Sunday, May 24, 2020

බුද්ධා ඉන් සුපර් මාර්කට් හෙවත් නිකායෙන් අපායට යාම


මහේල හෙට්ටිආරච්චි ලියපුු සටහන මෙතැනින්...
පහුගිය දවස්වල බොරැල්ලේ උන්නාන්සේ නිසා ලංකාවේ සංඝ සමාජයේ සහ සිංහල බෞද්ධ සමාජය තුළ යම් කැළඹීමක් ඇති වූ බවට පෙනෙන්න තිබුණා. නමුත් හැමදාමත් වගේ රැල්ල තිබ්බෙ බොහොම ටික කාලයයි. කොහොම වුනත් ආගමික මතවාදයන් ගැන ඇවරි මත පළ කරන්නේ බොහොම අඩුවෙන්. බුද්ධාගම ආගමක් නොවන දර්ශනයක්. අහලා, දැනගෙන ගමන් කළ යුතු මාර්ගයක්. ඉතිං අපි බෞද්ධය අනිත් ආගම් මිත්‍යා දෘෂ්ටිකය කියලා දෙපිල බෙදී මරාගන්න තරම් දෙයක් නෑ. එහෙනම් කාලාම සූත්‍රයක් නෑනේ?

අපිට ඩයනමික් ආගමික අනන්‍යතාවක් තියාගන්නේ ඒ් නිසා. හරියට මහනුවරදි බෞද්ධ, යාපනේ දී හින්දු. නාත්න්කුඩිවල දී මුස්ලිම්, ආදී වශයෙන්. නමුත් එයින් අදහස් කරන්නේ අර පන්සලේ දී වගේ එහෙයි හාමුදුරුවනේ, අහං වන්දේ... සර්වතෝ භද්‍රයි කියා සියල්ල අනුමත කිරීම නෙමේ. ඒ්වත් එක්ක ගැටෙන එක නිශ්ඵල වැඩක් නිසා. මේ කවලම සංහිඳියාව සහයෝගිතාව කියලා අයිසින් කරලා කැටයම් දාලා දුන්නත් අපේ එක ලොකුයි මහා සම්මතයි කියලා කියන තැන ම ඒ් සියලු පදනම් දෙදරා යනවා. අපි බෞද්ධයො හැටියට සංසාර සාගරෙන් එතෙර වෙන ධර්මය නමැති ඔරුව කරේ තියන් යන හැටි ඒ් සම්බන්ධයෙන් පළ වුනු විචාරවලින් අපූරුවට පෙන්නවලා තිබුණා.

බුදුහාමුදුරුවෝ ම ආන්නදයන්ට කියලා තිබුණා සංඝ සමාජය විනාශ වෙන්නේ ඒ තුළින්මයි කියලා. ධර්මාශෝක යුගය වෙද්දි ලාබ සත්කාර වෙනුවෙන් පැවිදි වූ පිරිස වැඩි වුන නිසා සංඝ සංශෝධයනක් කළා. ලක්ෂ ගණන් දුසිල් මහණුන් මහණකමින් නෙරපුවේ එක ප්‍රශ්නයක් විතරක් අහලා? බුදුරජාණන් වහන්සේ කුමන වාදියෙක් ද යන පැනයට නිවැරිදි පිළිතුර වුනේ විභජ්ජවාදියෙක් නැත්නම් ධර්මය කොටස්වලට වෙන් කොට විග්‍රහ කරන්නෙක් ය යන්නයි. ඒ් පිළිතුර නොදුන් සියල්ල සසුන්නෙන් නෙරපා වෛශ්‍යන් ලෙස කුඹුරු පවරා දී වාණිජ කටයුතුවල යොදවා තුන්වන සංගායනාව සිදු කළ බවයි සඳහන් වෙන්නේ.  

