Tuesday, September 1, 2015

කිංසු වත්ථු මනුස්සානං - පුත්තා වත්ථු මනුස්සානං හෙවත් සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්.......

මිනිස්සුන්ට ඇති වටිනාම වස්තුව කුමක්දැයි බුදුන්ගෙන් ඇසූ කල බුදුන් දුන් පිළිතුර වූයේ මිනිසුන්ට ඇති වටිනා ම වස්තුව ළමුන් යනුවෙනි.

ගියා ද...ඈ ඈ ගියා ද... නෑ ගියේ මගේ සිතින්...!
හොඳ ම දේ දරුවන්ට දෙන්න යැයි ලෙනින් කියද්දීසැබැවින් ම දරුවන් වෙනුවෙන් මා කුමක් කළේදැයි මගෙන් අසා ගතිමි.මේ දිනවල දරුවන් වෙනුවෙන් මා කරනා වටිනා ම කාර්යය කියැවීමයි. අලුත් දැරිවියන් සතර දෙනා වෙනුවෙන් අලුතින් සටහන් ලියන්නට, කන්ටෙන්ට්ස් ලියන්න මං සෑහෙන්න තරමේ දුෂ්කර වෘත්‍රයක් සමාදන්ව ඇත්තෙමි. දෙයක් අලුතින් කිරිමට ඇති උන (උවමනාව) මාව ඒ අරමුණේ ම රඳවා තබා ඇති බව මට හැඟේ.

ගිය අවුරුද්දේ සීතල වුණ බලාපොරොත්තු ගිනියම්ව, යළි අවදිවී හිනැහුනේ පුංචි උන්ගේ හිනාවලින්ම ය. ඒ හිත්වල මෝදු වන උනන්දුව දුටු විට මෙතෙක් මා තුළ ම සැඟව සිටි සංවාදශීලී රචකයා, එතෙක් තමා රැකි නිද්‍රාශීලී ප්‍රතිපත්තිය අතැර  නැඟී සිටියේ ය. දැන් මම පැණසරින් හිස ඔසොවන මගේ කාලයේ මූසිලයන් වෙනුවෙන් සටනට අවතීරණව සිටිමි. පරණ ආයුධ මුවහත් කරන අතරේ අලුතින් ආයුධ තනන්නට පුහුණු වෙමි.

අචින්තප්පි හොති - චින්තප්පි නහෝති. යනුවෙන් බුදුන් දේශනා කරන ලද්දේ කෙත පාළු වූ ගොයියෙකුට ය. මේ ගොයියා පාඩු විඳින්නට වපුරා නැත. මේ කන්නයේ යම් පාඩුවක් වී නම් ලබන කන්නයේදී දෙගුණයක් ලාබ ලබන්නට පන්නරය මා ලැබුවේ මා කෙරෙහි ම තබන ලද විශ්වාසය නිසාවෙනි. දහසක් පැතුම් පොදි කරපින්නාගෙන අලුත් සෘතුවේ ජීවිතය ඇරඹි මට සුරංගනාවගේ නික්ම යාම ගෙවුණ සතියේ මහත් දුකක් අත් කර දුන් සිදුවීමක් විය.

වයස අවුරුදු දහයක පුංචි සුරංගනාව පසුගිය සතියේත් දහම් පාසල් ආවා මට මතකය. සුළු සැත්කමක් වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වූ ඇගේ සැත්කම සාර්ථක වුවත් ජීවත්වන්නට ඇයට වාසනාව අහිමි විය. එය අනියම් මනුෂ්‍ය ඝාතකයක් යැයි කීම වරදක් නොවේ. ඇගේ මූත්‍රා පෙරහරණය නියමාකාරයෙන් මාරු කරන්නට නොදත් හෙදියක් නිසා සුරංගනාව පැය අටකට අධික කාලයක් දුක්විඳ අවසායේ දී විෂබීජ ආසාදයක් නිසා මිය ගියාය. ජීවිතට රැක ගන්නට සවි කරතිබූ සියලු යන්ත්‍රයන් රතු එළි දල්වද්දී, සියලු ම මාපකයන් මරණයේ සේයා සලකුණු කරද්දී රාජකාරී හෙදිය ලෙඩාගේ තත්ත්වය යහපත් අතට පත් කරන්නට ගත් උත්සහයන් සියල්ල ව්‍යාර්ථව යන අන්දමත් අවසානයේ දී සුරංගනාව මිය යන ආකාරය සියැසින් ම දැකගැනීමටත් ඒ මව්පියන් අවාසනාවන්ත වී තිබිණි. සියල්ල අවසන කන්දක් මෙන් බර දරා ගත් ඒ අම්මයි අප්පයි දෙදෙන කිසිවකුටත් දොසක් නොකීම ඊටත් එහා ගිය පුදුමෙකි.

මගෙ කෙල්ල නැතිවුනා මහත්තයො. දැන් කවුරු වැරදි වුනත් ආයෙත් පණ දෙන්න බැහැ. කඳුළින් සේදුනු දෙනෙත් යළි යළිත් පිස දැමූ පියා කියා සිටියේ ය.

පුංචි පෙට්ටියක හොවා සුවෙන් සැතපෙන ඇගේ ප්‍රාණය නිරුද්ධ නිසල දෙණදෙස බලා සිටි මා මනසේ මේ කෙලි පොඩිත්ත දහම් පාසලේ දුව පැන ගිය අයුරු මැවි මැවී සිතුවම් වන්නට විය. අමුවෙන් ම කඩා හැළෙන උණු කඳුළු නවතා ගත නොහී ඉකිබිඳුම ඇඩුමක් වන්නට ගත වූයේ නිමේෂයකි.

