Friday, January 27, 2017

උදේ දළදා රෑට සිරිපා හෙවත් Cast Away සින්ගල් අඩව්ව..!!




තිලිණි මැතිණියගේ අයදමින් කුරුණෑගල ප්‍රයාමය නිමාවට පත් කරලා ඇවරිතුමා කෙළින් ම ගිරා මාරු වුනේ තමුන්ගේ පුද්ගලික චාරිකාවට සාමාන්‍යයෙන් එක ට්‍රිපක් අහවර කරලා තව ට්‍රිපකට සෙට්වීම ඇවරිගේ ඉතා ප්‍රකට පුරුද්දක්. ඇවරිගේ පෙර ට්‍රැවල් හිට්ස් හැටියට අපේ ටුවරිස්මුස් සෙට් එක සීගිරියේ සිතුවම්ගේ ගෙදර ගියපු දවසෙත් එක රැයක් ඉඳලා අනෙක් දවසේ සවස වෙලේ එල්ලේ මැච් එකකුත් ගහලා, ගමේ කොල්ලන්ට පැරදිලා යාසෝ කැලුම් වර ජෝතිය ජයෙන් උදාරයි කියාගෙන, එදා සවස් ජාමේ තමුන්ගේ ගජේ පොරවල් සිටි අනුරාධපුර රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ නේවාසිකාගාරයට ගියා මතකයි.

අපි අනුරාධපුරේ පූජා නගරය බයිසිකල්වලින් කරුණා කරලා කි.මි 60කටත් එහා තිබුණ මින්නේරියෙන් නාන්න බයිසිකලේ ගාටන්න ගත්තේත්, අන්තිමේදී දිවුල්ගස් වැවෙන් නාලා, අලි පාරට ආපු නිසා කට්ට කෑවෙත්, කඅලුතා මහතා ඩී90 බස් හෝල්ට් එකේ දමා ඇවිත් යාපනේ හන්දියට මහා සයිකල් ධාවනයක් දැම්මෙත්, මහ රාත්තිරියේ බස් නැවතුමක් ඉස්සරහ ඇවරිතුමා ඩිප්ස් ගහන්න තියා ගත්තෙත්, ඔය ඔක්කොමත් කරලා හිටන් ක්ලෝසා අපි හිටපු කාමරේ යතුර පරිස්සමට කියලා කොළඹට ම ගෙනාවෙත් ඒ චාරිකාවෙ තමා. කවදාවත් කස්ටිය ට්‍රිපක් ප්ලෑන් කරද්දි තමුන්ට බෑ කියලා නොකියන ඇවැරි එක චාරිකාවක් අහවර කරලා හෝ එහි මගින් හෝ අනිකට සෙට් වෙන්න හරි දක්ෂයි.

සිරිපා කරුණාව ඇවරිගේ ඇනුවල් ඉවෙන්ට් එකක්. ආයෙ කොහේ නොගියත් සිරිපාදෙ යනවා නම් අවුරුද්දට කී සැරයක් වුනත් කාරි නෑ. අවස්ථා දෙකකදී එක ම අවුරුද්දේ දි දෙවර බැගින් කරුණා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් ආසයි. අවසාන වශයෙන් සිරිපා කරුණා කළේ අපේ පවුලේ උදවිය සමග නෑයන් හා වේයන් සමග කළ සිරාපා කරුණාව කියලා පෝස්ටුවක් ඇති මයෙ හිතේ. ඇවරිට අමතක නොවන සිරිපා සටහන් අතර කෝඩු කරුණාව, බාලදක්ෂ කරුණාව, ප්‍රේම කරුණාව, සහයක ඩැනී කරුණාව, වේයන් හා නෑයන් කරුණාව ප්‍රධානයි. හැබැයි එදායින් මෙදාවට කළ හොද ම කරුණාව තමා පැය දෙකක් තුළ මළුවට ම කළ 2016 හුදකලා කරුණාව.

කෝඩු කරුණාවෙදි අපි මළුවේ කාමර අරන් නැවතිලා හිටියා. ඒ ගැන පරණ පෝස්ටුවේ ඇති. බාලදක්ෂ කරුණාවෙදි සීත ගගුලේ ඉදන් මකර තොරණ ගාවට ආපහු ඇවිත් යන්න වුනා අපේ කොල්ලෙක් දාලා ගිහිල්ලා. තව ඒකේදි සොදා අයියා ඇවරි නිදිමතේ ෆුට් බෝර්ඩ් යද්දි කෝච්චියෙන් වැටෙන්න ගියා ම අල්ලාගෙන පණ බේරුවා. සහයක ඩැනී කරුණාව නම් ඉල්ලා ගෙන කෑමක්. ඇවරිගේ එක්ස් ඇවරි හාමිනේ එක අවස්ථාවක පුද්ගලික හේතුවක් මත තවත් කෙනෙක්ගේ සහායට යන ගමනක් සදාචාරාත්මක නොවේ යැයි කියමින් සිරිපා කරුණා නොකරන හැටියට බලවත් ඉල්ලීමක් කරනවා. සැදැහැති බෞද්ධ කාන්තාවක් වන හිටපු ඇවරි හාමිනේ එහෙම කියන්නේ සිරිපා කරුණාවට ඇති අකමැත්තට නොවෙයි. හුදෙක් ම ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා. නමුත් ඇවරිතුමා ඉතිං ලොකු සීන් නේහ්. ඉට්ස් ඕකේ බේබි කියාගෙන ඒ කරුණාව තමුන්ගේ අතිජාත මිත්‍රයාගේ සහයකයා හැටියට යනවා. නයිට් මේල් එකේ ගිහිල්ලා කට්ට හීතලේ හැටන් ස්ටේසමට වෙලා හාමිනේගේ ද්වේෂසහගත කෙටිපණිවිඩ කියවමින් තමුන් විහින් කරගත් ගොන්කම ගැන චිත්තාපර වෙමින් මදුරුවන් තලමින් මිත්‍රයා සමග කෝපි බිව්වා තාමත් මතකයි. කරුණාව හොදට කෙරුණත් පහුවදා අධි චෝදනා පත්‍රයක් විභාග කෙරුණාම තමා ඇවරිට වරදේ බරපතලකම තේරුණේ.


හැබැයි අද අවුරුදු විසි නවයේ දී තේරෙන හැටියට ඒ වරද වුනත් හුදෙක් ම සිරිපා කරුණාවට තියෙන නොනිමි ආශාව නිසා සිද්ධ වුන දෙයක් මිසක් හාමිනේ කියපු දේ නොසලකා හැරීම නිසා සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි. ඇවරි හිතන හැටියට ආයෙත් හදා ගන්න තියෙනවා නම් නොකරන ඓතිහාසික වැරැද්දක් තමා ඒ. මොකද ඇවරි එක කාන්තාවකගේ කුරිරු සතුටක් වෙනුවෙන් ගරුකටයුතු කාන්තාවක් තිදෙනෙකුගේ සතුට නැති කළා. හදවත කොනේ මා කදුළක් තියෙනවා කිසිදාන නොපැතූ - නොසිතූ ලෙසේ කියන්නේ අදටත් ඒ පසුතැවිල්ල තියෙනවා. කිඹුලි කන්න පැන්නේ ගගට බැස්ස නිසාය කියමුකෝ ආයුබෝන්. ඒත් කොහිල කටු ඇණෙනවා ඉවසන්න බැරිය කියන්නේ මගේ මිත්‍රයාට ඒ ගැන වගේ වගක්වත් නැති වීම නිසා. මොන ජීවිත ද චාමර මෙව්වා? සිරාවට ඒක නම් දුර දිග නොහිතා කළ පජාත ම වැරැද්දක්. ප්‍රේම කරුණාවෙදි නම් ඒ විදියට අමනාප වූ හාමිනේ පද්මෙට ම කරුණා කළා. ඒක ඇවරි වැඩිම කාලයක් ගත කළ කරුණාව. නඩේ ඈයො අරව කළා ඉදිකටුපානේ දී කියන්නේ, සෙනග වැඩි වෙලා ඉදිකටුපානේ නැවතිලා නිදාගත්තත් මතකයි. එහි බොහෝ සැමරුම් අදටත් තියෙන එක සතුටක්. විශේෂයෙන් ම පඩි නඟින සාම චෛත්‍යය පාරේ මතක.

වේයන් හා නෑයන් එක සුපර්බ්. සම්පූර්ණ වගකීම් දරන්නා හැටියටත් නඩේ ගුරා හැටියත් කළ ඒ කරුණාවෙදි මුළු නඩයක් සතුටු කරන්න හැකි වීම සතුටක්. අනික එච්චර අඩු වියදමකින් තිස් පහකට වේල් හයක් කන්න දුන්නා කිව්ව ම ඇත්තට ම පුදුමයි. නමුත් ඇවරි බොහොම සාර්ථකව ඒ අභියෝගය ජය ගත්තා. තනිව නෙමෙයි. ඒ වගේ හිතපු ගොඩාක් දෙනාගේ උදව්වෙන්. පවුලේ උදවිය අතර බොහෝ ප්‍රසිද්ධ කොණ්ඩයියාහ්.. ජුන්ඩට හීතලයි!! කතාව මේ කරුණාව හා සම්බන්ධයි.  

