Monday, January 13, 2020

යාත්‍රිකයාගේ නික්ම යාම හෙවත් අයිස් කන්දේ පතුළට කිමිදීම....





මේ සදාලයට නිමිත්ත වෙන්නේ මේ ලඟක දි අප අතරින් වියෝ වුන නිපුන මධුසංඛ හිත මිත්‍රයා ගැන. හැමෝ ම මෑන්ස්ව දන්නේ ශාන් එම්.කේ නමින්. රාගම ආසන්නයේ අනාරක්ෂිත රේල් ගේට්ටුවක් ළඟ වාහනේ නතර කරලා හදිස්සියට වාහෙන් දාද්දි සිදු වූ මාරක රිය අනතුරක් නිසා නිපුන අපි අතරින් නොඑනා ගමන් ගිහින් තිබුණා.

සාමාන්‍යයෙන් ඔහු වේගයෙන් රිය පදවන්නෙක් නෙමේ. උගේ වැඩවල පොඩි කලාවක් තිබුණා. සටහන් පොත්වල වුනත් ඉරක් අඳින්න අඩිරූල ඕනවෙන. වැරදුනා ම ටිපෙක්ස් කරලා වේලෙනකම් පොතට පිඹින චරිතයක් තමා නිපුන. අපේ තවත් පාසල් මිත්‍රයෙකු වුන පුබුදු පුබ්බාගේ මළගේ දවසේ අන්තිමට අපි එකට ආව මතකයි.

නිපුන මුලින් ම මට හම්බුනේ හය සී පන්තියේ දී දහය බී පන්තියේ ඔහු ගැන ඇති මතක තමා වැඩියෙන් ම මතකේ ඇඳිලා තියෙන්නේ. මට වගේ ම මගේ අනෙත් බැච් ෆිටානණ්වන පැලා සහ රවීන් දෙදෙනාටත්. අපි හයේ ඉද්දි ම නිපුනගේ තාත්තා නැති වුනා. ඒ දවස්වල ගෙවල් තිබුණෙ කොටුවෙ රථවාහන පොලීසිය ළඟින් තියෙන අතුරු පාරක. මට තාමත් මතකයි. ඒ ඇන්ටි මාර ශක්තිමත් මාතාවක්. කොහොම හරි පසුකාලීනව අපේ පාරවල් වෙනස් නිසා ඔහු මුණගැහෙන්න ම නැති තරම්.

ඔය අස්සේ එක දවසක් රවීනයා හම්බුනා ම නිපුන ගැන කතාවක් ආරංචි වෙනවා. උඹ උගේ සින්දු අහලා තියෙනවා ද බං. අයියෝ සංසාරේ මළ අඳෝනාවක් යකෝ ඒක. පටන් ගත්තු තැන ඉඳන් වැළපෙනවා. හිටහන් මං ලින්ක් එකක් එවන්න. කෝමත් ඇවරිතුමාට දැන් කාලෙ හැදෙන සින්දු දිරවනවා. මොක ද බස් එකේ අඩු ම දවසට පැය දෙකක්වත් සින්දු ඇහෙනවා නේ. ඒවා හිතට එන්නේ නෑ. වැදිලා යනවා. සින්දුව කෙසේ වෙතත් නිපුනගේ කටහඬ අහන්න ආස හිතුනා. කොච්චර වුනත් ඒ දවස්වල නිතර කෑ ගහපු එකෙක් නේහ්!

ඔය අතරේ රවීන් නිපුන ප්‍රසන්ට් කරපු සියතේ රික්වෙස්ට් ෂෝ එකකත් ලින්ක් එකක් දාලා තිබුණා. ඒකෙ කෝල් ගන්න වුන් නිපුනව බයිට් කරන සීන් එහෙමත් තිබුණා. ඒ මොක වුනත් එකක් මම දැනගෙන හිටියා. නිපුන එදා ඉඳන් ම වටේ පිටේ උන් කියන ඒවා එච්චර හිතන මිනිහෙක් නෙමේ. ඒ වගේ ම ප්‍රසන්ටින් වලට ඔහු හයේ පන්තියේ විතර ඉඳන් ම දක්ෂයි. දක්ෂයි කියන්නේ කවුරු මොනවා කිව්වත් උගේ පිටපතකට උගේ රිදම් එකකට වැඩේ කරගෙන ගියා. එඩිටර්ස්ලා මොනවා කිව්වත් අදාළ නෑ බේබි.

මට මතකයි හයේ උදය රැස්වීමක් කරන්න ගිහින් ඕකේ පිටපත ලියද්දි දැන් මේ සභාව ගීතයකින් මල්ඵල ගැන්වීම සඳහා අපේ ආරාධනය... කියලා නිපුන ලියලා තිබුණා. පිටපතේ හැමතැන ම මූ ලියලා තිබුණෙ මල්ඵල ගන්වන සීන් එකක්. ඒ මේ වචනේ වැඩියි බන්. එහෙම නෑ යකෝ ඒක ට්‍රෙන්ඩින් වෙන්නයි යන්නේ. අන්න ඒ වගේ අමුතු ම මාලාලංකාරයක් පොරගේ තිබුණා. පස්සේ පස්සේ වැඩ කරද්දි ඒ උගේ විදිහ කියලා අපි තේරුම් ගත්තා වගේ ම උගේ සමහර සංස්කරණයන් බොහොම කුළුපග සහ විචාරාත්මක වූ බවත් කිව යුතුයි.

