Friday, September 11, 2015

මඟුල් තුලා කතා හෙවත් හයර් එකට අලියෙක් නැද්ද???



මනාල යුවල....
පහුගිය දවස්වල නැකත් වැඩියෙන් යෙදුන නිසා ඇවරිතුමාටත් මඟුල් තුලා කිහිපයකට සහභාගී වෙන්න සිද්ද වුනා. මේ අගෝස්තුවේ යෙදුණු මඟුල් ගෙවල් අතරින් යන්න ලැබුණ විවාහ උත්සවවලය වඩා මඟ හැරුණු උත්සව වැඩියි. හැබැයි ඒ හැම එකකින් ම ඇවරිතුමා අලුත් පාඩම් කිහිපයක් ම ඉගෙන ගත්තා. 

පළමු කාරණය තමා එක ම දිනයේ ආරාධනා ලබන මඟුල් දෙකක් ඇති විට අපහසුවෙන් හෝ පළමුව ආරාධනා ලැබ පැමිණෙන බව කී මංගල්‍ය තෝරා ගැනීම. ඇවරිතුමාට එක ම දිනක දී මංගල්‍ය හතරකට ආරාධනා ලැබුණා. පළමුව ආරාධනාව ලැබුණෙ අපේ පූර්ණා මැතිනියගේ මංගල්‍ය. ගාලු කුමාරියගේ මඟුලට සහභාගී වීම අපිට අනිවාර්ය වෙලා තිබුණා. ඒ වෙනුවෙන් මාසයකට කලින් ම ඇවරිතුමා නිවාඩු අනුමත කරවාගෙනත් තිබුණා. නමුත් එදින ම අපේ මිනෝලි මැතිනියගේ සහ පාසල් මිතුරකු වූ අසේල මහතාගේ විවාහ උත්සව දෙකත් යෙදීම නිසා වැඩේ ජලතරස් වෙනවා. සවස වෙතන් ඔෆීෂියල් මඟුලක්. ඒ වගේ ම ගෙවුනු අගෝස්තුවේ ඇවරිතුමාගේ බේරුවල මාමණ්ඩියගේ දෙවැනි දෝණියැන්දෑගේ වෙඩිමටත් යාමට අවස්ථාව මඟ ඇරෙනවා. ඇගේ වෙඩිම තිබුනෙ ඡන්දය දවසේ. දෙවැනි දවසට යන්න ඇවරි තුමා කොපමණ ට්‍රයි එකක් දුන්නත් නැඟණියගේ විභාග අවශ්‍යතාවයක් නිසා වැඩේ මඟ හැරෙනවා. ඒ අතින් මහ හර්තාල්ස් මාසයක් තමා අගෝස්තුව කියන්නේ. 