දැන් ෆ්ලෑෂ් බැක් අහවර කරලා මේ කාලෙට එමු. හිතුමනාපෙට ගියපු ඒ ගමන ඇත්තට ම උපරිම ෆන් සහගතයි. තනිව තමුන් කොච්චර ශක්තිමත් ද කියලා බලන්න තමා ඒ ගමන වැඩියෙන් යොදා ගත්තේ. තවත් 2017ට හොඳ පටන් ගැන්මක් සටහන් කරන්නත් ඒ වගේ වැඩක් හරියයි කියලා හිතුවා. ගමන පටාන් ගත්තෙ නුවරින්, කුරුණෑගලින් නුවරබස් එකක නැඟලා පට්ට නිදිමතේ හීත කාගෙන ආපු ඇවරි ඇහැරුණේ අලුත ඇරපු තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක හරියෙදි. ඒ වෙනකොට නුවර ඇහැරුණා විතරයි. ඒ ලංගම බසයේ කොන්දොස්තරවරයා තිලවර්ධන සාප්පුව ගැන දීපු කොමෙන්ට්ස් ටික ඉස්තරන්. අපරාදෙ කියන්න බෑ මහත්තයෝ නුවරටත් සිංහල රෙදි කඩයක් ආව. පහුගිය දවස්වල ඔතනින් යන්න බෑ සෙනඟ කන්දරාව. ඒ මිනිස්සු අවුරුදු ගාණක තොග අඩුවට ම දීලා ඉවර කරගත්තා. අපේ කට්ටිය ලෝක අවසානෙ වගේ ඇදුම් ගත්තේ.

මාළිගාව බහින්න කිව්ව ම ඇවරිත් මෙලෝ සිහියක් නැතුව බැස්සා. සිරිපා කරුණා කරන්න යන ගමනේ උදේ වරුවේ මාළිගාව වැඳලා බදුලු කෝච්චිය අල්ලගන්න වෙලාව තිබුණා. ඇවරිතුමා හිත පුරා දළදා වැඳලා, පිරිත් කියලා, නාථ දේවාලයට පඩුරු දාලා කාරිය වැල් බෝධියට ගියා. ඒක අපේ ගංගා මැතිනිය ඇවරිට ඇති කරපු පුරුද්දක්. එතුමිය ඇගේ හැම උපන්දිනයකට ම නුවර වැල් බෝධියට කිරිපිඩු හදාගෙන එනවා. ඉහළ ම මාලෙට නැඟලා පෝ අත්ත ළඟින් ඔළුව නවාගෙන, මුලින් ම වැල් බෝධින නාවන්න එක්ක ගියෙත් ගංගාවෝ ම තමා. ඒ හොඳ පුරුද්ද වෙනුවෙන් ඈට පින්. එදායින් පස්සෙ අඩු ම විනාඩි තිහක්වත් ඇවරි ඒ භූමියේ ගත කරනවා. බොහොම නිස්කලංක තැනක්. වාසනාවක් තිබුණොත් අලියත් බලාගන්න පුළුවන්. ඊළඟ වන්දනාව සංචාරක තොරතුරු කේන්ද්‍රය. එහි ඇවරිගේ සරසවි මිතුරිය මුණගැහුණා ම වන්දනා කටයුතු නිල වශයෙන් ඉවරයි. ඊළඟට උදේ කෑම. ඒකට ඇවරි යන්නේ ඇවරිගේ කැමතිම වේටර්වරිය සිටින සිංහල කඩේකට. ඒ හරියෙ පේස්ට්‍රි කඩ ටික නම් ඇවරිට අමතක නොවෙන්නේ හාමිනේ එක්ක මෙගා රොමයක් ඉන් එකක දී ඇදගත් නිසා. ඇවරිගේ චොයිස් එක වේටර්වරුන්/වරියන් සුදු කළු ඇඳුමින් සැරසී සිටින වඩා හොඳ සේවාවක් ඇති බොහෝ නිස්කලංක තැනක්. සාමාන්‍යෙයන් ඇවරි රාජකාරී වැඩ සමගින් අවම විනාඩි හතළිස් පහක් ඒ පතරාසය ගන්න බව සේවිකාව දන්නවා. තෝසෙ, ඉඳිආප්ප, පරාටා, පිට්ටු එකින් එක වෙන වෙනම ඇණවුම් කර කන්න පුළුවන්. කෝමත් මගේ තැන නිසා ඇය බොහෝ කරුණාවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන පමාවෙන් සපයනවා. විශේෂයෙන් ම උණු වතුර.

ඉක්බිති මහා නිෂ්ශබ්දතාවයක් වගේ විශාල කල් මැරීමක්. උඩරට කලා සංගම් ශාලාව ඇවරි කාලෙ කන්න කැමතිම තැනක්. අලුතින් ආපු නා නා විධ මෝස්තරවල අත්කම් නිර්මාණ බලබල ඒ ශිල්පීන් එක්ක කතා කරමින් ඇති තරම් වෙලාවක් කාලෙ කන්න පුළුවන්. වැව වටේ යන්නත් වෙලා තිබුණ නිසා ඇවරි ඒ වෝක් එක කළා. මල්වතු හාමුදුරුවන්ගේ පන්සලකුත් තියෙනවා ඇවරි නිතර යන එන. හරියට ම කීවොත් වැව රවුමේ අසපුව එහා පැත්තේ. ඒ රෝන්දෙට ඇවරි බොහොම මනාපයි. හැබැයි මහාමායාව ළඟින් යද්දි නම් නොසෑහෙන්න පරිස්සම් වෙනවා. ඔය ටික අහවර කළාම ඇවරිතුමා එන්නේ ඉස්ටේසමට.  


ඇවරි කවදත් වාඩි වෙන්න ආස මාතලේ වේදිකාවේ කෙළවරේ බංකුව එදත් හිස්ව තිබුණා. මොකද අර කලින් කී වලියෙන් පස්සේ ස්ටේෂන් එකට ඇවිල්ලා අපි එක ම බංකුවේ දෙකෙළවරේ වාඩි වෙලා හිටියේ. මොකක් හරි වැදගත් කාරණාවකට අපි දෙන්නා යොදාගත් ඒ ගමන මුල ඉඳන් ම අවුල්. අපි බස් එකේ ගිහින් කෝච්චියේ ආව. හැබැයි එදා රිටර්න් ජර්නි එක තමා ජීවිතේ නුවර-කොළඹ පළමු පන්තියේ වෙන් කළ ආසන සුපිරිම එක. දැන් කල්පනා කරලා බැලුවම තමා අපි ඒ කාලෙ කොච්චර වියර්ඩ් මිනිස්සු ද කියලා හිතෙන්නෙ. හිස්ට්‍රි රිපීට්ස් පුතා.


හැටන් දක්වා ගමන සෑහෙන්න දිග එකක් වුනාට ආසන බලාපොරොත්තුවක් ඇවරිට තිබු‍ණෙ නෑ. ඉෂාන් ෂිවන්දන බයික් එක ගන්න ඇවරිගේ ගෙදර එන ගමන් ඇඳපු ඇඳුම් ටික ගෙදරට දාගෙන යාමේ වගකීම බාරගත් නිසා ඇවරිගේ සැහැල්ලුව බොහෝ සැහැල්ලු වුනා. ඇවරිට ඕන වුනේ හැම ස්ටේසමක ම වගේ බැහැලා වෙන පෙට්ටියකින් නඟිමින්, කෝච්චියේ මුල මැද අග ආදී හැමතැනක ම ගමන් කරමින් මිනිස්සු එක්ක කතා කරන්න. ඒක බොහෝ විනෝදකාමීයි. ඇවරි එහි ගාඩ් කොලූ එක්කත් කතා කරලා ගාඩ් රූම් එකෙත් ටික දුරක් ගියා. තනිව ගියොත් මිසක් කීයටවත් සෙට් එකක් එක්ක ගිහින් එහෙම ජෝගි නටන්න බෑ.  විශේෂයෙන් ම තේ දලු නෙළන ළඳුන් හා කැඩුණු දෙමළින් කළ කතාබහ අමතක වෙන්නෑ. ඒ වගේ ම සුදු ජාතිකයන් එක්කත්. ගොඩක් අපේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වළස් අඩි (barefoot) පානිය නැඟලා ගියා. අවාසනාවට ඒක ඇවරිගේ වෘත්තිය නිපුණතාවය ලු ඉතිං. ලොල්   

ඇවිල්ල යන්න හෙවත් 2016යේ නැට්ටෙන් ෆන් ගත් හැපී ජර්නිය
























2017 ගැන ලියන්න කලින් 2016 අවසානය ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. ඉන් එකක් තමයි කිරිගල්පොත්ත තරණය. මේ වැඩේ සිද්ද වුනේ බොහො ම අහම්බෙන්. ඇවරිගේ හොඳම යාළුවා සලාදය කියවන බොහෝ දෙනා දන්නවා ඇතිනේ. සුබූ, සුකුමා, ළඟපාත, ක්ලෝසා වගේ බොහෝ අන්වර්ථ නාම ඇති සුගීත් තමා ඇවරිතුමාගේ ළඟ ම මිත්‍රයා. ඇවරිගේ හොඳ ම මිතුරිය තමා සඳමිතුරිය. නැත්නම් තිළිණි ප්‍රේමතිලක. මේ දෙන්නාට ඇවරිතුමා ගැන සෑහෙන්න වද දීලා තියෙනවා. කවද හරි මුන් දෙන්න කට ඇරපු දවසකට ඇවරිගේ සායම හේදන බව ෂුවර්. දෙන්නට ම ඇවරි කාලෙකින් කතා කරලා නැත්තෙ මගේ වෙලාවල් මුන් දෙන්නට ම සෙට් වෙන්නෙ නැති නිසා මොකද මං රෑ එකට දෙකට කතා කරද්දි දෙන්න ම සැප නින්දේ.

