Sunday, January 9, 2011

ඇවරිගේ ජනේරුව

සුබ අලුත් අවුරුද්දක් වේවා! ඇත්තට ම ජනවාරි පළමුවෙනිදා කියන්නෙ අපේ අවුරුද්ද නම් නෙමෙයි නේ!! හැබැයි ඉතිං සි, බු වුනා‍ට ජනේරුවට අපේ ගෙදර නම් වෙන ම වැඩසටහනක් යනවා. ඇත්තට ම අපේ කස්ටිය බවුද්ද කියලා කෑ ගෑවට අපි කම් කවලම්...

බුද්ධ දර්ශනය ගැන දැනගත්තත් මං නියම බවුද්දයෙක් නෙමෙයි කියල මං දන්නවා. අනේ මන්දා මං නුවරදි බවුද්ද, යාපනේදී හින්දු, තේවත්තෙදි කතෝලික, ඌව වෙල්ලස්සෙදි මුස්ලිම් වගේ පොරක්. කොහොමත් බුදු දහම ඒහි පස්සික නේ?? ඉතිං ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුළුවන්. ආගමික සහනශීලීත්වය නිසා වෙන ආගම් අදහන්නත් පුළුවන්. අර කාංචන දසනායක පහුගිය කාලෙ කිව්ව වගේ අපේ සිංහල ‍බවුද්ද නායකයො පවා හාමුදුරුවන්ට බාගෙට වැදලා පල්ලියෙදි දණගහලා යාච්ඥා කරනවා. නල්ලූර් කෝවිලට ෂර්ට් ගලවල යනවා. අපි නත්තලට නතත්ල් ගස් හැදුවට මුස්ලිම් මිනිස්සු ‍හෝ කතෝලිකයො නසක් කූඩු හදන්නෑනේ?? අනේ ඒ නිසා මේ අවුරුද්දෙවත් පිස්සු කෙළින්න හොද නෑ කියලා මං හිතා ගත්තා.

ම්..හරියට 2011 ලබන වෙලාවට අපේ ගෙදර කිරි උතුරවනවා. ඒකෙ කිසි පදනමක් තියෙනවාද කියලා මන් දන්නෑ. අපේ අම්මට නම් ඒක පුරුදු වෙලා. කිරි උතුරන්න පසුප්පාල් ද තෙන්නෙයි පාල් ද කියලා ගැටලුවක් ආවෙ අපි ගෙදරට එන කාලෙදිමයි. අපේ අම්ම නම් කැමති වුනේ නෑ පොල් කිරෙන් උතුරුවන්න. දැන් නම් නිව්ඩේල් ඉතිරවීමක් තමා කෙරෙන්නෙ. (සිංහල අලුත් අවුරුද්දට නම් කිරි දොවලා ගෙන්න ගන්නවා.)

පාන්දරින් ඇහැරුණා ම කිරිබත් හදන්න උදව්වෙන්න උනා... ජනවාරි පළමුදා කිරිපිඩු කැලණියට පූජා කිරීමෙන් තමා වැඩ පටාන් ගන්නෙ ඊළඟට අපි යන්නෙ ගංගාරාමයට. හැම අවුරුද්දෙම මුලින් ම ගනුදෙනු කරන්නෙ ගංගාරාමයත් එක්ක. මං දන්න කාලෙ ඉදන් ම ‍ජනේරුවට අලුත් ම මුදල් නෝට්ටුවක් ගංගාරාමෙන් පන්සල් එන කාටත් ලැබෙනවා. අවුරුදු ගාණක එකතු කරපු නෝට්ටු තිබුණත් දැන් ජනේරුවට ඒක නොගත්තොත් නිකන් අවුල් වගේ. ඔය වැඩ වලින් පස්සෙ පවුලේ කටයුතු වලින් අපිව නිදහස් කරනවා.

