Tuesday, September 7, 2021

උයන්න නොදැන කසාද බැඳීම හෙවත් මැද හිල ඇති දොර ඇණ ජෝගිය


පොරොන්දු වුනා වගේ ම ඇවරි හාමිනේගේ කතාන්දර ලියන්න කියලා වෙලාවක් වෙන් කරගත්තා ආයිබෝන්. ඇවරි හාමිනේ කියන්නේ කොහේ ද මන්දා ඉඳලා පාත් වෙලා ඇවරිතුමාගේ ජීවිතේ පුල් මාර්වලස් කරපු සොමිබර රසවතියක්.

කොහොමින් කොහොම හරි ඇවරිතුමාගේ කසාදෙත් මේ කොරෝනා මැද්දෙ පුල් හින්දුස්ථානි විදිහට සිද්ධ වුන බව දන්නෝ දන්නවා. මොකද හෙට වෙඩිම නම් අද ගම්පහ දිස්ත්‍රික්කයට ම ඇඳිරි නීතිය දැම්මා ම ඇවරිතුමා පැය හතක් අටක් ඇතුළත සම්පූර්ණ විවාහ මංගල්‍ය කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරලා කිසිම අඩුවක් නැතුව වෙඩිම කරනවා. අන්න ඒ ආකාරයට අමර කට්ටක් කාලා කසාදෙ නම් කසාය බීපු ඇවරිලා වගේ ජාති පුත්‍රයොත් සසිරිබර මෙසිරි ලංකාවේ ඉන්නනෝ යැයි තවුන්නාන්සේලා දැනගන්ට ඕනෑ. ඇත්තට ම සොබාදහමින් ම එපා මයෙ අම්මා කියද්දීත් නෑ උල්ව්වේ කාරි නෑය කියලා අතින් අරන් පුපෙන් තියාගන්න ඇවරි එදා ඉඳන් ම දස්සයා. එකෙන් ම අවංක හදවත් කෙට්ටු කකුල් ඈ. ඒ සලාද විස්තර පසුවට ලියන්නම්.

දැන් ඉතිං කතාවට බහිමුකෝ. ඇවරි හාමිනේ නේප්ලන්තයට ආවත් හරි සියලු ම ඉවුම් පිවුම් සිදුවුනේ ඇගේ අතින්. ඊට කලින් වර්ග අඩි දෙදාස්ගානෙම ඇවරිතුමා අතපය දිගෑරලා ජීවත් වුනා. සරම් වළලු පිටින් ගලෝපු තැන්වල, පොත් මේසේ පොත් කඳු, මේස් කකුල් හැමතැනම සපත්තු, රෙදි පුටු උඩ ආදී වශයෙන්. නමුත් ඕ තොමෝ ඒ සියල්ල පිළිවෙලක් කරලා ටූ බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක් බවට පත් කළා. ඇත්තට ම අපේ තුන්වන කාමරේ පහසුකම් සහිත කුස්සියක් බවට පත්කරන්න සිද්ධ වුන නිසා ආපහු ගළවන්න පුළුවන් එල් හැඩැති පැන්ට්‍රියක් සහිත රෝද ඇති සින්ක් එකක් විශේෂයෙන් හැදීමත් විශේෂ වුනා. කොහොම නමුත් නියම ම වැඩේ මේ හැමදේම කොරලා ගෙනාවා වුනත් හාමිනේ උයන්න නොදැන හිටපු එකයි.

ඇත්තට ම කසාද බැඳින්න කලින් ගෙදර උයන පිහන වැඩ කිසිවක් ඇවරි හාමිනේ විසින් කරලා තිබුණෙ නෑ. නමුත් උයන එක මහ කජ්ජක් නෙවිය කියලා ගටක් ඇගේ හිතේ තිබුණා. ඇවරිතුමාටත් පුංචි අම්මා රහට උයන්න, හාල් තියන්න පරිප්පුවක් හදා ගන්න, කිරි හොද්දක් තුනපහ අතගාලා ලිපේ තියාගන්න ඉගැන්නුවාට අම්මා ගෙදර උයන්න දුන්නෙ ම නෑ. කොහොම වුනත් පස්සේ අපි ගෙදර ඇවිත් පදිංචි වුන තුන්වෙනි දවසෙ හංදියෙ කඩෙන් ගෑස් එකයි, රෙගියුලේටරෙයි ගෙනත් එදා දවල් ඉඳන් අපි දෙන්න ම උයා ගන්න පටන් ගත්තා. යූ බටේ කුකින් චැනල් බලාන අපි දෙන්න කැමති විදියට අඩු වැඩිය දාලා කිරිට, මිරිසට, තෙලට කටට රහට උයන එකේ ලොකු සීන් එකක් නෑ. ඉතිං උයන්න දන්නේ නැති කෙල්ලක් බඳින්න ඉන්න කොල්ලො ඒ ගැන බය වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ දැන් ඇවරි හාමිනේගේ මෑණියන් තොමෝ පවා කජු මාළුවට අඩු වැඩිය අහන්නේ ඇවරි හාමිනේගෙන්.

අද කතාව ඩෝනට් ගැන නේහ්. අපි දෙන්නා බඩු ගන්න ගිය වෙලාවක ඇවරි හාමිනේ කොකෝ පවුඩර්, ඊස්ට් වගේ අප්සට් බඩු ටිකක් බලනවා. අපි ගෙදර පිටි කෑම හදන්නේ නෑ. කොහොමත් බේක් කිරිල්ල ගැන ඕ තොමෝ එච්චර මනාප නෑ. අපි ඩෝනට් රෙසිපියක් ට්‍රයි කරමු කියලා උත්තමාවිය බඩු ගත්තා. සති අන්තයක් දෙකක් රෙසිපි ගාණක් බැලුවත් හදන පාටක් නැති නිසා ඇවරි හිතුවේ මැතිනිය වැඩේ අතෑරලා දාලා කියලා. ඒ ඉරිදා මහජන දිනේ දවසේ අපේ ළමයි තුන්දෙනාත් දවල් කෑමට මෙහේ ආවා. ඇවරිගේ ලොකු අක්කාගෙ තුන්කට්ටුව මිනිඳු, ශවිඳු සහ ශෙනුදි ටීචර් ඉරිදාවට බොහෝ විට මෙහේ එනවා.

සතියේ දවස් හය වැඩ රාජකාරිත් එක්ක බිසී වුනත් ඉරිදාවේ නෙප්ලන්තය ආලින්ද චේම්බරය දරුවන් වෙනුවෙන් විවෘත කරනවා. එදාට දෙන්නා දෙමාල්ලො ලැප්ටොප් වලින් ඈත්වෙලා දරුවොත් එක්ක දවස ම ගෙවනවා. සරුංගල් හදන්න, බීම හදන්න, පාට කරන්න, ඉංග්‍රීසි පන්ති, හවසට කෑමක් වගේ ම ඇවරිතුමා ආස ම ඇනිමේෂන් චිත්‍රපටියක් වුනත් බලන්න වෙන්නේ ඉරිදාට තමා. ඔන්න උදේ එකොළහට විතර ආපු ශෙනු ටීචර් අයියලා එක්ක චිත්‍රපටිය බලන අතරේ අපි කුස්සෙියේ උයනවා. “කෝ අනේ අපිට කන්න මුකුත් නැද්ද?” කියාගෙන කුස්සියට ආව.ශෙනූ කඩචෝරු පෙරේති. ආනමාලුවක් දුන්න ම ගිහින් ඒකත් කාලා ආයිත් කුස්සියට ආවා. “කෑම හදනක් කන්න මුකුත් නැද්ද?” “බිස්කට් එකක්වත් නැද්ද අලේ?” ඇවරි හාමිනේගේ කැමතිම කඩචෝරුව ටිපි ටිප් වලින් ටිකක් තිබුණත් බත් කන අස්සේ දෙන්න ඇවරි කැමති වුනේ නෑ.


"උයනකම් අපිට කන්න මුකුත් නැද්ද?" 

