Friday, July 6, 2018

විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නට මට කියාදුන් අත්තම්මා නිවන් ගිය දෑය


අනුපමේය ‌සෙනෙහසක මහිමය.. 
පහුගිය දවස්වල ඇවරිතුමා බොහොම ශෝකවුන කාරණය වුනේ ඇඩ්ලින් හපුආරච්චි ගුරුමාතාවගේ  මරණය නිසා. ඇවරිතුමාට හිටපු හොඳම ආත්තම්මා තමා නැති වුනේ. මේ ලියන මොහොතෙත් මගේ ඇස් කඳුළින් පෙඟෙන්නෙ ඇගේ සෙනෙහස ඒ තරම් මා වෙත බැඳී තිබූ නිසා වෙන්න ඕන.

ඇවරිතුමාට ආච්චිලා දෙන්නගේ ආදරේ අහිමි වෙන්නේ ගොඩාක් පොඩිකාලේ. ඇවරි පිතාගෙ මෑණියන් වහන්සේ අන්ත්‍රා වෙන්නේ ඇවරි හතර වසරෙදි විතර. මොර සූරන්න වහින දවසක ඇවරිතුමා මාමත් නැන්දත් එක්ක ඉස්කෝලෙ ඇදුම පිටින් මළගමට ගියා. කොටින්ම මට එතුමියගේ නම වත් මතක නෑ. හැබැයි හිතේ රූපය තියෙනවා. ඇවරි මාතාවගේ අම්මට අපි කියන්නෙ අම්බුණ්ඩි කියල. අමඩි, අම්මණ්ඩි වෙලා මුණුබුරු මිණිපිරියන් වෙත එද්දී අම්බුණ්ඩි වෙනව. ගරු කටයුතු මාතාව යන තේරුම් ඇතුව. ඉස්සර ගමේ ගියාම, ඇය කතා කියල දීල බත් කවාපු අතීතයක් අපිට හීනෙකින් වගේ මතකයි. ජයවර්ධන වෙද හාමිනේත් වැරැල්ලානේ වෙද මුත්තණ්ඩිත් ඇරුණාම ඇවරිගේ මහ සීයා ජීඩින් සිඤ්ඤෝ හිටියෙ අලුත්ගම වුනාට ආරොන්ගෙ මල්ලි බාරොන් වගේ මොරටුවේ දක්ෂ වඩුවා. වෙද මුත්තණ්ඩි ගැන නම් ඇවරිතුමාට සැලකිය යුතු මතකයක් තියෙනවා. මොක ද එතුමා එක්ක සෑහෙන්න තරම් වැඩ කරන්න ලැබුණ නිසා  එතුමා සෑහෙන්න කියවපු කරපු කෙනෙක්.

ඇඩ්ලා ගැන ලියන්න ඇවරිතුමා පටාන් ගන්නෙ එතුමාත් ජංගි අඳින කාලෙ පටන්. ඇඩ්ලින් ටීචර් තමා මාකොළ සපුගස්කන්දේ මුතුහර රූපවාහිනි ළමා සමාජයේ මුල පටන් ම අනුශාසකත්වය දැරුවේ. ඒ හරියට ම කිව්වොත් මීට අවුරුදු තිහකට විතර කලින් ඉඳන්. ඒ නිසා ඒ සද්ගුණවත් මාතාව පිළිබඳ ඇවරිට ඇති මතකයන් සියල්ල මුතුහරට අදාළයි.

අපි අංක 319 මාකොළ මුතුහර රූපවාහිනී ළමා සමාජය. ඇවරිතුමා තමා එහි අවසාන සභාපතිවරයා. මගේ ලේකම්ට හිටියේ තිර්මිලා. මූ තමා විනාස කළේ. එදා ඇඩ්ලින් ටීචර්ගේ මළගෙදර දී ආදී අයියලා අක්කලා ඇවරිතුමා පෙන්නලා ම කිව්වා. ඔව් ඒකට ඇවරි වග කිව යුතුයි. නමුත් අපි බාරගන්නකොටත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. ළමයි මුතුහරට වඩා සෙනසුරාදා පන්ති යන්න අරන්. සභාවාරයට අවශ්‍ය ඝන පූර්ණයවත් නැතුව කට්ටිය හැලිලා හැලිලා අන්තිමට සභාපතිතුමා විතරක් ඉතිරි වෙලා මුතුහර නැවතිලා ම ගියා. ඇවරි පතිරගේව හදන්න මේ කියන මුතුහර බොහෝ දායකත්වයක් දුන්න. වගකීම් දරන්න. නායකත්වය ගන්න. ඉවෙනට්ස් කරන්න ආදී බොහොමයක් අපි එයින් ඉගෙන ගත්තා.
ඒ සියල්ලගේ ම පුන්‍යානුමෝදනාව ඇඩ්ලාට යන්න ඕන. ඇඩා කියන්නේ ඇවරි ආදරේට කියන නම. එතුමියට සම වයසේ ගුරුවරියන් කතා කරන්නේත් ඒ නමින්. ඇවරිත් බොහෝවිට එහෙමත් කිව්වා. ඒක ආදරේ උල්පතක්. මුතුහර සංකල්පය ඉතා රසවත්. වාර්ෂිකව වැඩසටහනක් එහි තිබුණා. ඒ අංග කටයුතු සිදු කිරීමට අදාළ නිලධාරී මණ්ඩයක් තෝරා පත්වනවා. කාරක සභිකයන් හතක් සමඟින්. ඒ අය නිල අංගයන් සහ සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එන වෙනත් කටයුතු සිදු කරනවා. වසර පටන් ගත්තේ පන්සලේ සහ පල්ලියේ තියෙන පින්කම් දෙකකින්. අපි බෞද්ධ වුනාට හැම අවුරුද්දක ම අඩු ම දෙසැරයක්වත් පල්ලි ගියා. ගීතිකා කිව්වා.

