Saturday, August 29, 2015

මරණවා මේ ට්‍රිප් එක කොහොම හරි යමන් හෙවත් පණට ආදරේ කොට සවාරි යාම.....

ඔය කාන්තාවන්ට ලැදි එක්කෙනා මේ කාර් එකට... හිටන්
දැන් බං ඇවරි කියන්නෙ ඔය බෝයිකං කොරන එකෙක් මිසක් සලාදයක් ලියන එකෙක් නෙමෙයිනේ යනුවෙන් ඇවරිතුමා ගැන අලුත් ම විචාරයක් පළ වූ බවට පහුගිය සතියේ පැවති සතර කන් මන්ත්‍රණ වලදී කියැවුණ බව මගේ පුද්ගලික චර පුරුෂ සේවා මගින් දැන ගන්නට ලැබුණා. නිකට දෙවාරේ මේ ගහක් ගලක් වගේ ඉන්න සත්ගුණවත් පුන්‍යස්කන්ධයට කරනා නොනිම් අපහාස ඉවසා දරා ගෙන අමකතක වෙන්න ආසන්න මතක වස්තුන් කිහිපයක් එකතු කරලා සලාදයක් දාන්න කම්පනා කළා.

ග්‍රහචාරය අනුව ගත්තත් පහුගිය කාලය ඇවරිට එච්චර සුබදායක කාලයක් වුනේ නෑ. අලුතෙන් රාජකාරියට පත්ව ආ මල් මල් චීත්තයක් හින්දා සියල්ල නොපිටට සිදුවන බවක් තමා කියන්න තියෙන්නේ. ඒ කුණ්ඩලකේසියගේ ජාතකය පසුවට ලියන්නම්. ඇත්තට ම ඇය ලිවිය යුතු චරිතයක්. අද ලියන්න කියලා හිතුවෙ අපි ගියපු චාරිකාවක් ගැන කතාවක්.

හොලිඩේ එකක යන්න කියලා අපේ උන්දැලෑට ඕනකම තිබුණෙ 2014 ඇවරිගේ උපන්දින සාදය අහවර වුන මුල් කාලෙ ඉඳන් ම තමා. කාරණා කාරණා ගැලපිපලා අපේ බොහෝ දෙනා රාජකාරී බහුල වෙන තත්ත්වයක් උඩ ඒ අදහසත් කුණු කූඩයට ගියා. කොහොමින් කොහොම හරි චිලී මැතිනිය හෝටල් ටිකක් එවලා ඒවාට රිසවෙෂන් දාන්න කියපුවා ම වැඩේ ඇවරිගේ පැත්තෙන් පටන ගත්තා. අන්තිමේ දී අපි තෝරා ගත්තෙ දිගන වික්ටෝරියා නිවාස සංකීරණයේ බංගලාවක්.

නැඟිටපන් සුංගිරාළ

ඒ සෙනසුරාදා දවසේ උදේ රැයින් ඇවරිතුමා පිරිමැහෙන්න කියලා ඇඳුන් කඩමලු ටිකකුත් අරං දරුබකාවත් කිහිලි ගන්නාගෙන ගෙයින් එළියට බැස්සේ පාන්දර හතරට වාහනේ එනව කියපු නිසා. එතකොටත් සුගීත් කුමාර සයන තේවාවෙ. නැඟිට වරෙන් මචෝ අපි මේ දැන් පිටත වුනා. අරා තුමා ගංගාවන් සමඟ තොටමුණ හා මාෂියෝනා ද කැටිව සූගිත්වත් නංවාගෙන අපි කඩවතට යද්දි ඇවිත් හිටියා. මිරිස්වතතෙන් ගයියාවත් ගත්තම සියලු දෙනා එකතු කරගෙන අහවරයි.
ජල තටාකයේ උදෑසන ආහාරය 

ජිනදාසගේ ගුලි සහ තනිකඩ වලි

චිලීත් රුචිර අයියාත් සිටි කාරයේ පසුපස ආසනය තනිකඩ පාර්ටිය සඳහා වෙන් වී තිබුණා. වලිය ආරම්භ වුනේ මැද යන්නේ මොකා ද කියලා තීරණයක් ගන්න බැරිව. අන්තිමේ දී ශරීර පුෂ්ටිය නැතත් ගුණ පුෂ්ටිය බොහෝ ඇති හීන් එකා වෙච්චි ඇවරි තුමා සූගී සහ ගයියාට මැදිව ගමන් කළා. අපේ මුල් ම නැවතුම වුනේ වරකාපොල පෙරේරා ඇන්ඩ් සන්ස් එක. උදේ කෑමට පාන් ගැනීම තමා අරමුණ වුනේ.