ශෙනූව නාවන්ත් තිබුණ නිසා අපි කුස්සියේ වැඩ ඉක්මණට ඉවර කළා. ලූෆා එකෙන් අතුල්ලා සබන් වෙනුවට බොඩි වොෂ් ගාලා නාලා, ඩ්‍රයර් එකෙන් වේලගෙන සැන්ට් පවුඩර් දාලා පුංචි වගේ පොෂ් විදියට සැරසෙන්න ඈ හපනි. හැබැයි පුංචි දුන්න ටිපිටිප් කාලා බට්ටි  බත් කවද්දි පොඩ්ඩයි  කෑවෙ. කාලා ටිකකින් අපි ඩෝ එක හදාගන්න පටන් ගත්තා. පොඩි පුතා ශවිඳු බැහැලා ම උදව් කරනවා. මොනවා ද හදන්නෙ කියලා අපි කිව්වෙ ම නෑ. “අපේ පූවත් මේම මේ සුවඳට ම හදලා තියෙනවා මට නම මතක නෑනේ...?” කොහොමින් කොහොම හරි නම හොයාගත්ත ම ශවිඳුට ඇවරි හාමිනේ කලබල වෙන්න එපා කිව්වෙ වැඩේ ජෝන් බාස්ට ගියොත් ඩෝනට් ගෙන්නලා හරි දෙන්න වෙන බව දන්න නිසා. “හරි පුංචි, අපි හරි ගියොත් ඩෝ නට් කියමු, නැත්තන් වෙන නමක් කියමුකෝ. ඉන්න මං ලියාගෙන ම එන්නම්.”

ශවිඳු ඇඳපු චිත්‍රය වගේ ම ඩෝනට් වෙනුවට දාපු නම් 

ඇවරි හාමිනේට නම් නට් බව පොඩ්ඩො නොදන්නවා වුනාට ඇවරිතුමා හොඳට ම දන්නවා. ඩෝනටේ හිල් හදන්නත් ශවී උදව් වුනා. “අපේ තාත්තා නම් කියන්නේ මේවට දොර ඇණ කියලා. ඩෝනට් කියන්නේ දොරඇණ නේහ්” ශවිඳු හිනාවෙනවා. ඇවරි ඩෝනට් බදින අතරේ අනූ චොකලට් ග්ලේස් එක හදන්න ගත්තා. “ස්ප්‍රින්කල්ස් තිබුණනම් ලස්සනට සරසන්න තිබුණා” ශවිඳුටත් කැටයම් ඔක්කොම ඕනා. පොඩි ඇත්තිත් කාර්ටුන් බැලිල්ල පැත්තක තියලා කුස්සියේ ම හිටියා. අපි ඩෝනට් විස්සක් විතර හදා ගත්තා. ශවිඳුත් ශෙනුදිත් හතර බැගින් කෑවා. දෙන්නා පිඟාන ම ඉවකර කරලා මං සාලෙට ආවා ම “මේකට ඩෝනට් එකක් ගොන්නකෝ අනේ කියලා කියපි”

ඇවරි හාමිනේගේ සුකුරුත්තන් කෑම ලිස්ට් එකට ඩෝනට් එකතු වුනේ අන්න එහෙම. මං හිතන්නේ ලබන සතියේ සප්‍රයිස් රෙසිපිය එතුමිය දැන් ම ලක ලැහැත්ති කරනවා ඇති. ඩෝනට් කන ඈයෝ කලින් දන්නලා ඒ පැත්තේ එන එකයි.!! 


වැදි හූරාගෙන් දඩුවැල් බෑ ගෙනා රගාණෝගේ කොරෝනා කොළම

මේ 2018 ජනවාරියේ විජේ ස්ටෝර්ස් විවෘත කළ අලුත.. 



ගොඩක් කාලෙකට පස්සේ ඇවරිතුමා කඩිනම් සලාද සටහනක් ලියන්න හිතුවේ අපේ රගා මහතාගේ නිරෝධායන කටයුතු ගැන හිතලා. රගාතුමා ඇවරිගේ සමීපත ම හිතවයෙක් කියලා දන්නෝ දන්නවා. නොදන්නෝ වෙනුවෙන් දැනන්න කිව්වොත් රගාතුමා උණ පඳුර ළඟ මහ විද්‍ජ්ජාලේ වන කැලණිය විවි හි පළමු වසරේ සිට ෆිටේ ෆිට් වුන හොඳ බැචෙක්.

පොරගේ ගඩුගුඩාව (ෂීෂා මෙව්වා එක ඒ දවස්වල අපි හැමෝ ම අතරේ පට්ට ප්‍රසිද්ධ අංගෝපංගයක් වුනා. පරණ සලාදවල අලව්වේ වලව්කාරයා වශයෙන් ලියැවිලා ඇත්තේ එතුමා ගැන. බොහෝම අතීතයේ රගාතුමා කවුන්සිලයට ඉල්ලලා තරග කරද්දි ඇවරිතුමා, සුගී, ගයියා, අරා අපි සැට් එක කොළඹින් ගිහින් ගමේ ඡන්දේට බයිසිල් වල නැඟලා රන් කළා. පස්සේ හතරවටේ රෝන්දේ ගහන්න ගත්තු අපි රගා රුස්කි ගිහින් ලංකාවට ඇවිත් ටුවරිසම් කරන්න පටන් ගත්තා ම ආපහු වැඩියෙන් සෙට් වෙන්න ගත්තා. රගාගේ අයියාගේ මඟුලට, ආච්චිගේ මළ ගෙදරට හේමත් අපි ගියා. අවසන් වරට මට රගාව මුණගැහුනේ සුගියාගේ මංගල්ලේ දී. මීට ටික දවසකට කලින් ඇවරිතුමා තමුන්ගේ අලුත් සංචාරක ව්‍යාපර ආයතනය Apex Holidays පටන් ගත්තාට පස්සේත් පවුලේ නිවාඩුවකට හෝටලයක් වෙන් කරවා ගන්න කතා කළා.

කෝමත් ඊට කලින් ඉඳගෙනත් එතුමා ඇවරිතුමාගේ ගනුදෙනුකරුවෙක්. කොටින් ම ඒතුමාගේ හොනිමුන් හෝටල් වෙන්කිරීම් පවා අපි කළේ. ඇත්තට ම ඒ්වා පුද්ගලිකව ඇවරිතුමාට අමතක නොවන මතක. කිසිදා නොවෙනස් වන නෑදෑකම්, ශක්තිමත් සහෝදරකම්. කොහොමින් කොහොම හරි ඇවරිතුමා සංචාරක ව්‍යාපාරයට සෙට්වෙලා ඉන්න අතරේ රගාතුමා ඉන් අයින් වෙලා පවුලේ ව්‍යාපාර තමන් යටතට ගත්තා. ඒ් වෙද්දි එතුමා ගල්කිස්සේ එක්සොටික් හොලිඩේස් හි වැඩ. අපි දවසක කරසරෝල් එකෙන් බිරියානි පාරකුත් දැම්මා. අද අලව්වේ විජේ සුපර් කිව්වම නොදන්න කෙනෙක් නෑ. රගාතුමා එහි ප්‍රධාන විධායක නිලධාරී.

‍පහුගිය දවස්වල රගාට ගත්ත ම උණ කියලා කිව්වා කෝකටත් බබාලා දෙන්නත් නෝනා අපේ ඩිලේකා මැතිනියත් වෙන ම තියලා නිරෝධායනය වෙන බව තමා රගා කීවේ. පස්සේ දවසක පී.එච්.අයි රගා මුණගැහෙන්න ගෙදර ඇවිත් කෝවිඩ් ආසාධිතයෙක් වෙළඳසැලට ඇතුළත් වූ බව දන්වලා. ඇත්තට ම ඒ් වෙද්දිත් ඔහු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තිබූණා. ස්චේච්ඡා පී.සී.ආර් පරීක්ෂණවලින් කෝවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමඟ රගා ඇතුළු පිරිස දින දා හතරක් සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් රජයට තාවකාලිකව පවරා දෙන ලද පින්නවල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යනවා.

