Monday, May 23, 2016

මයිනාට සඳ බම්ප් වීම හෙවත් සැලොන් වන්දනාවේ අනුසස් වැදෑරීම....

ඇත්ත වශයෙන් ම අපේ කුලුපග දායක කාරකාදීන් යුවලක් වෙන ලක්ෂිතා නීතිඥතුමිය සහ ඇගේ අතගත් සුමේධ දොස්තර මහත්තයාගේ වෙඩින් සලාදය මෙච්චර පහු වුන එක ගැන ඇවරිතුමාත් කණගාටු වෙන බව කියන්න ඕන. ඇත්ත ම කාරණාව නම් මේ සලාදයත් ලියලා නැවතත් සැර බාල කිරීම සඳහා අපේ චිත්ත සන්තානය මෛත්‍රී සහගත බවට තාවකාලීකව හෝ හැරෙන වෙසක් සමය දක්වා කල් මරන්න සිද්ධ වුනා. එහෙම නැති වුනා නම් සුලා - මං මලා වගේ සලාදයක් තමා ලියන්න වෙන්නේ.

නළු නිලි කැළ.... 

කොහොම නමුත් ඇවරිතුමාගේ ජල්තර වැඩ ගැන හොඳ අවධානයකින් හිටි ලක්ෂිතා මැතිනිය වෙඩින් ආරාධනාව ඕවර් ද ෆෝන් කළේ මාසෙකට  විතර කලින්. අපි ලක්ෂිතා ගැන බොහෝ රැකෝරඩ්ස් තියෙන නිසා, දොස්තර මහත්තයා ගැන වචනයක් ලියන්නම්. සුමේධ පනාපිටිය මහතා නම් හතේ අටේ පන්තියේ ඉඳන් ම දන්නවා. අපි ගුණරතනෙට දහම් පාසල් යද්දි සුමේද සුදස්සී දහම් පාසලෙන් බියගම ශාසනාරක්ෂක බල මණ්ඩල තරග වලට එනවා. ඒ කාලෙ පටන් ඔහු දක්ෂ කථිකයෙක්. පස්සේ දහයේදී අමරසිංහ ටීචර්ගේ ගණිත පන්තියේ දී අපි මුණගැහෙනවා. ඒ පන්තියේ ඕන ම ගාණක් මුලින් ම හදන්නේ සුමේධ. දොස්තර මහත්තයාගේ ඉලක්කම් හරි පුංචියි. ඒක නිසා සුමේධට පිටු අසූවෙ පොතක් අඩුම මාස දෙකක්වත් පාචිච්චි කරන්න පුළුවන්. තව ආනන්දෙ සෙට් එක අපේ ටිකකා හේමත් ඒ පන්තියේ හිටියා. ගෑනු ළමයින්ගෙන් බහුතරයක් විශාඛාවියන් තමා. ඒ කාලෙ නම් මහා විනාසකාරී කාලයක්. හැබැයි අපි හොඳින් ඉගෙන ගත්තා.

