හඳසියපත්ගේ මගුලට
ඇවරිතුමා සම්පාප්ප වෙද්දි පෝරුවේ චාරිත්තර අහවර වෙලා පාරුවේ චාරිත්‍ර ඉෂ්ට කරමින්
කපල් එක පාඩුවේ සෙටි බැක් එකට වෙලා හිටියා. ඇවරිතුමාත් කාලෙකින් වරිග සභාවේ අපේ
ඇත්තන්ව මීට් වෙන නිසා සතුටින් හිටියේ. විසේසයෙන් ම අපේ අයෙෂාංගනාවෝ එහෙම මේ මුණ
ගැහෙන්නෙ හත් අවුරුදු හත් මාසෙකට පස්සේ. මේ දවස්වල ඈ ඕ.කේ.අයි ජ්‍යාත්‍යන්තර පාසලේ
හයක් හතරක් නොතේරෙන පුංචි උන්ගේ මල් කැකුළු වගේ ජීවිත, සුඛිත මුදිත කිරීමේ
සත්ක්රියාවට දායක වෙලා එහෙම ඉන්නේ. කෙටියෙන් කිව්වොත් වත්තල ඕ.කේ.අයි එකේ කැන්ටිම
කරන්නේ මේ මැතිනිය. මොකෝ ඒකේ උගන්නන්න තරම් ඈට සුදුසුකම් තියෙනවැයි කියලයි...??
ලොල්.
කොහොම නමුත් අංගනාව
එදා ටිකක් මහතට පෙනුනා. ඒකෙ රහස නම් අහගන්න බැරි වුනා. රිසෙප්ෂන් හෝල් එකේ
ඉදිකට්ටක් තරම් හීනියට ඉන්න අයෙෂ්ව හොයන්නේ කොහොම ද කියලා හිතමින් ජංගමයාට ඇමතුමක්
ගන්න යද්දි ම ගිය ආත්මයේ ඝණ්ඨාර පූජ කළ කුසල කර්මයෙන් ඈට දායාද වූ බෙලෙක්ක කටහඩ
ඇහුණ නිසා ඇවරිත් ඒ මේසේ පැත්තට ආව. විශ්ව විද්‍යාල සහෝදරත්වය වෙනුවෙන් වෙන්
කෙරුණු ඒ මේසය පුරා ම කැමරා ආම්පන්න, ජංගම දුරකථන, ලැප්ටොප්, ආදී උපකරණ විසිරිලා.
මොකක්ද බං මේ?? උඹලා පුංචි පහේ මෙහෙයුම් මැදිරියක් කරනවා ද? යකෝ නියම මිෂන් එක
තියෙන්නෙ අද රෑට. අරා ඒක ගොඩ දායි. මේ මේසෙ දීලා තියෙන්නේ කැමරා කෘ එකට. උඹ ආවෙ
මඟුලට නම් අරහෙන් වාඩි වෙයන්. මෙතන ඉන්නවා නම් වැඩේ ගොඩ දාන්න සප් එකක් දියන්. ඒ
ගවුමකින් සැරසුනු ඔවදන මාෂියෝනාවගෙන්. වෝ ලුකින් චෝටී මෝටී හේ තමයි. දැන්
බැලුවම මේ කෙල්ලො ඔක්කො ම ෆිගර් අවුට් නේහ්..??
ඇවරිගේ නිල පණිවිඩය.... |
ඉතිං කෝම ද මචං.
උඹ නම් වෙනස් වෙලා නෑ. අලුතා කතාව පටන් ගත්තා. අලුතා හිටපු බරපතල රාජකාරිය
ඇවරිට තේරුණේ ටිකකට පස්සේ. මනාල යුවළ පිටත් වීමට කලින් ප්‍රොජෙක්ට් කරන්න හදන
වීඩියෝ ට්‍රේලරයක් එඩිට් කරමින් තමා අලුතා ඉඳලා තියෙන්නේ. සාමාන්‍යෙයන් ඇවරි දන්න
තරමින් අලුතා එහෙම අඩමාන වැඩ බාරගන්නවා අඩුයි. ඇත්තට ම මොකද වුනේ කියලා අලුතගෙන්
ඇහුවා. නෑ බං අරා කතා කරලා කිව්ව ම බෑ කියන්න බෑනේ. මං ඉතිං කුදලගෙන ආවා.
දැන් තමයි ෂොට්ස් අඩුයි කියලා තේරෙන්නේ. ඒ මැසිවිල්ල අලුතා හැමදාම එඩිටින් ටේබල්
එකේ දී කියන බයිලාව නිසා ඇවරි පුදුම වුනේ නෑ. මොක ද අලුතට පැය පහක් ෂූට් කරලා ආවත්
ආවත් ෂොට්ස් නෑ තමා.
