Wednesday, December 14, 2016

යෑර් පේසීන්ගලා හෙවත් ඇවරිගේ සිංග්ටැංග්ලිෂ් ඇක්සන් ප්ලෑන | බ්‍රිලියන්ට් ස්ටාෆ් 2

මේ සලාදය මයි බ්‍රිලියන්ට් ස්ටාෆ් නමින් ඇවරි පළ කරන ලද සලාදයක් හා බැඳේ.

ඊළඟ  දවසේ  ම ඇවරිතුමා කළේ විදුහල්පතිතුමන්ලාට යැවෙන ලිපිය කෙටුම්පත් කිරීම. ලියලා හමාර වෙලා පොෂ් කඩ්ඩෙන් හෝදලා ලොක්කා තුමාට දුරකථනයෙන් ම ලිපිය කියෙව්වා. ලියුම නම් හරි අපි ගැන තියෙන ඉන්ට්‍රො එක තව අඩු කරන්න. හැබැයි කරුණාකරලා ඕක සිංහලෙන් ඩ්‍රාෆ්ට් කරන් එන්න. ඒ එක්ක ම දෙමළ පිටපතත් මට ඕන. මොන පුයන්නක් ද බාසා තුනෙන් ම මේ ලියුම?? අන්තිමේ දී මං ප්‍රධාන භාෂා තුනෙන් ම ලියැවුණු ලිපි කියෙව්වා. දෙමළ දැනගෙන හිටපු එක මාර උදව්වක් වුනා. කෙවින් සහ ඔහුගේ බිරිඳ ලක්ෂි තමා මගේ කටු අදහස් ව්‍යක්ත දෙමළ වාක්‍ය බවට පත් කළේ.

කිළිනොච්චි මහා විද්‍යාලයේ උපකරණ බෙදා දීම..
අන්තිමේ දී ලොකු බොස් කියපු කතාව තමා මරු දැන් ඔය ඉංග්‍රීසි පිටපත රෝල් කරලා ඕන තැනක ගහගෙන සිංහල සහ දෙමළ පිටපත් ඉස්කෝලවලට යවන්න. ඕන නම් මිනිස්ට්‍රි එකේ කට්ටිය හම්බවෙලා කතා කරගන්න. බොස් දුන්න උපදෙස් එච්චරයි. ඊළඟ සතියේ ඇවරිතුමා ඉසුරුපායේ දී අවශ්‍ය පිරිස් මුණගැහිලා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ක්‍රීඩා අධ්‍යයක්ෂකවරු මුණගැහුණා. ලිපි තැපල් කරන්න රුපියල් දෙදාහකට වඩා ගියා. නමුත් බලාපොරොත්තු වූ තරමින් පිළිතුරු ලිපි ලැබුණෙ නෑ. ඇවරිතුමාට සෑහෙන්න හිතට අමාරු වුනා. අපි හොඳක් කරන්න ගියාමත් මිනිස්සුන්ට ඒකේ අගයක් නෑ.

