Friday, April 20, 2018

මගුලට නොගියත් බිළිඳු බැහැදැකුම හෙවත් පුංචි නැටට්ටුක්කාරියගේ කතාව..

මිනෝලියෝ සහ මනලෝලියෝ...!


2017 අහවර වෙන්න කලියෙන් තවත් කොකුන් ගෙනා බබෙකු බලන්නට ඇවරිතුමා නිල චාරිකාවක් යොදා ගත්තා. ඇත්තට අගෝස්තු මාසේ ඇවරිතුමා බිළිදු දැකුම් නිම කරන බවට දුන් නිල ප්රතිච්ඥා ප්රකාරව ඇවරිතුමාගේ සුබසාධන සේවා කාර්යාංශය මගින් එම කටයුතු සංවිධානය කරලා තිබුණා. ඇත්තට ළමා දැකුම් තුනක් සලාදගත කළයුතු වෙනවා. මිනෝලි මැතිනියගේ දූ සිඟිත්ත, නර්මදා මැතිනියගේ දූ සිඟිත්ත සහ ලක්ෂිතා මැතිනියගේ දූ සිඟිත්ත බැලීමේ නිල චාරිකා වශයෙන්.

මේවායින් මිනෝලි සහ ලක්ෂිතා මැතිනියන්ගේ බිළිඳුන් බැහැ දැකීමට ඇවරිතුමා සහභාගී වුනේ තවත් පිස්සු ජෝඩුවක් නිසා මේ සලාදයේ අවස්ථා දෙක ගැන ලියැවෙනවා. නර්ගෙ ගෙදර යාම වෙන එපිසෝඩ් එකක්. ආහ් මගේ ගමන් සගයන් දෙදෙනා ගැන කියන්න බැරි වුනා නේ. තමා දුහිතෘ කාන්තා රත්නය නොහොත් (නෑ එයා නෙමෙයි. ඔව් නෑම්බි තමා) සත්ගුණවත් ඇවරි ශ්රීමතාණන්ට පෙර කලදී ඉදල් පහර දී සැඳැහැති දෙමාපියන්ගේ දෝශදර්ෂණයට ලක්වූ සුක්ඛනා නිර්මාණි හෙවත් ඉදල් සුලා සමඟින් ඇවරිතුමාගේ අඹ යහළුවා වන මයිනා මහතා යන දෙපළ. මිනෝලියානෝ ඇවරිතුමාගේ හොඳ යාළුවෙක්. හැබැයි මිනෝලි මැතිනියගේ වෙඩිම ඇවරිට මඟ ඇරෙන්නෙ ඉතා ශෝචනීය විදියට. දවසේ ඇවරි ගාල්ලේ මඟුල් ගෙයක් ඉවර වෙලා කොළඹට වෙලාවට එන්න නොහැකි වීම නිසා අවස්ථාව මඟ හැරෙනවා. වැරැද්දට තාමත් මිනෝ ඇවරිට සමාව දීලා නෑ. දුටු තැන සපා කනු තියරියේ තමයි ඇත්ති ඉන්නේ. ඇත්ත ඇවරිගේ වැරැද්ද...!

දෙවන ශ්රේණියේ පන්ති භාරව වසර කිහිපයක් සේවය කළ මිනෝලි ඩිලිවරි එකට සති කිහිපයක් තියාගෙනත් දහම් පාසල් ආව ඇවරිට මතකයි. එච්චර කැපවීමෙන් වැඩ කරපු සහෝදරියට ඇවරිතුමා ගොඩක් ගරු කරන්නේ ඇගේ කට තරම් වැඩත් ෂාර්ප් නිසා. ඇය නිවාඩු යද්දි පරිපාලනය අමාරුවේ නොදා තමුන්ගේ නැඟණිය වෙනුවෙන් පත් කර එවනන්න තරම් එතුමිය කාරුණික වුනා. තමුන්ගෙ දරුවො ගැන කැක්කුමකට නෙමෙයි. සමස්ත දහම් පාසලේ දරුවන් වෙනුවෙන්. වින්දනා සේවයට එක් වෙන්නේ අඩුව පුරවන්න. කොහොම නමුත් මිනෝලි ආපු ගමන ඉතා දුෂ්කරයි. ඇය බොහෝ දුෂ්කර තරණයක් අහවර කරලා තමුන්ගේ සහෝදරියන් දෙදෙනාටත් පාරක් කපලා දුන්න රෝල් මොඩල් කෙනෙක්. සමහර වෙලාවට වින්දනාට දේවල්වල බරක් පතලක් නොතේරෙන්නේ අයට ඒවා නිකම් ලැබුණ නිසා වෙන්න පුළුවන්. හරියට ඇවරිතුමාගේ සහෝදර සිරිපාලතුමාට වගේ.

