Wednesday, January 22, 2020

ඉන්ටර්නැෂනල් මහිලා සමිතියක මුලසුන හෙබවීම හෙවත් සුබාවන්ගේ බබා බැලීමට යාම....





///තුම්පත් රෑන///
ඇවරිතුමා සහ එතුමාගේ කැම්පස් බොක්කවල් සැට් එක අපේ සුබා මැතිනියගේ අලුත උපන් දුවණියැන්දා බලන්ට යාම මේ පෝය දවසේ ඉෂ්ට සිද්ධ වුනා. ඇත්තට ම කිව්වොත් සුබාවෝ ප්‍රෙගී කාලෙත් අපි එතුමිය බැහැ දැකුම් පොජ්ජ මන්දු කරන්න ගියා. දැන් මේ දෝණි ලැබුණු කාලෙ යන්න තියෙන ගමන වුනාට තාම ඒ කෙලීට මාස හයක් වත් නෑ. හැබැයි අපි කුළුඳුලේ ම ගියේ අපේ අනුවාගේ පෙරැත්තේ හින්දාමයි. ගමන යොදාගෙන තිබුණෙ මීට මාස ගාණකට කලියෙන්. නමුත් කෝම කෝම හරි පෝය දවසේ කවුවාත් නිවාඩු වුන නිසා වැඩේ සෙට් වුනා. කලින් දා රෑ පොරොන්දුවෙච්චි හැටියට ම ඇවරිතුමාට වේකප් කෝල් එක දුන්නේත් අනුවා. 

ප්‍රධාන කතාවට කලින් හැමදාම වගේ අතුරු කතාවක් අමුණන්න හිතුවා. කොකුන් ගෙනා බබුන් බලන්නට යන බිළිඳු දැකුම් සලාද සීරීස් එකේ තවත් එකක් එන්න තියෙනවා. තවත් එකක් යන්න තියෙනවා. ඒ තමා අපේ වත්සලාවන්ගේ අලුත උපන් බිළිඳිය දකින්නට. ඇවරිතුමා වත්සලාවන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය ගැන සලාදයක් ලියුවා වගේ මතකයි. ගම්පහ හංස මාවතේ ඇගේ නිවසට හවසක ගියේ ඒ උත්තමාවිය වෙනුවෙන් ඇවරිතුමා හදපු පැණි වළලු දැකුම් කදක් බාර දෙන්නට. පැණි වළලු සතුටින් භාර ගත්තු වත්සලා කුමාරිකාව ගැත්තාට අනුකම්පාකොට ත්‍රී පෝෂ මලු දෙකක් ම දුන්නේ කාලා මහත් වෙන හැටියට ඇවරිතුමාට බල කරමින්. තව ගඩා ගෙඩි බොහොමයකුත් මල්ලකට දාලා දුන්නා මතකයි. ඉතිං බිළිඳු දැකුම් කියන්නේ ඇවරිතුමාගේ චිරාගත සම්ප්‍රදායක්. කෝමත් පොඩි ද ලොකු ද කියලා අදාළ නෑ, බේබි සිටින් කියන්නේ අපේ වෘත්තියේ කොටසක් ම තමා. 