සුගී-තිළිණි දෙන්නත් හොඳ යාළුවෝ. මේ ඩබලට ම පොදු සමානකම් ගොඩක් තියෙනවා. කවදාවත් ඇවරිට මේ හොඳම යාළුවො දෙන්නගේ උපන්දින මතක හිටින්නේ ම නෑ. තිළිණිට කවදාවත් උපන්දිනේට විෂ් කරන්න වෙන්නෙ ම නෑ. සුගියා නම් ඊට වඩා වස්ති අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවල්වලදි සමහර දේවල් මුන් දෙන්නට නොකියා කරලා කෙළවගෙන සුගියා අවුලක් බන් කියාගෙන ආයෙත් පොර ගාවට ම යන වෙලාවල් වගේ ම, බෑ බබා මේකට මං උදව් කරන්නේ නෑ. කියලා සඳමිතුරිය සහාසික විදියට සමහර අන්ඩපාල ව්‍යාපෘතිවලින් ඉවත් වෙන වෙලාවලුත් තියෙනවා. ජීවිතේ ඇවරි කරන ලොකු ම වැරැද්ද තමා මේ දෙන්නට සමහර දේවල් නොකියා සිටීම. සුගී නම් ඒ වෙලාවට බොහොම කූල් එකේ ඉන්නවා. උඹ ඉතිං කෙළවගත්තන් එන්නේ මං ගාවට නේ. හැබැයි සඳමිතුරී නම් එහෙම වෙලාවල් වලදි වාඩුව ගන්නවා. තමුසෙ මට කිව්වෙ නෑනේ..! කොරලා බලමුකෝ එහෙනම් කියාගෙන ඇය නම් අනිවා ගේම ඉල්ලනවා.

හැමදාමත් තිළිණි ගෙදර එන්න කියලා කිව්වට ඇවරිගේ වැඩ රාජකාරි නිසා ඒ ගමන් මඟහැරිලා තියෙනවා. නමුත් අපේ කව්වා, සමා සහ අනුරාධි එහේ කිහිප පාරක් ම ගිහින් තියෙනවා. (මතක හැටියට ගිය වෙසක් නිවාඩුවට) කව්වා ගැන කිව්වොත් එයා ගර්ල් ඔෆ් හර් ඕන් තමා. කරුණා නිධාන වූ සමා මැතිනිය, ද හෝම් මේකර් නමැති, කොච්චර අමාරු වෙලාවක දී වුනත් එකමුතුව වැඩ කරන්න මිනිස්සුන්ව සංවිධානය කරන මේ කුල කත වැඩකදි හැමෝට ම වෙන වෙන ම අවධානය දෙමින් ඔවුන් ගැන සොයා බලන්න තරම් කෙයාරින් අතින් ඉස්තරම්. අනිත් කෙනා අනුරාධි. හෝලි පීස් ඔෆ් ෂිට්!! එතුමිය අනුෂ්කා ෂර්මා වගේ බ්රෑන්ඩ් එකක්. පිස්සු කියන එකේ අනන්තය. ඇදහිය නොහැකි කාන්තාවන් අතරින් අග තනතුර දෙන්න පුළුවන් අපේ අනුරාධිට. මොකද පොර ඊළඟට මොකක්ද කරන්නේ කියලා ඈටවත් ෂුවර් නෑ. මෙත්මල් පිබිදේවා නිසා ම හොඳයි.

සාමාන්‍යෙයන් එංගලන්ත කැලැන්ඩරයට වැඩ කරන ඇවරිතුමාට නිල නිවාඩු ලැබෙන්නේ අවුරුද්ද අවසානයේ හෝ අප්‍රේල් ඊස්ටර් බ්‍රේක් එකට. ඒ කාලය ලංකාවේ අවුරුදු නිවාඩුත් එක්ක යන කාලය නිසා ලොකුවට පිස්සුවක් නටන්න ලැබෙන්නෙ ඉයර් එන්ඩ් වැකේෂන් එකේ තමා. දෙසැම්බර් නිවාඩුවට කුරුණෑගල එන්නැයි තිළිණි ආරාධනා කළේ කාලෙකට කලින්. නමුත් අපේ විද්වත් මණ්ඩලය යෝජනා ස්ථිර කළේ නත්තල් සති අන්තයට. කව්වාගේ මිත්තණිය අන්ත්‍රාවීම නිසා ඇයත් ෂෝර්ට් නෝටිස්ඩ්ස් නිසා සමා මැතිනියත් ගමනට නොඑන බව ප්‍රකශ කළාම ඒකත් කටින් යන ට්‍රිපක් වෙයි කියලා අපේ ගයිඩා ඉෂාන් බය වුනා. ඇවරිට නැවතත් රාජකාරි වාර්තා කරන්න තිබුණෙ බදාදා නිසා සති අන්තයේ කුරුණෑගල ඉඳලා සඳුඳා නුවර දවසක් ගෙවා එදින රාත්‍රී හැටන් ගිහින් සිරිපා කරුණා කරන්න ඇවරි වැකේෂන් ප්ලෑනක් ගහලා තිබුනෙ. ඒ අහු අස්සේ බර කරත්ත කියන්නේ ඇවරිගේ ඉහමොළ රත් වුනේ ඉෂාන් ගෙදර ආවම.

අපි කොටුවට යන ගමන් ඉෂානෝ චාරිකා සැලැස්ම විස්තර කළා. මචං අපි යන්නෙ කිරිගල්පොත්ත නඟින්න. වට් යකෝ ලංකාවෙ දෙවැනියට උස ම කන්ද? ඇවරිට ඌරු ජුවල් නැඟලා දැන්..! උඹ දන්නවනේ මං වෙජිටේරියන් හිටන් පේවෙලා ඉන්නේ සිරිපාදෙ කරුණා කරන්න කියලා. ඇවරිතුමා ඉෂානාට සත්තමක් දැම්මා. නොට් අ බිග් ඩීල් බ්‍රෝ උඹට මේ වැඩේ පුළුවන්. උඹ කියන්නේ දවස් දෙකට කඳු දෙකක් නඟින්න කියලද? හරි එහෙමයි කියලා උඹ දැන් පේවිච්ච එකේ සිරිපාදෙ නොයා ඉන්න ද? මස්ද කන්නේ මාළු ද කන්නෙ කියලා ඇවරිටත් හිතාගන්න බැරි තැනකට ආව. නමුත් කටු බොඩිය ගැන සීයට දෙසීයක් විශ්වාස කරපු නිසා දෙක ම කරනවා කියලා ඇවරිතුමා ඒකමතික තීරණයකට ආව.

අපි ටිකක් කලින් ගිහින් ඉඳගනිමු කියලා හිතාගෙන ෆ්ලැට්ෆෝම් ටිකක් දෙකක් අරන් ගියාට මාතර ඉඳන් ආපු රජරට රුජින නිවාඩු සමයේ නිවෙස් බලා යන්නන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුණා. අනේ ඉතිං අපි තුන්දෙනා දෙයියනේ කියලා ෆුට්බෝර්ඩ් එකක් ළඟ හඳුන්කූරක් හේම පත්තු කරලා පත්තර කොළයක් කාරිය එළාගෙන ඈඳි ගත්තා. අපිට සෑහේන්න ඩීසන්ට් පිට ගමන් කරන්න සිද්ද වුනේ ඉෂාන් කොලූගේ පොඩි ඩක්කුවක් ඒ කෝච්චියේ ම අනුරාධපුරේ යන බවට ලැබුණ විශ්වාසකටයුතු බුද්ධි තොරතුරක් නිසා. අනේ ඒ ඇත්ති පින් සිද්ධ කොරගන්න යන ගමනේ අපි ආයෙ හරහට ඉඳලා උදලු දාන්නේ මොකටෙයි?? එව්වා හිත නිවන කතාලු පින්වතුනි.  