මීට දශකයකට විතර කලින් ලංකා‌වේ ඇතිවුණ අසපු බුදු දහම දැන් සමාජය ක්‍රමය තුළ බූවල්ලෙක් වගේ අඬුවිදා පැතිරිලා. කොටින් ම අපිට මිත්‍යාව මොකක් ද කියන එක නොතේරෙන තරමට. අවසානයේ දී ධර්මය ගුරු තනතුරේ තබා ගන්න කියපු අපේ ශාස්තෘෘන් වහන්සේ මේ නිකාය බෙදීම අනුමත කළේ නෑ. ධර්මධර හා විනයධර ගැටුම වෙලාවේ පාරිල්‍යෙයිය වනේට වැඩම කළේත්, දෙව්දත් තෙරුන්ගේ පංචවරය ප්‍රතික්ෂේප කළේත් ඒ් නිසා. නමුත් ලංකා‌වේ මුල ඉඳන් ම නිකාය භේදය අතිශය දේශපාලනිකයි. මහාවිහාරය සතුටු කරන්න ශ්‍රී මහා බෝධිය පවරා දීලා, අභයගිරිය සතුටු කරන්න දන්ත ධාතුව දීලා, ජේතවනාරාමයේ ඉතුරු ටික හදවලා දීලා හැමෝම බැලන්ස් කරවපු අපේ කිත්සිරි මේඝ මහ රජ්ජුරුතුමාගේ පටන් රාජසිංහ රජ්ජුරුවෝ සියමෙන් උපසම්පදාව ගෙන්වා වැලිවිට සරණංකර සංඝරාජ පෙළප‌තෙන් පැවති  මල්වතු අස්ගිරි චැප්ටර්ස් දක්වා රට කරවපු සැට් එක මේවා ලස්සනට බැලන්ස් කළා මිසක් කවුරුත් සිස්ටම් එකට චැලෙන්ජ් කළේ නෑ. කරන්නත් බැරි බව දන්නවා.

රට එක්සේසත් කරන තරමට ම තුන් නකා එක නකා කොට, නැනිනම් තුන් නිකාට සමඟි කර පවත්වාගෙන යාම මහා ලොකු දෙයක් හැටියට තමා ඒ් දවස්වල සැලකුවේ. දැන් දෙවනි පරාක්‍රමබාහු රජ්ජුරුවො වුනත් දඹදෙණි කථිකාවත හරහා තුන් නිකාය සමඟි කළා. අද තත්ත්වය ඊට සහමුලින් ම වෙනස්. ඇඩ්වර්ටයිස් කරලා ශ්‍රාවකයන් වැඩි කරගැනීමෙන්, විසිතුරුව දහම නිර්වචනය කිරීමෙන් හිට්ස් වැඩි කරගත් පුද්ගලික අසපු සමූහයක් තමුන්ගේ අධිකාරීත්වය මත දේශපාලන දැක්ම පවා තීරණය කරන තැනට බලවත් වෙලා. බොහෝ දෙනා අහන්නේ මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇයි මේවට මැදිහත් නොවන්නේ කියලයි? නමුත් අපි මේ මුලාවෙන් මිදිලා වටහාගන්න න මල්වතු අස්ගිරි කියන්නේත් පොඩි ඒ්ජන්සි දෙකක් විතරයි කියලා. හැබැයි දේශපාලනික හා සාමාජීය පිළිගැනීම ඉහළයි. නැත්නම් රට කරවන හැමෝ ම අටපිරිකර අරන් පෝලිමේ යන්න න නෑනේ. අවසානෙ මෙතන උඩරට පහතරට, ගොවිගම සලාගම, ආදී වශයෙන් බෙදුණු එක ම බලු පොරයක්.

