Sunday, May 10, 2020

ගුණරතන ළා තණකොළ පෙත්තාස් දොරට වැඩුම හෙවත් කොරන්ටීන් බැති ගී ජෝගිය


ධර්ම විද්‍යාලයේ වාර්ෂික ලිත අනුව බැති ගී සරණිය පැවැත්වෙන්නේ පොසොන් මාසෙ. එහෙම වෙන්නේ වෙසක් මාසෙ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විසින් වෙසක් දින සිල් ඇත්තන්ට හීල් දානයත්, ළමුන් සඳහා ඉරු දින වෙසක් සීල සමාදානයත් පැවැත්වෙන නිසා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා හීල් දාන සහ ශීල සමාදාන කටයුතු නොකෙරන නිසා අපේ ගුරු මණ්ඩලේ ශෂිනි මැතිනිය අපේ වට්ස්ඇප් ගෘප් එකෙන් අමුතු යෝජනාවක් කරනවා.

“දහම් පාසලේ ළමයින්ගෙන් වෙසක් එකට කවර් එකක් කරමුද?” මේ බ්‍රහස්පතින්දා වෙසක් එකට? අද අඟහරුවාදා? මේ කෙල්ලගේ කොහේ හරි ඔළුව වැදුන ද කියලා ඇවරිතුමාත් කල්පනා කළේ ඒ යෝජනාව එච්චර ම බරපතල නිසා. “හරි ළමයි නැත්නම් අපි ගුරුවරු කට්ටිය හරි කමක් නෑ කියමු..?” මැතිනිය යළිත් යෝජනා කරනවා. “හැබැයි මරු අදහසක් අක්කේ ඒක.” යෝජනාව සම්මත කරන්නේ බුදාරාවෝ. නමුත් මෙවනා ලත් තැන ම උදැල්ල දාලා මහිලාවො දෙන්නට ඇඩ්‍රස් නැති කරනවා. “අනේ පලයන් බං, පෞව් නොදී”

“පින් දෙන්නයි ආවෙ. අපේ පේජ් එකකුත් තියෙන එකේ ෂෙයාර් කරන්නත් පුළුවන්.” ශෂිනිත් ගේම අතාරින්නෑ. “හරි ඔක්කොට ම බැරිනම් සින්දු කියන අය විතරක් හරි කමක් නෑ කියමු. ළමයිනුත් සම්බන්ධ කරගන්න බැරිවෙයි.” ළමයි? බොට අමු කැවිල ද? ඉතා ම අවදානම් වැඩ මේ කොරෝනා අස්සේ. ආයෙත් මෙවනා තපුල්ලන්න තියා ගත්තා. “ළමයි නම් බැරිවෙයි නංගී.” මහේෂ මැතිතුමාත් බර බරේ. “නෑ බං අයියේ අපි ගෙදර ඉඳන් කරලා එවන්න කියලා මික්ස් කරමු. වට්ස් ඇප් වලින් කරමු.” ඔයා කියන නිසා සලකා බලන්නත් ඕන. මෙවන් කුමාර පළමුවරට අනුකූලතාවක් දැක්වූවා. “කෝමේ උත්ලපයා? කණිෂ්ක සුදු පුතා වගේ සරිගම කන්නලා? ලොකු අයියා මෙහෙට ආවනම්?”. මහේෂ මැතිතුමා ඇවරිට අමතනවා. සුද්දා ගේමට එන්ටර් වෙලා.

ඇවරි ඒ අහු අස්සේ තරුවක් හදන්න බට කපනවා. දැන් බෑ කියලා පස්ස ගහන්න බෑ. හරියට මඟ හිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්. අනික මේ යෝජනාව ගෙනත් තියෙන්නේ ඉංජිනේරුවරුවරියක්. වෘත්තිය පළපුරුද්දෙන් ඇවරි දන්න තරමට උන් හරි ම භයානකයි. දෙයක් කිව්වොත් කරවලා පෙන්නනවා. වැඩේ බැරි ද පුළුවන් ද කියන එක අදාළ නෑ. ඉංජො කියන්නේ එහෙමයි. ඕ යෑස්. නෝ හෙල්ලුම් - පොල් මැල්ලුම්!

