Saturday, January 1, 2011

ඇවරිගේ 100 වැනි සලාදය


මේ ඇවරිගේ 100 වැනි පෝස්ට් එක. ඉතිං මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියන්ත්, පුන්‍යානුමෝදනාවක් සදහා වගේ ම අලුත් ප්රවුත්තියක් දැනුම් දීම සදහාත් මං මේ පෝස්ට් එක ලියනවා.

ලිපි සියයක් ලියුවට මොක ද ඇවරිගේ සලාදය නමින් මං ලියන බ්ලොග් එකෙන් කිසිම වැඩක් නෑ කියලා මට හිතෙනවා. සිංහලෙන් බ්ලොග් එකක් කරන්න මට අදහසක් දැම්මෙ අරවින්ද. සුගීත් තමයි සලාදෙ නිර්මාණය කරලා දුන්නේ. එතකොට මං ලියපුවා සංස්කරණය කළේ වගේ ම අදහස් දැක්වීම් කරලා අපි වැඩක් කරමු කිව්වෙ ප්රසාද් අලුත්වත්ත සහෝදරයා. අපි ඇත්තට ම වැඩක් පටන් ගත්තා. නමුත් විවිධ ප්රශ්න නිසා ඒ වැඩේ නැවතුනා. අන්තිමේ දී මගේ අදහස් ටික තනිවම ලියන්න පටන්ගත්ත ම කලින් කියපු සුබපතන්නන් ගොඩක් උදව් උපකාර කළා. ඒවට මං ස්තුති කරන්න ඕන.

මේ බ්ලොග් එක පිටස්තර අයට ලියන්න මගේ අදහසක් තිබුණේ නෑ. දැන් මේක ලපයි සිපයි හැමෝ ම බලනවනේ. (‍විහිලුවට කීවෙ) ඒකට කාරි නෑ. නමුත් කොමෙන්ටු නම් අඩුයි. ඒකට අපූරු කතාවක් අපේ අලුතා කිව්වා. “නෑ මචං උඹේ කට හොද නෑනේ. නමුත් උඹ ලියාගෙන පලයං. සමහර වෙලාවට අපේ මිනිස්සු මොකුත් නොකියන්නෙ ඒවා වදින නිසා. වැදෙන තැනකට වැදියන් කියලා ලියපන්” අන්න ඒ නිසා ම මං තාමත් ලියනවා. හැමෝ ම කියන්නෙ නවත්තන්න එපා කියලා. කමෙන්ට් නැති වුනාට අපේ කස්ටිය ප්රසිද්ධ සභාවල සලාද පෝස්ට් වලට කමෙන්ට් කරද්දි තමයි කාලා ඉන්න බැරි. අර කිඹුලා කනවා ඉවසුවත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියනවනේ???

නමුත් මට ඕන කළේ අපේ අපේ අය ගැන celebrity බ්ලොග් එකක් ලියන්න. අනාගතයට බ්ලොග් ලිවීම කියලයි මං ඒකට කියන්නෙ. දැන් බලන්න ප්රසිද්ධ පුද්ගලයන් ගැන අපි කොච්චර ඕපා දූප දන්නව ද? සාමාන්‍ය ඔබ ගැන එහෙම ලියන ලියැවෙන තැනක් නෑනේ. මට නම් මගේ වගේ ඉන්න සියලු දෙනා celebrity කැටගරි එකේ තමා. ඒ මිනිස්සුන්ගෙ සැප දුක ගැන අපි (අපි කිව්වට ‍මේ මං හරිය) නිරන්තර අවධානයෙන් පසුවෙනවා. අන්න එතනදී....... තමයි ඇවරිගෙ මිත්තරයෙක් වෙන එකේ පුංචි අවධානමක් තියෙනවා කියලා කතාවට කියන්නේ. සමහර වෙලාවට නම් මට මිනිස්සු ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වෙනවා. හරියට නිතර නොයන පාරවල්වල වල් බිහිවෙනවා වගේ නිතර හමු නොවන අය ගැන අමතක වෙනවා. වැඩක් නැති වෙලාවට කාලෙකින් කතා නොකරපු අයට මිස්ඩ් එකක් තියන්න පිස්සුවක් තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

මට ඕන මං දන්න මගේ වටේ ඉන්න මිනිස්සු ටිකවත් චරිත බවට පත් කරවලා ඒ අය මේ ජීවිතේ කරපු හපන්කම්, මෝඩකම්, පුරසාරම් වගේ ම එදා ඉදන් අල්ලපු නෛයාඩම්, අඩව්, කස්තිරම් සියල්ල ලියා තබන්නයි. ඡායාරූප සමගින් ම මේවා පළ කරන්න අපි හිතන් ඉන්නවා. මං ළග ඒවගේ පිස්සු නටපු ඒවවල හොද එකතුවකුත් තියෙනවා. මං කලිනුත් කියපු චරිත පෝස්ට් ටික ලියැවුණේ මේ නව බ්ලොග් අඩවිය සදහා. පහුගිය නොවැම්බරයේ තමා අපි මේක කළේ. (නොවැම්බරයේ සලාදයට එක ම පෝස්ට් එකක් දැම්මෙත් මේ නිසයි) ඇබැද්දි අයියාගේ කතාව තමා මං එහෙම ලියපු මුල් ම පෝස්ට් එක. ඒවා පවුලේ කතන්දර, සලාදයට දැ‍ම්මොත් දැන් අපිව කියවන මිනිස්සුන්ට ඒක බාධාවක්. ඒවට අපි අපි මිසක් කවුරුත් කමෙන්ට් කරන්නෙත් නෑනේ?? මොක ද අනුන්ගෙ කතන්දර ඒ අය තමන්ට වැඩක් නෑ කියලා හිතාවිනේ. මෙතෙන්ට ඒ පෝස්ට් දැම්මහම සලාදයට හැඩයක් දීපු මිනිස්සුන්ට අසාධාරණයක් කියලා මං හිතුවා.