සාමාන්‍යයෙන් රගා කියන්නේ අඟහරු ලෝකේ වුනත් පය ගහලා ඉන්න පුළුවන් චරිතයක්. ඔහුගේ ප්‍රතිචාර සහ අදහස්වලින් ටිකක් ලියලා දාන්න හිතුවේ ඇත්තට ම නිරෝධායන කඳවුරකට යන්න බයේ ඉන්න ඇවරි වගේ දුක්ඛිත  ජීවිත ගැන හිතලා. කිසි අවුලක් නෑ බං ඔහේ ඉන්නවා. කොහොමත් අපි ඒක්ස්පෝස් වෙලා හිටියෙ. තුල්හිරිය ෆැක්ටරි එකේ වැඩ කරපු ගොඩක් අය පේ කඩෙන් බඩු ගත්තේ. හැමදාම එන මිනිස්සු. අපිට එපා කියන්න බෑනේ. ලොකු ම දුක ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙච්ච එක තමා. කාලා බීලා ඉන්න තියෙන්නේ. ඇත්තට ම ඉස්පිරිතාලෙකට වඩා මෙහෙම තැනක ඉන්න එක හොඳයි. මොක ද මේවා දාහක් දෙදාහක් හිටපු තැන් නේ බං. ටොයිලට් ගියත් පෝලිමේ ඉන්න නෑ. හෝල්වල ඇඳන් දාලා, හැමෝට ම ඇඳක් කොට්ටයක් දීලා ෆෑන් දාලා තියෙනවා. පන්සීයක් විතර ඉන්නේ.

සාමාන්‍යයෙන් රගා බඩ පිරෙන්න කනවා. ගමේ බෝයිස්නේ. කෑම බීම අවුලක් ම නෑ. මස් නම් පෙන්නන්න බෑ බං. දෙන්න පුළුවන් ලේසිම දේ ඒ්කනේ. නැත්නම් බිත්තරයක් දෙනවා. ඇත්තට ම පවුලයි ළමයි දෙන්නයි මෙහෙට ගෙනත් දෙනවා නම් උඹෙන් බුක් කරපු හොටෙල් ස්ටේ එක ඔ්නත් නෑ වගේ බං.

ඇඳේ ම ඉන්න තියෙන්නේ. අපිට කොහෝවත් යන්න බෑ. දැන් බුකියේ, ටියුබේ බලන්න දේකුත් නෑ. ඇත්තතට ම කලින් වයි ෆයි හිටන් දීලා තියෙනවා. නමුත් රජයකට කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. දවස් දා හතරකට ඇඳුම්, පුද්ගලික පරිහරණයට බඩු ගේන්න කිව්වා. අපිට ඒළියේ ඇවිද්න්න පුළුවන් සීමාවක් ඇතුලේ විතරයි. නේවි ඒකෙන් බලාගන්නේ. ඒයාලා ඇතුළට ඒන්නේ නෑ ටකරන් වලින් වහලා ඊට ඒහායින් ඒ් අය ඒ් අයගේ වැඩ. කෑම වුනත් ගෙනත් තිබ්බහ ම ඇතුළේ ඉන්න යන්න කිට්ටු අය බෙදනවා. කොටින් ම ප්‍රෙෂර් බලන්නේත් ඇතුලෙන් ම පුරුදු වුන අය. පැය විසිහතරෙම ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. වෙනම කාමරේක තිරයකින් ඒහා. අපි මයික් ඒකෙන් කතා කළා ම ඒයාලා බෙහෙත් දෙනවා.

දවසේ වැඩසටහක් තියෙනවාද කියලා ඇවරි ඇහුව ම ඒහෙම නෑ කිව්වා. උදේ හයට තේ දෙනවා. අටට කන්න දෙනවා. ප්‍රෙෂර්, ෂුගර් තියෙන අය උදේට චෙක් කරගන්න ඔ්න. අනිත් හැමෝ ම නාන්න ඕන දවල් දොළහට කලින්. සෙම හැදෙයි කියලා. ආයෙ දහයට තේ. දොළහට කෑම. හයට තේ.  හතහමාරට කෑම. එතනින් පස්සේ නිදා ගන්න පුළුවන්.

එක දිගට ඉන්න ගියා ම වස කම්මැලියි බන්. කියවන්න කියලා බැලුවා, දැන් අපිට පත්තියන් වෙන්නෑ. හිතපන් කෝ පිටු තුන්සියක විතර පොතක් කියවනවා කියලා අනිවා උණ ගන්නවා. මෙහේ ෆෝර්ම් එකක් පුරවන්න දුන්නා බන්. සිංහල අකුරු ලියන්න බෑ කියාංකෝ දැන්. කතාවෙන් කතාවෙන් ඊළඟ පී.සී.ආර් එක කවද්ද අහන්න ඇවරි අමතක කළේත් නෑ. දැන් ආපහු පී.සී.ආර් නෑ මචෝ. මොක ද ආපහු කළත් පොසිටිව් වෙනවලු. දැන් වෛරස් එක වෙනස් වෙලා නිසා. හැබැයි දවස් දා හතරෙන් අපෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑ. ප්‍රතිදේහ හැදිලා තියෙන නිසා. ඒ් නිසා දා හතරෙන් ගෙදර එන්න පුළුවන්. හැබැයි තාමත් වැඩක් කරන්න හිතෙන්නෑ. ඈලි මෑලි දුබල ගතිය තමා.

මේ සටහන ලියැවිලා දැන් ගොඩක් කල් නිසා පරණ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් මිත්‍ර පරාණය ගැන මට ආපහු ලියන්න මතක් වුනේ ඇවරි පිතාණන්ගේ රහස්‍ය බෙහෙත් වට්ටෝරුවකට අවශ්‍ය නියම දඩුවැල්බෑයක් වැදිකරේ හූරෙක්ගෙන් සපයා දුන්නේ එතුමා නිසා. දැන් නම් ඇමතිතුමා සනීප වෙලා බෝ කල්. සුවෙන් වැජඹෙන්න ආසිරි! 💓


Wednesday, August 25, 2021

මීටරේ දුරින් උපන්දින සාදය හෙවත් කොරෝනා කාලේ ආලය

පළමු කාර්ඩ් පත... 
ඇවරිතුමා ගොඩාක් කාලෙකින් රියල් ටයිම් බ්ලොග් පෝස්ටුවක් ලියන්න හිතුවේ තමුන්ගේ උපන්දිනය වෙනුවෙන් ලියැවෙන සම්ප්‍රදායික රාජාසන බ්ලොග් පෝස්ටුව වශයෙන්. ආයෙ මොන රෝමය දැම්මත් වර්ෂ අවසාන සලාදය හා උපන්දින සලාදය සලාදය ඇවරිතුමා සාම්ප්‍රදායිකව ම ලියනවා. නමුත් පහුගිය කාලෙ ප්‍රශ්න පත්තරයි, රෙද්දෙ තුත්තිරියි හින්දා සලාද ලියන්න මඟහැරුණා. 🙋

එහෙම කිව්වටත් වඩා කතාව මෙහෙම ලිව්වා නම් කියවන ඔය ඇත්තන්ට පහ
සුවෙන් තේරුම්ගන්න පුළුවන්. "අපි කැම්පර් කාලෙ අර කෙට්ටු කොල්ලෙක් හිටියා නේ බං..? ඇවරි කියලා කියපු ?  "ඒ කාලෙ උගේ බ්ලොග් එක හේම මරු නේ බං. පස්සේ ඌ බැන්දා නේ බං... ඉතිං බ්ලොග් එකටත් නරක දසාවක් ගියා." 😉 

ඒ මොක වුනත් ඇත්ත ම කතාව ඇවරි බ්ලොග් ලියන්නේ ඉතාමත් සතුටින් ඉන්න අවස්ථාවක විතරයි. නමුත් පහුගිය කාලෙ දේශපාලනික හා සමාජ ආර්ථික තත්ත්වයන් ගැන සලකා ඇවරි බ්ලොග් නොලිව්වත් අමතක නොකළ මතක වටිනා නිසා මේ බ්ලොගය ලියන්න හිතුවා. කොහොමින් කොහොම හරි කොරෝනා අස්සේ ඇවරි ගිරේටත් අහුවුනා නෙව. ඒ ළමාතැ නීගැන කතාන්තර වෙනුවෙන් වෙනම ඩෙඩිකේටඩ් කොළමක් ළඟදීම ලියලා දාන්නම්. (ඔය ළඟ දැන්ම නේවි හැබැයි) බ්ලොග් නොලිවීම සාධාරණීකරණය කරගන්න කියන අනික් උත්තරය තමා මුදල්වලට ලියනවා කියන කතාව. 