නවත්තපු සැණින් වාහනෙන් බැහැලා ගිය ඇවරිතුමා මාෂියෝනා කුමාරිකාව බැහැ දැක්කා. අපි මෙච්චර සතුටින් ගියාට එතුමිය හිටියෙ ටිකක් කණස්සල්ලෙන් ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ එදින පැවැත්වෙන පශ්චාත් උපාධි දේශනයට ඈ යා යුතු වූ බැවින්. අංගනාවො වටවෙලා ඇගේ හිත සනසන අතරේ ඇවරි තුමා පාන් සොයන්න ගියා.

බලු බනිස් දානය

අන්තිමේ දී ජිනදාසගේ කඩෙත් නැති පාන් තිබුණෙ ඒ එහා පැත්තෙ නානගේ කඩේ. පාන් අරං එද්දි අපේ කස්ටිය   පෙරේරා ඇන්ඩ් සන්ස් එක ළඟ හිටි බල්ලෙක් සුරතල් කරනවා. පස්සෙ අපේ සුභද්‍රාවන්ගේ බලු සුරතල් වෙනුවෙන් රුචිර අයියා බනිසක් මිලට ගෙන දුන්නා. මුලින් මුලින් නොකෑවත් පස්සෙ අන්තිම වෙනකම් ම කාපු නිසා හැමෝ ම උදේ පාන්දර කරගත් කුසල සම්භාර ධර්මය ගැන සතුටු වුනා.

පාන් ටික අරං වාහන වලට දාපු අපි කඩුගන්නාව ළඟ නතර කරලා බතලේගල බලාගෙන පාන් කමුයි කියලා හිතාගෙන ගියා. කස්ටිය තමුන්ගේ මනෝ ලෝකවල කොච්චර හිටියද කිව්වොත් සුන්දර මල් මාලා අමුණනන්නත් පටන් අරං. අපි අර පලතුරු විකුණන්න හදපු හට් එකක් ඇතුළෙ සෙට් වෙලා, නැගෙන ඉර දිහා බලාගෙන පාන් කමු හොඳේ. ඒවා හඳේ කියලා තේරුණේ එවෙලේ තිබුණ වාහන තදබදේ දැකලා. අන්තිමේ දී පේරාදෙණිය කැම්පස් එකෙන් ම කමුයි කියලා හිටන් කස්ටිය පිටත් වුනා.
බොගේ ට්‍රිප් වල කෑම මෙන්න..

මඟදි ගැටඹෙදි ඇවරි තුමාට පඩුරු දාන්න ඕන කළා. පුවක්පිටිය දේවාලෙට පඩුරු දාන්න හිටියත් එතන පහු වුන නිසා ගැටඹෙට නම් දාන්න ම ඕන කියලා ඇවරි කිව්ව. ලොකු වාහන තදබදයක් තිබුණ නිසා ඇවරි තුමා කාර් එකෙන් බැහැලා පයින් ම සෙරෙප්පුත් නැතිව ඉස්සරහට ගිහින් පින් කැටේට සල්ලි දැම්මා. කාර් එක තව ගව් ගාණක් එහා. නිකම් බලාන ඉන්න බැරිතැන ඇවරි තුමා කාර් එකට එන්න ආවම චිලී දොර අරින්නැතුව ලොක් කරගෙන පිස්සුවක් නටලා අන්තිමේදී ඇවරිතුමාව කුජීත ම කොරලා දැම්මා. අම්මා පල්ල ඈ නම් ජන්මාන්තර වෙරක්කාරියක් ද මන්දා...? දැන් පිටිපස්සේ වාහනවල මිනිස්සු හෝන් ගහනවා. ඒ මදිවට මිනිහෙක් “උදේ පාන්දර මේ හිඟන්නො හින්දා තමා මෙතන පාර බ්ලොක් වෙන්නෙ කිවනවත් ඇවරිට ඇහුනා. අන්තිමේ දී පඩුරු දාන්න ගිය ඇවරි වාහනේට ගොඩ වෙද්දි හිඟන්නෙකුත් වෙලා.. 