මෙදා සැරේ නම් පළමුදා ම මට වැඩ අල්ලන්න උනා. 2011-2012 වසරවල සාමාන්‍ය පෙළ සිසුන්ට කරන පන්තියේ ගිවිසුම් අත්සන් කරන්න තිබුණෙ පළමුදා. තවත් අවුරුදු දෙකක් නොමිලේ උගන්වන්න අපි පොරොන්දු වුනා. කරලා තියෙන පව් ගෙවාගන්නත් එපෑයැ?? මෙදා සැරේ ළමෝ බර ගාණක් ඉන්නවා. ඒ වැඩේ අහවර කරලා ගෙදර ඇවිත් ඉඟසුඟ ගත හැකි මනරම් - මගෙ ලේකම් එක්ක එක්ක ජාතික ඇදුමක් හොයන්න යන්න තිබුණා. ඒ දෙවැනිදා දහම් පාසල් ආචාර්යවරයාගේ චරිතය රඟපාන්න. නැෂනල් රෙඩිමේඩ් ඔක්කොගෙ ම ඉස්සරහ පළු දෙකකින් තිබුණේ. ඒ ගැන ඇහුවම වර්ධනේ සේල්ස්මන් කෙනෙක් පැහැදිලි කිරීමක් කළා. ආ සර් මේ ඔක්කොම මන්ත්‍රී කිට්. කපටි සූට් එකක් නැතුව නියම ජාතික ඇදුමක් මහගන්න වෙයි. ඉතිං ලංකාවෙ නියම ජාතික ඇදුම කොහේවත් විකුණන්න නැත්ද??? මේක ඉන්දියාවෙන් සර් එන්නෙ. ඕනනම් වේට්ටි තියෙනවා. ම් ඒකත් නරක නෑ. හැබැයි අපේ මලය නම් නැෂනල් වලට වඩා දෝතිය අදින්න කැමතියි. ඒත් වැඩේට නොගැළපෙන නිසා මං අර කොල්ලට කියාල එළියට වැඩ්ඩා.

අන්තිමේ දී කාර්යශූර ලේකම් තැන මං පුංචි කාලෙ ඇදපු නැෂනලයක් හෝදලා ගත්තා. හ්ම් දැන් ඒ වැඩෙත් හරි. රෑ අපිට පැදුරු සාජ්ජයක් තිබුණා. උගුරු යනකම් කෑ ගහලා කාලා හේම පහුවෙනිදට යන්න ඕන නිසා ගෙදේ ආවා. බලාගෙන යද්දි ජනවාරි පළමුදා කියන්නෙ පස්ට බිසී දවසක් තමා.

Saturday, January 1, 2011

ඇවරිගේ 100 වැනි සලාදය


මේ ඇවරිගේ 100 වැනි පෝස්ට් එක. ඉතිං මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියන්ත්, පුන්‍යානුමෝදනාවක් සදහා වගේ ම අලුත් ප්රවුත්තියක් දැනුම් දීම සදහාත් මං මේ පෝස්ට් එක ලියනවා.

ලිපි සියයක් ලියුවට මොක ද ඇවරිගේ සලාදය නමින් මං ලියන බ්ලොග් එකෙන් කිසිම වැඩක් නෑ කියලා මට හිතෙනවා. සිංහලෙන් බ්ලොග් එකක් කරන්න මට අදහසක් දැම්මෙ අරවින්ද. සුගීත් තමයි සලාදෙ නිර්මාණය කරලා දුන්නේ. එතකොට මං ලියපුවා සංස්කරණය කළේ වගේ ම අදහස් දැක්වීම් කරලා අපි වැඩක් කරමු කිව්වෙ ප්රසාද් අලුත්වත්ත සහෝදරයා. අපි ඇත්තට ම වැඩක් පටන් ගත්තා. නමුත් විවිධ ප්රශ්න නිසා ඒ වැඩේ නැවතුනා. අන්තිමේ දී මගේ අදහස් ටික තනිවම ලියන්න පටන්ගත්ත ම කලින් කියපු සුබපතන්නන් ගොඩක් උදව් උපකාර කළා. ඒවට මං ස්තුති කරන්න ඕන.