ඇත්තට ම අපි දැන් කොන්ටෙන්ga හදන්නේ, රිවීව් කරන්නේ කාගෙහරි අසයින්මන්ට් එකකට මිසක් අපේ ත්‍රිලට නෙමේ. ඉස්සර ලැප්ටොප් නැති කාලෙ අම්මෝ අර ගඩොල් බාග සී.ටී.ආර් මොනිටරේ මැද ඉඳන් රෑ මැදියමේ පවා කොටාගෙන කොටාගෙන ගියේ අපේ ගායට. පස්සේ ඇවරි පාචිච්චි කළ ටැබ්ලට් පවා මුලදි ගත්තේ සිංහලෙන් කොටන්න. 

අන්තිමේ දී නොකළෙත් ඒක. හැබැයි බ්ලොග් ලියලා උඹට හම්බුනේ මොනවද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එකෙන් ම පෙන්නන්න පුළුවන් අපේ මායියාව. දෑසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකොමලයි වගේ ඒ ඇත්ති තමා මගේ බ්ලොග් කෙරුවාවට කැමතිවුන ලොකුම රසිකාව. පස්සේ ඈ වෙනුවෙන් ලියපු ඊමේල් ත්‍රෙඩ්, කවි තීරු, මයින්ඩ් මැප්, ජෑම් බෝර්ඩ්ස් එකී මෙකී නොකී අත්හදා බැලීම් බෝමයි. 

කොහොම වුනත් ඇගේ ආදරය වයසින් ගොඩක් අඩුකිරීමටත්, උකටලී අරගලය අලුත් තැනකින් නව නැම්මකින්, තව ගැම්මකින් පටන් ගන්නත් උපකාරී වුනා. නෑ ඒක මෙහෙම කෙරුවම මොකද? වගේ අමුතු නාඩි අල්ලලා ඇය එලපු දැලේ අද පැටලිලා ස්නේහ පාශයෙන් වෙළිලා ආපහු අතීතෙ දිහා හැරිලා බලද්දි,  බඹා කෙටූ හැටි ගැන පුදුමත් හිතෙවා ආයිබෝන්. 

සප්‍රයිස් කේක්...🥮

  කතාවෙන් කතාවෙන් නිමිත්ත මඟහැරෙනවා. මගේ උපන්දින සාද සලාද බොහෝමයක් මෙහි ඇති නිසා කෙටියෙන් මේ සලාදයත් ලියන්න හිතුවා. මෙදා කිසිම සාදලයක් නොදැම්මත් ඇවරිහාමිනේ අනුෂිකාවෝ සප්‍රයිස් සාදයක් වගේ ම කේක් රාජයෙක් සකසා තිබුණා. ඒ වගේ ම පාන්දරින් ම කිරිබතක් හදපු එතුමිය, විශේෂ කජු මාළුවක් එක්ක දවල් කෑමකුත් පිළියෙළ කරලා ඇවරිතුමාට අමතක නොවන තෑග්ගකුත් දුන්නා. සියල්ලට ම වඩා ඇවරි පුදුම වුනේ ඇගේ නිරීක්ෂණ මතින් නිගමනවලට පැමිණීමේ හැකියාව ගැන. ඉස්සරහට අපි ඇවරි හාමිනේගේ බූල බුලයියා කතාන්දර කියද්දි ඒ ගැන දැනගනිමු. ඒක වෙන ම සෙග්මන්ට් එකක් වේවි. 

ඇවරි ගැන හොඳට ම දන්න කාන්තාවො දෙන්නයි මෙච්චර කල් හිටියෙ. ඒ අම්මාත් පුංචිඅම්මාත්. ඒ දෙන්නට ම ගෙදර ඉන්නවා නම් තේ දෙන්න ඕන වෙලාව, බත් දෙන්න ඕන වෙලාව, චිකන් හදන විදිය, බෙදන බත් ප්‍රමාණ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. රජදහනේ ඉන්නවා නම් දාන අඩුක්කුව වෙලාවට වඩම්මලා ඇති. හැබැයි ඒ දෙන්නට ම අවුරුදු තිහකටවත් කොරන්න බැරිවුන හරියක් ඇවරි හාමිනේ අවුරුද්දකටත් අඩු කාලෙකින් කළාය කිව්වොත් ඔබ පුදුම වෙයි. පුල් මාවලස් කියන්නේ එක කළිසමක් අඳින්න බෑ ආයිබෝන්. ඉණ තිස්දෙකායි! දෙයියනේ කියලා බෝයිස් හාහාපුරා ජිම් එකකට යන්න හැදුවත් හරි බඩු වැහුවා. ලොල්

ඇවරිගේ උපන්දිනය පංකාදු පහට ගෙවුනේ හේමයි. අද ඔන්ලයින් දේශනයකුත් තිබුණා. ඇවරිගේ ළඟ ම ඤාතී වර්ගයාට දුරින් ඉඳන් සංග්‍රහක් කළත් හරි ගාල්ල මාතර නුවර අලුත්ගම පැත්තෙනුත් සුභපැතුම් ආවා. ඒ හැමෝ ම දක්වපු ආදරයට ඇවරතුමා තම නොහිම් සංතෘෂ්ටිය ප්‍රකාශ කරනවා. 

අවසාන වශයෙන් පාර්ටි දෙන්න බැරිවුන හැමෝට ම කොරෝනා නැති දවසක, මළ හිරු බහින හවසක ලොකු පාර්ටියකට සෙට් වෙන්න මතක් කරන ගමන් ඇවරිගේ සලාදය කියවන ඇත්තන්ට උපන්දින සාදයක් හැටියට ඉදිරියේ දී  2021 දෙසැම්බර් දක්වා මේ දක්වා මඟ හැරුණු සදාල ලියා දක්වන බවටත් ප්‍රතිච්ඥා දී දිවුරුම් කරනවා. 

ප.ලි -  ඇවරි හාමිනේ බූල බුලයියා කතාන්දර වෙනුවෙන් වන පරිපූරක ඇස්තමේන්තුව තාම සභාගත කරලා නැති නිසා ඇවරිට පණපිටින් ඉන්න ලැබේවායි කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරන හැටියට ඔබතමුන්නාන්සේලාගෙන් යටහත් පහත්ව ඉල්ලා සිටනවා.!!! 


  

මේන් මේ ඉන්නේ ළමාතැනී අනුෂිකාවෝ... !! 💗


Sunday, May 24, 2020

බුද්ධා ඉන් සුපර් මාර්කට් හෙවත් නිකායෙන් අපායට යාම


මහේල හෙට්ටිආරච්චි ලියපුු සටහන මෙතැනින්...
පහුගිය දවස්වල බොරැල්ලේ උන්නාන්සේ නිසා ලංකාවේ සංඝ සමාජයේ සහ සිංහල බෞද්ධ සමාජය තුළ යම් කැළඹීමක් ඇති වූ බවට පෙනෙන්න තිබුණා. නමුත් හැමදාමත් වගේ රැල්ල තිබ්බෙ බොහොම ටික කාලයයි. කොහොම වුනත් ආගමික මතවාදයන් ගැන ඇවරි මත පළ කරන්නේ බොහොම අඩුවෙන්. බුද්ධාගම ආගමක් නොවන දර්ශනයක්. අහලා, දැනගෙන ගමන් කළ යුතු මාර්ගයක්. ඉතිං අපි බෞද්ධය අනිත් ආගම් මිත්‍යා දෘෂ්ටිකය කියලා දෙපිල බෙදී මරාගන්න තරම් දෙයක් නෑ. එහෙනම් කාලාම සූත්‍රයක් නෑනේ?