පස්සේ අපි යවපු ලිපියට චේස් කරවන්න හැම පාසලකට ම කෝල් කරන්න ඇවරිතුමා කටයුතු කළා. බොහෝ ලිපි අදාල අංශවලට ලැබී තිබුණෙ නෑ. සමහර ලිපිවලට පිළිතුරු එවා තිබුණත් ඒවා ප්‍රමාදයි. ඒ දිනවල පාසල්වල ක්‍රීඩා තරග නිසා තවමත් ලිපිය ක්‍රීඩා භාර ආචාර්යවරයා ළඟ. අපි ශිෂ්‍යත්වය සඳහා පාසලකින් දරුවන් දෙදෙනෙක් යෝජනා කර එවන හැටියට දන්වා තිබුණ නිසා එහි තොරතුරු පිරවීමට කාලයක් ගත වුව බව ඇත්තක්. කොහොමින් කොහොම හරි මුල් ම උපකරණ බෙදා දීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් හයක් සහ ගම්බද ක්‍රීඩා සමාජ දෙකක් සම්බන්ධ කරගත්තා. එය පැවැත්වුනේ නුවර ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී. දෙවැන්න බෙන්තොට සෙන්ටාරා හෝටලයේදී. ඔහොම ඔහොම අපි ආපු ටුවර්ස් පහකදී අපි දිස්ත්‍රික්ක පහකට ක්‍රිකට් බෑග් හැත්තෑවක් විතර බෙදුවා.
කවදා කරපු ක්‍රිකට් ප්‍රැක්ටිස් ද ආයුබෝන්...?? ඇවරි ද කෝච්!! 
 කල් යද්දි ලයන්ස් ස්පෝර්ට් එකේ ඇන්ඩෘ ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් හොයන්න ගත්තා. දවසක් පහළොවෙන් පහළ තරගාවලි ලේකම් ඇවරිතුමාට නිල ආරාධනාවක් කළා. අපි ක්‍රිකට් බෝර්ඩ් එකට යද්දි හැමෝම අපිව අඳුනගෙන හිටියා. අපි කරපු වැඩ අහලා තිබුණා. එතනින් පස්සේ අපිට විදුහල්පතිවරුන්ට කතා කරමින් අමාරුවෙන් වැඩ කරන්න වුනේ නෑ. අපි දිස්ත්‍රික්කයක් නම් කළා ම ඒ කළාපයේ අමාරුවෙන් ම ක්‍රිකට් ගහන පාසල් ටික පාසල් ක්‍රිකට් සම්මේලනය මගින් නම් කොට අවසාන නාම ලේඛනයක් අපවෙත එවන තැනට වැඩේ සිද්ද වුනා. එතනින් අපිත් යම් සොයාබැලීමක් සිදු කරලා අවශ්‍ය පාසල් තෝරාගෙන ඔවුන්ට ආරාධනා කරලා වැඩේ කරගෙන ගියා. අපේ ඉලක්කය ළමුන් දහඅට දහසකට උපකරණ ලබා දීම. ඒ අපේ ප්‍රනාව් වෙනුවෙන්. එයාට හැදිලා තියෙන මොළයේ නියුරෝන අසමතුලිතාව ළමයි දහඅට දාහකින් ළමයෙකුට හැදෙන එකක්. වෛද්‍ය නිගමනය අනුව නව යොවුන් වියේදී ඔහු මිය යනවා. සාමාන්‍යයන් අපි දෙන සම්පූර්ණ උපකරණ කට්ටලයක් ලක්ෂ දෙකත් තුනත් අතර පමණ වෙනවා. පාසලකට අවම වශයෙන් කට්ටල දෙකක් ලැබෙනවා. ඉන් ළමුන් තිහකට පමණ ක්‍රීඩා කළ හැකියි. අප කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිලෝග්රෑම් හතළිහක් බැගින් ලබාදුන් නිසා මුලින් ම සියලු ම උපකරණ අපි ගෙන්වුවේ ගුවන් මගින්. නමුත් එකවර කණ්ඩායම් දෙකක් ක්‍රිකට් සංචාරයකට ආපු නිසා හීතෘ ගුවන්තොටුපලේ එක් පර්යන්තයක් ම අපේ පිරිසගෙන් පිරීයාමෙන් ගුවන්තොටුපල රාජකාරී සඳහා බාධා පැමිණුනා.

මේ පුංචි උන් කවදාවත් ම ග්ලවුස් දාලා බැට් කරලා තිබුනෙ නෑ..
ඔවුන්ට බැටින් පෑඩ් ඇන්දීමෙන් අපි බොහෝ විනෝද වුනා
එහිදී ඇතිකරගත් එකඟතාවයක් මත සියලුම ආධාර ලෙස ගෙන්වන ක්‍රිකට් උපකරණ බහාලුම් මගින් ගෙන්වීමටයි සූදාකම් කරුණේ. මාසතුනකට වරක් එක කන්ටේනරයක් බැගින් ගෙන්වන්න අපි කටයුතු කළා. ඇත්තට ම කාලයක් තිබුණා බඩු බෙදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න බැරි වුන. දැන් දැන් අපි දෙමළ පාසල් ගැනත් අවධානය යොමු කරලා තියෙන්නේ. ක්‍රිකට් කියන්නේ ඇවරි පුද්ගලිකව අකමැති ක්‍රීඩාවක් වුනාට දැන් කැමැත්තක් ඇතිවෙලා මොකද ඒ දරුවො මිල අධික සන්නාම යටතේ නිමැවුන උපකරණ ආසාවෙන් අතට ගද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. තව පුළුවන් තරම් කාලෙකට අපි මේ වැඩේ කරනවා. ඇත්තට ම කිව්වොත් එංගලන්තේ අපිට එකතුවෙන බඩු ලංකාවට ගෙන්වන්න විශාල මුදලක් යන වැඩක්.