මඟුලටත් නොගිය එකේ බබා බලන්න යන්න ඇවරි බොහෝ සැලසුම් කළා. ඉරිදා සැඳෑවක අපි ගමන යොදාගත්ත. තේ පාර්ටියකට එක් වෙමින් ආගිය විස්තර කතා කර පැමිණි ගමන බොහෝ අපූරු එකක් වුනා. ඇවරිතුමා එහිදී වෙඩින් ඇල්බම් බලපු නිසා සෙසු පාත්රයන් රඟපාපු හැටි දැකගන්න ලැබුණා. සුලාගේ ජැකට් කතාව සෙට් වෙලා තියෙන්නේ මේ මගුලෙ දි තමා. සාමාන්යයෙන් මාස් පතා බර පන්තිය වෙනස් වන නිසා සුලාට මේ මාසෙ වෙඩිමකට ඇඳපු සාරි ජැකට් එකක් ඊළඟ මාසෙට අඳින්න බෑ. ජැකට් එක ප්රසාරණය වෙලා. ඉතිං මිනෝගේ වෙඩිම ළං වුනා මේ කම්මැලි වහන්තරාව ජැකට් එක හදාගන්නේ නැතුව එහෙම්ම අඳින්න ගිහිල්ලා වෙඩිම දවසේ උදේ ජැකට් එක ස්ඵෝටනය උනාලු. ඉදල් සුලාට එදා ආච්චි වැහිලා ජැකට් රංජනී ළඟට හිගින් බෙලිකටු මල්ල හොල්ලලා සුද්දෙන් දෙකක් කියලා කන වෙලාවට වෙඩිමට ආව කියලයි එදා කතා වුනේ.

ගුරුවරියක් වන මිනෝටත් සති අන්ත දවස්වලදී තමා සම්පූර්ණ කාලය දරුවා සමඟ ගත කරන්න ලැබෙන්නේ. මේ අර ගුරුකම මාර නිදහස් රස්සාව නේ කියපු අයියලාට විනාඩියක නිශ්ෂබ්දතාවක් පළ කරන්න ඕන. ඇවරිගේ තවත් ගුරු යෙහෙළියක් නිවාඩු කාලය අහවර වීම නිසා බුකියේ තබා තිබූ සංවේදී සටහනක් මෙහි පළ කරමින් මිනෝගේ කෙලි පොඩ්ඩ බැහැදැකීමේ නිල චාරිකාව මෙතෙකින් අහවර කරනවා.

පසු සටහන
පොඩි කෙලී වෙත ලියමි, දෝණි අම්මා වගේ ලස්සනට නටන්න ඉගෙන ගන්න ඕනෑ. ඒක ඔයාගෙ ලේ උරුමේ නේ. හැබැයි බබෝ කට නම් එපා. අම්මා ගොඩක් සීරියස්. විහිලු නොකරන තරම්. වගේ අම්මා මාර රෙස්පොන්සිබල්. වැඩ කෙළින්.  ආයෙ යකාටවත් බය නෑ. ආහ් වැරදුනා   භද්රකාලී ඔයාගේ පොඩි පුංචී. චූටි පුංචි නම් ළාමක ටින් ටින්. හැබැයි එයා තමා පොඩි කාලෙ ඔයාව වැඩියෙන් බලාගෙන තියෙන්නේ. ඉක්මණට ලොකු වෙලා ඔයා කොන්සර්ට් එකක නටනකම් අපි බලාගෙන ඉන්නවා.  අම්මාගේ ඩාන්සින් ෂෝස් අපි එකක් නෑර බලලා තියෙනවා. ඉතිං ඔයා නටන දවසට නෑවිත් කෝම ? එහෙම දවසක් අනිවාර්යෙන් එනවා. එතකන් බුදු සරණයි!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....