අපේ මුත්තණ්ඩී මිය
පරලොව ගිහින් තුන්මාසෙ දානෙ යෙදිලා තිබුණෙ අදට. ඊයෙ රාත්තිරියෙ තමයි එතුමන්ගේ මතක
බණ යෙදී තිබුණෙ. අපේ සදාදරණීය මිත්තණිය හෙවත් අපේ ආදර අම්මුණ්ඩි මිය පරලොව ගියේ
මීට අවුරුදු දාහත් වසරකට හෙවත් එකදාස් නවසිය අනූ හයේ බිනර මහේ දහවැනිදා. ඉතිං ඒ
ඇත්තිගෙත් වර්ෂ පූර්ණ පින්කමක් මේ දොහේ ම යෙදිලා තිබුණා. පින්කම් දෙකම ඒ
ඇත්තන්ගේ දූ දරුවො හත් දෙනායි බැනාවරු ලේලියැන්දො හත් දෙනයි, මුණුබුරු දහ අටයි, මී
මුණුබුරු මිණිපිරි අටයි වගේ ම යාළු මිත්තර ගමේ ඇත්තො එකතු පහදු වෙලා බොහෝ සාර්ථකව
කොරලා දැම්මා. ඒ නිමිත්තෙන් මේ පෝස්ටුව ලියැවෙන බව කිවයුතුයි.
. අපේ මුත්තණ්ඩියි
අම්මුණ්ඩියි පට්ට සිරා කපල් එකක්. දෙන්නා දෙමාල්ලො නියමාකාරයෙන් රටට වැඩදායී දරු
පිරිසක් හදලා උන්ගෙ හැත්ත බුරුත්ත හෙවත් මුණුබුරු මිණිබිරි අපිත් එක්කත් හරි හරියට
සතුටු වෙලා අන්තිම කාලෙදි මී මුණුබුරන්වත් අතගාල හුරතල් කරන්න තරම් වාසනාවන්ත
වුනා. දෙන්න ම හරි සරල ජීවිත ගත කළා. ඇවරිට නම් අම්මුණ්ඩිව එපමණ මතක නෑ. හැබැයි ඇය
හා සම්බන්ධ කතා අනුව ඇයට කොච්චර අලුත් කුඩයක් බෑග් එකක් තිබුණත් ඒක කබලක් ලු. අර
කුඩ කබල, බෑග් කබල කියලා කියන්න ඈ පුරුදු වෙලා හිටියලු. හොඳ ගෘහණියක් වුන
අම්මුණ්ඩිගේ හොඳ ම ඩිෂ් වුනේ හත්මාළුවලු. පුංචිකාලෙ ලොකු අක්කලාට රසට දෙල්නටු, පස්තෑල
සකසපු ඈ අම්බලන්ගොඩ ඉඳන් ලොකු පුතා බලන්න එද්දි දෙල් මල්ලක් උස්සන් වට්ටි අම්මා
වගේ කොළඹ ඇවිත් තියෙන්නෙ අසාමාන්‍ය මව්වත් ගුණ හින්දා. ඇගේ පුංචි ආබාධයකට
තිබුණෙ කන් ඇසීමේ දුර්වලතාවය කියලා අදත් හාමුදුරුවො කිව්වා.
අන්තිම මතකයන් ගැන
සඳහන් කළොත් මට මතක චීත්තයන් හැඳි ඇගේ ප්‍රාණය නිරුද්ධ දේහය දොර කාමරේ ඇඳ මත බාවා
තිබූ බව පමණයි. එදා අපි සියල්ලෝ ම හට්ටි මුට්ටි කළමණා පොදි ගහගෙන කොළඹ ඉඳන් වෑන්
එකෙන් යද්දි මගේ පණ්ඩිත කමට කටවරද්දගෙන බැණුම් ඇහුවා කියලාත් මතකයි. මං කිව්වෙ
දුකට මුළ තමයි වැදු මව් නැති වීම.... කියලයි. ඒ පදේ තාලෙට ඇදලා කීවම පටන් ගත්තෙ
නැතෑ ඔක්කොම කෑගාල අඬන්න.
මගේ මුත්තණ්ඩි යුග
පුරුෂයෙක්. ගමන්ගෙ ගෙදර ඇත්තො නැති වුන වෙලාවෙ දරු පිරිසත් එක්ක ශක්තිමත්ව ඊට
මුහුණ දුන්නා වගේ ම ඊට අවුරුදු දා හතකට පස්සෙ මිය යන තුරා ම ඔහු නියම නායකත්වයක්
පවුලට සැපයුවා. දරුවො හත්දෙනාගේ ම කරදර වගේ ම මුණුබුරු මිණිබිරියන්ගෙ වැඩත්
හොඳින් හොයලා බැලුවා. අපේ විභාග වලට වෙලාවල් දෙන්න, අපේ විභාග ජයග්‍රහණ ගැන අහන්න
පාඩම් වැඩ කටයුතු ගැන කතා කරන්න මුත්තණ්ඩි හරි ම උන්න්දු වුනා. මගේ මුල් ම ප්‍රේමය
ගැන අහලා විස්ස විද්‍යාලෙ ගියා ම ඒවත් කෙරෙන්න එපැයි දරුවො කිව්වෙ මුව පුරා හිනා
වෙලා. මං දන්නෑ එතුමා ඒ වැඩ සියල්ල ගැන කොහොම සංවේදී වුනා ද කියලා.