කොහොම නමුත් මේ මංගල්‍යන් වලදි ඇවරිතුමා හුඟක් විනෝද වුන බව ලියන්න ඕන. පූර්ණා මැතිනියගේ මඟුලට ඇවරි මහතා කොළඹින් පිටත් වුනේ කලින් දා රාත්‍රියේ. වැඩ රාජකාරි අහවර කරලා මිඩ් නයිට් එක්ස්ප්‍රස් එකේ ගාලු ඇදලා පහුවදා කාටත් කලින් ම ඇවරයියා හොටෙල් එකට ආව. මං යද්දි ඇය ලස්සනට ඇඳ පැළඳගෙන වෑන් එකට වෙලා හිටියා. වෙනදාට ඩෙනිමක් ගහගෙන, පිස්සු කෙලගෙන, නේද බං කියාගෙන ඉන්න පූරි අද සෑහෙන්න ෆැබ් ලුකින්ග්. ඔක්කොට ම වඩා මට කාල ඉන්න බැරි තරම් මේ කෙල්ල තැම්පත් වෙලා තිබුණා. කොහොමත් පූර්ණා මැතිනිය කියන්නේ අපේ හොඳ ම බොක්කක්. ගාල්ලට නිකමට හරි යැවෙන නම් ඈට ඇමතුමක් දීම ඇවරිගේ පුරුද්දක් වෙලා. කෙල්ල උඹ ඉන්නව නම් බලන්න එන්නම්. නැත්නම් මෙහෙම්ම යනෝ කිව්ව ම හැමදාම වරෙන් වරෙන් කියනව මිසක් කවදාවත් බිසී බන් කියලා නෑ. ගාල්ල සාගර කෞතුකාගාරය අපේ ගෙදර වාගේ වෙලා තියෙන්නේ පැය ගණන් අපි එහි ගත කරන නිසා. ආගිය විස්තර කතා කරමින් පූරි වර්ණනා කරන ගාලු කොටුවේ නිව්ස් අසමින් හිනාවෙන් ගෙවුනු පැය ගණන් කොච්චර ද කියන්න මතකත් නැති තරම්. පූරි එහි ඇති කෞතුක වස්තූන් විස්තර කරන විදිය තමා හරි ම අපූරු. ඇවොන්ඩ්ස්ටාර් නෞකාව ගැන, එහි ප්‍රදර්ශන මැදිරිවල අඹලා තියෙන රූප සහ සිද්ධින් ගැන ඇගේ විස්තර අහන් ඉන්න මිනිස්සුන්ට බඩවල් අල්ලන් හිනා යන තරම්. කෞතුකාගාරය බලන්න එන මිනිස්සු සතුටු කරන්නෙ කොහොම ද කියන එක ඇය හොඳට ම දන්නව වගේ ම පැය ගණන් ආර්ටිෆැක්ට්ස් දිහා බලන බෝරින් වැඩේට පොඩි රහක් එක් කරන්න ඈට ඇත්තේ සහජ හැකියාවක්. 

ගාල්ලේ ෆොටෝ ෂූට්වලට යන අපේ උදවියට නොමසුරුව තමුන්ගේ සේවාව ලබා දෙන පූරි ස්පෙෂල් කර්ටසීස් වලින් ඉස්සරහින් ම ඉන්නවා. ඇගේ සේවාදායකයො අදටත් මුණගැහුණා ම අනේ ඔව් බං ඔක්කොම කරලා දුන්නා. කිසි අවුලක් වුනේ නෑ කියන්නෙ මූනිච්චාවට නෙමෙයි. ඇගේ වෙඩිමේ නියම වාද්‍ය වෘන්දයක් හිටියා. ඒ වයලිනිස්ට් මාර ම ගති. ඒ උදවිය මං කැමතිම සින්දු එක සීරුවට වාදනය කරද්දි ළඟ පුටුවකට බර වෙලා කැවුම් කිරිබත් කන ගමන් ඇවරිතුමා බොහොම රහට ඒවා වින්දා. ඒක බොහොම චාම් මඟුලක්. තල්පෙ ද ගාර්ඩ්න් එකත් නිකන් වෙන ම සෙටප් එකක්. ඇය පෝරු මස්තකාරෑඪ වෙද්දි ඉෂාන් ෂීන්න්ගෙන් කෝල් එකක් ආවා. 

මචන් මොක ද වෙන්නේ? මොනා වෙන්න ද බං මේකි පෝරුවේ.. නෑ?? සිරාවට.. කලබල වෙන්න එපා ඇවරි මුකුත් කරන්න ඕන නෑ අපි එනකම් ඔහොම ම පෝරුවේ තියා ගනින් හරිය??? ඉෂාන් උදේ පාන්දර ම බයිටක් දැම්මා. එතකොටත් අපේ සැපට දුකට සනීලා සෙට් එක වැලිපැන්නේ...

ඔය අතරේ මගේ අහිංසක සතුටට බාධා කරමින් වාද්‍ය වෘන්දය පොඩ්ඩක් නවත්වලා ෂටර් අයි වෙතින් කළ පූරිගේ ප්‍රී ෂූට් වීඩියෝ එක දැම්මා. මංගල සභාව මොහොතකින් චිත්‍රපට ශාලාවක් වුනේ හිතාගන්නවත් බැරි විදියට. කොට්ටව රක්ෂිතයේ රූපගත කළ ඒ විඩියෝවේ නම් පූරි නිළිය වගේ රඟපෑව. වටින් පිටින් ළාවට විසිල් පාරවල් දෙක තුනකුත් වැදුන බව මතකයි. ටේබල් රවුන්ඩ් යද්දි අයියාත් අපි එක්ක කතා කළා. ඒ වෙලේ කැම්පස් එකෙන් ඇවිත් තිබුණෙ මම ම විතරයි. හැබැයි ඇගේ කෞතුකාගාර සේවා සගයො ගොඩක් අපි අඳුනන නිසා පාළුවක් දැනුනෙ නෑ. 