මේ බ්ලොග් එක පිටස්තර අයට ලියන්න මගේ අදහසක් තිබුණේ නෑ. දැන් මේක ලපයි සිපයි හැමෝ ම බලනවනේ. (‍විහිලුවට කීවෙ) ඒකට කාරි නෑ. නමුත් කොමෙන්ටු නම් අඩුයි. ඒකට අපූරු කතාවක් අපේ අලුතා කිව්වා. “නෑ මචං උඹේ කට හොද නෑනේ. නමුත් උඹ ලියාගෙන පලයං. සමහර වෙලාවට අපේ මිනිස්සු මොකුත් නොකියන්නෙ ඒවා වදින නිසා. වැදෙන තැනකට වැදියන් කියලා ලියපන්” අන්න ඒ නිසා ම මං තාමත් ලියනවා. හැමෝ ම කියන්නෙ නවත්තන්න එපා කියලා. කමෙන්ට් නැති වුනාට අපේ කස්ටිය ප්රසිද්ධ සභාවල සලාද පෝස්ට් වලට කමෙන්ට් කරද්දි තමයි කාලා ඉන්න බැරි. අර කිඹුලා කනවා ඉවසුවත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියනවනේ???

නමුත් මට ඕන කළේ අපේ අපේ අය ගැන celebrity බ්ලොග් එකක් ලියන්න. අනාගතයට බ්ලොග් ලිවීම කියලයි මං ඒකට කියන්නෙ. දැන් බලන්න ප්රසිද්ධ පුද්ගලයන් ගැන අපි කොච්චර ඕපා දූප දන්නව ද? සාමාන්‍ය ඔබ ගැන එහෙම ලියන ලියැවෙන තැනක් නෑනේ. මට නම් මගේ වගේ ඉන්න සියලු දෙනා celebrity කැටගරි එකේ තමා. ඒ මිනිස්සුන්ගෙ සැප දුක ගැන අපි (අපි කිව්වට ‍මේ මං හරිය) නිරන්තර අවධානයෙන් පසුවෙනවා. අන්න එතනදී....... තමයි ඇවරිගෙ මිත්තරයෙක් වෙන එකේ පුංචි අවධානමක් තියෙනවා කියලා කතාවට කියන්නේ. සමහර වෙලාවට නම් මට මිනිස්සු ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වෙනවා. හරියට නිතර නොයන පාරවල්වල වල් බිහිවෙනවා වගේ නිතර හමු නොවන අය ගැන අමතක වෙනවා. වැඩක් නැති වෙලාවට කාලෙකින් කතා නොකරපු අයට මිස්ඩ් එකක් තියන්න පිස්සුවක් තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

මට ඕන මං දන්න මගේ වටේ ඉන්න මිනිස්සු ටිකවත් චරිත බවට පත් කරවලා ඒ අය මේ ජීවිතේ කරපු හපන්කම්, මෝඩකම්, පුරසාරම් වගේ ම එදා ඉදන් අල්ලපු නෛයාඩම්, අඩව්, කස්තිරම් සියල්ල ලියා තබන්නයි. ඡායාරූප සමගින් ම මේවා පළ කරන්න අපි හිතන් ඉන්නවා. මං ළග ඒවගේ පිස්සු නටපු ඒවවල හොද එකතුවකුත් තියෙනවා. මං කලිනුත් කියපු චරිත පෝස්ට් ටික ලියැවුණේ මේ නව බ්ලොග් අඩවිය සදහා. පහුගිය නොවැම්බරයේ තමා අපි මේක කළේ. (නොවැම්බරයේ සලාදයට එක ම පෝස්ට් එකක් දැම්මෙත් මේ නිසයි) ඇබැද්දි අයියාගේ කතාව තමා මං එහෙම ලියපු මුල් ම පෝස්ට් එක. ඒවා පවුලේ කතන්දර, සලාදයට දැ‍ම්මොත් දැන් අපිව කියවන මිනිස්සුන්ට ඒක බාධාවක්. ඒවට අපි අපි මිසක් කවුරුත් කමෙන්ට් කරන්නෙත් නෑනේ?? මොක ද අනුන්ගෙ කතන්දර ඒ අය තමන්ට වැඩක් නෑ කියලා හිතාවිනේ. මෙතෙන්ට ඒ පෝස්ට් දැම්මහම සලාදයට හැඩයක් දීපු මිනිස්සුන්ට අසාධාරණයක් කියලා මං හිතුවා.