ඇවරිතුමාගේ දහම් පාසල් ගජයා අපේ මයිනා හෙවත් මහ බැංකු අදිපති මහේෂ නිර්මාල් මහතා රාජකීයකු වීම නිසා සුමේධව දැන හැඳිනගෙන හිටියා. ගොඩක් වෙලාවට මයිනා එක නම් සුමේධ දෙක. සුමේධ එක නම් මයිනා දෙක ආදී වශයෙන් තමා ගියේ. කොහොම නමුත් මහේෂ, රඛිත අබේගුණවර්ධන අපේ රඛි අයියාගේ මඟපෙන්වීම මත සමස්ත ලංකා දක්ෂතම කථිකයා බවට පත් වූ බවත් ලියන්න ඕන. සුමේධලා අපි තරග කරද්දි ගහ මරා ගත්තාට ඔය පොඩි පොඩි ප්‍රේම කතා, බයිට් සීන් අනන්තවත් තිබුණා. තරග ඉවර වෙලා ප්‍රති‍ඵල කියද්දි සුදස්සියෙනුත් අයියලා අක්කලා හෙන ගැන්සියක් බහිනවා. මොකද දන්නවා එයාලා එක්කො එක. නැත්නම් දෙක කියලා. අපෙනුත් එහෙමයි. ඒ කාලෙ සුමේධලාගේ දහම් පාසලේ රචනා තරගෙට එන චලනි එක්ක ඇවරිතුමාගේ පුංචි ටින් ටින් එකකුත් තිබුණා මතකයි. එහෙම ලොකු අවුලක් නෑ එයා එක නම් ඇවරි දෙක. ඇවරි එක නම් එයා දෙක. එහෙමයි. දිනුක අයියාගේ පිස්සු කතාන්දර, ගල්ලබ - ගෝනපලදෙනිය නිමා නොවන හබය, ථොක ථොකං කනෙ කනේ හෙවත් අපේ උෂානි අක්කාගේ දහම් දැනුම චැම්පියන් රෙකෝර්ඩ් එක වගේ ලස්සන මතක සටහන් රැසක්, සහෝදරකම්, පලහිලව් රැසක් තරග බිමේදී අපිට තිබුණා.

දැන් වැදගත් වෙන්නෙ මුං දෙන්නගේ මගුලනේ ආයිබෝන්. මට කාඩ් එක සෙට් වුනේ මයිනාගේ ඇමතුමකින්. ඒ වෙද්දි මං ඔපිසියේ වැඩක හිටියේ. මේ උඹ එනවනේ අරූගේ මඟුලට දෙන්න මට දැන් කාර්ඩ් එක දුන්නේ. මට දුන්නෑ නේ බං.... ඇවරි පෙරලා උත්තර දුන්නා. හරි යකෝ මේ ඔහේ එන ගමන්. මා එක්ක යමන්. පෝරුවට ඉන්න උදේ ම යමන්. හරි මචා. දැන් වැඩේ කන්ෆර්ම්. හැරෙන තැපෑලෙන් ඇවරි හාෆ් ඩේ රික්වෙස්ට් එක ලොක්කාට යැව්වා. ඊළඟට හදිසි අවස්ථාවක් සඳහා පෙරහුරුව හෙවත් මගේ වැඩ සියල්ල සහායිකාවටට පැවරිමේ ඒ වාත මොහොත. අම්මාපල්ලා ඒ වෙලාවට හිතෙනවා මොකට මං නිවාඩු යනවාද කියලා.

කිව්වත් වගේ ඇවරිතුමා වෙලාවට ම ලෑස්ති වුනා. කාක් ගතිය නිසා අපේ දිව්‍ය පුත්‍රයන් සහ මාර දූතිකාවන් කවරාකාරයෙන් කුමන සුබ මුහුර්ථයන්ගෙන් මංගල සභාවට සම්පාප්ප වෙනවාද යන්න දුරකථන සමාපත්තියෙන් විමසා සිටින අවස්ථාවේ දී අඟනුන්ගෙන් බොහෝ දෙනා සැලොන් වන්දනාවේ ගොස් ඇති බවයි දැන ගන්නට ලැබුණේ. අනේ වාසනාවන් අවම වසයෙන් දොළහ වෙනකම්වත් කණක් ඇහිලා ඉන්න පුළුවන්. එහෙම හිත හදාගත්තාට කාරිය ඇවරිගේ දෙකොන පත්තුවෙලා දුන් දාන්න ගත්තේ මයිනා ඇවිත් කියාපු පණිවිඩයෙන්. හරිනේ එහෙනම් යමන්. මයිනා මාකොළ හන්දියේ වාහනේ නවත්තලා හරි බරි ගැහෙද්දි ඇවරි තුමා කිව්වෙ මේ මොන ජොක්ස් එකක් ද මේ යැයි බලමින්. කොහේ යන්න ද බං සුලා තාම කැලණියේ අපිට ඌ එනකම් ඉන්න වෙනවා. හත්ඉලව්වට ගහපු කලාබරේ කීවලු. දැන් ඉතිං මඟුලට කපල් එක යන්න කලින් ගියොත් ඇති. ඒත් මට වැඩට හවස පහ වෙද්දි යන්න ඕන මචං...

