Wednesday, May 2, 2018

බිළිදු දැකුම් 3 #Lakshi's Baby Visit 2



අපි ගෙදරට යද්දි ලක්ෂිතාවෝ නාලා අහවර වුනා විතරයි. අප්පා අද විතරක් වෙන්නැති නාන්න වත් නිදහසක් ලැබෙන්නැත්තෙ? අම්මලා වුනාම එහෙම තමා. බරපතල වැඩ ආයුබෝන්. වෛද්‍ය සුමේධ තාපසතුමාත් අපිව උණුසුම්ව පිළිගත්තා. දෝණී නම් හොඳට අම්මි කුක්කු බීලා සැපට නිදාගෙන හිටියේ අපි යද්දි. මෙලෝ සිහියක් නැතුව අපිත් තොටිල්ලේ හොවා සිටි මොළකැටි සුරංගනාව බලන්න ඒ සැණින් ගියා. හා ඉතිං ආවෙත් ඒ වැඩේට ම නේ..? පිරිමි අපි දෙන්නා කොච්චර පරිස්සම් වුනත් ඉදලානි වහන්තරාවගේ විසේට පොඩි එකීගේ සිලිං බිලිං එකක් හොල්ලලා ඒ දැරිවිගේ නින්ද කැඩුවයි කියාන්කෝ චාමර. ඉදලානියෝ උදලානියක් වුනේ එක තප්පරේකින්. අයියෝ දැන් ද කොහෙද කෙල්ල නිදා ගත්තේ...? ආහ් කමක් නෑ අනේ කෝමත් දැන් අපි සර්ව රාත්‍රික නයිට් කරපු කාලෙ පහු කළා. දැන් ගොඩක් දවස්වල රෑට නිදා ගන්නවා. සුමේධ කිව්වෙ කවුරුත් හිනස්සමින්.

ඉන් පස්සේ පුංචි දෝණිත් අපේ කතාවට එකතු වුනා. ගොඩ කාලෙකින් හමුවුන නිසා අපිට ගොඩක් දේවල් කතා කරන්න තිබුණා. රැකී රක්ෂාවල් ගැන, අපේ ම යාළු මිත්‍රාදීන් ගැන, රටේ විත්ති, ගොසිප් හප්පේ අර කෙලීට තේරෙනව නම් බය වෙනව ෂුවර්. ඉතිං ඉතිං අද්වකාත් නෝනා.. නඩු ඔක්කොම කොට උඩ තියලා, චූදිතයින්ට ඇපත් නොදී ඔබතුමිය මෙහේ දරු සුරතල් බලන එක හරිද අපි අහන්නේ? අපෝ නෑ ඒ වැඩ ඔක්කොම බාර දීලා ආවේ. ඒ එක අතකට ඒක මරු ජොබ් එක නේ. එපා කියලා හිතුනොත් බාර දෙන්න පුළුවන් නේ කේස් පිටින් ම. මයිනාතුමා කතාවට එකතු වුනා. ඔව් ඉතිං එතකොට වැඩත් නෑ, පඩිත් නෑ නේ? ලක්ෂිතාවෝ උත්තර දුන්නේ හිනාවෙලා. මොකෝ දොස්තර මහත්තයා කන්න අඳින්න දෙන්න බෑ කිව්ව ද අප්පේ? අපි හැමෝ ම හිනාවුනා.

මද්දහනේ නිදානේ කියාගෙන ඉර මුදුන් වෙද්දි ගෙවල්වලට ගොඩ වුන නිසා අපිට ලන්ච් හදන්නත් ලක්ෂිතාවෝ මහන්සි වෙලා තිබුණා. කතාවෙන් කතාවෙන් වෙලා ගිය නිසා අපිට කෑමටත් ආරාධනා ලැබුණා. යමු යමු සුමේධ හැමදාම අමාරුවෙන් ඒව කාල මෙහෙම ඉන්නවා නම් අපිට වේලක් කෑවට මුකුත් වෙන්න විදියක් නෑනේ. නේද ලක්ෂි..? හා හා කාල ම බලන්නකෝ. ලක්ෂිතාවෝ කියා හිටියේ ඇගේ වියමන ගැන ෆුල් කොන්ෆිඩන්ස් පිට. කෑම වේල බොහෝ සරුවට තිබුණා. ඇවරිට මතක ම මාළු ඩිෂ් එක. අප්පා ඒකට නම් ලකුණු සීයෙන් සීයයි. අනික් උන් දෙන්නා කෙසේ වෙතත් ඇවරිතුමා නම් දෙයියනේ කියලා සමනල කන්ද වගේ බත් පිඟානක් ගිලලා අතුරුපසට බටර් ස්කොච් අයිස් ක්‍රීම් හිටන් අනුභව කළා ඕන්. මයියායි ඉදල් සුලායි දෙන්න ම ඔන් ඩයට්. ඇවරිට කොච්චර කෑවත් ඇඟට අල්ලන් නැති නිසා ඇරලා දැම්මා ආයෙ.