ඇවරිගේ ප්‍රශ්නේ වුනේ වෙන එකක්? ප්‍රධාන චරිතය වෙන්නේ කොත්තු බාසුන්නැහේ නිසා බාස් කවුද කියන එක මත වැඩේ කොලිටිය තීරණය වෙනවා. අපි කියන කියන ඒවා කෑලි කෑලි කපලා, පිචින්ග් හදලා, ටෙම්පො තියලා වැඩේ ගොඩදාන මියුසික් ඩිරෙක්ටර් හාදයෙක් අපිට ඉන්න ඕනෑ. වෙලාවෙ හැටියට උත්තරයක් නැතත් සුද්දා මොනාහරි කරමු කියනවා. හැමදාම වැඩේ ඉවර වෙන්න කලින් ඇවිත් මල් වට්ටියට අතගහන ලෝක සරීර හොරෙක් වන කුංග්ෆු පැන්ඩා, සාගර වීඩියෝව හදලා දෙන්න බාර ගන්නවා. දැන් මූලික වැඩපිළිවෙල සාර්ථකයි. මීළඟ පියවර ගායනාව සඳහා ගීතය තේරීම. අපේ සහෘද රසික රසිකාවන් පෝලිමේ බැති ගී තෝරනවා.

සින්දුව නිකම් වෙසක් කැකුළු වගේ කාලෝචිත වෙන්නත් ඕන, ගිලෙම් ඔබේ ගුණ මූදේ වගේ බුදු හාමුදුරුවො ගැන වෙන්නත් ඕන, තව වැඩි අලංකාර නැති ෂේප් එකේ තලාගන්න පුළුවන් වෙන්නත් ඕන. මහේෂතුමා සුගත ලෝනා යෝජනා කළා. මෙවන් ෂිනන් අපි අසරණ වෙලා වගේ කියමු කිව්වා. කොරෝනා අස්සේ ඉතා ම කාලෝචිතයි. රුසිරු මෙන්ඩිස්, ඔව් ඔව් අර තාල තියන්න බැරි වෙන්ඩ දොස්තර තමා... ලා දලු බෝපත් කියමුලු? කණිෂ්ක සුද්ද කියමු කිව්වෙ පන්සලේ පල්ලියේ... හැබැයි ඒකේ අන්තිමට මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ - පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ කියලා තියෙන නිසා පොඩි දේශාභීමානී ගතියක් තියෙනවා නේද කියලා ශෂිනිත් අහලා තිබුණා. ඒක මේ දවස්වල මැකෝතුමා කියන්න ඕන සින්දුවක්. වැඩේට ලයින් වෙන්නෑ වගේ. 

අපි අසරණවෙලා වගේ සම්මත වුනා ම කැරොකේ ට්‍රැක් එකක් හොයන්න ශෂිනි යෝජනා කරද්දි “කැරොකෙ ඕන නෑ, මං අලුතින් ට්‍රැක් එක ගහන්නම්, ඔයාලා කියන ඒවත් මික්ස් කරලා ගමු කියලා ගේමට බැස්සේ උත්පල මහතා. ඕන් දැන් හවස හතරට විතර වෙද්දි සින්දුව කන්ෆර්ම් වෙලා. උත්පල තමා සංගීත කොත්තුව කතඩ තකඩ රිදම් එකට ගානට දෙන්න යන්නේ.  

අපි වුනත් නම්බු දීලා කතා කරන්න ඕනෑ. මොක ද තාලෙට අප්පුඩියක්වත් ගහන් බැරි අපි ලව්වා ගීත ගායනා කරවනවට. මියුසික් ඩිරෙක්ටර්තුමා එදා රෑ එකොළහට විතර වෙද්දි ෆයිනල් ට්‍රැක් එක ෂෙයාර් කරනවා. පහුවදා උදේ ම කට්ටිය පේළියට රෙකෝර්ඩින්. මුළු සින්දුව ම අර දුන්න ට්‍රැක් එකට හඬ විතරක් ඇහෙන්න රෙකෝර්ඩ් කරලා යවන්න ඕනෑ. හැබැයි ඇවරිගේත් මුල් ම සබ්මිෂන් එක වැරදියි. මොක ද මියුසික් ට්‍රැක් එකත් ඇහෙනව ඒ රෙකෝර්ඩින් එකේ.