කාලෙකින් මුණගැහුණු එක ම ක්ෂේත්‍රයේ ඇවරි, ඉෂානෝ අනුවෝ තුන්කටුව හෝටල්වල ඉන්න උන්ගේ සෑහෙන්න පතුරු ඇරියා. උන්ට හචිමක්වත් නොගියානම් තමා පුදුමේ. කොම්පැනි ගැන කතාවෙන් කතාවෙන් අනුරාධි බණ්ඩාරවෙල පටන් ගන්න අලුත් බිස්නස් එක ගැනත් සෑහෙන්න කතා උනා. ඇත්තට ම බන් උඹේ මල් කැඩිල්ලේ හැටියට උඹට බණ්ඩාරවෙලින් මල් කඩයක් ම දාතෑකි. මෙත්මත් ෆ්ලෝරා වගේ එකක් කීව ම අනුට හිනා ගියා. මග දිගට කඩචෝරු කකා රුජිනගේ වේගෙට පැද්දි පැද්දි ගිය ගමන අපූරුයි. අපි කුරුණෑගලින් බහිද්දි අපිව පිළිගන්න ටිලින් ඇවිත් හිටියා.

සින්දු කියන්න බැරි ශ්‍රීමාලි සින්දු කියද්දි අපි රොක් වුන ආකාරය.. :)
කොහෙද අනුරාධි ගිය තැන ගම ඊටින්කොරගෙන නැට්ටෙ ඉඳන් ගා ගන්නවානේ. ටිලින්ගේ තාත්තා ඉස්සරහ ම අපේ කාර්ඩුත් කුඩු කරගෙන කෝචිචියෙන් බැස්ස ගමන් ම ඇගේ සුපුරුදු සෝකාලාපය පටාන් ගත්තා. අනේ ඇවරි අපි සුපර් මාර්කට් එකකට ඉස්සෙල්ලා ම යන් ඈ. මං බ්‍රෂ් එක ගෙනල්ලත් නෑ. තව ඩිෂිබිල් පැකට් එකක් ගන්නත් ඕන. සනීපයි කියහන්කෝ. අපි ටවුම පහු කරලා පෙරේරා සහ පුත්‍රයෝ ළඟ නැවැත්තුවා ම සීනි මුරුක්කු ගන්න ගිහින් අනූ තව කෙළියක් කළා. කඩේ කොල්ලට කැටයම් මාලාවක් දාන ගමන් කතාව.  අපි තාම දවල්ටත් කාල නෑ අප්පා. ඒත් සීනි මුරුක්කු සෝයි. පැකට් එකක් ම දෙන්න ඉතිං. තව කේක් එකකුත් ඕන. ඒත් සීනි නේ??? ඉෂාන් කීවා ම, නෑ අනේ අයිසින් ෂුගර්!! අයිසින් ෂුගර් මහා හයියෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් එක දෙවනත් කළ අනුරාධිගේ අධිරංගනයට අපි කටවල් තදකරගෙන හිනාවුනාට කඩේ බුවාලා මැඩම් කිය කියා බඩු දුන්නා. ඊළඟට එතුමිය අමෘතවහ මාදිලියේ විනෝදයක් සැපයුවේ පාරේ ගියපු ටිපර් රථ රියදුරෙකුට. මාත් එක්ක පාර පැනපු මේ ඉබ්බි මම පාර පැනලා පස්ස බලද්දි පාර මැද හිටගෙන ඉන්නවා. කොපර කොපර පිපිඤ්ඤා නැතුව විජහට පැනපන් වාහේ..!! ආයෙ මක්කැයි පාර මැද්දෙ කොරනවා?  කාර්පට් පාරේ පිඹගෙව ආපු ටිපර්කාරයත් හෝන් ගහගෙන ඇවිත් පාරෙ හිටිය ඇන්ටි පාර දැකලා නතර කළාමත් මේක නෙමේ පාර පනින්නේ. අනේ ඉතිං අන්තිමේදී මේ ළමා මැහැල්ල ආරක්ෂාකාරීව පාර මාරු කිරීමේ මෙහෙයුමට තිලිණිට ම සම්බන්ධ වෙන්න වුනා.

අපි තුන් දෙනා ගෙදරට එද්දි හවස පහට කිට්ටුයි. තිලිණිගේ අම්මා ඇවරිව බොහොම ආදරෙන් පිළිගත්තා. බොහෝ අහිංසක ගැමි කුලකතක් වූ ඕ තොමෝ කොච්චර දුරබනුවෙන් ඇවරි හා කතා කළත් හැබැහින් දැක්කෙ එදා. ඒ අම්මා ඒ දවස්වල ඉඳන් ම එහෙම තමා. ඇවරි වෙනුවෙන් ම හදන අවුරුදු කැවිලි පාර්සලය ආසම මුංකැවුම් එක්ක වරද්දන්නෙ නැතුව එවන ඒ මාතාව හරි කරුණාවයි. දෝණියැන්දට නම් ඒ අත්ගුනේ, ඒ සච්චාරිත්තර ආදී ගුණවත්කම්වලින් එක අඩුක්කාලක සේසයක්වත් නැති වග වෙනම කතාවක්. එළ කිරෙන් දෙව්වත්- අඟුරු සුදුවන කලක් නම් නැත් කියනවනේ.  

ඇවරි මාතාව බැඳලා දුන්න බත් මුල කෑම තමා ඉස්සෙල්ලා ම කළේ. පස්සේ අපි තිලිණිලගේ ගේ ඉස්සරහ කුඹුරට ගියා. ඒ පැත්ත මාර නිස්කලංකයි. කොටින් ම කිසිම සද්දයක් නැති තරම්. ඒ මදිවට ඇල් පවන් හමා සුගන්ධයෙන් සුගන්ධ වීම. හීනි හීතලක් තිබුණ එකත් සෑහෙන්න වෙනසක් දැනුනා වෙලෙද්දි ඒ වෙල මැද පන්සල. ඒ සෙටප් එක ඇවරි සෑහෙන්න වින්දා. සවස් වෙද්දි හීතල ටිකක් වැඩි වුනත් ඉෂාන් අපිට නියමිත බඩු බාහිරාදිය ගන්න යමු කියපු නිසා කඩමණ්ඩියට ආව.

අපි වෙනුවෙන් ටිලින්ගේ අයියාගේ කාමරය සූදානම් කරලා තිබුණා. එහි ඔහු විසින් සාදා තිබූ රොකට්ටු හේම ඇවරිගේ සියුම් පරීක්ෂාවට ලක් වූ බවත් කියන්න ඕන. පහුවදාට ගෙනියන ගමන් මලු සූදානම් කරන්න, වතුර පුරවන්න වගේ වැඩ වලින් පස්සේ අපි නින්දට ගියා. ආයෙත් පාන්දර හතරට ඇහැරුණේ හෝර්ටන් තැන්නට යන්න. ටිලින්ගේ ඤාතී පුත්‍ර රත්නය සහ ඇගේ පිස්සු යෙහෙළිය ශ්‍රීමාලිත් අපේ ෂර්පාවරයා වුනු ලක්ෂිතත් ඇතුළුව හය දෙනෙක් ගමනට එක් වුනා. උදේ කෑමට සෙට්වුනේ නුවරඑළියට.

පොලිතින් නම් වානා, ඇවිල්ලා යන්න..//, ඒක වෙන කන්දක්, වගේ යාන්ස් ඇතුළත් දෙවන කොටස බලාපොරොත්තුවන්න.



Monday, January 23, 2017

නැලවිල්ලෙන් ආත්මය ම උණුහුම් කළ අම්මා හෙවත් කොකුන් ගෙනා බබුන් බැලීමට යාම

2016 ජනවාරි පළමුදා ඉරිදාවෙ ඇවරි ගෙදර හිටියා. ජනවාරි පළමුදා ලොකු ම විශේෂය වුනේ ඇවරිගේ ලොකු අක්කාගේ පුංචි දෝණිය නිවසට රැගෙන ආ දිනය නිසා. ඇවරිතුමා හා හා පුරා කියලා අවුරුද්දේ ගෙදරින් එළියට බැස්සේ අපේ පුංචි සුරංගනාවගේ මූණ බලාගන්න. ඒ ගමනට ඇවරි මාතා සහ ඇවරි පිතාතුමාත් ඇවරි නැඟණිය රන් මැණිකා මැතිනියත් එකතු වුනා.