සිතුවම්, සනා, ඉෂාන්, අනුරාධි, වත්සලා සහ එම මැතිතුමා, ශලිනි වගේ පරණ ම බැචාලා අවුරුදු පහකට විතර පස්සේ සෙට් වුනා. උන් එනකම් මඟුල බොහොම සාමකාමීව පැවතියා. ආව විතරයි වැඩියෙන් ම සද්දෙ දාන මේසය බවට අපි පත්වුනේ නිරායාසයෙන්. අවුරුදු ගාණක ඕපදූප කියව්වන්න තිබුණා නොවැ. ඔය අතරේ අපේ සෝබමාන ගුවන් සේවිකා අනුරාධිට කෝල් එකක් ආව. මිදුලේ සක්මන් කරමින් ඇමතුමට උත්තර දුන්න අනූ පැය බාගයක් යද්දි උන් හිටි තැනක් හොයාගන්න බැරි වුනා. කොහෙද බං ගියේ? අන්න පූර්ණා හෙව්වා. අපි හිතුවා උඹ කෝල් එකෙන් ඔෆිස් එකට ම ගියා කියලා...??

හති දාගෙන ඇවිත් මූනෙ දාඩිය ටච් කරන ගමන් අනුරාධි හේතු පැහැදිලි කළා. මාර සීන් එකනේ... පෙරහැරට අලි ඔක්කොම ගිහින් නිසා කන්ඩලමේ අලි නැතිලු. දැන් මගේ ගයිඩ් අහනවා මොක ද කරන්නේ කියලා. රී ෂෙඩියුල් කරන්නත් බෑ. බැරි ම වුනොත් පින්නවලින් රයිඩ් එකක් දානවා. ඇය බලාපොරොත්තු අත්හරිමින් කියද්දි, පෙරහැරට නොයන අලි කණ්ඩලමේ ඉන්නවා, මෙන්න මේ නම්බර් වලට ගන්න කියලා තමුන්ගේ ජංගමයගෙන් අලිකාරයෙක් හොයලා දෙන්න සිතුවම් ඉදිරිපත් වුනා. අපේ බැචලා 28 දෙනා ඒ අතින් ගින්දර. ඕන දෙයක් අමුණලා ගොඩදාල දෙයි.  

තේ මේසේ අහවර වුනේ එකොළහට. එක වෙද්දි කෑමටත් වතුර ඇල්ලුවා. ඉක්මණින් බෙදාගෙන දවල් කෑම අහවර කළ ඇවරිතුමා පූරිට කියලා කොළඹ එන්න පිටත් වුනේ මිනෝලිගේ මඟුල් ගෙදර අවසාන ජවනිකාවටවත් ගොඩවෙන්න හිතාගෙන. අපි දෙවැටින් දාද්දිත් දෙකයි. ජල්තර් චාටරේ කියන්නේ මඟ දිගට වැස්ස නිසා සීයට පාගන්න අමාරුයි. ඒ මදිවට මට නිදිමතයි. ඩ්‍රයිවර්ට පරිස්සමින් එළවන්න කියලා ඇවරිතුමා සයන තේවාවට මාරු වුනා. මට ඇහැරෙද්දිත් කඩුවෙල ට්‍රැෆික් එකේ. කමක් නෑ යාළු දැන් කෝකත් එකයි. ගෙදර ආපු ඇවරි ඉක්මණට ෂවර් එකක් අරන් ලෑස්ති වුනේ ඊළඟ මඟුලට යන්න. කොහොම නමුත් මිනෝලිගේ වෙඩිමටත් යන්න වුනා නම් අයියේ කොපමණ ද අගේ තමා... 