උපුටනය
සරණංකර හිමියන් 1753 සියම් නිකාය පිහිටුවීමෙන් පසු ඊට පූර්ව අවධියේ මෙරටට ගෙනා උපසම්පදාව අවිනය, පැවිදි අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ආදී සාධක පදනම් කර ඉක්මනින් නැසී ගිය හෙයින් කථිකාවතක අවශ්‍යතාව මතුව තිබුණි. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ කථිකාවත සම්පාදනය කිරීමට උන්වහන්සේ මුලසුන ගත්තේය. මෙලෙස සම්පාදිත නව කථිකාවතේ දඹදෙණි කථිකාවත සේම ජාති ගෝත්‍ර විචාරා කුල දෝෂ ක්‍රියා දෝෂ නැතැයි ප්‍රතිඥා කර පසුව මහණකම ලබා දීම මෙන්ම මහණකම ලද අය උපසම්පදා කිරීම යන කොන්දේසි ද එක්කර තිබුණි. මෙකී කොන්දේසී ලක් ඉතිහාසයේ ශාසන වංශය දෝළනය කරවීමට භාජනය වේ යැයි සරණංකර සංඝරාජ හිමියන් කිසිදු විටක අපේක්ෂා නොකළ බව අප දැඩිසේ මතක තබා ගත යුතුය.
කෙසේ වුවත් සියම් උපසම්පදාව ලද මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ද වැඩි කලක් යාමට පෙර ද්වීපාර්ශ්වීය ලෙස එකිනෙකා පරයා ඉදිරියට ඒමේ තරගයක නිරත විය. එකී තරගය තුළ දෙපාර්ශ්වයම තම තමන් දෝෂාරෝපණය කර ගත් අතර මේ තරගය ශාසනය තුළ භික්ෂුන් භේද භින්න වීමට දැඩිව පාදක විය.
අස්ගිරි මල්වතු සීමා සංකරවාදයක් ඇති වීම හා පැවිද්ද, උපසම්පදාව විෂයෙහි පුද්ගලයා උපන් කුලය තීරණාත්මක සාධකයක් වීම මත ක්‍රමයෙන් අමරපුර මහ නිකාය ලක්දිව ස්ථාපනය වීමේ මුල් පසුබිම උත්පාදනය විය. සියම් නිකාය පැවිදි බව හා උපසම්පදාව ගොවිගම කුලයේ ඒකාධිකාරයක් කර ගැනීම මත කරාව, සලාගම ආදී ලක්දිව පහතරට ප්‍රදේශවල පැවිදි වීමට අපේක්ෂා කළ හා පැවිදිව උපසම්පදාව අපේක්ෂා කළ භික්ෂුන්ට ද දැඩි තර්ජන එල්ල විය.
කේ.ඒ චාමර සඳුන් ජයසූරිය (2019 අගෝස්තු)
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම අවසන්

කුජීතයි!!! කලකිරෙනවා නේද යි? ඒ්ක හරියට අපේ රාජ නාමාවලිය දැක්කා ම ඉරකි තිතකි කියවෙනවා වගේ. ඉතිං මේක ආදි කාලෙ ඉඳන් එන ඒකක් දැන් පීක් එක‌ට ඇවිත් විතරයි. 

අවසාන වශයෙන් බුදුන් නැති කල ශ්‍රාවක අපි ගුරු තනතුරේ තබා ගන්නේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය, ගරු කරන්න න චීවරයට. චීවර ධාරියා අදාළ නෑ. හාමුදුරුවෝ....... හෘදය මෘදු රුව. අසපු කියන්නේ බොහොම සාර්ථක වෙළඳ ක්‍රමයක් හරියට සුපර් මාර්කට් වගේ. ගමේ පන්සලේ බණ මඩුවේ ඒ්. සී නෑ. අසපුව ඒ්.සී. බණ මඩුවේ දානෙට බු‌ෆේ නෑ. අසපුවේ බුෆේ. ගමේ අම්මණ්ඩිලා එක්ක සිල් ගත්තා ම ප දූප කතා කළොත් වසලා හමාරයි. අසපුවේ දායකයො පොෂ්. අසපුවේ බණ පොත් මිල අධිකයි. හරි සරලයි. පන්සලේ බණපොත් පාලි. අපිට තේරෙන්නෑ. අසපුවේ අහවල් ටී.වී චැනල් එකට මං මෙච්චර දායක මුදලක් දුන්නා. මේ පත්තරය එහේ. මේ අහවල් හඳුන්කූරු පැකට් එහේ.. ආදී වශයෙන් තව දිගට ලියන්න පුළුවන්.....