අපිට ඩයනමික් ආගමික අනන්‍යතාවක් තියාගන්නේ ඒ් නිසා. හරියට මහනුවරදි බෞද්ධ, යාපනේ දී හින්දු. නාත්න්කුඩිවල දී මුස්ලිම්, ආදී වශයෙන්. නමුත් එයින් අදහස් කරන්නේ අර පන්සලේ දී වගේ එහෙයි හාමුදුරුවනේ, අහං වන්දේ... සර්වතෝ භද්‍රයි කියා සියල්ල අනුමත කිරීම නෙමේ. ඒ්වත් එක්ක ගැටෙන එක නිශ්ඵල වැඩක් නිසා. මේ කවලම සංහිඳියාව සහයෝගිතාව කියලා අයිසින් කරලා කැටයම් දාලා දුන්නත් අපේ එක ලොකුයි මහා සම්මතයි කියලා කියන තැන ම ඒ් සියලු පදනම් දෙදරා යනවා. අපි බෞද්ධයො හැටියට සංසාර සාගරෙන් එතෙර වෙන ධර්මය නමැති ඔරුව කරේ තියන් යන හැටි ඒ් සම්බන්ධයෙන් පළ වුනු විචාරවලින් අපූරුවට පෙන්නවලා තිබුණා.

බුදුහාමුදුරුවෝ ම ආන්නදයන්ට කියලා තිබුණා සංඝ සමාජය විනාශ වෙන්නේ ඒ තුළින්මයි කියලා. ධර්මාශෝක යුගය වෙද්දි ලාබ සත්කාර වෙනුවෙන් පැවිදි වූ පිරිස වැඩි වුන නිසා සංඝ සංශෝධයනක් කළා. ලක්ෂ ගණන් දුසිල් මහණුන් මහණකමින් නෙරපුවේ එක ප්‍රශ්නයක් විතරක් අහලා? බුදුරජාණන් වහන්සේ කුමන වාදියෙක් ද යන පැනයට නිවැරිදි පිළිතුර වුනේ විභජ්ජවාදියෙක් නැත්නම් ධර්මය කොටස්වලට වෙන් කොට විග්‍රහ කරන්නෙක් ය යන්නයි. ඒ් පිළිතුර නොදුන් සියල්ල සසුන්නෙන් නෙරපා වෛශ්‍යන් ලෙස කුඹුරු පවරා දී වාණිජ කටයුතුවල යොදවා තුන්වන සංගායනාව සිදු කළ බවයි සඳහන් වෙන්නේ.  

මීට දශකයකට විතර කලින් ලංකා‌වේ ඇතිවුණ අසපු බුදු දහම දැන් සමාජය ක්‍රමය තුළ බූවල්ලෙක් වගේ අඬුවිදා පැතිරිලා. කොටින් ම අපිට මිත්‍යාව මොකක් ද කියන එක නොතේරෙන තරමට. අවසානයේ දී ධර්මය ගුරු තනතුරේ තබා ගන්න කියපු අපේ ශාස්තෘෘන් වහන්සේ මේ නිකාය බෙදීම අනුමත කළේ නෑ. ධර්මධර හා විනයධර ගැටුම වෙලාවේ පාරිල්‍යෙයිය වනේට වැඩම කළේත්, දෙව්දත් තෙරුන්ගේ පංචවරය ප්‍රතික්ෂේප කළේත් ඒ් නිසා. නමුත් ලංකා‌වේ මුල ඉඳන් ම නිකාය භේදය අතිශය දේශපාලනිකයි. මහාවිහාරය සතුටු කරන්න ශ්‍රී මහා බෝධිය පවරා දීලා, අභයගිරිය සතුටු කරන්න දන්ත ධාතුව දීලා, ජේතවනාරාමයේ ඉතුරු ටික හදවලා දීලා හැමෝම බැලන්ස් කරවපු අපේ කිත්සිරි මේඝ මහ රජ්ජුරුතුමාගේ පටන් රාජසිංහ රජ්ජුරුවෝ සියමෙන් උපසම්පදාව ගෙන්වා වැලිවිට සරණංකර සංඝරාජ පෙළප‌තෙන් පැවති  මල්වතු අස්ගිරි චැප්ටර්ස් දක්වා රට කරවපු සැට් එක මේවා ලස්සනට බැලන්ස් කළා මිසක් කවුරුත් සිස්ටම් එකට චැලෙන්ජ් කළේ නෑ. කරන්නත් බැරි බව දන්නවා.

රට එක්සේසත් කරන තරමට ම තුන් නකා එක නකා කොට, නැනිනම් තුන් නිකාට සමඟි කර පවත්වාගෙන යාම මහා ලොකු දෙයක් හැටියට තමා ඒ් දවස්වල සැලකුවේ. දැන් දෙවනි පරාක්‍රමබාහු රජ්ජුරුවො වුනත් දඹදෙණි කථිකාවත හරහා තුන් නිකාය සමඟි කළා. අද තත්ත්වය ඊට සහමුලින් ම වෙනස්. ඇඩ්වර්ටයිස් කරලා ශ්‍රාවකයන් වැඩි කරගැනීමෙන්, විසිතුරුව දහම නිර්වචනය කිරීමෙන් හිට්ස් වැඩි කරගත් පුද්ගලික අසපු සමූහයක් තමුන්ගේ අධිකාරීත්වය මත දේශපාලන දැක්ම පවා තීරණය කරන තැනට බලවත් වෙලා. බොහෝ දෙනා අහන්නේ මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇයි මේවට මැදිහත් නොවන්නේ කියලයි? නමුත් අපි මේ මුලාවෙන් මිදිලා වටහාගන්න න මල්වතු අස්ගිරි කියන්නේත් පොඩි ඒ්ජන්සි දෙකක් විතරයි කියලා. හැබැයි දේශපාලනික හා සාමාජීය පිළිගැනීම ඉහළයි. නැත්නම් රට කරවන හැමෝ ම අටපිරිකර අරන් පෝලිමේ යන්න න නෑනේ. අවසානෙ මෙතන උඩරට පහතරට, ගොවිගම සලාගම, ආදී වශයෙන් බෙදුණු එක ම බලු පොරයක්.

උපුටනය
සරණංකර හිමියන් 1753 සියම් නිකාය පිහිටුවීමෙන් පසු ඊට පූර්ව අවධියේ මෙරටට ගෙනා උපසම්පදාව අවිනය, පැවිදි අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ආදී සාධක පදනම් කර ඉක්මනින් නැසී ගිය හෙයින් කථිකාවතක අවශ්‍යතාව මතුව තිබුණි. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ කථිකාවත සම්පාදනය කිරීමට උන්වහන්සේ මුලසුන ගත්තේය. මෙලෙස සම්පාදිත නව කථිකාවතේ දඹදෙණි කථිකාවත සේම ජාති ගෝත්‍ර විචාරා කුල දෝෂ ක්‍රියා දෝෂ නැතැයි ප්‍රතිඥා කර පසුව මහණකම ලබා දීම මෙන්ම මහණකම ලද අය උපසම්පදා කිරීම යන කොන්දේසි ද එක්කර තිබුණි. මෙකී කොන්දේසී ලක් ඉතිහාසයේ ශාසන වංශය දෝළනය කරවීමට භාජනය වේ යැයි සරණංකර සංඝරාජ හිමියන් කිසිදු විටක අපේක්ෂා නොකළ බව අප දැඩිසේ මතක තබා ගත යුතුය.
කෙසේ වුවත් සියම් උපසම්පදාව ලද මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ද වැඩි කලක් යාමට පෙර ද්වීපාර්ශ්වීය ලෙස එකිනෙකා පරයා ඉදිරියට ඒමේ තරගයක නිරත විය. එකී තරගය තුළ දෙපාර්ශ්වයම තම තමන් දෝෂාරෝපණය කර ගත් අතර මේ තරගය ශාසනය තුළ භික්ෂුන් භේද භින්න වීමට දැඩිව පාදක විය.
අස්ගිරි මල්වතු සීමා සංකරවාදයක් ඇති වීම හා පැවිද්ද, උපසම්පදාව විෂයෙහි පුද්ගලයා උපන් කුලය තීරණාත්මක සාධකයක් වීම මත ක්‍රමයෙන් අමරපුර මහ නිකාය ලක්දිව ස්ථාපනය වීමේ මුල් පසුබිම උත්පාදනය විය. සියම් නිකාය පැවිදි බව හා උපසම්පදාව ගොවිගම කුලයේ ඒකාධිකාරයක් කර ගැනීම මත කරාව, සලාගම ආදී ලක්දිව පහතරට ප්‍රදේශවල පැවිදි වීමට අපේක්ෂා කළ හා පැවිදිව උපසම්පදාව අපේක්ෂා කළ භික්ෂුන්ට ද දැඩි තර්ජන එල්ල විය.
කේ.ඒ චාමර සඳුන් ජයසූරිය (2019 අගෝස්තු)
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම අවසන්