හැම නිතරම දැන් මොකෝ
දරුවො කරන්නෙ කියලා ඇසීම පුරුද්දකට ගත්ත මුත්තණ්ඩි තුළ අපිව ඉදිරියට තල්ලු කිරීමේ
ශක්තිය තිබුණා. රජෙක් වගේ හිටියට කොමන් ටච් එක අත්හැරියෙ නෑ වගේ ම හරි ම
අල්පේච්චයි. ගමෙන් පිට කොළඹ ඇවිත් සතියක් ඉන්නෑ. පන්සලේ, සණසේ, මරණාධාර
සමිතියේ ඒ මොන මගුල නැතත් කේන්දර බලන අය නිසා, පෝරුවේ චාරිත්තර කරන්න යන්න ඕන නිසා,
අන්තිම පොයින්ට් එක වෙද මහත්තයා හදිස්සියකට ගමේ ඉන්න ඕන නිසා මුත්තට මහ ගෙදර
ඉන්නෝන වුනා. මැරෙනකම් වේට්ටි ඇන්දා. අවුරුද්දට එතුමට බැනියම් දෙන්නෙ පුංචි.
වේට්ටි මාමා දෙනවා. සෙරෙප්පු අපේ අම්මා. මේ කොහොම ස්පොන්සර් කරත් තමන්ගෙ අලුත්
ඇඳුම් පන්සල මාර්ගයෙන් දන් දීලා පරණ ඒවා තාම හොඳා දරුවො කියලා කහට පාට වේට්ටියට
බහිනවා. අද මගේ බෙඩ් ලිනන් එකට උඩින් දාල තියෙන්නේ අන්තිම කාලෙ මුත්තණ්ඩි ඇන්ද
වේට්ටිය. මගේ අල්මාරියේ අම්මුණ්ඩිගේ සේද සාරියක් තියෙනවා. මේ දෙක ම වචනින් කියන්න
බැරි තරම් අතීත කාමයක් ඇති කරන අතරේ සිනිදු සුමුදු තලාවක මාව එළි වෙනකම් සතපවනවා.
අපේ හැම හොඳ වැඩට ම
කෝල් එකක් හරි දීලා ආශිර්වාද කරපු එතුමා හරිම නිහතමානියි. කවදාවත් කාගෙවත් හිත
රිදෙන්න වචනයක් කියලා නෑ. මුන් හත්දෙනා මරා ගද්දි ඒත් මගේ දරුවෙක්නේ දරුවො කියලා
දුබලයා හා සන්ධාන ගතව සාවධානව ගැටුම් විසඳුවා. හේම වෙන්නෙපැයි බං මුළු දිවයිනයට ම
සාම විනිසුරුනේ ඉතිං. අමු ගැමියා. අව්‍යාජ සිනහව. රිලැක්ස් ලයිෆ් එක. පැසුණු
බුද්ධිය හා උපේක්ෂා සම්පන්න දරාගැනීම, මේ ඔක්කොම එක්ක එතුමා පට්ට චරිතයක් යාළු.
මං මේ උඩින් ටච් කරන්
යන චරිතාපදානය රජයේ ආයුර්වේද වෙදෙක් හැටියට දරුවන් හත්දෙනාගෙ පවුල ගොඩ ගන්න අමර
කට්ටක් කාල තියෙනවා ආයිබෝං. කොළඹ බෝඩින් වෙන්න සල්ලි නැතුව ඉස්ටේසමේ රැය
ගෙවමින් පාඩම් කරපු, තමන්ට එදා තිබුණ එක ම නැෂනල් එක කොටුව ඉස්ටේසමේ දී හෝදලා, පත්තර
කොළ වලින් වේලගෙන පහුවදා ආයුර්වේද විද්‍යාලයට
ඇඳගෙන ගියපු, ඒ ගිහින් බැජ් ටොප් වුන අයෙක් වෙත් නම් ඒ මගේ මුත්තා. මේ එක
උදාහරණයක් විතරයි.
මගේ කතාව වඩාත්
අතීතාවර්ජනයක් වන නිසා මේ පෝස්ටුව අහවර කරන්නයි යන්නෙ. අපේ මුත්තණ්ඩීව අම්මුණ්ඩි
විසින් අරං ගිය බවයි අපි දන්නෙ. මොක ද අන්තිම කාලෙ යන්තරයෙන් ජීවය ලබාදෙන්න දොස්තර
මාම දඟලද්දි අපිට වඩා මේ දෙපළට ළඟින් හිටිය ලොකු අක්කාට හීනෙන් අම්මුණ්ඩි පෙනිලා
කිව්වෙ මාර කතාවක්, ඔන්න ඔහෙ එන්න දෙන්න දරුවො, ඔය මා ළඟට එන්නෙ. තාත්තට කියන්න
දරුවො මහන්සි වෙන්නෙපාය කියලා... එදා සවස ඇය ඉස්පිරිතාලයට ගියා ම ඇය ඉදිරියේ ම තමා
යන්තරේ නැවතුනේ....
ඔබ දෙපළට ම නිවන් සුව!
පසු සටහන - ඔය දරුවො
කියන ටැග් එක ඇවරිට ආවෙ මුත්තණ්ඩිගෙන්. ඇවරි හාමිනේත් එදා ඉඳන් ම මට බනින්නෙ මහ
මිනිස්සුන්ට දරුවො කියනවයි කියලා. යාළුකම්, නෑකම් ඉක්මවා ඇති හදවතේ බැඳීමක දී තමා
අපි දරුවො කියන්නේ. ආයෙ ඇවරිට කවුරුත් දරුවො කියන එකක් නෑ.
නමුත් ඒ දෙපළගේ අව්‍යාජ
ආමන්ත්‍රණය ඔබටත් පුහුණු කරන්න පුළුවන්. නිකමට ඔබේ ළබැඳියන්ට පෙම්වතියට, පෙම්වතාට
ඇතැම් විට (අම්මට තාත්තට වුනත්) දරුවො කියලා කතා කරලා බලන්න ක්ෂණිකව කතාව වෙනස්
වේවි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....