ඒයි කුම්භකර්ණේ ඇහැරියාන්. අනුරාධියෝ අඬහැරේ පටාන් ගත්තේ ටකේ හොල්ලන ගමන්. ඒ ඝණ්ඨා නාදයට නම් කැටේ පිරෙන එක අහන්න දෙයක් නෑ. උපාසිකාවො මේ පෝය දවසේ මහ හඬින් සාදුකාර දෙන්නේ. දැන් උඹලා නවයාමාරය වරෙව්. අපි දෙන්නා එන්නම් කොකිස් කඩේට. හා කියලා සෙනිකෙට අනිත් පැත්ත හැරිලා ගොරොවන්න තියා ගත්තු ඇවරි ආපහු ඇහැරුණේ ඉෂාන් ශිවන්දනගේ ඇමතුමට. මං කොකිස් කඩේ තෝ කොහේ ද? මං කිරිබත්ගොඩ. තෝ කොකිස් විතරක් කකා හිටපිය. පිස්සුද බං මං ගෙදර. මං ඇඳේ යකෝව්. යමන් මං උඹට බැංකුවෙන් ගන්නම්. ඉෂානා නවය වෙද්දි ආපු නිසා අපි වෙලාවට ම වගේ පිටත් වුනා. අනුවාත් කව්වාත් බබාට මොනවාද ගත්තයි කියපු නිසා අපි මාමාලා දෙන්නා වැඩෙන් නිදහස් උනා. හැබැයි ඊට හරියන්න රයිනයි, සූකරයි ඒ මෝඩ ජෝඩුව එනකම් ලුතිනන් නිශ්ශංක මාවත ඉස්සරහා ඉඳන් නුවර පාරේ වාහන ගණින්න වුන බවත් කියන්න ඕන. 


අපි කයියක් හේම දාගෙන ඉද්දි අනු බෝලෙයි පනු බෝලෙයි ආවා. කව්වීගේ අයියාතුමාගේ විවාහ මංගල්‍ය තිබුණේ අගෝස්තු අට වැනිදා ඉෂාන් ෂිවාට සහ ඇවරියානාට ආරාධනා කරලත් තිබුණත් වැඩ රාජකාරී හින්දා ඊට සහභාගී වෙන්න බැරි වුනා. අපි දෙන්නා ම හිතුවේ කව්වා අපි දැක්ක ගමන් ළඟ ම මඩවලෙන් දෙදෙනාගේම මුව දොවලා වස්ති කරවලා රැගක් දෙයි කියලා. හැබැයි ඉතිං සුද්දොත් නැතුව හන්තර් වෙලා ඉන්න දුක්ඛිත ජීවිත දෙකක් වන අපි දෙන්නට පොදු සමාවක් දීලා බදු සහනයකුත් දුන්න බව කියන්න ඕනා. ඇවරිතුමා මුලින් ම බයිකලේ ඉෂාන් එක්ක ගෙදර ගියා. රයිනී සහ සූකරී පසුවට එකපාර ආවා. කෝම කෝම හරි අපි ගෙදර එද්දි පුංචි පැංචි දොයිය බබා වෙලා. 

සුබා තෙරණියෝ ඇතුලු අපි පස්දෙනාට සෑහෙන ඕපාදූප තිබුනා කතා කර කර ඉන්න. කොම් බෑන්ක් අධිපති ගෘහ මූලික තෙමේ පෝය නිඩාවුවෙත් රාජකාරි නිසා එතුමා හිටියේ නෑ. තව අපි දන්න දන්න අයට බබාලා ලැබිලා තිබුණ නිසා ඒ කස්ටිය ගැන කතා කලින් ම. තිලිණි රූබසිංහ, ඉබ්බා කියලා අපි කියන අනුවලාගේ ඉක්කෝලෙ ගම්පහ රත්නාවලියේ සැට් එක ගැන කතා වුනා. තිලිණි දැන් කටාර් ඉන්න නිසා තනියම ගහන ගේම ගැන විස්තර, ළමා සංවර්ධනය ගැන. ෆීඩින් චාර්ට්ස්, ස්ලීප් ට්‍රේනිග්, උණ ගැනීම සහ ඉන්ජැක්සන්, ඩේ කෙයාර් - නෝ කෙයාර් වගේ හරවත්, වැදගත් ටොපික්ස් බොහොමයක් කතා වුනා. ඇවරිතුමා ඉතිං නිවාඩු පාඩුවේ ඔය ශ්‍රී ලංකන් මම්, ඩෑඩ්, පේරන්ටින් ඩොට් එල්කේ, වගේ සයිට්ස් බලන නිසාත් ඩේ කෙයාර් සීන් එකේ ඉන්න නිසාත් මේම ඉන්ටර්නැෂනල් මහිලා සමිතිවල වුනත් ගෑනු එක්ක කරට කර ටෝක්ස් දෙන්න තරම් පරිණත බුවෙක් වෙලා තිබුණා. සමස්තයක් වශයෙන් ඒ කතාවල හරය සරලයි. පරම්පරා ගණනාවක් ගිහින් වුනත් දරුවෙක් හදන්න අම්මලා තාත්තලා පට්ට ම ගේමක් දෙන වග හැබෑවට ම ඔප්පු වුනා. 