කුජීතයි!!! කලකිරෙනවා නේද යි? ඒ්ක හරියට අපේ රාජ නාමාවලිය දැක්කා ම ඉරකි තිතකි කියවෙනවා වගේ. ඉතිං මේක ආදි කාලෙ ඉඳන් එන ඒකක් දැන් පීක් එක‌ට ඇවිත් විතරයි. 

අවසාන වශයෙන් බුදුන් නැති කල ශ්‍රාවක අපි ගුරු තනතුරේ තබා ගන්නේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය, ගරු කරන්න න චීවරයට. චීවර ධාරියා අදාළ නෑ. හාමුදුරුවෝ....... හෘදය මෘදු රුව. අසපු කියන්නේ බොහොම සාර්ථක වෙළඳ ක්‍රමයක් හරියට සුපර් මාර්කට් වගේ. ගමේ පන්සලේ බණ මඩුවේ ඒ්. සී නෑ. අසපුව ඒ්.සී. බණ මඩුවේ දානෙට බු‌ෆේ නෑ. අසපුවේ බුෆේ. ගමේ අම්මණ්ඩිලා එක්ක සිල් ගත්තා ම ප දූප කතා කළොත් වසලා හමාරයි. අසපුවේ දායකයො පොෂ්. අසපුවේ බණ පොත් මිල අධිකයි. හරි සරලයි. පන්සලේ බණපොත් පාලි. අපිට තේරෙන්නෑ. අසපුවේ අහවල් ටී.වී චැනල් එකට මං මෙච්චර දායක මුදලක් දුන්නා. මේ පත්තරය එහේ. මේ අහවල් හඳුන්කූරු පැකට් එහේ.. ආදී වශයෙන් තව දිගට ලියන්න පුළුවන්.....

මේ ධනවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ බුඩිස්ට් සෙන්ටර්ස් සමාජය තුළ අධිනිශ්චය වෙලා තියෙන්නේ මධ්‍යම පන්තියට ගැළපෙන වෙළඳ උපක්‍රමයක් හැටියට. වරදක් ම කියන්න බෑ. හැබැයි නිවනට තව දුරයි. මොක ද දස සංයෝජනවලින් සීලබ්බත පරාමාස හෙවත් ශීල ව්‍රෘතවලට වහල් වීම ‌මේ අසපු සරණයාමට බොහෝ සමාන නිසා. නිවන් අවබෝධ කරගන්න කියලා එළුවෙක්, හරකෙක්, සුනඛයෙක් වගේ හැසිරීම හෙවත් වෘත සමාදානයයි, (අජ ව්‍රෘත, ගෝ ව්‍රෘත, කුක්කුර ව්‍රෘත) අසපු යාමයි දෙකම සමානයි. මේ සසරට තවත් බැඳ තබන රම්භාගීය සංයෝජන. අර චීනේ දී බිල්ගේට්ස් වින්ඩෝස් හොර කොපි ගැන කිව්වා වගේ අපේ මුකුත් නැති වෙනවාට වඩා හොර කොපි හරි තියෙන එක හොඳයි.  

ආගම මොඩ් විදියට අදහන එක දැන් උපාසක අම්මලාගේ විදියක්. හරියට අර සුපර් මාර්කට් යන එකේ අමුතු ලල් එකක් තියෙනවා වගේ. ඇවරි මාතා උනත් අසපුවේ සිල් ගන්න කැමතියි. අපි හැම පෝයක ම එතුමිය ඇරළවලා ආවා ම රෑට ගෙදර ඇවිත් චිත්ත වීථී ගැන, පටිච්ච සමුප්පාද ධර්මය ගැන බරසාර අභිධර්ම කාරණා කතා කරනවා. අසපුවේ මේවා අපිට තේරෙන විදියට කියනවා. හැබැයි මේවා රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත්වලින් උපුටා අරං ලියලා තියෙන්නේ. හාහා ඒ් පොත් ඔක්කොමත් ඔන්ලයින් තියෙනවා. අම්මට තේරෙන්නේ අසපුවේ කියන ඒ්වා නම් එහෙන් ගන්න. නමුත් හාමුදුරුවරු සරණ ගිහින් නිකායවාදී වෙන්න එපා. මේක බෞද්ධාගමේ විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමේත් එහෙමයි. ඉරිදාට තමුන් කැමති පියතුමෙක් දේව මෙහෙයක් කරද්දි කට්ටිය වැඩියි. අන්තිමේ දී අදාළ පියතුමාගේ සියලු වැඩසටහන් පිස්සුවෙන් වගේ වැළඳගෙන ඒ් පස්සේ ම යනවා.

" සුඛො බුද්ධානං උප්පාදො- සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛා
(ධම්මපදය –බුද්ධ වග්ගය) " උපුටනය බුත්සරණ අන්තර්ජාල කලාපය

බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන් ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කාමසුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ. බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳ ව විමසා දැන් කුමක් පවසම් ද, මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවා ය.
බුද්ධෝත්පාදය , ධර්මය ඇසීම සංඝ සමගිය, සතුටු සාමීචි බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ. බුදුරජාණන් වහන්සේ පහළ වන විට මහජනතාව රාග කාන්තාරයෙන් එතෙර කරති. මේ නිසා බුදු උපත සැපයක්මයි! ධර්ම දේශනය, ජාති,ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් මිදීමට හේතුවේ. එහෙයින් දම් දෙසුම සුවයක් වේ. සාමග්ගි යනු සම චිත්තයයි. සමඟි වූවන්ගේ එකඟ වු සමාහිත වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින්, සමගි සංඝයාගේ තපස සැපයක් යැයි වදාළහ. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ විසින් යම් සේ භික්ෂූන් සමගිව රැස්වේ ද, සමගිව විසිරයේ ද? සංඝකරණීය කරන්නේ ද වැඩි දියුණුවක් ම ඇතිවේ. පරිහානියක් ඇති නොවේ යැයි ද වදාළහ.‍‍‍‍‍

කොයි හැටි වෙතත් දෙසන වහන්සේලා ගැන කතා කරන්න ඉස්සෙල්ලා අහන අහන්සේලාවන අපට මේ උපදෙස් මාලාවත් වැදගත් වෙයි. ලින්ක් එකට ගිහින් බලන්න.

දැන් උඩ ගාථාවයි, ඇවරි මාතාවගේ අසපු ඇදහිල්ලයි, අපේ රටේ සංඝ සමාජයේ ඒ්ජන්සි ටිකයි, තෙරුවන් සරණයාමයි, ආකාරවතී සද්ධාවයි පත අට එකට එකට සිඳගෙන තමන් ම පත්තියන් කරගන්නවා හොඳයි. තම තම නැණ පමණින් දැන ගතයුතු - පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කීවේ ඒ්කටයි! දැන් කියාපල්ලා මං සංඝභේදයක් ඇති කරලා පංච අනන්තර්ය පාප කර්මයක් කරගත්තැයි කියලා.