මේ ධනවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ බුඩිස්ට් සෙන්ටර්ස් සමාජය තුළ අධිනිශ්චය වෙලා තියෙන්නේ මධ්‍යම පන්තියට ගැළපෙන වෙළඳ උපක්‍රමයක් හැටියට. වරදක් ම කියන්න බෑ. හැබැයි නිවනට තව දුරයි. මොක ද දස සංයෝජනවලින් සීලබ්බත පරාමාස හෙවත් ශීල ව්‍රෘතවලට වහල් වීම ‌මේ අසපු සරණයාමට බොහෝ සමාන නිසා. නිවන් අවබෝධ කරගන්න කියලා එළුවෙක්, හරකෙක්, සුනඛයෙක් වගේ හැසිරීම හෙවත් වෘත සමාදානයයි, (අජ ව්‍රෘත, ගෝ ව්‍රෘත, කුක්කුර ව්‍රෘත) අසපු යාමයි දෙකම සමානයි. මේ සසරට තවත් බැඳ තබන රම්භාගීය සංයෝජන. අර චීනේ දී බිල්ගේට්ස් වින්ඩෝස් හොර කොපි ගැන කිව්වා වගේ අපේ මුකුත් නැති වෙනවාට වඩා හොර කොපි හරි තියෙන එක හොඳයි.  

ආගම මොඩ් විදියට අදහන එක දැන් උපාසක අම්මලාගේ විදියක්. හරියට අර සුපර් මාර්කට් යන එකේ අමුතු ලල් එකක් තියෙනවා වගේ. ඇවරි මාතා උනත් අසපුවේ සිල් ගන්න කැමතියි. අපි හැම පෝයක ම එතුමිය ඇරළවලා ආවා ම රෑට ගෙදර ඇවිත් චිත්ත වීථී ගැන, පටිච්ච සමුප්පාද ධර්මය ගැන බරසාර අභිධර්ම කාරණා කතා කරනවා. අසපුවේ මේවා අපිට තේරෙන විදියට කියනවා. හැබැයි මේවා රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත්වලින් උපුටා අරං ලියලා තියෙන්නේ. හාහා ඒ් පොත් ඔක්කොමත් ඔන්ලයින් තියෙනවා. අම්මට තේරෙන්නේ අසපුවේ කියන ඒ්වා නම් එහෙන් ගන්න. නමුත් හාමුදුරුවරු සරණ ගිහින් නිකායවාදී වෙන්න එපා. මේක බෞද්ධාගමේ විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමේත් එහෙමයි. ඉරිදාට තමුන් කැමති පියතුමෙක් දේව මෙහෙයක් කරද්දි කට්ටිය වැඩියි. අන්තිමේ දී අදාළ පියතුමාගේ සියලු වැඩසටහන් පිස්සුවෙන් වගේ වැළඳගෙන ඒ් පස්සේ ම යනවා.

" සුඛො බුද්ධානං උප්පාදො- සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛා
(ධම්මපදය –බුද්ධ වග්ගය) " උපුටනය බුත්සරණ අන්තර්ජාල කලාපය

බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන් ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කාමසුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ. බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳ ව විමසා දැන් කුමක් පවසම් ද, මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවා ය.
බුද්ධෝත්පාදය , ධර්මය ඇසීම සංඝ සමගිය, සතුටු සාමීචි බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ. බුදුරජාණන් වහන්සේ පහළ වන විට මහජනතාව රාග කාන්තාරයෙන් එතෙර කරති. මේ නිසා බුදු උපත සැපයක්මයි! ධර්ම දේශනය, ජාති,ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් මිදීමට හේතුවේ. එහෙයින් දම් දෙසුම සුවයක් වේ. සාමග්ගි යනු සම චිත්තයයි. සමඟි වූවන්ගේ එකඟ වු සමාහිත වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින්, සමගි සංඝයාගේ තපස සැපයක් යැයි වදාළහ. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ විසින් යම් සේ භික්ෂූන් සමගිව රැස්වේ ද, සමගිව විසිරයේ ද? සංඝකරණීය කරන්නේ ද වැඩි දියුණුවක් ම ඇතිවේ. පරිහානියක් ඇති නොවේ යැයි ද වදාළහ.‍‍‍‍‍