ඒ හින්දා ම අලුත් අඩවියකින් ඒ සියල්ල ප්රකාශයට වේවි. ඒකට අලුත් නික් එකක් යොදන්න ඕන වුනා. ඇවරි කියල ලිව්වොත් අපේ බුවාලා හොයා ගන්නවානේ??? තවත් ප්රශ්නයක් තියෙනවා. අපි මෙහි කිසිවක් දැන් ම ප්රචාරය කරන්නෑ. මොකද අපේ යාළුවො ගොඩක් තරුණ අයනේ. තමන් ගැන ලියැවෙන පුංචි පුංචි හින්ට් ඉවසන්න තාම අපේ අයට පුරුද්දක් නෑ. තරුණ විසේ නේ?? කාත්නා පාර්ශවය නම් තමන් විවාහ වූ පසු ඒ වගේ වැඩක් තමන්ටත් බලන්න කරන්න කියලයි ඇවරිට කිව්වෙ. ඒ සියල්ල නිසා ඒ අය ටිකක් එක්ලස් වෙනකම් ඉදලා සැර බාල කරලා මේ බ්ලොග් එක 2015 දී හෙළි කරන්නයි අපි හිතන් ඉන්නෙ. ඒ වෙනකම් රහසිගත අඩවියක මේ කතා සේයා රූ සමගින් ප්රකාශයට පත්වේවි.

මේ වැඩේ සහමුලින් ම පිස්සුවක් කියලා කෙනෙක් කියාවි. ඇත්ත මං දන්නවා ඒක නම් මටත් හිතාගන්න අමාරු තත්ත්වයක්. නමුත් තමන් ගැන ලියැවුනු සංස්කරණය නොකළ වාර්තා රැසක් හෙට අනිද්දා මගේ මිත්ර සමාගමය කියවාවි. කියවලා මට බැන බැන හිනාවේවි. මං හිතන්නෑ කවුරුත් මෙහෙම වැඩක් කරලා තියෙනවා කියලා. නමුත් අපි කරනවා. මොක ද මා එක්ක වැඩ කරපු මිනිස්සු ගැන නාකි වෙලා හරි මං කියවන්න ඕන නිසා. මට තියෙන්නෙ අපූරු මතකයක්. හුඟක් ම ඒ මගේ පුස්කාපු ඩයරි වලට පින් සිද්ද වෙන්න. නව බ්ලොග් අඩවියේ පර්යේෂණ දියත් කිරීමක දී එක් මිතුරියකට ඔයාට මෙන්න මේ කතාව මතක ද? කියලා සිද්ධිය කිව්ව ම ඇය පුදුම වුනා තාමත් මට ඒ කතාව මතක තිබීම ගැන.

තවත් අතකට මේක තොරතුරු කේන්දරයක් වේවි. “එයා ගැන මෙයාගෙන් අහන්න” වගේ වැඩක් තමා මෙහි වෙන්නෙ. මට ඉන්න යාළුවො නැති වෙන්නත්, ඒ අය ගැන උනන්දුවෙන් හොයා බලන අලුත් යාළුවො ඇති වෙන්නත් මේ ‍බ්ලොග් එක හේතුවේවි. පුද්ගලයන් ගැන රෙෆරනස් කරන්න මෙතැන නියමයි. ඒ ඒ චරිතවල මා දුටු දුබලතා, ප්රබලතා, සාධනීය, නිශේධනීය සියලු ලක්ෂණ මෙහි ඇතුළත් කරනවා. ඒ සිදුවීම් අනාවරණ විදියට. ප්රතිචාර මත නියමිත කාලයට පෙර වුනත් මහජනයාට දෙන්න තීරණයක් තියෙනවා. කොහොම නමුත් මං බ්ලොගින් වල කෙරුමෙක් නෙමෙයි. මේ ලිමිටඩ් එඩිෂන් අලුත් බ්ලොග් එක කියවන්න විවේචන ඉවසන පිරිසක් ඇති කර ගැනීමට කාලයක් යයි. කිසිවෙක් සමග පුද්ගලික අමනාපකමක් නම් මගේ නෑ. කොහොමත් මං හතුරො හදා ගන්න මිනිහෙක් නෙමෙයි. හතුරන්ව හුඟක් ළඟින් තියා ගන්න මිනිහෙක්. එතකොට කරදර අඩුයි. කාන්තා පාර්ශවය නම් මා එක්ක වැරදිලාවත් තරහා වෙන්නෑ... (ඒක ඉතිං ප්රසිද්ධ රහසක්)

අවසාන වශයෙන් සලාදය සමඟ එක් වූ සියල්ලන්ට ඇවරි හිස නමා ආචාර කරනවා. තවත් කාලයක් අපිත් එක්ක රැදෙන්න ආරාධනා කරන අතරේ ප්රසිද්ධියේ මාව විවේචනය කරන්නන්ට තව තවත් ප්රවර්ධන වැඩසටහන් දියත් කිරීම ශක්තිය ධෛර්ය ප්රාර්ථනා කරනවා... සැමට සුබ නව වසරක්!!!