ගීත කෝකිල කෝකිලාවන් මධුර ස්වර මාත්‍රයන් අවදි කරමින් ලිස්ටරීන් දාලා උගුරෙ රැල් බුරුල් ඇරගෙන එහෙම රාග තාල කොටවමින් සප්ත ස්වර දැදුරු කරනවා. පළමු උත්සාහය මහේෂ මැතිතුමා විසින්. බුදාරාවෝ තමුන්ගේ ඕඩියෝ ට්‍රැක් එක දාලා මෙහෙම ලියනවා. “මං සසර දනව්වේ කියන විදියට මිනිස්සු සසර කළකිරෙනවා, සොරි උත්පල ඒක ඊට වඩා හොඳට කියන්න නම් ඊළඟ අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා” කස්ටියට හරි ප්‍රස්න අප්පා. උත්පල ඒ හැම එකට ම උත්තර දෙමින් බොහොම ඉවසීමෙන් එඩිට් එක ගහනවා.

එදා රෑ වෙද්දි හැමෝ ම වගේ ගායනා යවනවා. දැන් වීඩියෝ නැතිව මේක කොරන්ටයින් ප්‍රයාමයක් වෙන්නේ නෑ. උත්පල මෙච්චර මහන්සියෙන් එඩිට් කරලා අපි මූණ නැතිව දැම්මොත් වැඩේ අසම්පූර්ණයි වගේ. ඒක නිසා අපි කොච්චර කැත වුනත් වීඩියෝ එකක් කරමු. රෑ නවයට විතර වීඩියෝව ගැන ඒකාබද්ධ උපදෙස් මාලාවක් නිකුත් වෙනවා. සුදු ඇඳුමකින්, සුදු පසුබිමක, තමුන්ගේ පද ටික විතරක් ගායනා කරන්න කියල. පේන හැටියට කස්ටිය ජාත්‍යන්තරයට යන්න වගේ හදන්නේ. ඒ අහු අස්සේ ඇවරි මීටරේ දුර තියලා සිල් ගන්න ලෑස්ති කරනවා. බින්දු අම්මාත් ඇවරි මාතාත් ගෙදර සිල් ගන්න සූදානම් කරලා. අපි දානමාන ඇතුළු ප්‍රත්‍ය පහසුකම් සලසන්න බාරගෙන තිබුණා.

පහුවදා වෙසක් පෝය දවසේ කණිෂ්ක සුද්දාගේ උපන් දිනයත් යෙදී තිබුණා. හැමෝ ම උපන්දින තෑග්ග වෙනුවෙන් හරි හරියට මහන්සි වෙද්දි, උදේ එකොළහට විතර අවසාන බැති ගීය නිකුත් වුනා. එහි පළමු අන්තරා කොටසේ සිට අවසානය දක්වා පදයෙන් පදය කියන්නේ කවුරුන්දැයි විස්තරයකුත් තිබුණා. ඉතිං අපිට තිබ්බෙ ඒ ඒ කොටස්වලට කට හොල්ලලා යවන්න විතරයි. දැවෙන ප්‍රශ්නයක් වුනේ සැලොන් වසා තිබීම. හත්වලාමේ රැවුලවත් කපලා නෑ. උඹ දැන් වෙනදටත් සැලොන් එකෙන් වෙන්නැති රැවුල බෑවේ? රන් මැණිකා නක්කලේ දැමේමේ ඇවරිව දෙකේ කොළේට දාලා. ඒ අස්සේ මහේෂට වීඩියෝවට බූම්රැන්ග් සීන් එකක් ඇතුළත් කරන්න ඕන වෙලා. අපි අසරණ..... අපිප්ප් අසරණ.... සරණ... රණ...ණණණ අස අස අස සසසසසස  ලල් එකක් එන විදියට ගන්න. පිස්සු හැදෙනවා - මැස්සො මැරෙනවා කිව්වලු.