අඩේ ඇත්තට ම අපිව හදන්න අම්මලා මොන තරම් කට්ටක් කන්නැද්ද කියලා දැන් තමා බං තේරෙන්නේ. අනා එහෙම කියන්න එපා බං මේ බලපන් මං අතේ අපූරුවට ඉන්න හැටි. ඔව් ඔව් ඇඳක් උඩින් තියලා බලන්න ඕන දාංගලේ. ඒ වෙද්දි කෙල්ල මගේ අතේ කව්වී ඇගේ පුංචි ඇඟිලි අල්ලන් ඉන්නවා. ඇවරි පොඩ්ඩිව සීසෝ පද්දනවා. ඒකත් වටේ ම බලබලා හිනාවෙනවා ඕන්. හැබැයි ඇත්තට ම පුතා ඉස්සර ළමයි එහෙම නෑ. කිරි දුන්නා ම බීලා නිදා ගන්නවා. මෙයා පොඩි කාලෙ මං කිරි දීලා ගම්පහ හිටන් ගිහින් එනවා. සද්ද නෑ නිදි. අපේ කතාවට එකතු වුනේ සුබාගේ අම්මා. 

ඒවා කොහෙද බබා බඩේ ඉද්දිත් මෙයා රෑ වෙනකම් ඇහැරන් ඉඳලා දැන් එළියට ආව ම නිදා ගන්නෑ කියලා අපිට බනිනවා නේද සංකොටේ? හැබැයි ඒක නම් ඇත්ත බං ඒ කාලෙත් අපි පරක්කු වෙලා නිදා ගත්තේ. ඒකනේ ඉතිං. දැන් නම් දවාලකටවත් නිදි කරන්නේ නෑ. කෝම ද බං රෑ පුරා ඇහැරිලා ඉන්නේ? තව ඉතිං පුංචි කාලෙ ඉදන් ටී. වී බැලීම, ෆෝන් එකට හුරු වීම, ෆෝන් එකෙන් නින්දට යාම වගේ මේ පරම්පරාවේ දරුවන්ට ආවේණික ලක්ෂණ බෝමයක් ගැන අපි කතා බහ කළා. ඒ මැදින් තවත් බොහෝ උපදේශන සේවා. කව්වගේ පිම්පල් මැකීම ගැන, ඇවරිට කුෂ්මාණ්ඩ රසායනය පෙවීම, අනූට ගැළපෙනා ඩයට් ප්ලෑනක්, ඉසාන්ට ඇවිල්ලා නොයන කෙල්ලෙක්? ආදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න. 

ඒ පෝය දා විසිට් එකේ අවසාන නිගමනේ හරි ම ශෝචනීයයි පින්වතුනි. සුබා බලන්නට ගිය අනුවා විතරයි බැඳලා හිටියේ. කව්වීත්, ඇවරිත්, ඉෂානුත් එක හෙළා නිගමනය කළේ බැන්ද ම ප්‍රශ්න නිසා මේම සිටීම සැපයි කියලයි. අනුවා තීරණය කළේ ළමයි නම් දැන් ම එපා කියලයි. හයියෝ සල්ලි. පෝය දවසේ අනිත්‍ය මෙනෙහි කළාට ඇලීම් දුකක් ය කියලා දුන්නා සුබාට පින්. (ලොල් සීන්)

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....