බැණුම් වැල
ඔයා මහ බොරුකාරයෙක් නලින - සුලා. ඇත්ත සුලී කොහේ එන්න ද ඉතිං. ඒක නෙමෙයි අර කැලණියේ කෙල්ල අද ඔයාට ලස්සනට ඇන්දුවා ද? ඔව් ඔව් ඊට වඩා ලස්සනට ඔයා එනවා කියලා අපිව ඇන්දුවනේ? මං තරහයි... මළා
ඇයි වෙඩින් එකට ආවෙ නැත්තේ? මුළු ස්ටාෆ් එක ම ආව ඔයා විතරයි අඩු? ලොකු සීන් ද? ඔන්න මගේ එකට නම් පිස්සු නටන්න බෑ. එන්න ඕන. හරි අනිවා කුමාරිහාමි මං එනවා...
මල්ලි එදා මොක ද මිනෝලිගේ වෙඩින් එකට නාවෙ? යාළුවො ඔක්කො ම බලන් හිටියා. ඒකනේ අයියා වැඩේ ජෝන් බාස්ට ගියානේහ්!!
නලිනට මිනෝලි වෙඩින් එක කිව්වේ නැද්ද? කිව්ව අනේ ඒත් එදා තව ගාල්ලෙ වෙඩින් එකක් නිසා එන්න බැරි වුනා. ඒක මිසක්... හෑහ්??

Tuesday, September 1, 2015

කිංසු වත්ථු මනුස්සානං - පුත්තා වත්ථු මනුස්සානං හෙවත් සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්.......

මිනිස්සුන්ට ඇති වටිනාම වස්තුව කුමක්දැයි බුදුන්ගෙන් ඇසූ කල බුදුන් දුන් පිළිතුර වූයේ මිනිසුන්ට ඇති වටිනා ම වස්තුව ළමුන් යනුවෙනි.

ගියා ද...ඈ ඈ ගියා ද... නෑ ගියේ මගේ සිතින්...!
හොඳ ම දේ දරුවන්ට දෙන්න යැයි ලෙනින් කියද්දීසැබැවින් ම දරුවන් වෙනුවෙන් මා කුමක් කළේදැයි මගෙන් අසා ගතිමි.මේ දිනවල දරුවන් වෙනුවෙන් මා කරනා වටිනා ම කාර්යය කියැවීමයි. අලුත් දැරිවියන් සතර දෙනා වෙනුවෙන් අලුතින් සටහන් ලියන්නට, කන්ටෙන්ට්ස් ලියන්න මං සෑහෙන්න තරමේ දුෂ්කර වෘත්‍රයක් සමාදන්ව ඇත්තෙමි. දෙයක් අලුතින් කිරිමට ඇති උන (උවමනාව) මාව ඒ අරමුණේ ම රඳවා තබා ඇති බව මට හැඟේ.

ගිය අවුරුද්දේ සීතල වුණ බලාපොරොත්තු ගිනියම්ව, යළි අවදිවී හිනැහුනේ පුංචි උන්ගේ හිනාවලින්ම ය. ඒ හිත්වල මෝදු වන උනන්දුව දුටු විට මෙතෙක් මා තුළ ම සැඟව සිටි සංවාදශීලී රචකයා, එතෙක් තමා රැකි නිද්‍රාශීලී ප්‍රතිපත්තිය අතැර  නැඟී සිටියේ ය. දැන් මම පැණසරින් හිස ඔසොවන මගේ කාලයේ මූසිලයන් වෙනුවෙන් සටනට අවතීරණව සිටිමි. පරණ ආයුධ මුවහත් කරන අතරේ අලුතින් ආයුධ තනන්නට පුහුණු වෙමි.

අචින්තප්පි හොති - චින්තප්පි නහෝති. යනුවෙන් බුදුන් දේශනා කරන ලද්දේ කෙත පාළු වූ ගොයියෙකුට ය. මේ ගොයියා පාඩු විඳින්නට වපුරා නැත. මේ කන්නයේ යම් පාඩුවක් වී නම් ලබන කන්නයේදී දෙගුණයක් ලාබ ලබන්නට පන්නරය මා ලැබුවේ මා කෙරෙහි ම තබන ලද විශ්වාසය නිසාවෙනි. දහසක් පැතුම් පොදි කරපින්නාගෙන අලුත් සෘතුවේ ජීවිතය ඇරඹි මට සුරංගනාවගේ නික්ම යාම ගෙවුණ සතියේ මහත් දුකක් අත් කර දුන් සිදුවීමක් විය.