බ්රේක්ෆාස්ට් ඇට් උඩ පේරා

පේරාදෙණිය කියන්නේ ගංගා මැතිනියගේ අඩවිය. අපි ඇතුල් වෙද්දිම ගංගා දේවතාවුන් වහන්සේට කොළ අත්තක් හේම කඩලා දාල තමා ගියේ. නැතිනම් ගෝරි ගොඩයි. අරවින්ද උඩ පේරා පාරේ එක්කගෙන ගිහින් පල්ලිය ඉස්සරහ නැවැත්තුවා. අපිත් කෑමත් අරං පල්ලෙහාට බැස්සේ බඩගින්නට ඉහ මොළ රත් වෙලා තිබුණ නිසා. ගලාගෙන යන වතුර පාරේ කකුල් ඔබාගෙන කලින් දා මාෂියෝනාගේ නිවසේදී චිලී සහ ගංගාවන් ද දායක වී කඳුළු පෙරාගෙන, සොටු සූරාගෙන සාදන ලද සීනි සම්බල් අපි කෑවෙ එතන දී. අවංකව ම කෑම බොහො ම රහට තිබුණ නිසා ඉදිරි පැය හතළිස් අට ඇතුළත අපේ කෑම් බීම් ගැන බලාගැනීමේ වගකීම ඇවරිතුමා බොහොම යාප්පු හෙප්පුවෙන් මේ කතුන් තිදෙනාට පැවරීමට ගත් උත්සාහය කෙළවර වුනේ ආඩපාලී වරුසාවකින්.




පංකාදු සීනි සම්බෝල... දයියා දයියාහ්..
අපි ආවෙ ට්‍රිප් එකක් මිසක් උයන්න නෙමෙයි. අන්න වාහනේ බඩු තියෙනවා උයලා දීපල්ලා.. යකෝ තුන්සිය හැටපස් දවසේම උයලා දැනුත් මුන්ට කන්න දෙන්න ඕන. අද පිරිමි තමා උයන්නේ. හා නැද්ද ගංගා. මාෂි පළමු වෙඩිමුරය පත්තු කළා. වෙනසකටත් එක්ක ඔයාලා උයන්න. අපිත් ඉන්නවනේ උදව්වට. ඇවරිතුමා කාපුවා නහයෙන් කටින් එන්න අහගත්ත බව දැකපු ගංගාවෝ තත්ත්වය ටිකක් සමනය වෙන්න පොඩ්ඩක් සැන්ඩි කරපු වදන් පෙළක් දුන්නත් කොච්චි මිරිස් කරළී කැරැල්ල උනුන් එකිනෙකා මරා ගන්න තැනට ම පත් කළා.

ඔයාට පිස්සු ද ගංගා?? අපි මොකට ද උයන්න උදව් කරන්නේ? මේ අහපන්, තොපේ හැටියට ගෑනු උඹලට උයලා දෙයි කියලා හිතන්න අමාරුයි. උඹලාට වෙන්නෙ කවදා හරි ගෑනුන්ට උයන්න. ඉතිං දැන් ම අපිට උයලා පුරුදු වෙයන්. කුක්කගේ නම හටාරී - උඩ පැන පැන මනෝරී කිව්වලු?? යකෝ මුන්ට ගිය රට කියපි.... තොටයා අපිට උයන්න වෙයි ද සත්තරං? ඒවා ඒ වෙලේට බලාගෙමු බං. තොටමුණ කිව්වෙ නිකම් ඕනවුනොත් මං තනියෙන් හරි උයන්නම් කියලා වගේ..

අයියලා කැම්පස් ද?