මෙතෙක් වෙලා ඇයට සුරංගනාව යැයි කීමට වෙසෙස් හේතුවක් තිබිණි. පවුලේ එක ම දැරිය වූ ඇය ඒ දෙපළට ලැබී තිබුණේ විවාහයෙන් දස වසරක් පිරුණු තැන ය. දස මස් අයැදමෙන් නොව දස වස් අයැදමෙන් ලැබුණ දැරියක් පිළිබඳ ඔවුන් දෙපළ නොකී කතාව අපට වටහා ගත හැකිව තිබිණ. සත්තකින් ම මෙලොව ජීවත්වන්නට ඔවුනට තිබූ එක ම සාධාරණ හේතුව සුරංගනාව විය. ඇය තාත්තාට බොහෝ ඇළුම් කළා ය. ඇගේ මව පළමු වරට මා දුටුවේ එදා ය. නමුත් පියා සමඟ දිනපතා දහම් පාසල් එන සුරංගනාව කොතෙකුත් දැක ඇත්තෙමි. ඇගේ ජීවිතය ඒ දෙමාපියන්ට කොපමණ අගේ දැයි නෙකිවුව මනාය. (මාතා යථානියන් පුත්ථං ආයුසා ඒක පුත්ත මනුරඛෙ... කරණිය මෙත්තය)

දෛවය උස්ස උස්සා පොළවේ ගසා පොඩිපට්ටම් කරන්නේ යහපත් මිනිසුන්ගේ ජීවිතම ය. ඒ සිදුවීමෙන් කැළඹුණු සිත් ඇතිව සවස් යාමයේ අප පවුලේ පූජාව වෙනුවෙන් බුදු පිළිමය වෙත ගියෙමි. මාකොළ වයි හන්දියේ පිළිමයට දිනපතා පැවැත්වෙන පූජාව අප නිවසින් මසකට දෙවරක් බාරගෙන පවත්වාගෙන යනු ලැබේ. ඒ සෑම මසක ම අට වෙනිදා සහ පහළොස් වෙනිදා වශයෙනි. 2015 අප අඛණ්ඩව පූජාව පවත්වන දහ හත්වන වසරයි. එහි වැඩ හිඳින බුදු පිළිමය තරම් මා ගැන දන්නා කෙනෙක් තව නැත. කිසිවක් ඉල්ලන්නට නොව සියල්ල කියන්නට මා එහි යමි. පුංචි කොල්ලා සන්දියේ කාගේ පූජාවට වුවත් මල් බෑගයක් කඩාගෙන වදින්නට එන මට දායිකාවෝ මල් කුමාර නැත්නම් මල් කොල්ලා කීහ. ලොකු මහත් වී කාර්යබහුලවීමත් රාජකාරී වෙලාවන් හරස් වීමත් හේතුවෙන් මාස්පතා සහභාගී නොවුවද සති අන්තයේ දවසක පූජාව යෙදේ නම් මා කොළඹින් බැහැර නොගියේ නම් අනිවාර්යෙන් ම එහි යමි. මාගේ කුඩා කාලයෙන් තාමත් මා යාමට කැමති තැනකි එය. එදින මා වැඩිමනක් එහි ගියේ සුරංගනාවට නිවන් සැප ප්‍රාර්ථනා කිරීමටය.

සාමාන්‍යෙයන් මම මළ ගිය ඇත්තන් අමතක නොකරන්නෙක් වෙමි. බුදුන් වැඳ අවසාන වී ඉදං මේ ඥාතී ගාථාව කියන විට මගේ මුතුන් මිත්තන් ඇතුළු අනෙකුත් ඥාතීන් හැකි පමණ මතක් කරගනිමි. ළඟක දී අප බුදුන් වැඳ අවසානයේ “අද පින් දෙද්දි බබා කාවද මතක් කළේ යැයි නංගී ගෙන් ඇසීමි...  ඇය නම් පෙළක් කියාගෙන ගියා ය. ඒ සිරිත ඇත්තේ මට පමණකැයි මෙතෙක් සිතා සිටි මට සිනා පහළ විය. පින් දීමෙන් මගේ ළය බොහෝ සැහැල්ලු වූ බව කිව යුතුය. සුරංගනාවට මා සෑහෙන්න ආදරය කළ බව දවස පුරා ඈ නමින් ගැලූ කඳුළින් පසක් කරගතිමි. මීමනගේ සමන් පුතා මෙන් ජීවිතය දකින්නට පෙර සුරංගනාව ද අකාලයේ මියැදුනා ය.


නැවතත් කියමි. දරුවන් යනු මාහැඟි සම්පතක් මය. අප අද ඔවුන් වෙනුවෙන් මහන්සි විය යුත්තේ හෙට ඔවුන් නව ලොවක් ගොඩනඟන බව ප්‍රත්‍යක්ෂ බැවිනි. අතෙකින් සුරංගනාවගේ මරණය ජීවත්ව ඉන්නා දරුවන් වෙනුවෙන් වැඩියෙන් කැපවිය යුතු බවට මා ලද සිහි කැඳවීමක් වැන්න. ඇය මට ඉගැන්වූ පාඩම් බොහෝ ය.මතු උපදිනා ජාතියෙහි අකල් මරණයකට ගොදුරු නොවී අමා මහ නිවනින් සැනහෙන්ට සුරංගනාවට ආශිර්වාද කරමි....!!

2 comments:

  1. සියල්ල වන්නේ මනුෂ්‍යයන්ටය..

    ReplyDelete
  2. ඒ දුක අායෙමත් නොවේවා.....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....