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වට මොක ද සුදු කොඩියක් වනාගෙන ආවත් සුලාට ප්‍රංස කුණුහරුපෙන් වදන් සුවල්පයක් දෙසන්න කියලා හිතාන ඇමතුමක් ගත්තා. කෝ බං උඹ. දැන් පැය කීයක් ද සෙද්ද...? මේ එනවා බං තව ම කොන්ඩේ කළේ නෑ. අනේ සුලා අපේ හාරත රැජින... සාරිය ඇදලා ඉන්නවා නම් ඔය තියෙන විදියකට වරෙව් හත්ඉලව්වේ. මූණෙට මොනා හරි මඟදි උලාගන්න බැරියැ. උඹ හිතුවෙ මං ජපන් බෝනික්කියෙක් කියල ද යකෝ පාරෙදි උලන්න. මල පැනපු පාර සුලා ඉස්සපෝක්ක රැජින වෙලා තමුන්ගේ ටින් බෙලෙක්ක ස්වර මාදූර්ය ජංගමය හරහා සුසර කරා. අම්මාපල්ලා හොඳවයින් දෙකක් ප්‍රංසයෙන් කියනවා කිව්වට මොක ද බය වුන පාරට ඇවරි තුමාට දුරකථනය කට් වුනා කියහන්කෝ.

ඇවරිතුමා යහපාල සිරිසෙනගේ බයියා සිනාවක් කොපි කරමින්...
උපුටනය - පුංචිහේවා නර්ස් නෝනාගේ බුකිගත පින්තූර

ආයෙත් විනාඩි පහළාවකින් විතර ඇවරි ම ගත්තා. දැන් මඟ හිටියොත් අපි නසී නිසා මේ සිරියා කාන්තාව එන තැනක් හරියට ම අහගන්නත් එපැයි. හරි හරි එහෙනම් ගල්පොත්ත හන්දියට එන්න අපි එහෙට එන්නම්. ඒක නෙමේ මහේෂට මල පැනලා ද? උඹලා මගේ වෙඩිමෙත් පෝරුවට ආවෙ නෑ. පැනලා නෙමෙය මල පිපිලා පුප්ප මකරන්දය, සිහිල් මන්ද මාරුතයට මුසු වෙලා දසත සුවඳවත් වෙලා, පැහිලා ඉදිලා බිමට නැමලා වලුබර වෙලා තියෙන්නේ. විජහට වර සෙද්ද. කොහොම හරි අංගනාවො දෙන්නා කාරෙකට ආව.

සුලා සමඟ ආවෙ දෝපදී. ඇයත් ගණන් පන්තියේ හිටියා. අපි ගොඩක් දන්නේ ඇගේ සැමියා මිලින්දව. කොහොම නමුත් දෝපදී නිසා අපිට සුලා එක්ක තියෙන කේන්තිය ටිකක් පිට වුනා. හැබැයි සුලා එක්ක වැඩි වෙලා තරහා වෙලා ඉන්න බෑ. ඒකි ම කතාවට සෙට් කරගන්නවා. මහේෂ කතා කරපන් මිනිහෝ... හෝව් හෝව් මා එක්ක තියෙන තරහා පාරෙ යන මිනිස්සුන්ගෙන් ගන්න එපා. පවීට කියන්න ඕන කොහිල මාළුවක් වැඩිපුර කවන්න කියලා... ලොල්. කොහොම හරි දෝපදි මැතිනියට පින් සිද්ද වෙන්න සුලා සලාං වෙන එකෙන් වැලකුණා පින්වතුනි.



No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....