කට්ටිය කාල උඩට එද්දි කූඩැල්ලො හේමත් එල්ලිලා තිබුණා. නමුත් කාටවත් ඒ ගැන මතකයක් තිබුණෙ නෑ. ඔය අතරේ ගංගා, මල් කුමාරි ගීතරාණිගේ පොඩි නංගි වගේ ඉහේ මලක්  ගහගෙන පොටෝ සූට් එකකට පෙනී සිටි නිසා අපිට ටික වෙලාවක් එතන රැදෙන්න වුනා. කාපුව දිරවන්නත් එක්ක තොටයා කැම්පස් බුවෙකුට චක වරක් චක්කරය කටපාඩම් කරවමින් රැගක් දෙන්න සෙට් වෙන්නේ ඒ වෙලාවෙ.

අපි වාහන නවත්වලා තිබුණෙ. ඒ ළග මුර කුටිය ආසන්නව. හොස්ටල් පැත්තට යන්න බයිසිකලේ ආපු කොල්ලෙක්ට අපේ වාහන නිසා ටිකක් ඉස්සරහින් හරවලා යන්න සිද්ධ වුනා. අපි පිස්සු නටපු හැටියට මුං නම් මේ සම්මත්ජාතියකට කැම්පස් එකක පස් පාගපු එවුන් වෙන්න බෑ කියලා ඒ කොල්ලට හිතෙන්න ඇති. යන්න ගිය ගමන පැත්තක තියලා කොල්ලා ආපිට ඇවිත් බොහොම තැම්පත්ව මෙහෙම ඇහුවා.

අයියලා කැම්පස් ද?  ආ නෑ මල්ලි ඇයි. නෑ අයියෙ මේ හරියෙ පිට අයට එන්න දෙන්නෑ. සීනියර්ස්ලට අහු වුනොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි මල්ලි හරි බොහොම ස්තුතියි! මල්ලි යන්නකෝ.... ඇත්තට ම අපේ තොටයා එච්චර ඩවුන්වර්ත් කතා කරනවා මං දැකලා ම නෑ. කොල්ල තොළොංචි වුනා විතරයි ආදිපාද තුමා ප්‍රශස්තියක් පටාන් ගත්තා.
මල් කුමාරී - ගීත රානී
ගන්න ගන්න මාගේ රූපෙ මං පොටෝජෙනික්....


අනේ පලයන් ගං කබරයො. අපි පිට ද කියලා අහන්නේ? මේක තොපිට ලියලා දීලා ද? මොකෝ අපි උපාධිධාරී කියලා බෝර්ඩ් එකක් උස්සන් ඉන්නයැ?? තොපි වරෙව් කෝ කැලණියට. මුං පේරාදෙණියෙ කියලා නළලෙන් ඉන්නේ. ඒ අතින් බලපන්කෝ අපේ කැම්පස් එකේ කොහේ හිටියත් මොකාවත් ඇවිත් ප්‍රශ්න කරවා ද? පේනවනේ ගංගා ඔයාගෙ විස්ස විජ්ජාලෙ වැඩවසම් උප සංස්කෘතිය??? තොටමුණ මාරාවේෂ වෙලා කියාගෙන ගියේ එහි සිටි සියලු දෙනාගේ ම අවධානය දිනා ගනිමින්. විවාහ මංගල්‍ය දවසේ පොටෝ අල්ලන්න ඒ ඉසව්වට ආපු වෙඩින් කපලයක් සහ කැමරා කෘ එක අපි දිහා බැලුවේ මේ මොකා කියන්නා වගේ. මාෂියෝනා කුමාරිකාව ඊළඟට රඟ දැක්වූ නායකට තොටමුණ ආදිපාද බොහොම සාවධානව ඉවසා වදාරා ගත්තේ වෙන කරන්න ම දෙයක් නැති නිසා. ඒ ගැන ඊළඟ පෝස්ටුවෙන් කියවමු හේනම්... 

2 comments:

  1. උඹ ලියන විදිහ වෙනස් කරන්න හිතුවා කියලා කොහේදෝ දැක්කා..... වෙනස් කරන්න එපා..... ඔහොම හොඳයි එළම එළ........

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....