Monday, November 3, 2014

හල්දුම්මුල්ල ඛේදවාචකයට මා කුමක් කළේ ද???

පහුගිය දවස්වල ඇවරිගේ හිතේ තදින් ම වද දුන්න කාරණාව වුනේ කොස්ලන්ද, මීරියබැද්ද, හල්දුම්මුල්ල නාය යාමේ ඛේදවාචකය. අපි කවුරුත් හතර රියනේ වැළලිලා අවසානයේ දී පොළොවට පස් වෙලා ගියාට පස් කන්දකට යටවෙලා එකපාර අවසන් ගමන් යනවා කියන කාර‍ණේ ගැන ඇවරිට හිතාගන්න තරමක් අමාරු වුනා.
සහන යාත්‍රා - උපුටනය නිව්ස් ෆස්ට් 

පස් කන්දට යට වෙද්දි ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇද්ද? ඒ අහිංසක මිනිස්සුන්ට මරණය වැළඳගන්න වුනේ බලධාරීන්ගේ වැරැද්දක් නිසා ද? ආදී ව‍ශයෙන් ගැටලු ගණනාවක් ඇවරිගේ ඔළුවේ හොල්මන් කළා. රාජකාරි කටයුතු මැද ඇවරි ඒ සියලු පත්තර ලිපි කියෙව්වත් හිතේ පතුලේ ඒ මිනිස්සු ගැන හැඟීමක් හැම විට ම තිබුණා.

2004 දෙසැම්බර් සුනාමි ආපු වෙලේ මියගිය මිනිස්සු, ආගිය අතක් නැති කට්ටියට අපි නිකුත් කළ මරණ සහතික ආදී ඇවරි මතක් කරන්නට අකමැති ඇවරිගේ අතීතය නැවතත් මතක් වෙන්න ගත්තා. අපි ‍නොදන්නව වුනාට තමන්ගේ කෙනෙක් මැරෙනවාට වඩා අතුරුදහන් වුනාම ජීවත්වන අයට දැනෙන දුක වැඩියි. ඇයි අපි විතරක් නොමැරුනේ‍. කියන කතාව තමයි එදා හැමෝම ඇහුවෙ. ඒක දරාගන්න අමාරු තත්ත්වයක්.

ඇවරිට හල්දුම්මුල්ල ගැන තියෙන මතකයත් එක්ක ඒ පැත්තෙ අහිංහක මිනිස්සුන්ගේ ආදර කරුණාව ගැනත් මතක් වුනා. ඇවරිගේ චමිත සහෝදරතුමා‍‍ගේ දෝණියැන්දා හෙසන්යා බලන්න ගියපු දවසේ හල්දුම්මුල්ල සිමෙන්ති නාම පුවරුව පටන් ගන්න තැනින් වැරදීමකින් බැහැලා ‍විනාඩි හතළිස් පහට කළුපහන පාලම ළඟට පයින් ම එන ගමනේ මට තේ කෝප්පයකින් සංග්‍රහ කරපු ‍මනුස්සකම් දන්න හල්දුම්මුල්ල වැසියන් ගැන ඇවරිට අවංකව දුක්වුනා.

බ්‍රහස්පතින්දාවෙ ඔවුන්‍ වෙනුවෙන් කුමක් කරම්දැයි හිතමින් එකල මෙකල වෙමින් සිටියදී තමයි වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා මිෂන් එකේ සිරස ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර එකතු කරන බව ඇවරිට දැන ගන්න ලැබෙන්නේ. කොහොමත් එදා ඇවරි වැල්ලා හිටියේ. එතන සෑහෙන්න ජනතාවක් ආධාර දෙන්න එකතු වී හිටියා. දමිළ බහුතරය වගේ ම සිංහල සුළුතරයත් සද්කාර්යට හොඳින් ම දායක වුනා. සහන යාත්‍රාව ගැන බොහෝ දෙනාට හොඳ විශ්වාසයක් ගොඩ නැඟී තිබුණා.

ඉරිදා දිනයේ ගමේ පන්සලේ අටවිසි පූජාවට සහභාගී වු ඇවරි මියගිය සියලු දෙනා වෙනුවෙන් පහන් පූජා කරලා හිතේ දුක සැහැල්ලු කරගත්තා. උතු නියාමට හසුවුන ඒ මිනිස්සු ගැන පාඩමක් කර්ම ඵල විග්‍රහයත් තෝමස් රොබර්ට් මැල්තුස්ගේ ජනගහනය පිළිබඳ නියමයත් ඇසුරු කරගෙන ළමුන්ට උගන්නපු ඇවරිගේ හිතට දැනුන පින්කමත් එක්ක ම අහවර වුනා. තමුන්ගේ කවුරුවත් නොමැරුණත් එහෙම අවස්ථාවල් වලදී සහකම්පනයන් දැක්වීමේ වැදගත්කම පොඩි උන්ට කියලා දුන්නා ම ඇත්තනේ “සර් අපි ඒකට මුකුත් ම කළේ නෑනේ. අඩුම ගානේ ටී.වී එකේ නිවුස් එකක්වත් බැලුවේ නෑනේ කියලා උන් කිව්වා.”

කොහොම නමුත් අනිත් මිනිස්සු ගැන හිතන්න පුළුවන් මනසක් පුංචි උන්ට ඒ සිද්ධියත් එක්ක ලැබුණ නිසා ඇවරි සතුටුවුනා. ආයෙත් වැඩ කරන්න හිත හදාගත්තේ එහෙමයි. නමුත් තාමත් සුනාමිය වගේ ම මේ සිද්ධියත් ඇවරිගේ හිතේ සෑහෙන්න වැඩ කරනවා. ම‍ගේ ශක්ති ප්‍රමාණයෙන් දෙයක් කිරීම හොඳ දෙයක්. මේ සලාදය පට්ට අවුල් වගේ. කාරි නෑ. මං ටිකක් අවුල් වුනා ම සලාදත් අවුල් වෙනවා.   

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....