ප.ලි -  උපුටනයන් හැර ඉහත සියලු අදහස් මාගේ පුද්ගලික මතයන් වන අතර ධර්මය විවෘත වූ විට බබලන බැවින් ඒ් පිළිබඳ වාද විවාද කිරීම හුදෙක් කාලය කා දැමීමකි. බෞද්ධ දර්ශනය තනිව අවබෝධ කළ යුත්තකි. සංඝයා ඊට දායක නොවේ නම් දුෂ්කර ක්‍රියා කොට කිං සච්ච ගවේෂී වී තනිව සත්‍ය සොයා යාමට කාලය පැමිණ ඇත.

භික්ෂු පරිච්ඡේදයත් කියවලා ම බලන්න.




Wednesday, May 20, 2020

ගැළවෙන වහල්ලට ගොරකා තැම්බීම හෙවත් රන් මැණිකාගේ මංගල ආප්ප බෑම.

 

මේ දවස්වල හෝම් කොරන්ටීන් සීන් එකේ ඉන්න නිසා අපේ රන් මැණිකා මැතිනිය ආප්ප සෑදීමේ මෙහෙයුමක් ආරම්භ කරලා තිබුණා. ආප්ප කියන්නේ ඉතිං දකුණේ අය දන්න කියන කෑමක්. මේ කොරෝනා අස්සේ කඩෙන් හැමදාම අරන් කන කෑම ගෙවල්වල හදන ට්‍රෙන්ඩ් එකක් ඇවිත් තියෙන නිසා අපේ මැතිනියටත් ඉතිං ගෙදර ම හදලා ස්වයං පෝෂිතයි කියන්න හරි ගාය. කොටින් ම ස්ප්‍රින්ග් රෝල්ස් හැදුවොත් ටොමැටො කෙචප් එකත් ගෙදර ම හදන්න ඕනෑ. අපි ඉතිං කටයි පුපයි වහගෙන - සසයි සසයි කියන්න ඕනෑ. හරිම සිම්පල් ප්ලෑන් එකක්. 👺👺👺


මැතිනිය ගෙදර හදන කෑම සංසදයේත් යාවජීව සාමජිකාවක්. කොච්චර සිය රට දේ සිරි සැප දේද කියනවා නම් ආනායනික බටර් චීස්, මොසරැල්ලා පවා ගෙදර හදලා ගන්න තරම් දියුණු වෙලා. අපි පෙරලා අපි බොන්නෙ කිව්වට මේම? මැතිනි ඉන්න කාලෙ මේ අම්මණ්ඩිලා හිටියා නම් බහුජාතික සමාගම් බලන් ඉද්දි බංකොළොත් වෙන්නේ. සා වෑව්.. 🥳🤩


හැබැයි අපරාදේ කියන්න බෑ පිටි කවලා ම අපි සෑහෙන්න මහත් කළා මේ ටිකේ. අඩේ බලනවකෝ මාත් මහත්වෙලා කියලා කොකන් පාන්නේ තව ඩෝ එකක් අනන ගමන්. ඉතිං හරියයි ද ආයුබෝන්?. හැම හවසක ම මොකක් හරි අලුත් එකක් මේසයට වඩින බවත් නමක් තබා කෑමට ගන්න වෙන බවත්, ඊට ආදේශක වශයෙන් එළවලු තැම්බුමක් වගේ පුංචි ලැයින් එකක් සමඟ පහුවදා එළි වෙනකම් සුදා ගින්දරේ සෝපාකලා වන බවත් අපි දැනගෙන හිටියා. කන්ට බොන්න නැති, යන්ට එන බැරි කාලේ වෘත්තිය සමිති අරගල කළොත් ලැබෙන දේත් නැතිවෙන බව දන්නා නිසා හැමෝ ම කිව්වත් වගේ කටපි කටපි ගාගෙන හිටියා. නමුත් රන් මැණිකා නම් හැමදාම ඉගෙන ගත්තා. ගොඩක් කෑම ඉතා ම රසට හැදුනා.  Shawarma ගේ ම මස් රොටී, සමෝසා ආදී බෝමයක් කෑම. මේ සාමාන්‍යයෙන් ඇය හදන කුකීස්, පෑන් කේක්, ඉඩ්ලි, තෝසෙ, වඩේ වලට අමතරව. මැතිනිය කොච්චර කෑම හදන්න ම කැප වුනා ද කිව්වොත් කුක් කුක් කුක් කුක් කියාගෙන කුස්සියේ ස්ථිර පදිංචියට ම ආව. 😲



තවත් පික්ෂු හැදිලා ආයෙත් හැදෙන ට්‍රෙන්ඩ් එකක් වුනේ වෙනදා තෙලේ බදින එවා බේක් කරලා කන එක. පැටිස් තෙලේ වර්ෂන් වෙනුවෙට බේක් වර්ෂන් එක නැඟලා ම යනවා. පාටත් හොදයි. රන් මැණිකාගේ කෑම හැදීමේ පුරුද්ද සහ ආසාව කියන්නේ පහුගිය මැයි එකොළොස් වැනිදා වැඩට යන්න ගත්තු දවසේ ඉඳන් උදේ ම ඇහැරිලා, සුකුරුත්තන් කෑමක් හදලා, වැඩට යන්න කලින් ගෙදර ඉඳන් වැඩ කරන අපිට උදේ කෑම කන්න කියාගෙන යන අලුත් චාරිත්‍රයක් ඇති වෙන තරමට ම කොරෝනා කෑම අල්ලලා ගිහින් තිබුණා. 


මේන් කෝර්ස් අතින් සාර්ථකවුන කෑම අතරට අලුතින් ම එකතු වුන ආප්ප ගැන කතාව තමා අද කියන්නේ. ඇවරිතුමා කෝමටත් ඔය කෑම සබ්ජෙක්ට් එකේ දරුණුවට ම නෑ. අපි ජීවත් වෙන්න කනවා මිසක්, කන්න ජීවත් වෙන්නේ නෑ නෙව. අනික එක වේලකින් බඩ පිරුණාට ආයෙත් බඩගිනි වෙනවා. ඒවයේ කෙළවරක් නෑ. ඉතිං කන්න එච්චර මහන්සි වෙන එක මහ විකාරයක් වගේ. නමුත් උයන්න ආසයි. ඒක සේවාවක් නිසා. ළමාතැනී කුස්සියේ දී නයි මිරිස් කරලක් වගේ සැරයි. බෝතලේ ඒවා එක්ක තාච්චිය ළඟ ඉන්න වෙලාවක නම් තෙල් හැන්ද අතේ තියලා ඇති ගාණට. හැබැයි ඈට උයන්න ගියා ම, හැටහුටාමාරක් සේනාව අවශ්‍ය වෙන්නෙත් නෑ. 😵


ඇවරිගේ ගම් පළාත මාකොළ, ආප්ප ගැන කිව්වොත් අමතක නොවන සන්නාමය තමා මාලීනී ඇන්ටි. ඇවරි පොඩි කාලේ ආප්ප ඇතුළු කඩයාප්පන් විකුණලා දරුවො තුන් දෙනෙක් ම ලොකු මහත් කරලා දැන් ඩුබායිවල මුණුබුරා බලාගෙන ඉන්න මාලනී ඇන්ටි ඒ කාලෙ හැම හවසක ම ආප්ප බාල්දියක් හදන්නේ පාරෙන් එහා පැත්තේ තමන්ගේ සෘජු තරඟකරුවා වන පෙරේරා හෝටලේට අභියෝග කරමින්. හවසට ඒ ගෙදරින් එන කෑම සුවඳට අපි ඇදෙද්දි ඇන්ටි අපිටත් අත හුරුවෙන්න ආප්ප වක්කරන්න දෙනවා. එහේ ලොකු අයියාට ආස්මි, කොණ්ඩ කැවුම්, කොකිස් වගේ කැවිලි ගොඩක් හදන්න පුළුවන්. එතුමා දැන් ට්‍රාන්ස්මිෂන් ඉංජිනේරුවෙක්. ලොකු අක්කා වරලත් සැළසුම් නිර්මාණ ශිල්පිනියක්. පොඩි මලයත් කළාපේ වැඩ. 🥰