ඇවරි එන ගමන් ලියපු
ලියැවිල්ල මාෂිට පෙන්නුවා. ලොකු හිනාවක් එක්ක ඒක කියවපු මාෂි ඇගේ වදන් ලියන්න ගත්තෙ
මේසෙ තිබුණ ටිෂූ කඩදාසියක. සමහරු චිත්‍ර ඇන්දා. සමහරු කවි පදවැල් ලිව්වා. දෙපැත්ත
කැපෙන විහිළු, අරවින්දගේ ප්‍රේම පුරාණය නමින් ඇඳපු චිත්‍ර කතාව එහෙම සෑහෙන්න හිට්
වුනා. මේක පබ්ලික් වුනොත් මඟුලක් කෙසේ වෙතත් මළ ගෙයක් ෂුවර්. අඳින මඟුලක් අන්න අර
සිග්නේචර් පොටෝ එකේ ඇඳපන්. සී.එස් චිත්‍ර කතාව බලලා කිව්වා. අපි ගොඩක් ඒ මේසෙට
වෙලා හිනා වුනේ අපි ම ඇඳපු, ලියපු දේවල් බලලා. ඔය අතරේ නිල කැමරා ශිල්පීන් වුන
තොටමුණ ආදිපාද සහ චිලී අපට එකතු වුනා. ගයියා ද බෑන්කර්, කෑමට කලින් එන වග බැංකුවේ
ඉඳන් දන්වා එලා තිබුණා. (එදා ලියපුවයින් ටිකක පින්තූර සලාදෙ පළ වෙනවා. තවත් ඒවා
ගංගා අතට දුන්නා. වැඩිහිටියන්ටවත් නුසුදුසු ලියමන් ඇවරි ගෙදර ගෙනාව.)
මාෂියෝනා ‘අපි‘ සමූහය වෙනුවෙන් සමරු සටහන් තබමින්..... |
උඹ මාව දාලා යනව ද
කොල්ලො..හ්.. අරවින්ද.. මගේ සුදු කොල්ලො..හ්.... අනේ රත්තරනේ... ආසයි කොල්ලෝහ්..
සී.එස්ගේ තාත්වික රංගනයට අපි බක බක ගාලා හිනා වුනාට ළඟින් ගියපු තලතුනා නෑ පිරිස්
අපි දිහා රවලා බැලුවෙ සෑහෙන්න පිළිකුළෙන්. ඔය අතරේ ඇවරිතුමා කට්ටියගේ අවධානයෙන්
ගිලිහුනු දෙයක් මතක් කර හිටියා. ඒ නව යුවල හෙඩ් ටේබල් එකේ කෑම ගැනීම. සාමාන්‍යෙයන්
ෆොටෝ අරං ඉවර වුනා ම එතෙන්ට ගිහින් වදේ ගහන එක අපි සිරිතක් වශයෙන් කරන දෙයක්. මොකද
වෙඩිම දවසේ මනාල යුවලක් බඩ පිරෙන්න කන්නේ නෑනේ. ඉතිං උන්ට කව්වන එක අපේ රාජකාරිය.
යමන්..යමන්.. මොක ද
මගේ මඟුල දවසේ උඹලා මට කන්න දුන්නා කියලද? මාෂියෝනා පරණ ඇරියස් එකක් කවර් කරන
අටියෙන් පෙරමුණ ගත්තෙ ඒවා යුතුකම් කියන්නා වගෙයි. කෑවීම කෙසේ වෙතත් කෑම ඉස්පොල්ලේ
යාම වළක්වගත්තේ හරි ම අමාරුවෙන්. අරා නම් නයිට් ඩියුටි හින්දා කැපවීමෙන් කනවා
කියමුකෝ. උඹ මොක ද මේ කල්ප කාලයත් සාගතේට අහුවුනා වගේ සවල් පාරවල් ගහගෙන, ගහගෙන
යන්නේ..? සී.එස් ඇහුවේ, මෙලෝ සිහියක් නැතිව, කෑම නොහපාම ගිලින ක්ලෝසාගෙන්. ආහ් මූට නම් ගංගා අද රෑට බුරියානි
කවයි. පාන්දර තුනේ ඉඳන් අපි කාපු කට්ටෙ හැටියට දැන් කන දෙයක් විතරයි ඉතිං. සුකුමා හයියෙන්
කිව්ව ම ගංගාවන්ගේ මූණ ලැජ්ජාවෙන් කළු වුනේ බලා ඉන්දැද්දි.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....