කලින් කිව්ව වගේ සැලොන් වසා තිබීම ප්‍රශ්නයක් නොවුන එක ම කෙනා අපේ අමිල අයියා. ගෙදර සැලොන් එකෙන් ෆුල් ෂේව් එකක් දීලා තිබුණා ආයෙත් අජේ දේව්ගව් වගේ දිලිසි දිලිසි ඉන්න අපූරුව බලන්නකෝ. චමරි අක්කා කෝමත් කාජල් වගේ නේහ්. එතුමිය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බව තේරෙන්නව ගීතය පටන් ගැන්මේ ම.

කොහොමින් කොහොම හරි වෙසක් දවසේ රෑ නවයටත් වීඩියෝව හැදෙනවා. හර්ෂ මල්ලිගේ කට් එක පරක්කු වෙලා අන්තිමේ දී වෙසක් දාට පහුවදා පාන්දර තුනට විතර වැඩේ අහවර වෙලා තිබුණා. පහුවදා හතට විතර ශෂිනි මාව නැඟිට්ටවනවා. අයියේ හාමුදුරුවන්ට කියන්න වෙයි ද? ඇයි ඒකේ මුකුත් අවුලක් තියේ ද? ආහ් මං මතක් කරන්නම්. හාමුදුරුවොත් බලයි. සපුගස්කන්ද රාජ මහා විහාරය නිල ෆේස්බුක් පිටුවේත්, ශිෂ්‍ය නායක මුළුවේ නිල ෆේස්බුක් පිටුවේත් මේ වීඩියෝව පළවෙලා තිබුණා.

ප්‍රතිචාර අතින් ගත්තොත් වරදක් නෑ. කොහොම වුනත් ව්‍යාපෘති භාරකාර ශෂිනිට අවශ්‍ය වුනේ වෙසක් මංගල්‍යය ඔහේ ගෙවිලා යන්න නොදී යමක් කරන්න. උත්පලත් සාගරත් ඊට අවශ්‍යය කටයුතු සම්පාදනය කළා. අපි සහයෝගය දුන්නා. ඇවරිතුමා පුද්ගලිකව සතුටු වෙන්නේ දෙයක් අලුතින් හිතන්න පුළුවන්, සහයෝගයෙන් වැඩක් කරන්න පුුළුවන් කණ්ඩායමක් අප සමඟ සිටීම ගැන. ඒ එකමුතුව කණ්ඩායම් හැඟීම වගේ ම අර චමරි අක්කා කිව්වා වගේ නිව් බ්ලඩ් අපිවත් ලීඩ් කරන විදිහ හරි ම ආකර්ෂණීයයි. අපිව පහුකරලා අඩියක් ඉස්සරහට තියන පරම්පරාවක් එක්ක ජීවත් වෙද්දි අපිත් තව තව තරුණ වෙනවා.

ඒ ජේත්තුකාර ආඩම්බරයත් එක්ක පොසොන් බැති ගීයකින් සයුරෙන් එහා ඉන්න ආදි ගුරු සිසු පිරිසත් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් වසංගත බිය ඉක්මණින් පහවන ප්‍රීතිමත් වෙසක් ආසිරි!

ප.ලි: මේ වීඩියෝවෙ දැම්මා ම අනේ අපිටත් කියන්න බැරිද කියලා අහපු බොහෝ දෙනා හිටියා. ඒ අය වෙනුවෙන් මීළඟ වීඩියෝවෙන් අවස්ථාවක් ලැබේවි.

ගායක පිරිස නම් වශයෙන් මෙසේයි.

චාමරී රාජපක්ෂ, අමිල පෙරේරා, කාංචනා කුමාරපේලි, මහේෂ පෙරේරා, නලින පතිරගේ, ශෂිනි මල්දෙණිය, මෙවන් ලබුතලේ, හර්ෂ ප්‍රනාන්දු, සාගර හරස්ගම, සමාරා සේනානායක, වින්දනා රත්නායක, කණිෂ්ක වැලිමලුව, උත්පල දෙනිපිටිය, රුසිරු මෙන්ඩිස්, බුදාරා පීරිස්, මනුෂි මල්දෙණිය





1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....