“අපෝ පිරිමි ළමයි කෑම හදන්නෑනේ?” දවසක් ඇවරි කිව්වා ම මාලනී ඇන්ටි ඉස්සරහ දත් දෙක විතරක් ඇති කට ඇරලා ඇස් ලොකුකරගෙන මෙහෙම කිව්වා. ආහ් හරි වැඩක් නේ? කවුද කියන්නේ? එතකොට පිරිමි ළමයි ආප්ප කන්නේ නෑ? කනවා හදන්නේ නෑ? එතකොට අර ඉස්සරහා හෝටලේ ආප්ප දාන කොල්ලා? 🙄


ඔන්න බලාගන්න ළමයෝ මෙහෙමයි ආප්ප වක් කරන්නේ. ඇත්තට ම කෑම හැදීම ඈට හරියට භාවනාවක් වගේ වැඩක්. සමහරක් වෙලාවට ලොකු කල්පනාවක ඉඳගෙන වුනත් වැඩේ හරියට කරනවා ඒ හෝටලේ රතුපාට යකඩ පුටුවල ඉඳන් මං බලන් ඉඳලා තියෙනවා. මාකොළ එතුමියරසකැවිලි ඇණවුමක් ලබා නොදුන් කෙනෙක් නැති තරම්. කඩයප්පන් හදලා ම ලොවක් අල්ලපු මගේ කාලයේ වීරවරියට ගෞරවයක් හැටියට තමා මේ වචන ටික ලිව්වේ. ඇත්තට ම විශේෂ ප්‍රාගුණ්‍යට තියෙන වෙළඳපල වටිනාකම මං ඉගෙනගෙන තියෙන්නෙ ඒ කාලෙ.  😌

   

මුළුතැන් තේවාවේ ඇවරිට පැවරෙන ප්‍රධාන රාජකාරිය වෙන්නේ පොල් ගෑම. මිටි කිරි.. කිරි.. දිය කිරි කිරි.. බ්ලෙන්ඩරයෙන් තලාලා, භාජන වල දමාලා මැඩම් එද්දි තියලා තියන්න ඕනෑ. සාමාන්‍යයෙන් ආප්ප මිශ්‍රණයක් පැය හයක් විතර තියන්න වෙනවා. පොල් ගාලා අහවර වුනා ම ඇවරි සීන් එකෙන් අයින් වුනේ රාජකාරී වැඩ ටිකක් ඇවිත් තිබුණ නිසා. මේන් පැයකට විතර පස්සේ රන් මැණිකා කුස්සියේ ඉඳන් කෑගහනවා. සීන් ඒකේ හැටියට ආප්ප මිශ්‍රණය ඔළුවේ ඉදන් නවාගෙන ඇතිය කියලයි ඇවරිතුමා කල්පනා කළේ. නිකන් හිතලා බලන්නකෝ අපේ ගුම්භකභූතී සුදු පාටට ආප්ප බාල්දිය ඔළුවේ ඉඳන් හලාගෙන හොඳ භූතයා කැස්පර් වගේ ඉද්දි...!! 👻


ගිහින් බැලින්නම් කෙළියා තාප්පෙට කිව්වලු. ආප්පෙ තාච්චියෙන් ගැළවෙන්නේ නෑ. අඩිය අල්ලනවා. බාන ආප්පවල මද විතරයි. වාටි අළවගන්න ඕන සම්පූර්ණ ආප්පයක් කන්න. ආප්ප බාස්ගේ වැඩේ ජෝන් බාස්ට ගියා වගෙයි කියන්නේ මේවට වෙන්න ඕනෑ. ඇයි වදේ අර ගෙදර කෑම හදන සංසදේ කාටහරි කතා කරලා අහගන්නකෝ මේකට මොකා කරනවා කියලා. දහතුනයි අනූව වගේ හෙල්ප් ලයින් එකක් නැද්ද එයාලාගේ?? 🤪


“අනේ මේ වාටිය කරවෙලා තියෙන වෙලාවෙ ආප්පෙ මෙළෙක හොයන්න එන්න එපා හරිය..?” රන් මැණිකා නහුතෙට නැඟපු රතු කට්ට පනින්න නොදී දෑත බදලා අල්ලා ගද්දි ඔන්න බබෝ බිල්ලා කියලා ඇවරි එතනින් මාරු වුනා. සෙනිකට ඇවරිට මතක් වුනේ කොච්චරවත් යූටුබේ බලලා කෑම හදන ඇවරි හාමිනේව. “ආහ්... මැණිකේ පොඩි සිල්ලර කේස් එකක් තියෙනවා තොගේට උත්තරයක් දෙන්න පුළුවන් ද?” 


ඔව්, අනේ ගැළවෙන්නේ ම නෑලු? බිත්තරයකුත් දැම්මා. ඒත් සුගතියක් නෑ. “හැබැයි මං දන්න තරමින් බිත්තර දාන්න ඕන මිටි කිරි දාන්න කලින්” කියලා වැඩක් නෑ දාන දාන ආප්පෙ ගැළවෙන්න ම බෑ කියනවා. “ඔයාට කියන්න අනේ ආප්ප කෝමත් ඩබල් ස්ටෑන්ඩ් තමා. කාපු ගමන් පැත්ත මාරු වෙනවා. “ඔයා මේ මගුලක් කියනවා.” ඇවරිටත් දැන් හාමිනේ එක්ක ඌරු ජුවල් නඟිනවා. හරි... හරී මං 2015 දී යහපාලනේට ඡන්දේ දුන්නා තමා. දැන් ආප්පේ ගළවන්න විදියක් බලමු ද? ආයෙත් මුළට යන්නැතිව? 


“මේ හැබැයි තච්චියට වැටුණා ම ගැළවෙන්න හිත නැත්තේ අලුත් තාච්චියක් ද පාවිච්චි කරන්නේ?” අඩේ හැබෑව! අලුත් එකක් තමා කිරි කිරියේ දිලිසෙන එකක්! ෂුවර් එකට තාච්චිය සීසන් කරන්නේ නැතිව ඇති. තාච්චියට ගොරක කෑලි ටිකක් දාලා ලිපේ තියලා තම්බාගන්න. ඊට පස්සේ ගොරකා ටික හොදින් තාච්චියේ අතුල්ලලා තෙල් රෙදි කෑල්ලෙන් පිහින්න. ආයෙත් ලිපේ තියලා පිහින්න. වැඩේ හරියයි. තාච්චියට ආප්පේ වක්කරලා වැහුවට පස්සේ ටිකක් කර වෙද්දි ආපහු මිටිකිරි පොඩ්ඩක් දැම්ම නම් මැද මෙළෙකට ගැළවෙනවා. කරලා බලලා කියන්නකෝ. මං වෙබිනාර් එකකට යනවා දැන්. මොකද වුනේ කියලා කියන්න හොඳේ”     


ඇවරිතුමාත් වහා ම අගතියට පත් පාර්ශවයට කරුණු කාරණා දැනුම් දුන්නා. මැතිනියගේ මිලියන් ඩොලර් අවවාදය හින්දා ආප්ප ටික ගළවා ගත්තා. 🤑 “ඇත්තට ම අක්කා ඔයාගේ අත්ගුණේ නම් මාරයි.” රන් මැණිකා විශේෂයෙන් කෝල් එකක් අරං හාමිනේට ස්තුති කළා. හැරෙන තැපෑලෙන් ඈවර විතාන අමතන එතුමිය කිව්වේ තමන් කිසිදාක ආප්ප තම්බා නොමැති බවයි. කොළේ ඉරා ගන්න බැරි නිසා ඇවරිත් සද්ද වහලා හිටියා. කෝමින් කෝම හරි අපේ රන් මැණිකාගේ මංගල ආප්ප බෑම සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගත්බව කියන්න ඕනෑ. සාක්ෂි වශයෙන් පහළ වීඩියෝව බලන්නකෝ. 😉