි. නැත්නම් නම් මට ගිහින් වැඩක් නෑ. මොක ද දඹුල්ලේ නඟින්නත් බෑනේ. අයියෝ ඒක ද මේ වැඩේ. එකෙන් ම මහියංගනේ යමු. ටීචර් ලහැස්ති වෙන්න.

ඇවරි අනික් අතට මහියංගනේ යන බව ස්ථිර කළා ම කැන්සල් වුන ඔක්කොම කන්ෆර්ම් වුනා. ඉතිං ඕක කලින් කියන්න තිබුණනේ දරුවනේ මාව ම කන්න හිටියේ...?? අපේ වැඩිහිටි ගුරුවරුන්ට සාපේක්ෂව තරුණ ප්‍රජාව විස්සක් විතර හිටියත් කිසිවෙකුගෙන් ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. අපිත් එහෙම වැඩියෙ තරුණ අයට මේ ට්‍රිප ප්‍රමෝට් නොකරන්නේ ඒක වැඩිහිටි අයට බාධාවක් වෙයි ද කියලා හිතලා. මේ ෆ්ලේවර් එකට සෙට්වෙන ඈයෝ කෝමත් එනවා. යන දවසේ පාන්දර ඇවරි කස්ටියට වේකප් කෝල්ස් ගද්දි ඔක්කොම ඇහැරිලා තිබුණා. ඇවරි විශේෂයෙන් ම මතක් කරන්න ගත්තේ ඒ ඒ අයගේ බෙහෙත් වගේ ම සීතල වුනොත් ජර්සියක් ගේන්න කියලා. ඇවරිතුමා ළඟ වැඩිහිටි ගුරුවරු ගත්තා ම ඒ ඒ අයගේ මීල් ප්‍රෙෆරන්ස් වගේ ම බෙහෙත් වට්ටෝරු ගැනත් රෙකෝර්ඩ් එකක් තියෙනවා. ඒ පුරුද්ද ඇවරිට රාජකාරීමය ඇබ්බැහියක්. මොකද ෆ්ලයිට් බුකින්ස් වලදී මීල් රික්වෙස්ට් දාලා, ෆ්‍රීක්ටවන්ට් ෆ්ලයර් දාලා, සීටින් කරවලා වීල් වෙයාර් ඇසිස්ටන්ස් ඕන නම් ඒකත් දාලා සම්පූර්ණ කරලා ටිකට් එක යනන්නයි ඇවරිතුමා කැමති. ඕල්ඩ් ස්කූල් ටයිප් වුනාට සීනීයර් පැසෙන්ජර්ස්ලා එයාලා ගැන අපි කන්සර්න් කියලා සෑහෙන්න සතුටු වෙනවා. ඒවා මහා දේවල් නෙමෙයි ඉතිං.

ඇවරිගේ මාතලී සිරා මෑන්ස්. ඔහු ස්ටාෆ් සර්විස් එකක් කරන නිසා සෑහෙන්න අත්දැකීම්ලත් රියැදුරෙක් වුනා. පන්සල ළඟින් ගද්දිත් ආසන කිහිපයක් පමණයි තිබුනේ. ගයාන් අයියලා අපේ වින්දනා එක්ක ඇවිත් අමිල අයියලාගේ ගෙදර කාර් එක දාන්න ගතවුන වෙලාව නිසා හතරට ම පිටත් වෙන්න බැරි වුනා. සැලකිය යුතු තරුණ නියෝජනයක් නැතත්, වින්දි, සාගර සහ මධුරංග ඇවරිතුමා වෙනුවෙන් ලොකු සප් එකක් දෙමින් සියල්ල බැලන්ස් කරන්න බකප් එකක් දුන්නා. මධුරංග පහේ පන්තියක් කළ නිසා වැඩිහිටි ගුරුවරු බොහෝමයක් ඔහු දැන කියාගෙන හිටියා. ඇවරිට පස්සේ නිල කෙයාර්ටේකර් වුනේ මධුරංග. ඔහු හැමෝගෙම ඕනෑ එපාකම් හොයා බලමින් උදව් උපකාර කළා. ලොජිස්ටික්ස් වලට ඇවරිට සාගර හිටියා. නිල එමර්ජන්සි කෙයාර් යුනිට් එක සාගරගෙන්. වින්දනා කොරපු කෙණ්ගෙඩියක් නැති තරම්. හැබැයි ඈ නොකරපු දේකුත් නෑ. වින්දිත් සාගරත් අපිට එකතු වුන මුල් ම වතාව. ඇය සැවොම විනෝද කරවන චරිතය. මිස් සෙල්ෆි රාජිනී විරුදය ලත්, මැඩෝනාට වැඩිය වටින ඇගේ කිංකිණි නළාව ගැන දන්නෝ දනිති. කටර් එකක් කියන්නේ කණේ ඩෝං ගාගෙන ගල් බෝර දාන තරම්. ඇවරිතුමාගේ නිල කාර්ය මණ්ඩලය හැටියට මේ තුන්කට්ටුව නොහිටින්න වැඩේ ජෝන් බාස්ට යනව හැබැයි.