2016 දී අපිට තවත් අමුත්තියන් දෙදෙනෙක් එකතු වුනා නෙව. හරිනි මැරීඩ් කොණ්ඩයියාහ් පෝස්ටුවේ හිටි හරිනි සහ ජානක දෙපළගේ දියණිය වගේ ම චමී අයියා සහ අපේ අක්කගේ දූ සිඟිත්තත් 2016 දී එක් වුන අමුත්තන් වුනා. ඇය ඉපදුන දවසේ නයින් වෙල්ස් රෝහලට ඇවරි මාතාව නම් විසිට් එකක් දැම්මත් ඇවරිතුමාට ඒ ගමනට සහභාගී වෙන්න ලැබුනෙ නෑ. හරිනි මැතිනියගේ කෙලි පොඩ්ඩ නම් මාස තුනෙන් පස්සෙ යන ලෝක චාරිකාවේ දී අල්විස් විලා වෙත පැමිණි නිසා ඒ අවස්ථාවේ දී ඇය බැහැ දකින්න අවස්ථාවක් ලැබුණා. සාමාන්‍යෙයන් අලුත උපන් දරුවන් බැලීමත් ලෙඩ්ඩු ලැබීමත් ඇවරිගේ ටොප් පික්ස්වල තියෙන විනෝදාංශ. ෂොපින් කිරීම බරපතල අකුසල කර්මයක් හැටියට සලකන ඇවරි, අලුත උපන් බිළින්දන් වෙනුවෙන් ෂොපින් කිරීමට නම් තමුන් ම මැදිහත් වෙලා සැලකිය යුතු කාලයක් වෙන් කරනවා. රන් මැණිකාගේ සිට ඇවරිගේ බොහෝ මිතුරියන් ඒ වැඩේ දී ඇවරිට උදව් කරලා තියෙනවා. අවසාන වශයෙන් ඇවරි ෂොපින් කළේ හෙසන්යා ද ප්‍රින්සස් වෙනුවෙන්. අපේ සෝසි දැන් ජපානයේ ඉඳන් වයිබර් හරහා සයොනාරා කියද්දි ඒදවස්වල දණගාපු දඟ මල්ල මෙච්චර ලොකු වුනේ කෝම ද කියලා පුදුමත් හිතෙනවා.
ෆියුචර් මොඩල් ඉන් ඇක්සන්..!!

රුසියාවෙ ළමයි බලන්න නැපි කට්ටක් අරන් යන කල්ට් එකක් තියෙනවා වගේ ඇවරිටත් ඇවරිමාතාව එහෙම කල්ට් එකක් පුරුදු කරලා තියෙනවා. ඇවරි මාතාව නම් අලුත උපන් ළමයි බලන්න අනිවා ගිහින් කොටුව කපා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ අයට තෑගිත් එයා කලින් ම වෙන් කරනවා. ඇවරි මාතාව තමා ඇවරි දන්න ලස්සනට ම ළමයින්ට ස්මොක් ගවුම් මහන ශිල්පිනිය. වූල් වැඩත් ඇයට පුළුවන්. ඇය කාර්ය බහුල, කාර්යාල කාන්තාවක් වුනාට ඇගේ දරුනැලවිල්ල ගැන කියන්න වදන් නෑ. නැලවිල්ලෙන් ආත්මය ම උණුහුම් කළ අම්මා කියන්නේ කුමර තොටිල්ලත්, මහින්ද හාමුදුරුවන්ගේ දරු නැළවිල්ලත් කියලා නැළෙව්ව ම ඕන ම පොඩි එකෙක් ඇගේ අතේ නිදියනවා.

අවංකෙට ම ඇවරි මාතාව කියන්නේ ඒ තරම් සෞම්‍ය කාන්තාවක් නෙමෙයි. ඇවරි එක්ක වුනත් වැරැද්දට ගේම ඉල්ලනවා. ආයෙ සෙල්ලම් නෑ පුතා. හැබැයි ළමයි ඉස්සරහදි ඇය කරුණාවේ දෙව්දුව වගේ ආරෑඪයකට එනවා. දරුවො එහෙම තමයි, උඹලව නම් අපි එහෙම හදලා නෑ වගේ ලයින් ඇය ගොඩක් පාවිච්චි කරනවා. ඒකට හරියන්න ඇගේ සැමියා. නැත්නම් ඇවරි පිතා. මොන මතවාදෙක හිටියත් පොඩි එවුන් සම්බන්ධ සීන් එකක දි ඒ දෙන්නා එක පැත්තක්. අපි තමා නරක මිනිස්සු වෙන්නේ. නිදසුනක් හැටියට ශවිඳු පුතා ඇවිත් හැම තැන ම බිල්ඩින් බ්ලොක්ස් විසි කරලා යකා නටලා ගියාම ඇවරිගේ මලයා මරුසිපාලට යක්සාවේෂය ලයිව් ඉන් කොන්සර්ට් තමා. අම්මා මේ පොඩි  පුතාව ගෙනාව නම් මේවා අස් කරලා යන්න බලන්න මේ බෙඩ් ෂීට් සාලෙ එළලා. අලි වනසලා, ලෙගෝ කෑලි හැම තැනම...! දැන් ම අයින් කරන්න මේවා කියලා පොඩියට සත්තම දාද්දි ම අප්පච්චි රේස්කිව් මිෂන් එකේ වැඩ.

අලියන්ට - ළමයින්ට දඟලන්න මයි හිත නිසා ළමයි බැලිල්ල-අලි බැලිල්ල තරම් ම අමාරු වැඩක් වෙලා. ඇවරි මාතා පිතා වෙතින් ආපු ඒ සෙනේ බර කුළුණුගුණ අඩු නොකර තියෙන්නේ අපේ රන් මැණිකාට. නිතර ම පෙට්ටි කිකිළියක වගේ කියවන, ගෑවුන තැන කාගන්න මේ මරියසෙලා එහෙම කැරැට්ටුවක් කියා බොහෝ දෙනා නොහිතුවත් අපේ රන් මැණිකා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අංක එකේ ආයම්මෙක්. ෆුලි ට්‍රේන්ඩ්, වෙල් එක්ස්පීරියන්ස්ඩ් බේබිසිටර් කෙනෙක්. රන් මැණිකා ඇත්තට ම මහ අලස කෙල්ලක්. කොටින් ම තමුන්ගේ කාමරේවත් අතු නොගාන මහ අජූත චරිතයක්. හැබැයි දරුවන් බැලීම අතින් ඇය අංක එක. ආයේ ඒ වාර්තාව නම් කාටවත් කඩන්න පුළුවන්වෙන එකක් නෑ.

ඇත්තට ම ඇවරිට වඩා ඇවරිගේ අම්මත් තාත්තත් පුංචිවුන්ට ආදරෙයි. හැම ඉරිදා ම ඇවරිව අම්මා නැඟිට්ටවන්නේ ම ගිහින් අර ළමයින්ට වැඩක් කරලා වරෙන් කියාගෙන. ජීවිතේට දැකලවත් නැති දරුවො වෙනුවෙන් ඇගේ සෑහෙන්න කැක්කුමක් තියෙනවා. අම්මා ලංකාවෙ නොහිටපු සති කිහිපයෙන් එකක ඇවරි දහම් පාසල් ගියේ නෑ. ඒ බව දැන ගත්තාම දේවාරූඪයෙන් ජාතිය අමතන්න තියාගත් ඇවරි මාතාවෝ ඉන් හරි අඩක් ම ඇවරි පිතා වෙත පරිත්‍යාග කරන්න තරම් කාරුණික වූ බවත් කියන්න ඕන. අඩුම තරමේ ඒයි ඔයාට තිබුණා මේකව නැඟිට්ටවලා යවන්න. ඔන්න තාත්තලා. මං නැත්නම් විනාසයි.

කොකුන් කන්දේ බබුන් ගේනා කොකුන් ගැන කතාව ඇවරි බොහොම ආසාවෙන් බැලූ චිත්‍රපටයක්. තව මොආනා. ඇවරි කෝමත් ඇනිමේෂන් පිස්සෙක්. ස්ටෝර්ක්ස් ස්ටෝර් වගේ ඇවරිටත් මැටර්නිටි කෙයාරින් සර්විස් එකක් වෙන ම තියෙනවා. අපේ හොඳ ම බඩියන්ට අපි දොලදුක් වෙනුවෙන් කෑම බීම පවා යවලා තියෙනවා. අංක එක වෙරළු. වත්තේ තියෙන වෙරළු ගහෙන් පාරෙ යන එන බොහෝ දෙනා ප්‍රයෝජන ගන්නවා. විශේෂ අවශ්‍යතා වෙනුවෙන් වෙරළු සැකසීම ඇවරි පිතාගේ සේවාවක්. තව අඹ චට්නි ගැනත් අපි ප්‍රසිද්ධයි. කොටින් ම ඇවරිට එහෙම බෝතල් පිටින් හදවන්න පුළුවන් ෆුලි ෆ්ලෑග්ඩ්, ප්‍රොෆෙෂනල් ටීම් එකක් ම ඉන්නවා. ලොකු ම දේ දොළදුක් වෙනුවෙන් ම බොහෝ කැපවීමෙන් ඒ අය ඒ කෑම හදලා කරලා දෙන එක. ඒක ඒ ඇත්තො සතුටු වෙන්න කරන දෙයක්. ඒ ආදරය අපට සෑහෙන්න වටිනවා.  
පුංචි සුරංගනාව  දෙසොහොයුරන් සමඟ..