සම්මතයට ක්රියා කිරීම හෙවත් දෙබරයට ගල් ගැසීම

පේ වී.සී ගොයියා මේ හොස්ටල් කොස්සක් දා ගත්තු නිසා දැන් සරසවියෙ වැඩ සියල්ල ටිකක කණපිට හැරිලා. අයියලා මලෝලා දියව් දියව් කියාගත්තු ගමන්මයි, අනේ ඉතිං කොහොමින් කොහොම හරි සියලු පීඨ සදහා පහුගිය දවසක කැලණිය විවෘත වුනා ය කියමුකෝ. දැන් කස්ටිය වැඩ පෙන්නන්න පටාන් අරං.

සාමාන්‍ය උපාධි සිසුන් සමග කළ පසුගිය උද්ඝෝෂණය අමු අමුවේ ම අසාර්ථක වුනා. අයියලා ඉතිං විශේෂවේ දී කරන අයනේ. අන්තිමේ දී කුණු ප්රෙෂාලාට තග දාලා තරමක් සාර්ථක උද්‍ඝෝෂණයක් තියා ගන්න පහුගිය සුමානෙ හැකි වුනා. උනුත් කුණ කාගෙන ගේමට සෙට් වුනාට මොක ද කාකි කෝටිස්ලා පෙළ සැදිලා සිටිය නිසා වැඩේ ගොඩින් බේරා ගත්තා. අන්න එතන දී ක්රියාත්මක වූ යාන්ත්‍රණය වඩාත් සංවිධානාත්මක නිසා පිකට් කරද්දි ඒ ක්‍රමයට වැඩ කළොත් සාමකාමී උද්ඝෝෂණයක් කියලා මාධ්‍ය වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් වෙයි. කලින් දැනුම් දුන්නා වගේ පුස්තකාලය වසා දමලා පරිපාලනය සීල් තිබ්බා. පුස්තකාලයේ ඉදිරිපස පිවිසුම වසා දැමූ නිසා එයින් කාටවත් ඇතුල් වෙන්න බෑ. සියලු පිවිසීම් දොරටු වසා දමද්දි "ආ අද පිකට් එකනේ බං" කියාගෙන ගොඩක් ශිෂ්‍යයො සරණාගත භාවය අපේක්ෂා කරමින් ඉවත් වුනා.

මේ නිසා පොලිසියෙන් නිකම් ම වැ‍ඩේ ගොඩ දාගත්තා. කවදාවත් නැතුව සිවිල් ආරක්ෂක බලකායත් එහි පැමිණ සිටියා. අපේ මාධ්‍ය සගයො නම් තරමක අඩු සහභාගීත්වයක් තමා දැක්වූයේ. නමුත් ඒ සිස්ටම් එක හරි. මීට පස්සෙ පිකට් එකක් නම් ගොඩනැගිලි මුද්‍රා තියන්න කට්ටිය පුරුදු වේවි. ඉවත්වන පිරිසට සාමකාමීව ඉවත්වන්න ඒ වෙලාව ප්රමාණවත්, ගොඩනැගිලි වහ ගත්තහ ම වැඩේ ලේසියි. කාර්යමණ්ඩලයත් ආරක්ෂිතයි.