වයස අවුරුදු දහයක පුංචි සුරංගනාව පසුගිය සතියේත් දහම් පාසල් ආවා මට මතකය. සුළු සැත්කමක් වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වූ ඇගේ සැත්කම සාර්ථක වුවත් ජීවත්වන්නට ඇයට වාසනාව අහිමි විය. එය අනියම් මනුෂ්‍ය ඝාතකයක් යැයි කීම වරදක් නොවේ. ඇගේ මූත්‍රා පෙරහරණය නියමාකාරයෙන් මාරු කරන්නට නොදත් හෙදියක් නිසා සුරංගනාව පැය අටකට අධික කාලයක් දුක්විඳ අවසායේ දී විෂබීජ ආසාදයක් නිසා මිය ගියාය. ජීවිතට රැක ගන්නට සවි කරතිබූ සියලු යන්ත්‍රයන් රතු එළි දල්වද්දී, සියලු ම මාපකයන් මරණයේ සේයා සලකුණු කරද්දී රාජකාරී හෙදිය ලෙඩාගේ තත්ත්වය යහපත් අතට පත් කරන්නට ගත් උත්සහයන් සියල්ල ව්‍යාර්ථව යන අන්දමත් අවසානයේ දී සුරංගනාව මිය යන ආකාරය සියැසින් ම දැකගැනීමටත් ඒ මව්පියන් අවාසනාවන්ත වී තිබිණි. සියල්ල අවසන කන්දක් මෙන් බර දරා ගත් ඒ අම්මයි අප්පයි දෙදෙන කිසිවකුටත් දොසක් නොකීම ඊටත් එහා ගිය පුදුමෙකි.

මගෙ කෙල්ල නැතිවුනා මහත්තයො. දැන් කවුරු වැරදි වුනත් ආයෙත් පණ දෙන්න බැහැ. කඳුළින් සේදුනු දෙනෙත් යළි යළිත් පිස දැමූ පියා කියා සිටියේ ය.

පුංචි පෙට්ටියක හොවා සුවෙන් සැතපෙන ඇගේ ප්‍රාණය නිරුද්ධ නිසල දෙණදෙස බලා සිටි මා මනසේ මේ කෙලි පොඩිත්ත දහම් පාසලේ දුව පැන ගිය අයුරු මැවි මැවී සිතුවම් වන්නට විය. අමුවෙන් ම කඩා හැළෙන උණු කඳුළු නවතා ගත නොහී ඉකිබිඳුම ඇඩුමක් වන්නට ගත වූයේ නිමේෂයකි.

මෙතෙක් වෙලා ඇයට සුරංගනාව යැයි කීමට වෙසෙස් හේතුවක් තිබිණි. පවුලේ එක ම දැරිය වූ ඇය ඒ දෙපළට ලැබී තිබුණේ විවාහයෙන් දස වසරක් පිරුණු තැන ය. දස මස් අයැදමෙන් නොව දස වස් අයැදමෙන් ලැබුණ දැරියක් පිළිබඳ ඔවුන් දෙපළ නොකී කතාව අපට වටහා ගත හැකිව තිබිණ. සත්තකින් ම මෙලොව ජීවත්වන්නට ඔවුනට තිබූ එක ම සාධාරණ හේතුව සුරංගනාව විය. ඇය තාත්තාට බොහෝ ඇළුම් කළා ය. ඇගේ මව පළමු වරට මා දුටුවේ එදා ය. නමුත් පියා සමඟ දිනපතා දහම් පාසල් එන සුරංගනාව කොතෙකුත් දැක ඇත්තෙමි. ඇගේ ජීවිතය ඒ දෙමාපියන්ට කොපමණ අගේ දැයි නෙකිවුව මනාය. (මාතා යථානියන් පුත්ථං ආයුසා ඒක පුත්ත මනුරඛෙ... කරණිය මෙත්තය)