2017දිත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඇවරි ඇත්තට ම මේ පුරුදු වලින් දැන් ගොඩක් ඈත්වෙලා ඉන්නේ. මොක ද ඕනකම තිබ්බට ඒ දෙවල් සංවිධානය කරන්න කෙනෙක් නැති නිසා ගොඩක් බිළිඳු දැකුම් මඟ හැරිලා තියෙන්නේ. පිළිකා රෝහලටත් ගියේ නෑ සෑහෙන්න කාලෙකින්. අනිත් කාරණාව මෑතක දී අම්මලා වුන බොහෝ දෙනාට වැඩ අධික නිසා අපි වෙනුවෙන් දිනයක් දෙන්න පුළුවන්කමක් නැති නිසාත් දරුවන් බැලීම කල් ගිහින් තියෙනවා. පොරොත්තු මව්වරුන් දෙදෙනෙක් බැහැ දකින්න යන්න තියෙන බව ඇවරිගේ ඇමතුම් දින පොත දක්වා සිටිනවා.

ආයෙත් අපේ මූලික සමාජ සත්කාර අතර පැවති හොස්පිටල් විසිට්ස් සහ බිළිඳු දැකුම් පටන් ගන්න කාලය හරි. මොකද 2017 ආත්මාර්ථයේ වසරේ ඔබ සතුටුවෙන දේ කරන්න කාලය වෙන්කරවා ගත යුතුයි. අවසාන වශයෙන් 2016/17 දී මව්වරුන් වූ සියලු ම මිතුරියන්ට සහ ඔවුන්ගේ දරු සිඟිත්තන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත චිර ජීවනයක් ඇවරිගේ සලාදයෙන් ප්‍රාර්ථනා කරමින් අලුත් තැනකින් පටන් ගත් දෙවැනි සලාදයත් හමාර කරනවා.    


(ප.ලි - අලි වැනසීම යනු ඇවරි කුඩා කාලයේ එනම් අවුරුදු විසිපහකට පමණ පෙර ඇවරිට සෙල්ලම් කිරීමට ලක්සැලින් මිලට ගන්නා ලද ලී අලි ඇතුන් පෙරහරක් ආකාරයට පෙළගැස්වීම ය. එම අලි රංචුව නැවත පිළිවෙලක් කිරීමට බොහෝ කාලයක් ගත වන බැවින් ඒ සෙල්ලම අලි වැනසීම නමින් හැඳින්වේ)

Monday, January 9, 2017

නාඹර වස්සාගේ කුල වැදීම හෙවත් 2017 මගේ තැනක, මගේ විදියට


2017 ලිත් වර්ෂය සඳහා ඇවරිතුමා හා හාපුරා කියල ලියන සලාදය නිසා ලැබුවා වූ නව වසර සලාද ලැදි, ලෝවැසි සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවායි ඇවරිතුමා ප්‍රාර්ථනා කරනවා. ජය පිරිතේ එන ආයුවඪ්ඩකෝ, ධන වඪ්ඩකෝ, සුඛ වඩ්ඩකෝ, වණ්ණ වඩ්ඩකෝ ආදී වශයෙන් මේ ප්‍රාර්ථනාව ටිකක් එක්ටෙන්ඩඩ් කරලා ම දෙන්නක්කෝ ආයෙ ලෝස් නැතුව ම ආයුබෝන්. (යහපත් සිතුම් පැතුම් කියලා ඇවරි ලිව්වෙ ඔබේ සිතුවිලි ඔබ යනු කවුදැයි ලෝකයට කියාපාන නිසා.. අර මනෝ පුබ්බංග මා ධම්මා ආදී වශයෙන්. මනස පූර්වංගම වේ.)

ඇත්තට ම කිව්වොත් ඇවරිතුමා වර්ෂාරම්භක සලාදය ලියන්නේ පෙබරවාරියේ විතර තමා. මේ සැරේ සැහෙන්න හොඳා ඇවරිතුමා සෑහෙන්න හැදිලා..!! අම්මපා ඔව් නොසෑහෙන්න ම හැදිලා. 2017 ගැන ලියන්න කලින් ගෙවපු අවුරුද්ද ගැන හැරිලා බලන්න එපෑයැ. 2016 ඉතා අලසව ගෙවා දැමූ අවුරුද්දක් වුනා. නමුත් එහෙමත් නෑ. 2015 දී අපි හිටපු තැනත් එක්ක ගත්තා  2016 දී සමහර ව්‍යාපෘති අවසාන කළා. සමහර ඒවා කල්ගියා, කොහොම නමුත් 2016 දී ඇවරිතුමාගේ ගුවන් තොටිල්ල ලොකුවට පැද්දෙන්න ගත්තෙ නෑ. ඔය එල්ලිනෝ, ලානිනෝ තත්ත්වයන් ආවත් අපි ඒවා අදාළ කරගත්තෙ නෑ. 2017 දී නම් කැට්රිනා චණ්ඩ මාරුතය ආවත් අදාළ ම නෑ. මොක ද 2013, 14, 15, 16 කියන වසරවලදී අපිට සෑහෙන්න තුවාල වුනා. සෑහෙන්න ලේ ආවා. රිදුනා. වේදනා ලැබුනා. අනෙක දුක් වින්දා. හැබැයි ඒ දේවල් වලින් තවත් රිද්දන්න බැරි වෙන තරමට අපි ශක්තිමත් වුනා. දැන් අපිට රිදෙන්නෙ නෑ. මොකද අපි ඉන්නෙ ඔබට විෂය නොවන සමාන්නතර ලෝකයක. එහි වයිෆයි නැතත් ජීවිතය, ආදරය හා රැකවරණය උවමනාවටත් වඩා තියෙනවා.

2016 නිම වූ ආකාරය අති විශිෂ්ඨයි සෑර් ම තමා. පර්ෆෙක්ට් එන්ඩින්ග් කියන්නේ දෙයියෝ ගෙදරට ම ගෙනත් දුන්නා වගේ. සාමාන්යෙන් පොඩිකාලේ වහු පැටියට අපි තණකොට දුන්න ම ගැටගහනවා. ඒ ආරස්සාවට. එතකොට ඌ වෘත්තාකාරව කොළ කාලා අහවර වුනා ම ඉතිරි කොළ ලෑටි ගාගෙන හිටියට මොකෝ ආයුබෝන් නාඹර වස්සා වුනා ම කඹේ කඩන් යන්න පුළුවන්. එතකොට ඉතිං සරුබිම් සොයන්න සෙක්කුවේ බැඳගන්න හිටපු එකා නෙව ද කියලා ගෙදර ඇත්තො සෝක වුනාට දිගේලි පිට්ටනි පහුකරන් ඇවිත් ගෙදර හරකා ම බොන් ලීය යට හිටගන්න වෙලාවලුත් තියෙන්න පුළුවන්. අන්න එතකොට ලැබෙන සතුට මහත්තයෝ සල්ලිවලට ගන්න අමාරුයි. ගෙදර උන්දැට හවරිය කෑවත් උපන්දා පටන් තණකොළ කන ගෙරියව රටක් රාජ්ජයක් වෙනවා වගේ ම නන්දි විසාලටත් ස්වාමියා වටිනවා. ඒ ජේදයේ පූර්වාපර සන්ධි ගැලපීම කරන්න අමාරු වැඩක් නෙවි. කරන්න බැරි වැඩක්. ඒ හින්දා පත්තු නොවන තරමට හොඳා...!!

2016 දෙවන තුන්වන කාර්තුවල අපිට 2017 සඳහා අලුත් ඉලක්කයක් ලැබුණා. ඒ නිසා 2017 පළමු කාර්තුව ඒ සිහිනය වෙනුවෙන් වෙන් කරන්නට ඇවරිතුමා සියලු කටයුතු සම්පාදනය කරල තියෙන්නේ. පුද්ගලිකව එය බොහෝ සතුට ගෙනදෙන කර්තව්‍යක්. ඇවරිතුමාගේ හිතේ කොයි වෙලෙත් ඉන්න අය වෙනුවෙන් කෙරෙන දෙයක්. 2017 මාර්තු වෙද්දි අපි ඉලක්කය ජය ගත යුතුයි. මැයි දෙවන මෙහෙයුම ආරම්භ වේවි. මේ ප්‍රධාන ව්‍යාපෘති දෙක විතරයි ඇවරිතුමා තම සී.එස්.ආර් වැඩ හැටියට යෝජනා කරගෙන තියෙන්නේ. ආ මේ ඇරෙන්න ධර්ම විද්‍යාල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේවි.

2017 දී අපි නරි නෑවීම සම්පූර්ණයෙන් නතර කරන බව නිල වශයෙන් කියන්න කැමතියි. දැන් පැද්දා ඇති මහත්තයෝ. මොක ද 2017 ලබද්දිත් ඇවරි සියලු ම රේඩාර්වලින් මිසින්. එහෙම එකක් තියෙනවා ආයෙත් අපි පරණ රස්සාවට බැහැලා තියෙන්නේ. අන්ඩර්කවර්ඩ් යන්න. ඒක තමයි ගොඩක් ම එක්සයිටින් සහ ඇවරිතුමාට ගැළපෙන, ඇවරි පතන ජීවිතය. බොහොම සතුටුයි කියන්න අපේ අත්හදා බැලීම් සාර්ථකයි. වෙන වචන වලින් කිව්වොත් ගලන නදිය අලුත් වේ. නමුත් නදිය එතන ම වේ!! කියන්න පුළුවන්.