පිකට් කරන අය වගේ ම අපේ කැම්පස් එකේ පිකට් බලන්නන් ගෙනුත් අඩුවක් නෑ. පිකට් එකක් තෙල් බැම්මෙන් පටන් අරං පාරට යනව නම් විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ බොහෝ දෙනා උඩ සිට මේ කුහුඹු පෙරහැර නරඹනවා. තවත් ප්රධාන නැරඹුම් මැදිරියක් වෙන්නෙ විද්‍යාගාර ක්‍රීඩාගාරය. හැබැයි මෙදා සැරේ අපි ‍පීඨය තුළ අපූරු අවස්ථාවක් නිරීක්ෂණය කළා. ඒ පරිපාලනය ඉදිරියේ මේ උද්ඝෝෂණය නැගලා යද්දි ඒ සද්දෙට පීඨය තුළ සිටි ආචාර්ය, මහාචාර්ය සියලු දෙනා පිටතට පැමිණීමයි. අන්තිමේ දී කලා පීඨයේ මිදුල ඒ පිරිසගෙන් පිරී ගියා. එතන තවත් පිකට් එකකට සෙනග??? හැබැයි වැරදිලා හරි කාකි කබාවල කරුණාවට කදුළු ගෑස් පාරක් එයි කියලා කවුදෝ කිව්ව ම විනාඩි දෙකක් තුළ සියලු ම දෙනා ඉවත් වුනා. උද්ඝෝෂණය සාමකාමීව නිමා කරන්න ආපු පොලිසියට ඇවරි ස්තුතිවන්ත වෙනවා.

"මචං යන්නැද්ද වැඩේට? අනේ බං ඕක ඉතිං හැමදාම තියෙන එකනේ අපි ලබන අවුරුද්දෙ එකට යනවා." ඒත් ඔය සටන් පාඨමනේ. ඔය සද්දෙ මයි, මූණු ටික වෙනස්වෙයි. මේක පළමු වසර යුද අභ්‍යාසයක්නේ. අපි ඒවා පාස් කරලා නෙව ආවෙ. ඉතිං තව මක්කට ද???? අනේ හැබෑමයි!!!

Friday, December 31, 2010

සුනාමි මතකය....

2004.12.26 වැනිදා කියන්නෙ ලංකාවේ විශාල ඛේදවාචකයක් සිද්ධ වෙච්චි දිනයක් කියලා මතක් කරන්න ඕනැ නෑ නේ. මේ වෙද්දි අවුරුදු හයක් ගිහින් තියෙන නිසා හැමෝට ම මේ සිද්ධිය පැරණි මතකයක් විදියට හිතේ ඇදිලා ඇති. මියගිය තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පැවැත්වෙන පින්කම් නම් මේ දිනවල අහන්න දකින්න ලැබෙනවනේ...

සුනාමි මතක ටිකක් ලියලා තියන්න ඕන කියලා හිතු‍වෙ මං මේ දවස්වල යෙදිලා ඉන්න රාජකාරි ගැන හිතලා. සමහර විට මේක හෝද හෝද මඩේ දැමීමක් කියලා කවුරුත් කියන්න බැරි කමක් නෑ. ඒත් සුනාමිය කියන්නෙ මගේ ජීවිතේ අප්රසන්න ම මතක කැටිවුණු අමතක නොවන සිදුවීම් ගණනාවක් සදහා හේතු වෙච්චි සිද්ධියක් කියලා මුලින් ම කියන්න ඕන. මූදුකරේ නොවන රට ඇතුළේ නගරෙක ඉන්න මට සුනාමිය මෙච්චර හතුරුකමක් කළේ කොහොම ද කියලා ඔබ හිතනවා ඇති. ඒක රාජකාරීමය කටයුත්තක්.

මගේ මාමා උතුරු කොළඹ නාගරික හදිසි පරීක්ෂකතුමා. අපේ අම්මලාගේ මුල් ම පදිංචි නිවස පිහිටා තිබුණේ ඔය සීනිගම දේවාලයට මුහුණලා තියෙන භූමියේ. (සුනාමියෙන් ගේ විනාස වුනාට කාටවත් අනතුරක් වුනේ නෑ) තෙල්වත්ත පැරෑලියේ දුම්රිය අනතුර ඔබට මතක ඇතිනේ. මේ අනතුරින් මියගිය පිරිස ඉතා ඉක්මණින් භූමදාන කරන්න රජයට ඕන වුනා. ඒ සදහා කොළඹ හිටපු මරණ පරීක්ෂකවරුන්ට හදිසි සේවය සදහා කැදවීමක් කළා. අපේ මාමගෙ ගම එහේ නිසා එයා තමයි මුලින් ම ගියේ. ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න මටත් (අ)වාසනාවක් තිබුණා.

