Friday, April 23, 2010

ගම් මැද්දේ අවුරුද්දේ.........!! (පළමු දිගහැරැම)

ගම් මැද්දේ අවුරුද්දේ.........!!
(පළමු දිගහැරැම)

මෙවර අවුරැදු නිවාඩුව සුවිශේෂී එකක් වූයේ කරැණු කාරණා කිහිපයක් නිසාය. එසේ වුව ද ආපසු හැරී බලන විට නිවාඩුවට මාගේ පුද්ගලික පව් රැස් කිරීම අන්තයට ම ඉහළ ගිය බව පෙනේ. නමුත් අවුරැදු නෑගම් යාමෙන් ලත් අත්දැකීම් ප්ර්මාණය ද ඒ තරම් වන බැවින් ඊට කම් නැත.
සුපුරැදු පරිදි හිසතෙල් ගා ස්නානයෙන් පසුව උදේ එකොළහට පමණ අපි පිටත් වීමු. මෙවර ද අප හිසතෙල් ගාන ලද්දේ අම්මාගේ අයියාගේ බිරිඳ හෙවත් මගේ ලොකු නැන්දා විසිනි. එහෙත් මා කිසි දිනක ඇයට ඒ නමින් අමතා නැත. ඒ වෙනුවට මා ඇයට ඇගේ නම වන බින්දු යන්න ද එක්කර බින්දු අම්මා යැයි කියමි. අම්මා රැකියාවට ගිය පසු දෙවන මවක මෙන් මා බලා ගත් නිසා එසේ කීමට පුරැදු වීමි.
අප පියාගේ ගම බෙම්තොට වන අතර මවගේ ගම වන්නේ අම්බලන්ගොඩට නුදුරැ දෙස්පෙම්ගම හෙවත් අම්පේගමයි. දෙදෙනා ම බෙන්තර ගඟෙන් එහා විසීමේ අවාසිය අපි හොඳින් අත්විඳිමු. වඩාත් නිවැරදි ඒ ගම් අප මුතුන් මිත්තණියන්ගේ ගම් ලෙස හැඳින්වීමය. මන්දයත් ගමක් ලෙස නගරයේ කොළනියක් හඳුන්වාදෙන පරපුර අපෙන් ඇරඹෙන නිසාවෙනි.
පළමුව අපි පියාගේ ගමට සේනදු වූයෙමු. ඒ බෙම්තොට යාත්රාිමුල්ලට ය. බෙන්තර ගං තොටුපළට ළංව පිහිටි ‘නන්දන’ නිවහන අප පියාගේ මහ ගෙදරයි. අද එහි වෙසෙන්නේ ලොකු තාත්තා ය. කාලයක් පුරා මමත් මල්ලීත් කළ යාදිනියට කන්දීමක් ලෙස අවුරැදු පිදේනිය ලෙස බෙන්තර ගඟේ ඔරු සවාරියක් යාමට තාත්තා සූදානම් කළේ ය. දිවා ආහාර ගෙන අපි කළින් නියම කරගත් පරිදි ඔරුවක් ලබා ගැනීමට තොටුපළ වෙත ගියෙමු.
මෙම තොටුපළ ළඟ පිහිටි නිවස පිළිබඳව ද වචනයක් කිව යුතුය. කුඩා අවධියේ දී ඒම නිවස අප අතර මතකයේ රැඳුනේ සත්තු වත්ත වශයෙනි. ඉබ්බන්‚ මුවන්‚ දඩු ලේනුන්‚ සාවුන්‚ මෙන් ම පිඹුරෙකු ද ඒම නිවසේ ඇති කරන ලදී. මෙම සතුන් අතර වැදගත් ම චරිතය වූයේ සිමෙන්ති ටැංකියේ සිටි අඩි හතක් පමණ වූ කිඹුලා ය. උගේ හිස කෝට්ටකින් තද කළ විට ශක්තිමත් දත් විළිස්සමින් කට අරින අතර ඇස් වසා ගනු පෙන්වීම බොහෝ ජනප්රිුය අංගයක් විය. එතකුදු නොව එම නිවසේ හිමිකරු පාරම්පරික වෙස්මුහුණු ශිල්පියකු වූ නිසා නාග රාක්ෂ, ගරා රාක්ෂ වෙස්මුහුණු බිත්ති පුරා මෙන් ම සාලයේ බිම විසිරුවා තිබෙනු මට දැනුදු සිහි කළ හැක.
එනමුත් මගේ මතකය අනුව 1997-98 කාලවල දී එම පුද්ගලික සත්ව උද්යාමනය රජයේ අනුමත එකක් නොවූ බැවින් වටලන ලදී. ඉන් සංචාරක පැමිණීම ද බොහෝ අඩුවූ අතර වෙස්මුහුණු දිරා යන බැවින් අසල හිතවතුන්ට බෙදා දෙන ලදී. ඉන් එකක් තාත්තා විසින් ගෙනෙනු ලදුව දැනට මා ළඟ ඇත. එහෙත් අද එහි නැවතත් වෙස්මුහුණු කැපීම අරඹා ඇති අතර ගෙදර තිබූ වෙස් මුහුණ නිරීක්ෂණයෙන් ඔවුන්ගේ පියාගේ සියුම් කැටයම් විස්තර කිරීම පිළිබඳ සතුටු වූ තරුණ නිර්මාණකරු මට කුඩා මුහුණක් ද තෑගි කළේ ය.
සුළෙගේ සැළෙන කොළපුවක් මෙන් සෙමෙන් ගමන් ගත් ඔරුව මුලින් යාත්රාෙ කළේ ගං මෝය දෙසට ය. කොළඹ ගාල්ල යාකෙරෙන නව පාළම සහ පැරණි දුම්රිය පාළම ගං දියේ සිට දැක ගන්නට මට අවැසිව තිබිණි. තව ද වඩාත් අලංකාර ලෙස සකසන ලද බෙන්තොට ලිහිණියා හෝටලයේ උද්යාැනය ද දැකගැනීම මගේ අරමුණ විය. මෝටර් බෝට්ටු බහුල ඒ කුඩා කළපුව තුළ දුප්පත් අපේ ඔරුව සංචාරකයන් තුළ ද උනන්දුවක් ඇති කළේ ය. එතැනින් හරවා ගත් අප ගං ඉහත්තාවට ගමන් කෙළමු.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....