බාලයන් මා වෙතට එන්න ඉඩදෙනු කියා - කියයි අදත් ඒ ජේසු තුමා
දහම් දෙසන්න පතුරවන්න එන්න සැම දෙනා කියා 
කියයි අදත් ඒ ජේසු තුමා... (තාම කටපාඩම් බේබි!!)

අපි මාබිම කල්වරියත් නැංගා. එය බහු සංස්කෘතික, බහු ආගමික තැනක්. තව කඳවුරක් තිබුණා. කණ්ඩායම් වලට ළමයි බෙදලා මෙනු එකක් දීලා ඒක උයන්න කියලා විනිශ්චය මණ්ඩලයකින් ලකුණු දෙන. පරිප්පු, පළා වර්ගයක්, බත්, බිත්තර ආදී වශයෙන් මෙනු එකක් තියෙනවා උයන්න. තව එහිම ගවේශනයක් තිබුණා. කණ්ඩායම් වාර්තාවක් සැපයිය යුතු. හවසට ආදි අයියලා අක්කලයි, අපියි බෙදිලා එල්ලෙ ගැහුවා. වල්ගම ඉස්කෝලෙ පිට්ටනියේ. දැන් මතක් වෙද්දි ඇස්වලට කඳුළු එනවා මොකද අපි ඒ තරම් සතුටු වුනා, මාබිම ඉඳන් මාකොළට බස් එකේ සාස්පාන් වලට තට්ටු දාදා සින්දු කිය කිය ඇවිල්ලා. මේක කියවද්දි ඔබ හිතින් මවා ගන්න. කණ්ඩායමක් හැටියට උයන, ඇඩ්වෙන්ඩර් ඉවෙන්ට් තියෙන, සවසට ඉදිරිපත් කිරීම් කරන, හොඳම කණ්ඩායම තෝරන කොටින්ම තරුණ විසේට රැස් විහිදෙන ඉවෙන්ට් එකක්. ඇවරිතුමා යුනි යන කාලෙ පිළිකුත්තුව චැලෙන්ජ් නමින් කළ ඕපන් ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකට පාදක වුනේ ඒ අත්දැකීම්.

ඉදිරි කාලෙ අපි මේක දහම් පාසල් මට්මින් කරන්න හිතාගෙන ඉන්නවා. අගෝස්තු නිවාඩුවට. ඇඩ්ලාට උපහාරයක් වශයෙන්. මොකද දවස ඉවර වෙද්දි කොච්චර මහන්සිවෙලා හිටියත් ඒ කන්සෙප්ට් එකෙන් මාර ත්‍රිලක් එනවා. හිතෙට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසින් නෙමෙයි මූණට ම කියාවි. මේ සීසන් එකේ අපි කරමු. බොහොත් මසා ආයෙන්ගී.
ඒ හැරුණා ම ළමා නිවාස හා වැඩිහිටි නිවාස දාන (විහාර මහා දේවී ළමා නිවාසයට හා දෙල්ගොඩ වැඩිහිටි නිවාසයට) වගේ ම වාර්ෂික පොළ. වාර්ෂික චාරිකාව, අධ්‍යාපනික ප්‍රදර්ශනය, බැති ගී සරණිය, අවසානයේ දී රංගාවතරණය හෙවත් සංවත්සර ප්‍රසංගය ඇතුලු තව ගොඩාක් ඒවා තිබුණා මට මතක මෙච්චරයි. ලියන්න අමාරුයි බන් කඳුළු එනවා හෝ ගාලා. කෙටියෙන් කිව්වොත් මේ සියල්ල ඒ වචනයෙන් කියන්න බැරි තරම් ළමා අපට ආදරය කළ අත්තම්මාගේ අනුශාසකත්වය මත හැදුනු, දියුණු වුන දේවල්. ඒ තරුණ ජීවිත වලට ඇය දුන්න ආලෝකය ම ඇති නිවන් දකින්න. මම ඒ ඉවෙන්ට්ස් ගැන පොඩියට ලියන්නම්. මොක ද මේ නොස්ටොල්ජික් ගතිය ඇඩ්ලාට මාව ගොඩක් සමීප කරවනවා.

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....