එදා කෝච්චි පෙට්ටියේ තිබුණු මිනී ළගට කිට්ටු කරන්න වත් බෑ. දින කිහිපයක් පහු වෙලා තිබුණ මළ සිරුරු එච්චර ම නරක තත්ත්වයේ තියෙන්න සාමාන්‍යයෙන් විදියක් නැති වුනත් බොහෝ දෙනා වතුර පෙවී මියගොස් සිටි නිසා මිනී ඉදිමී තිබුණා. මට පෙනුනෙ මිය ගිය හයේ හතරේ යෝධ සේනාවක් පමණයි. අනික එක ම මිනියකවත් හරියට අදුනන්න බෑ. සමහර අය පස්වලට යටවෙලා හේම තිබ්බා. ඒ මුළු භූමිය ම සුසානයක්. කටයුත්ත නියම විදියට කරන්න නම් අඩියෙන් අඩිය මිනී ඉවත් කළ යුතුයි කියලා යෝජනා වුනා. ඒක තමයි හරිම විදිය. නමුත් පස් වලින් යටවූ කිසිම මිනියක් හාරා ගොඩ ගන්න මිසක් අතින් පයින් අදින්න එපාය කියලත් සේවකයන්ට උපදෙස් දුන්නා. අතින් ඇද්දම අතගැලවිලා එනවා මිසක් මිනිය එතැනමයි. මේ සේවකයන් කියන්නේ සාමාන්‍ය මිනී කපන මෝචරියෙ ඉන්න පිරිස් නෙමේ. ඒ අය සියල්ල තරුණ හමුදා නිලධාරීන්. අපි තැන පෙන්නුවා ම හමුදාවෙන් ඒ මිනී ගොඩ අරන් බිම වැතිරුවා. නමක් ගමක් හැදුනුම්පතක් කිසිවක් නැති බොහෝ විට යට ඇදුම් පමණක් ඇති සිරුරු ගණනක් එහෙම සතපවා තිබුණා. දැන් මරණ පරීක්ෂකගේ හා ඡායාරූප ශිල්පියාගේ වාරය...

මරණ පරීක්ෂකය කියලා සාක්කි කියන්න කවුරුත් නෑ. අදුනගන්න ඥාතීන් නෑ. අපිට කියන්න පුළුවන් මුහුදු රැල්ලට අහුවෙලා හුස්ම හිරවෙලා මැරුණා කියන එකයි. ගෑනු ද පිරිමි ද කියන එකයි විතරයි. මාමා කියපු විදියට අපේ කස්ටිය (මමයි, තාත්තයි, බාප්පයි, අයියයි,) ‍ඡායාරෑප අංකය ස්ත්රී පුරුෂභාවය සහ අනුමාන වයස සටහන් කර ගත්තා. හමුදාවෙන් ගෙන්වූ බැකෝ යන්තරෙන් මහා මිනී වලක් කැපුනා. මේ වෙලාවෙ පෙට්ටි හොයන්න බෑ. අනික මේ මිනී හැකි ඉක්මණින් වළ නොදැම්මොත් ජීවත් වෙලා ඉන්න පිරිසට තර්ජනයක්. කුණු වූ මිනී වල දුගද ගැන කියන්න වචන නෑ. ඒත් නාදුනන මළ සිරුරු නිරුවතින් මිහිදන් කරන්න අපේ මාමා තදින් විරුද්ධ වුනා. එයා කිව්වෙ මිනිස්සු හැටියට අපි ඒ අයට ගවුරවනීය භූමදානයක් ලබා දියයුතු බවයි. ගෑනු උදවිය නිරුවත් වුනේ කොහොම ද දන්නෑ. හැබැයි සාරි වගේ ඒවා රැල්ලත් එක්ක හරඹ කරද්දි ගැලවිලා ගියා වෙන්න පුළුවන්. ඒ නිසා සාරි හැමතැන ම එතිලා තිබුණා. අපි ඒ සාරිවල මිනී ඔතමු කියලා යෝජනා කළේ හමුදාව විසින්. පස්සෙ ගම්වාසීන්ගේ ද සහය ඇතිව තැන තැන තිබූ සාරි එක් කරලා ඒවායින් මමී වගේ මිනී ඔතලා ඩෝසර් වලින් ම වලේ තැම්පත් කළා. මේ වගේ සමූහ මිනී වළවල් විශාල ප්රමාණයක අපි සිරුරු තැම්පත් කළා. ඒ හැම මිනී වළක් ම ටිකක් උසට පස් කන්දක් වගේ හදන්න කියලා නිර්දේශ කළා.