ගෙවෙන අවුරුද්දෙ අපි අපි වෙනුවෙන් කාලය යොදවන්න දැන් ම ඉඳන් ප්ලෑන් කරලා අහවරයි. මොකද ඇවරිතුමෝ, ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ නිසා ඒ සැහැල්ලුව අනිවාර්යයෙන් ම ඔබ විඳිය යුතුයි. කැමති තැනක යන්න. කැමති දෙයක් කරන්න. ඔබ ඔබ විදියට සිටීමට ඇති ආසාව 2017 දී නැති කරගන්න එපා. ඔයාව නවත්තන්න, අල්ලන්න, කෑ ගහන්න කවුරුත් නෑ. අනික ඔයා දන්නවා මහා පියවර ව්‍යාපෘතිය ඉතා සාර්ථකයි.

ඔව් ඒකත් 2016 සතුටු කතාවක්. තනිව කළ හැකි දේට කිසිටකුට කරදර නොකරන්න කියලා තියෙනවනේ. ඒ නිසා මිනිස්සු හීනෙන්වත් නොහිතන දේවල් තනිව කරන්න ඔබ උත්සාහ ගන්න. ඒ හීනයේ ජීවත්වෙමින් එය දකින්න. ඔෆ් කෝර්ස් යූ කැන් නේල් ඉට්. අර කංඡායුධ වගේ මහා පියවර ව්‍යාපෘතියේ යන්නේ ඒ වගේ මැන්ට ලූස් වැඩ. නිවැරදිව කියනව නම් අහන මිනිස්සු කියන්නේ මෑන්ට ලූස් කියලා. හැබැයි අපි ඒක කරලා පෙන්නලා තියෙනවා. 2016 අවුරුදු උත්සවය, පැය 48 භාවනා පන්තිය, තනිව කළ ඇනුවල් සිරිපා කරුණාව ආදී චක මෝල් මිනිස්සු ඇහුවහම ජබර ක්ලාන්තන් වෙන වැඩ ඇවරිතුමා සෑහෙන්න කළා. සින්ගල් ට්‍රැවලින් කියන එක මහ බෝරින්ග් වැඩක් කියලයි ඇවරි මුලින් හිතුවේ. නමුත් ඔන් ලොකේෂන් අන්ඩර්කවර්ඩ් යද්දි ඒක මහ පිස්සු වැඩක්. එවිට ඔබ අනන්‍යතාවයක් නැති මිනිහෙක්. ඒ කියන්නේ ඔබ කිසිවකු විසින් ප්‍රශ්න නොකරන අයෙක්. ඔබ මොනවා කළත් කවුරුත් ඔබ අඳුනගන්නේ නෑ. ඔබට අවශ්‍ය දෙයක් නිවැරදිව කිරීමට ලැජ්ජා විය යුතුත් නෑ. දැන් මං තනිව කරුණා කරද්දි මිනිස්සුන්ට මන් තනියි කියලා පෙනුනා ම කවියක් කියලා බයිටට සෙට් කරගන්නවා. හැබැයි මම ඊට පිළිතුරු කවියක් උන් හිතන්නෙවත් නැති වෙලාවක ඊට හයියෙන් කියලා දාලා හිනාවෙලා කරුණා කරනවා. දැන් කෝච්චියේ දී වුනත් අපි සින්දු කියන නිසා කොල්ලො ගැන් එකකට ප්ලග් වෙන එක අමාරු නෑ. ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යාම ඉතා විනෝදජනකයි. ඔබේ සැප ඔබේ ම සතුටයි..!! (ඒ අන්ඩර්කවර්ඩ් චාරිකා ටික ඉක්කණට ලියා දාන්නම්)

2017 නව ප්‍රවේශ යටතේ එන වැඩ දෙක තුන දැනමත් කෙටුම්පත් කරලා අවසන්. ඇවරිගේ මනෝ වෙද්‍යාචාරිණිය කියන විදියට ඇවරි දකින හීන හැබෑ කරගන්න හැටිත් දැනගෙන හිටියත්, ඒ දේවල් කරන්න කොච්චර ආස වුනත් අසලබව නිසා කල් දානවලු. ඒ වගේ ම වැඩක් අවශ්‍ය හැටියට අහවර වුනා ම එයා ගොඩක් සතුටු වෙන කෙනෙකුත් නෙමේලු. ඒකට හේතුව එයා ඒ හීනෙ ඊට කලින් දැකලා තියෙන නිසාලු. මගේ ෆිසියෝ කියපු කාරණාව පට්ටපල් ඇත්ත. ඒකට උත්තරේ වුනේ වැඩක් පටන් ගත්තොත් කරලා අහවර කරන්න කියන එක. 2017 දී අපි ඒ ක්‍රමය පුරුදු කරන්න උත්සාහ ගන්නවා. 2017 දී වඩාත් ශත්තිමත් වීමයි අවශ්‍යය. කිසිවකු හා තරගයක් නැතත් මා දන්නා මගේ මිටි තැන් සම කරගන්නට උපරිම හැකියාවෙන් අවංක උත්සහයක යෙදීමටයි ඇවරිතුමා බලාපොරොත්තු වෙන්නේ. 


2017 දී සැමට කොතක් වගේ හතර අතට පෙනෙන්න බැබලිය හැකි, බතින් බුලතින් සපිරි සුබ නව වසරක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන අතරේ ඇවරිතුමා තමුන් වෙනුවෙන් පල අග ළෙලෙන මුතුලැල් සිහින් සර ඇසෙන (ඔව් ඔබට තේරෙන්නේ නෑ - මොකද ඒ තවත් හීනයක කොටසක්), මගේ නිවණ මා තුළ සොයාගත හැකි, බොහෝ සතුට ගෙන දෙන හිතෛෂී පරිවාර සම්පත් ඇති, රටට පෙර තමන් හැදෙන්නට අවස්ථා ලැබෙන බොහෝ සලාද ලියැවෙන, අතිශය ආත්ත මාත්තකාමී වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා..!


Wednesday, December 14, 2016

යෑර් පේසීන්ගලා හෙවත් ඇවරිගේ සිංග්ටැංග්ලිෂ් ඇක්සන් ප්ලෑන | බ්‍රිලියන්ට් ස්ටාෆ් 2

මේ සලාදය මයි බ්‍රිලියන්ට් ස්ටාෆ් නමින් ඇවරි පළ කරන ලද සලාදයක් හා බැඳේ.

ඊළඟ  දවසේ  ම ඇවරිතුමා කළේ විදුහල්පතිතුමන්ලාට යැවෙන ලිපිය කෙටුම්පත් කිරීම. ලියලා හමාර වෙලා පොෂ් කඩ්ඩෙන් හෝදලා ලොක්කා තුමාට දුරකථනයෙන් ම ලිපිය කියෙව්වා. ලියුම නම් හරි අපි ගැන තියෙන ඉන්ට්‍රො එක තව අඩු කරන්න. හැබැයි කරුණාකරලා ඕක සිංහලෙන් ඩ්‍රාෆ්ට් කරන් එන්න. ඒ එක්ක ම දෙමළ පිටපතත් මට ඕන. මොන පුයන්නක් ද බාසා තුනෙන් ම මේ ලියුම?? අන්තිමේ දී මං ප්‍රධාන භාෂා තුනෙන් ම ලියැවුණු ලිපි කියෙව්වා. දෙමළ දැනගෙන හිටපු එක මාර උදව්වක් වුනා. කෙවින් සහ ඔහුගේ බිරිඳ ලක්ෂි තමා මගේ කටු අදහස් ව්‍යක්ත දෙමළ වාක්‍ය බවට පත් කළේ.

කිළිනොච්චි මහා විද්‍යාලයේ උපකරණ බෙදා දීම..
අන්තිමේ දී ලොකු බොස් කියපු කතාව තමා මරු දැන් ඔය ඉංග්‍රීසි පිටපත රෝල් කරලා ඕන තැනක ගහගෙන සිංහල සහ දෙමළ පිටපත් ඉස්කෝලවලට යවන්න. ඕන නම් මිනිස්ට්‍රි එකේ කට්ටිය හම්බවෙලා කතා කරගන්න. බොස් දුන්න උපදෙස් එච්චරයි. ඊළඟ සතියේ ඇවරිතුමා ඉසුරුපායේ දී අවශ්‍ය පිරිස් මුණගැහිලා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ක්‍රීඩා අධ්‍යයක්ෂකවරු මුණගැහුණා. ලිපි තැපල් කරන්න රුපියල් දෙදාහකට වඩා ගියා. නමුත් බලාපොරොත්තු වූ තරමින් පිළිතුරු ලිපි ලැබුණෙ නෑ. ඇවරිතුමාට සෑහෙන්න හිතට අමාරු වුනා. අපි හොඳක් කරන්න ගියාමත් මිනිස්සුන්ට ඒකේ අගයක් නෑ.