ඒ හින්දා ම අලුත් අඩවියකින් ඒ සියල්ල ප්රකාශයට වේවි. ඒකට අලුත් නික් එකක් යොදන්න ඕන වුනා. ඇවරි කියල ලිව්වොත් අපේ බුවාලා හොයා ගන්නවානේ??? තවත් ප්රශ්නයක් තියෙනවා. අපි මෙහි කිසිවක් දැන් ම ප්රචාරය කරන්නෑ. මොකද අපේ යාළුවො ගොඩක් තරුණ අයනේ. තමන් ගැන ලියැවෙන පුංචි පුංචි හින්ට් ඉවසන්න තාම අපේ අයට පුරුද්දක් නෑ. තරුණ විසේ නේ?? කාත්නා පාර්ශවය නම් තමන් විවාහ වූ පසු ඒ වගේ වැඩක් තමන්ටත් බලන්න කරන්න කියලයි ඇවරිට කිව්වෙ. ඒ සියල්ල නිසා ඒ අය ටිකක් එක්ලස් වෙනකම් ඉදලා සැර බාල කරලා මේ බ්ලොග් එක 2015 දී හෙළි කරන්නයි අපි හිතන් ඉන්නෙ. ඒ වෙනකම් රහසිගත අඩවියක මේ කතා සේයා රූ සමගින් ප්රකාශයට පත්වේවි.

මේ වැඩේ සහමුලින් ම පිස්සුවක් කියලා කෙනෙක් කියාවි. ඇත්ත මං දන්නවා ඒක නම් මටත් හිතාගන්න අමාරු තත්ත්වයක්. නමුත් තමන් ගැන ලියැවුනු සංස්කරණය නොකළ වාර්තා රැසක් හෙට අනිද්දා මගේ මිත්ර සමාගමය කියවාවි. කියවලා මට බැන බැන හිනාවේවි. මං හිතන්නෑ කවුරුත් මෙහෙම වැඩක් කරලා තියෙනවා කියලා. නමුත් අපි කරනවා. මොක ද මා එක්ක වැඩ කරපු මිනිස්සු ගැන නාකි වෙලා හරි මං කියවන්න ඕන නිසා. මට තියෙන්නෙ අපූරු මතකයක්. හුඟක් ම ඒ මගේ පුස්කාපු ඩයරි වලට පින් සිද්ද වෙන්න. නව බ්ලොග් අඩවියේ පර්යේෂණ දියත් කිරීමක දී එක් මිතුරියකට ඔයාට මෙන්න මේ කතාව මතක ද? කියලා සිද්ධිය කිව්ව ම ඇය පුදුම වුනා තාමත් මට ඒ කතාව මතක තිබීම ගැන.

තවත් අතකට මේක තොරතුරු කේන්දරයක් වේවි. “එයා ගැන මෙයාගෙන් අහන්න” වගේ වැඩක් තමා මෙහි වෙන්නෙ. මට ඉන්න යාළුවො නැති වෙන්නත්, ඒ අය ගැන උනන්දුවෙන් හොයා බලන අලුත් යාළුවො ඇති වෙන්නත් මේ ‍බ්ලොග් එක හේතුවේවි. පුද්ගලයන් ගැන රෙෆරනස් කරන්න මෙතැන නියමයි. ඒ ඒ චරිතවල මා දුටු දුබලතා, ප්රබලතා, සාධනීය, නිශේධනීය සියලු ලක්ෂණ මෙහි ඇතුළත් කරනවා. ඒ සිදුවීම් අනාවරණ විදියට. ප්රතිචාර මත නියමිත කාලයට පෙර වුනත් මහජනයාට දෙන්න තීරණයක් තියෙනවා. කොහොම නමුත් මං බ්ලොගින් වල කෙරුමෙක් නෙමෙයි. මේ ලිමිටඩ් එඩිෂන් අලුත් බ්ලොග් එක කියවන්න විවේචන ඉවසන පිරිසක් ඇති කර ගැනීමට කාලයක් යයි. කිසිවෙක් සමග පුද්ගලික අමනාපකමක් නම් මගේ නෑ. කොහොමත් මං හතුරො හදා ගන්න මිනිහෙක් නෙමෙයි. හතුරන්ව හුඟක් ළඟින් තියා ගන්න මිනිහෙක්. එතකොට කරදර අඩුයි. කාන්තා පාර්ශවය නම් මා එක්ක වැරදිලාවත් තරහා වෙන්නෑ... (ඒක ඉතිං ප්රසිද්ධ රහසක්)

අවසාන වශයෙන් සලාදය සමඟ එක් වූ සියල්ලන්ට ඇවරි හිස නමා ආචාර කරනවා. තවත් කාලයක් අපිත් එක්ක රැදෙන්න ආරාධනා කරන අතරේ ප්රසිද්ධියේ මාව විවේචනය කරන්නන්ට තව තවත් ප්රවර්ධන වැඩසටහන් දියත් කිරීම ශක්තිය ධෛර්ය ප්රාර්ථනා කරනවා... සැමට සුබ නව වසරක්!!!

2 comments:

  1. එල එල ඇවරි අයියා ඔහොම යන් ඔහොම යන්. අපි එනවා මේක කියවන්න

    ReplyDelete
  2. දිගටම ලියමු අපි ඉන්නවා උඹ එක්ක....
    කොමෙන්ටු අඩු වුනාට සැලෙන්න එපා...

    ජය වේවා...!!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....