කොයි හැටි වෙතත් දෙසන වහන්සේලා ගැන කතා කරන්න ඉස්සෙල්ලා අහන අහන්සේලාවන අපට මේ උපදෙස් මාලාවත් වැදගත් වෙයි. ලින්ක් එකට ගිහින් බලන්න.

දැන් උඩ ගාථාවයි, ඇවරි මාතාවගේ අසපු ඇදහිල්ලයි, අපේ රටේ සංඝ සමාජයේ ඒ්ජන්සි ටිකයි, තෙරුවන් සරණයාමයි, ආකාරවතී සද්ධාවයි පත අට එකට එකට සිඳගෙන තමන් ම පත්තියන් කරගන්නවා හොඳයි. තම තම නැණ පමණින් දැන ගතයුතු - පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කීවේ ඒ්කටයි! දැන් කියාපල්ලා මං සංඝභේදයක් ඇති කරලා පංච අනන්තර්ය පාප කර්මයක් කරගත්තැයි කියලා.

ප.ලි -  උපුටනයන් හැර ඉහත සියලු අදහස් මාගේ පුද්ගලික මතයන් වන අතර ධර්මය විවෘත වූ විට බබලන බැවින් ඒ් පිළිබඳ වාද විවාද කිරීම හුදෙක් කාලය කා දැමීමකි. බෞද්ධ දර්ශනය තනිව අවබෝධ කළ යුත්තකි. සංඝයා ඊට දායක නොවේ නම් දුෂ්කර ක්‍රියා කොට කිං සච්ච ගවේෂී වී තනිව සත්‍ය සොයා යාමට කාලය පැමිණ ඇත.

භික්ෂු පරිච්ඡේදයත් කියවලා ම බලන්න.




6 comments:

  1. Brother kisiwak ha nogatenna.
    Yamakin sitha niweida sadhdharmaya eyai.

    ReplyDelete
    Replies
    1. ඔව්...
      යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ.
      තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ.
      හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක

      Delete
  2. ++++ හොඳ විග්‍රහයක්.

    'නමුත් හාමුදුරුවරු සරණ ගිහින් නිකායවාදී වෙන්න එපා'. +++ This is the exact issue as our people have little wisdom. They look at the messenger rather than the message.

    අසපු පිස්සු මෙහෙ අයගෙත්. Feel really sorry for their kids as even the kids are brain washed by those monks.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.හඳ පෙන්නුවා ම ඇඟිල්ල දිහා බලන එක අපේ පුරුද්ද.. අනාගත පොඩි උන්ට ඇත්ත තේරුම් කරලා දෙන එක අපේ වගකීම. ඉතිහාසය දන්න මිනිස්සුන්ට මේ දේවල් ලොකු දේවල් නෙමෙයි..!

      Delete
  3. බුද්ධාගම දේශපාලනීකරණය වුනේ අශෝකගේ කාලෙ ඉඳන්මයි... එතැන් ඉඳන් බුද්ධ දර්ශනයේ මූලික බලාපොරොත්තුවෙන් එහාට ගමන් කරා... හරි විදිහට බුද්ධ දර්ශනය හෝ කිතුනු ආගම තියෙනවානම් මහනායක තනතුරවත් පාප්වහන්සේ තනතුරවත් තියෙන්න විදිහක් නෑ... බලය ලබාගෙන විමුක්තිය අත්කරගන්න පුලුවන් නම් බුදුන්වහන්සේ ගිහිගෙය අතැර යන්නෙත් නැහැ..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....