අමිල අයියාට නුවර බණ ගෙදරක යන්න කාරණා කටයුතු සිද්ධ වෙලා තිබුණත් එතුමා මහියංගනය දක්වා අපිත් එක්ක එන්න එකඟ වුනා. සීනියස්ලා කවුරුත් මේ ට්‍රිප මිස් කරන්නේ නෑ. කොහොම හරි අමුණගෙන ලයින් කරගන්නවා මිසක්. ඇවරියානෝ දර්බුකාවත් අරං වැඩේට බැස්සා. මෙදා උදේ කෑම ගත්තේ කඩුගන්නාවේ ගල විද්ද තැනින්. කඳුරට කුඩ පැක්ටරිය අද්දර ගමේ කඩේ එදා පටන් ගත්තා විතරයි. අපේ සෝපාකලා ටික එතන. ඒ වෙද්දි උයන කාන්තාවෝ ඇවිත් වතුර එහෙම උණු කරනවා. ඇවරිතුමා බැහැලා අපි කෑම ඇණවුම් කරන බව දන්වලා, ඇතුලේ තිබුණ පුටු එළියට ගෙනත් මේස රෙඩි කරන්න ගත්තා. හරියට අපේ තැනක් වගේ. ඒ අක්කලා පුදුම වෙලා. අයියෝ ගනන් ගන්න එපා, මෙතන අපි හැමදාම වගේ කන්න නවත්තන තැන. අද මේ වාහනේ මාරු වෙලා. එච්චරයි කීවාම එයාලා තවත් හොඳින් සලකන්න ගත්තා. එවෙලෙ බදින වඩේ,  ආප්ප, ඉඳි ආප්ප, වණ්ඩු, පැණි වලලු, අපේ කට්ටිය ගෙනාපු සැන්ඩ්විච්, කිරිමාලු හොදි, පොල් සම්බෝල,  එකී මෙකී නොකී බොහෝ කෑම තිබුණා. අද නම් මල්ලි මේ කෑම අඹරලා ම බඩේ රේසර් ගෙවෙනවා. සුළු පටු කෑමක් කියල ද ආයෙ? ගයාන් අයියා තමුන්ගෙ රාජකීය කළගෙඩි බණ්ඩියට හීනි තට්ටුවක් දාමින් කිව්වා. මේ බෙලිමලුත් බොන්න, මේ අක්කා දැන් තැම්බුවේ. බෙලිමල් පොල්කට්ටයි, හකුරු කෑල්ලයි හැමෝට ම ලැබුණා.

ඇවරි එතනින් පිටත් වෙද්දි ඒ අයගේ නම් පවා දැනගෙන උන්නා. අපිට ෆොටෝ වලට කෑම හදන්නත් අවස්ථාවක් දුන්නා. වැසිකිලි පෝලිම අහවර වෙනකම් අපි ඒ ටීම් එකත් එක්ක සෑහෙන්න කෑම ගැන කතා කළා. ඒ මැදි වයසේ අක්කලා විතරක් නෙමෙයි තරුණ ගෑණු ළමයිනුත් එහි ඉවුම් පිවුම් කළා. ආහ් මේ නංගිට නම් අද රතු ඉර වදිනවා. ගයාන් අයියා විහිලුවට කීව ම ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුනා.  අනේ නෑ බස්එක පරක්කු වුනා. බැලුවා ම එයා තෝසෙ හදන ලමිස්සී. අයියෝ අපිට තෝසෙ මිස් වුනා කිව්වා ම විනාඩියෙන් දාලා දෙන්නම් කී ඇය ගෙදරින් හදාගෙන ආපු මිංචි සම්බෝලත් එක්ක රස තෝසයක් සැණෙන් වඩලා දුන්නා. තව හිටියා නම් ලොකු බිලකුත් සෙට් වෙන නිසා ඇවරිතුමා දායක කාරකාදීන් ඉස්මණට බස් පොජ්ජට මංගැච්චුවා.