දෛවය උස්ස උස්සා පොළවේ ගසා පොඩිපට්ටම් කරන්නේ යහපත් මිනිසුන්ගේ ජීවිතම ය. ඒ සිදුවීමෙන් කැළඹුණු සිත් ඇතිව සවස් යාමයේ අප පවුලේ පූජාව වෙනුවෙන් බුදු පිළිමය වෙත ගියෙමි. මාකොළ වයි හන්දියේ පිළිමයට දිනපතා පැවැත්වෙන පූජාව අප නිවසින් මසකට දෙවරක් බාරගෙන පවත්වාගෙන යනු ලැබේ. ඒ සෑම මසක ම අට වෙනිදා සහ පහළොස් වෙනිදා වශයෙනි. 2015 අප අඛණ්ඩව පූජාව පවත්වන දහ හත්වන වසරයි. එහි වැඩ හිඳින බුදු පිළිමය තරම් මා ගැන දන්නා කෙනෙක් තව නැත. කිසිවක් ඉල්ලන්නට නොව සියල්ල කියන්නට මා එහි යමි. පුංචි කොල්ලා සන්දියේ කාගේ පූජාවට වුවත් මල් බෑගයක් කඩාගෙන වදින්නට එන මට දායිකාවෝ මල් කුමාර නැත්නම් මල් කොල්ලා කීහ. ලොකු මහත් වී කාර්යබහුලවීමත් රාජකාරී වෙලාවන් හරස් වීමත් හේතුවෙන් මාස්පතා සහභාගී නොවුවද සති අන්තයේ දවසක පූජාව යෙදේ නම් මා කොළඹින් බැහැර නොගියේ නම් අනිවාර්යෙන් ම එහි යමි. මාගේ කුඩා කාලයෙන් තාමත් මා යාමට කැමති තැනකි එය. එදින මා වැඩිමනක් එහි ගියේ සුරංගනාවට නිවන් සැප ප්‍රාර්ථනා කිරීමටය.

සාමාන්‍යෙයන් මම මළ ගිය ඇත්තන් අමතක නොකරන්නෙක් වෙමි. බුදුන් වැඳ අවසාන වී ඉදං මේ ඥාතී ගාථාව කියන විට මගේ මුතුන් මිත්තන් ඇතුළු අනෙකුත් ඥාතීන් හැකි පමණ මතක් කරගනිමි. ළඟක දී අප බුදුන් වැඳ අවසානයේ “අද පින් දෙද්දි බබා කාවද මතක් කළේ යැයි නංගී ගෙන් ඇසීමි...  ඇය නම් පෙළක් කියාගෙන ගියා ය. ඒ සිරිත ඇත්තේ මට පමණකැයි මෙතෙක් සිතා සිටි මට සිනා පහළ විය. පින් දීමෙන් මගේ ළය බොහෝ සැහැල්ලු වූ බව කිව යුතුය. සුරංගනාවට මා සෑහෙන්න ආදරය කළ බව දවස පුරා ඈ නමින් ගැලූ කඳුළින් පසක් කරගතිමි. මීමනගේ සමන් පුතා මෙන් ජීවිතය දකින්නට පෙර සුරංගනාව ද අකාලයේ මියැදුනා ය.


නැවතත් කියමි. දරුවන් යනු මාහැඟි සම්පතක් මය. අප අද ඔවුන් වෙනුවෙන් මහන්සි විය යුත්තේ හෙට ඔවුන් නව ලොවක් ගොඩනඟන බව ප්‍රත්‍යක්ෂ බැවිනි. අතෙකින් සුරංගනාවගේ මරණය ජීවත්ව ඉන්නා දරුවන් වෙනුවෙන් වැඩියෙන් කැපවිය යුතු බවට මා ලද සිහි කැඳවීමක් වැන්න. ඇය මට ඉගැන්වූ පාඩම් බොහෝ ය.මතු උපදිනා ජාතියෙහි අකල් මරණයකට ගොදුරු නොවී අමා මහ නිවනින් සැනහෙන්ට සුරංගනාවට ආශිර්වාද කරමි....!!