අපේ තවත් පන්ති සගයෙක් වුන පුබුදුගේ මළගේ ඉවර වෙලා හත් දොහේ දානෙදි නිපුන හාල් පරිප්පු වගේ දානෙට බඩු වගයක් ගෙනත් දීලා තිබුණා. අපි සල්ලි දෙද්දි ඌ ඉස්සර වෙලා. ඇවරිට නිපුනගෙ තාත්තා තායිවාන් පොඩි කහපාට ට්‍රක් එකක් තෑගි දීලා තිබුණා. ඒක අර බම්බල් බී වගේ රොබෝ කෙනෙක් කරන්න පුළුවන් පුංචි සෙල්ලම් බඩුවක්. දොරවල් දෙක එළියට ඇරියා ම අත් දෙක වෙනවා. කොටන් ම වාහන රොබෝවෙක්. මේ මෑතක් වන තුරු ම මං ළඟ ඒ සෙල්ලම් කාර් එක තිබුණා.

ඔහු අම්මාට බොහෝ ආදරේ කළා. ඊටත් වඩා පුංචි ළමයින්ට ආදරේ කළා. ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැන මුකුත් ම නොලියන්න ගියත් පුබුදුගේ මළගේ ඉවර වුනා ම අපි කතා කරද්දි නිපුනයා සිරා ම කතාවක් තිබුණා. මචං මං ඉඩමක් ගත්තා ඉංගිරියෙන්. මට ඕන ඒකෙ බිල්ඩිමක් හදලා ඉස්කෝලයක් හදලා අනාථ ළමයින්ට උගන්නන්න. ඒ වෙද්දි ඇවරිතුමා ප්‍රනාව් පුන්‍ය පදනමේ වැඩ කරන බව නිපුන දැනගෙන හිටියා. උඹට බෝර්ඩ් එකට සෙට් වෙන්න පුළුවන් ද? මම ප්ලෑනකුත් ඇන්දුවා බන්. දවසක යමන් ඉඩම බලන්න උඹ ආස වෙයි දැක්කා ම. අන්තිම කාලෙ හරි වැඩක් කරන්න ඕන මචං. හරි දැන් ඇයි මට ඕක කියන්නේ? හු** උඹ එදා ඉඳන් ම මගේ මෝල් වැඩවලට සප් එක දුන්නා. මතකනේ උදේ රැස්වීමෙ මල්පල සීන් එක.

අර ටී.වී එකේ බයිලා කියන, මියුසික් වීඩියෝවල හොටු පෙරාගෙන අඬන, පස් කාගෙන වැළලෙන, ශාන් එම්.කේ හෙවත් නිපුන මධුසංඛ ඇතුළේ මෙන්න මේම අති දැවැන්ත චරිතයක් ජීවත් වුනා. ඇත්තට ම නිපුන තමන්ගේ ටාර්ගට් එකට යන්න ලෝකයට ඉස්සරහා මෝඩයෙක් විදියට රඟපෑවා. ඔය උඩ කතාව කියපු වෙලාවෙ ළහිරුත් මමත් ශානකත් කාර් එකේ හිටියා. අපි කතාවෙන් බෝම හිමින් සින්දුවක් කියාගෙන ආවෙ. ඇක්සිඩන්ට් එකක් කිව්ව ම මූ නම් හයියෙන් ගිහින් හැප්පෙන්නෑ කියලා මම ගත්කටට ම කිව්වෙ සින්දුවක් මුමුණගෙන චිල් එකේ ඩ්‍රයිව් කරන එක නිපුනයගේ සිරිතක් නිසා. අයිස් කඳුවල උඩින් පේන ප්‍රමණයට වඩා යට තියෙන කොටස වැඩියි කියලා ඇවරිතුමා අත්දැකීමෙන් කියන්නේ ඒකයි.

අනතුරෙන් පස්සෙත් පැය කිහිපයක් ජීවත්වනු නිපුන බෝම ශාන්තව සැතපිලා හිටියා. මල පැන්නම රතුපාට වෙලා ලේ පිරෙන කම්මුල්වල අනතුරේ කැළැල් තිබුණා. කැඩුණු දත පෙන්නලා මෝඩ පාටට හිනාවෙන, හැමතිස්සෙ ම කණ්ණාඩිය බලලා කොණ්ඩෙ හදන, ඇහි බැමේ කැළළ වහගන්න විලාසිතාවට ඇහිබැම හදපු ඒ සුකුරුත්තන් ජීවිතේ ඇතුළෙ දිගක් පළලක් හරියට ම කියන්න නොදන්නා මහා ආත්මයක් නිදන්ව තිබූ බවත් ඇවරිගේ සුපුරුදු කාර්ය බහුලත්වය මත හිදිසි අනතුරකින් මියෙනා තුරු ඔහුට එකදු ඇමතුමක් හෝ දීමට නොහැකි වූ බවත් අතිශය ආත්ම කම්පාවෙන් සටහන් කර තැබිය යුතුයි!

උපදිනා ජාති දක්වා මෙවන් අකල් වියෝවක් නොවී උතුම් නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා! සුබ ගමන් මිත්‍රයා...    


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....