පස්සේ අපි යවපු ලිපියට චේස් කරවන්න හැම පාසලකට ම කෝල් කරන්න ඇවරිතුමා කටයුතු කළා. බොහෝ ලිපි අදාල අංශවලට ලැබී තිබුණෙ නෑ. සමහර ලිපිවලට පිළිතුරු එවා තිබුණත් ඒවා ප්‍රමාදයි. ඒ දිනවල පාසල්වල ක්‍රීඩා තරග නිසා තවමත් ලිපිය ක්‍රීඩා භාර ආචාර්යවරයා ළඟ. අපි ශිෂ්‍යත්වය සඳහා පාසලකින් දරුවන් දෙදෙනෙක් යෝජනා කර එවන හැටියට දන්වා තිබුණ නිසා එහි තොරතුරු පිරවීමට කාලයක් ගත වුව බව ඇත්තක්. කොහොමින් කොහොම හරි මුල් ම උපකරණ බෙදා දීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් හයක් සහ ගම්බද ක්‍රීඩා සමාජ දෙකක් සම්බන්ධ කරගත්තා. එය පැවැත්වුනේ නුවර ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී. දෙවැන්න බෙන්තොට සෙන්ටාරා හෝටලයේදී. ඔහොම ඔහොම අපි ආපු ටුවර්ස් පහකදී අපි දිස්ත්‍රික්ක පහකට ක්‍රිකට් බෑග් හැත්තෑවක් විතර බෙදුවා.
කවදා කරපු ක්‍රිකට් ප්‍රැක්ටිස් ද ආයුබෝන්...?? ඇවරි ද කෝච්!! 
 කල් යද්දි ලයන්ස් ස්පෝර්ට් එකේ ඇන්ඩෘ ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් හොයන්න ගත්තා. දවසක් පහළොවෙන් පහළ තරගාවලි ලේකම් ඇවරිතුමාට නිල ආරාධනාවක් කළා. අපි ක්‍රිකට් බෝර්ඩ් එකට යද්දි හැමෝම අපිව අඳුනගෙන හිටියා. අපි කරපු වැඩ අහලා තිබුණා. එතනින් පස්සේ අපිට විදුහල්පතිවරුන්ට කතා කරමින් අමාරුවෙන් වැඩ කරන්න වුනේ නෑ. අපි දිස්ත්‍රික්කයක් නම් කළා ම ඒ කළාපයේ අමාරුවෙන් ම ක්‍රිකට් ගහන පාසල් ටික පාසල් ක්‍රිකට් සම්මේලනය මගින් නම් කොට අවසාන නාම ලේඛනයක් අපවෙත එවන තැනට වැඩේ සිද්ද වුනා. එතනින් අපිත් යම් සොයාබැලීමක් සිදු කරලා අවශ්‍ය පාසල් තෝරාගෙන ඔවුන්ට ආරාධනා කරලා වැඩේ කරගෙන ගියා. අපේ ඉලක්කය ළමුන් දහඅට දහසකට උපකරණ ලබා දීම. ඒ අපේ ප්‍රනාව් වෙනුවෙන්. එයාට හැදිලා තියෙන මොළයේ නියුරෝන අසමතුලිතාව ළමයි දහඅට දාහකින් ළමයෙකුට හැදෙන එකක්. වෛද්‍ය නිගමනය අනුව නව යොවුන් වියේදී ඔහු මිය යනවා. සාමාන්‍යයන් අපි දෙන සම්පූර්ණ උපකරණ කට්ටලයක් ලක්ෂ දෙකත් තුනත් අතර පමණ වෙනවා. පාසලකට අවම වශයෙන් කට්ටල දෙකක් ලැබෙනවා. ඉන් ළමුන් තිහකට පමණ ක්‍රීඩා කළ හැකියි. අප කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිලෝග්රෑම් හතළිහක් බැගින් ලබාදුන් නිසා මුලින් ම සියලු ම උපකරණ අපි ගෙන්වුවේ ගුවන් මගින්. නමුත් එකවර කණ්ඩායම් දෙකක් ක්‍රිකට් සංචාරයකට ආපු නිසා හීතෘ ගුවන්තොටුපලේ එක් පර්යන්තයක් ම අපේ පිරිසගෙන් පිරීයාමෙන් ගුවන්තොටුපල රාජකාරී සඳහා බාධා පැමිණුනා.

මේ පුංචි උන් කවදාවත් ම ග්ලවුස් දාලා බැට් කරලා තිබුනෙ නෑ..
ඔවුන්ට බැටින් පෑඩ් ඇන්දීමෙන් අපි බොහෝ විනෝද වුනා
එහිදී ඇතිකරගත් එකඟතාවයක් මත සියලුම ආධාර ලෙස ගෙන්වන ක්‍රිකට් උපකරණ බහාලුම් මගින් ගෙන්වීමටයි සූදාකම් කරුණේ. මාසතුනකට වරක් එක කන්ටේනරයක් බැගින් ගෙන්වන්න අපි කටයුතු කළා. ඇත්තට ම කාලයක් තිබුණා බඩු බෙදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න බැරි වුන. දැන් දැන් අපි දෙමළ පාසල් ගැනත් අවධානය යොමු කරලා තියෙන්නේ. ක්‍රිකට් කියන්නේ ඇවරි පුද්ගලිකව අකමැති ක්‍රීඩාවක් වුනාට දැන් කැමැත්තක් ඇතිවෙලා මොකද ඒ දරුවො මිල අධික සන්නාම යටතේ නිමැවුන උපකරණ ආසාවෙන් අතට ගද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. තව පුළුවන් තරම් කාලෙකට අපි මේ වැඩේ කරනවා. ඇත්තට ම කිව්වොත් එංගලන්තේ අපිට එකතුවෙන බඩු ලංකාවට ගෙන්වන්න විශාල මුදලක් යන වැඩක්.

නමුත් අපි සෑහෙන්න ගේමක් ගහනවා. මුලින් මුලින් තමා කාගෝ රිලීස් කරගන්න අමාරු වුනේ. දැන් නම් කිසි ගැටලුවක් නැතුව කන්සයින්මන්ට් ඔෆිස් එකට ම එනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාසල් ක්‍රිකට් සංචිතය, ‍පෑලියගොඩ රේගු කාර්යාලය වගේ ම දානපතියන්ට මෙච්චර දුරක් අපිව එක්කන් ආවට සුබපතන්න ඕන.

සාමාන්‍යෙයන් අපි බෙදාදෙන්නේ පාවිච්චි කළ ක්‍රිකට් උපකරණ වුනාට මේ ඊයේ පෙරේදා අලුත් ම බඩු වගයක් අපිට ලැබිලා තිබුණා. එහේ ළමයි ගෙවල් වල වැඩකරලලා එකතු කරපු සල්ලිවලින් ලංකාවෙ ළමයින්ට අලුත් ම ක්‍රිකට් උපකරණ මිලදීගෙන. තමුන් නොදන්නා රටක ළමයින් වෙනුවෙන් තමුන්ගේ මහන්සියෙන් උපකාර කරන්න මිනිස්සු පොළඹවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඇවරිගේ බොස්තුමා ඒක අපූරුවට කරනවා. තමුන්ගේ මුදල් ප්‍රයෝජනවත්ව තවත් ජාතියක ළමයි යොදා ගැන්නවා දැකීමෙන් ඒ මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.

අපේ අන්තිම කැම්පේන් එක කෙරුණෙ කිළිනොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කවල. යාපනේ තුලසි මහල් වෙත ප්‍රදාන උත්සවයට පැමිණි ළමුන්ගෙනුත් අපට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. එක ශිෂ්‍යත්වලාභියෙක් අපි හොයාගත්තේ පුතුකුඩඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයෙන්. ආයෙත් නොවැම්බරයේ පටන් 2017 මැයි දක්වා  ම අපිට වැඩියෙන් වැඩ තියෙනවා. මේ හැමදේම කරන්නේ අපි කිහිප දෙනා තමයි. බඩු තෝරන්නේ ලංකාවෙන් වෙලාවෙන් රෑ දහයාමාරෙන් පස්සේ. අපේ එහේ කාර්යාල වේලාවන්ගෙන් පස්සෙ. ඉතිං ඉවර වෙද්දි පාන්දරට එළි වෙනවා. නමුත් කොච්චර මහන්සි වුනත් අපි දන්නවා ඒකෙන් ලංකාවෙ ඈත පිටිසර පළාතක ළමයි පිරිසක් සතුටු වෙන බව. අපි අලුතින් ගත් ඉන්දීය සම්බවයක් ඇති දමිළ සේවිකාව නිසා වැඩ තවත් ලේසිවෙලා තියෙන්නේ. ඇය බොහෝ චතුරව භාෂා තුනට ම හසුරවනවා. මුලින් මුලින් ඈර් පේසින්ල්? කියලා අහලා කොංජ ඉරුන්ග අම්මා.. තමිළිලෙයි පේස ඒලාද කියපු ඇවරි ඕ.. සරි සරි...එන්න විෂියුම්..?? කියලා ක්‍රිස්ට නොදී ම ඇදගෙන යනවා. ඇත්තට ම අපේ කාර්යාලීය භාෂාව සිංග්ටැංග්ලිෂ් වීම අමතර වාසියක්.