නමුත් අපි සෑහෙන්න ගේමක් ගහනවා. මුලින් මුලින් තමා කාගෝ රිලීස් කරගන්න අමාරු වුනේ. දැන් නම් කිසි ගැටලුවක් නැතුව කන්සයින්මන්ට් ඔෆිස් එකට ම එනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාසල් ක්‍රිකට් සංචිතය, ‍පෑලියගොඩ රේගු කාර්යාලය වගේ ම දානපතියන්ට මෙච්චර දුරක් අපිව එක්කන් ආවට සුබපතන්න ඕන.

සාමාන්‍යෙයන් අපි බෙදාදෙන්නේ පාවිච්චි කළ ක්‍රිකට් උපකරණ වුනාට මේ ඊයේ පෙරේදා අලුත් ම බඩු වගයක් අපිට ලැබිලා තිබුණා. එහේ ළමයි ගෙවල් වල වැඩකරලලා එකතු කරපු සල්ලිවලින් ලංකාවෙ ළමයින්ට අලුත් ම ක්‍රිකට් උපකරණ මිලදීගෙන. තමුන් නොදන්නා රටක ළමයින් වෙනුවෙන් තමුන්ගේ මහන්සියෙන් උපකාර කරන්න මිනිස්සු පොළඹවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඇවරිගේ බොස්තුමා ඒක අපූරුවට කරනවා. තමුන්ගේ මුදල් ප්‍රයෝජනවත්ව තවත් ජාතියක ළමයි යොදා ගැන්නවා දැකීමෙන් ඒ මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.

අපේ අන්තිම කැම්පේන් එක කෙරුණෙ කිළිනොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කවල. යාපනේ තුලසි මහල් වෙත ප්‍රදාන උත්සවයට පැමිණි ළමුන්ගෙනුත් අපට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. එක ශිෂ්‍යත්වලාභියෙක් අපි හොයාගත්තේ පුතුකුඩඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයෙන්. ආයෙත් නොවැම්බරයේ පටන් 2017 මැයි දක්වා  ම අපිට වැඩියෙන් වැඩ තියෙනවා. මේ හැමදේම කරන්නේ අපි කිහිප දෙනා තමයි. බඩු තෝරන්නේ ලංකාවෙන් වෙලාවෙන් රෑ දහයාමාරෙන් පස්සේ. අපේ එහේ කාර්යාල වේලාවන්ගෙන් පස්සෙ. ඉතිං ඉවර වෙද්දි පාන්දරට එළි වෙනවා. නමුත් කොච්චර මහන්සි වුනත් අපි දන්නවා ඒකෙන් ලංකාවෙ ඈත පිටිසර පළාතක ළමයි පිරිසක් සතුටු වෙන බව. අපි අලුතින් ගත් ඉන්දීය සම්බවයක් ඇති දමිළ සේවිකාව නිසා වැඩ තවත් ලේසිවෙලා තියෙන්නේ. ඇය බොහෝ චතුරව භාෂා තුනට ම හසුරවනවා. මුලින් මුලින් ඈර් පේසින්ල්? කියලා අහලා කොංජ ඉරුන්ග අම්මා.. තමිළිලෙයි පේස ඒලාද කියපු ඇවරි ඕ.. සරි සරි...එන්න විෂියුම්..?? කියලා ක්‍රිස්ට නොදී ම ඇදගෙන යනවා. ඇත්තට ම අපේ කාර්යාලීය භාෂාව සිංග්ටැංග්ලිෂ් වීම අමතර වාසියක්.


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....