අපි කෑම කද්දි තවත් අමුත්තියක් ආව. විස්ස විජ්ජාලෙ බෝර්ඩ් වෙලා ඉන්න නිසා කාරිය ඒ ගෙදර ඇත්තන්ටත් එයැයි අමුත්තෙක් වගේ තමා. හරියට ම කිව්වොත් පුංචි දෝණියැන්දාගේ පුංචි පරාණය. හයියෝ සංසාරේ එහෙම කටක් දැක්කේ ම නෑ මේ රටේ කියන්නේ මාර කටර් එක. මේ දවස්වල රැග් එක නිසා ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන්ට පින් සිද්ද වෙන්න ඒ දැරිවිගේ කට ටිකක් වැහිලා තිබුණා. නැත්නම් වෙඩිම දවස්වල බලන්න තිබුණා. ඇගේ සංඛාත මුර්ජනය ආයිබෝන්.

කෑමෙන් පස්සේ අපි වෙඩින් ඇල්බම් බලන්න කාලය වෙන් කරගත්තා. අපේ බොහෝ දෙනාගේ සැමරුම් ඡායාරූප එහි තිබුණා. සුපුරුදු පරිදි ඇවරිතුමා නෑ. ඒක දැන් එච්චරට සාමාන්‍ය කාරණාවක් වෙලා. මොකද හැම වෙඩිමකට ම කඩදහි ලිපේ දාලා යන නිසා කිසිම වෙඩිමක නිල ඇල්බම්වල ඇවරිතුමා පෙනී සිටින්නේ නෑ. ඒ ප්‍රී ෂූට් එකේ පින්තූර හරි ලස්සනයි. ඒ ගැනත් බොහෝ දේවල් අපි කතා කළා. ඔය අතරේ ඉදලානිට තමුන් සෙන්ට් පවුඩර් ගහගෙන පැමීණිම බබා වඩා ගන්න සුමේධ දොස්තර මහත්තයා බිබිලෙ මහ ඉස්පිරිතාලෙ වැඩ රාජකාරි කරන නිසා අපි ඒ පැත්තේ ජීවිතේ ගැන තොරතුරු අහගත්තා. 

ඇත්තට ම ඇවරිතුමාට එහි එන්නැයි ඒ දෙපළ බොහෝ කාලෙක ඉඳන් කියලා තිබුණා. නමුත් සති අන්තයක් නිවාඩු තිබුණෙ ම නෑ. බිබිලට කෝච්චිත් නැති එකේ, සිකුරාදා රෑ ගිහින් සෙනසුරාදා හවස එහෙන් එන්න ඇවරි අයිටනරියකුත් හදලා තිබුණා මතකයි. මොක ද බිබිලින් කොළඹට බස් තියෙන්නෙ හවස ඉඳන් නිසා. නැත්නම් වයා කැන්ඩි එන්න ඕන. සුමේධ පහුගිය කාලෙ ෂෙයාර් කරපු පොටෝ වගයක් දැකලා බිබිලෙ යන අදහස ඉක්මන් වුනත් ඒ වෙද්දි ලක්ෂිතාවන්ට ලොතරැයිය ඇදිලා තිබුණා.

මිස්ටර් ඇන්ඩ් මිසිස් පනාපිටිය යුවලගේ පුංචි සුරංගනාවිය බලන්න යාම ඇවරිතුමාට සුවිශේෂී අත්දැකීමක් වුනේ ඕන් ඔය විදියට. තමුන්ගේ අම්මට වෘත්තිය ජීවිතය කෙටි කාලීනව මඟ හරවපු, අප්පච්චීට හැම සති අන්තයේ ම කිලෝමීටර් දෙසීය පණහක්, පැය හතක් විතර ට්‍රැවල් කරන්න කාරණා කටයුතු සිද්ධ කරපු මේ අපූරු සුරංගනාවට ඒ දෙන්නා හිතාගන්නවත් බැරි තරම් ආදරේ වග නම් ඇවරිතුමා ඉන්තේරුවෙන් ම දන්නවා ඕන්...!!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....