මූලික සුනාමි මිනී සියල්ල වළලා දැම්මෙ එසේයි. නමුත් ඒ දිනවල අපි මරණ සහතික නිකුත් කිරීම නම් කළේ නෑ. කවුද මිය ගිය ඥාතියා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ? කාට ද මරණ සහතික දෙන්නෙ?? වළලන ලද මිනීවල ඡායාරූප පොලිස් ස්ථානවල ප්රදර්ශනය කළා. විශේෂයෙන් තෙල්වත්තට නුදුරු මීටියාගොඩ පොලිස් ස්ථානය එහෙම තැනක්. මාස පහකින් විතර මාමාට ආරාධනාවක් ආවා ඥාතීන් ඉදිරිපත් වෙලා ඉන්න නිසා මරණ සහතික නිකුත් කරන්න කියලා. අනික මිය ගිය අයට රජය විසින් දෙන වන්දිය නිසා මරණ සහතික ගන්න ඥාතීන් උනන්දු වුනා. රක්ෂණ හිමිකම් ලබා ගන්නත් ඒක ඕන.

අපි දින ගණනාවක් උදේ හිටන් රෑ වෙනකම් ම මීටියාගොඩ පොලීසියේ සිට රාජකාරි කළා. "2004.12.26 වන දින මුහුද ගොඩ ගැලීම නිසා මුහුදු රැල්ලට අසුවී දියේ ගිලී හුස්ම හිරවීම" කියන වගන්තිය මට අමතක නොවන ම වගන්තිය. අපි ලියන හැම මරණ සහතිකයක ම ඒ වාක්‍ය මරණයට හේතුව ලෙස ලියවුනා. මෙහෙම ලියලා නිල මුද්රා තබන ලද ලේඛන 500ක් දිනකට කොළඹින් සූදානම් කරගෙන ගියත් ඒසියල්ල ඉවර වෙනවා. ආයෙත් ඉතිං ලියපන්කෝ??? සුනාමි මරණ වෙනුවෙන් මාමා අලුත් මරණ පරීක්ෂක අංකයක් TS 01 සිට ආරම්භ කළා. අපි අන්තිමට සහතික නිකුත් කළේ 2006 ජනවාරි මාසෙ දී. ඒ වෙද්දි අනුක්රමික අංක 10 000 පසු කරලා.

අපි ළගට ඇවිත් අඩන මිනිස්සු එක්ක අඩන්න ඕන වුනත් හිත තද කරන් මැෂින් වගේ ඉන්න අපිට සිද්ධ වුනා. අපේ මාමට නම් ඒ මරණවල ඒ හැටි අමුත්තක් නෑ. නමුත් මට නම් හරිම අපුලයි. එක තරුණ කොල්ලෙක් මරණ සහතික 13ක් අතේ තියාගෙන අඩනවා. එයාගේ පවුලෙන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. "අනේ සර්... මටත් මරණ සහතිකයක් ලියන්න" කියලා ඒ තරුණයා කියනවා මට තාමත් ඇහෙනවා ව‍ගේ. අපිට කවුන්සලින් යුනිට් එකක් ඇති කරන්න එදා නම් බැරිවුනා. නමුත් ඒ වගේ ව්‍යසනයක දී ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මානසික වශයෙන් ආතතියෙන් මුදවන්න ඒ වගේ උපකාරයක් අවශ්‍ය යැයි කියලා මට දැන් හිතෙනවා.

මගේ සුනාමි මතකය ඒවගේ මහ තිත්ත ම තිත්ත එකක්. අර බැකෝ වලින් මිනී වළලද්දි නම් මට ඇඩුනා. හරිම අවාසනාවන්ත මරණයක්. දැනටත් මං ගාලු පාරෙ යද්දි ඒ පොදු සුසාන දිහා බලන් යනවා. අද නම් ඒවා පේනතෙක් මානයක නෑ. මේ ඔක්කොට ම හේතුව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කරුමෙ කියලයි මාම නම් කියන්නෙ. අම්බලන්ගොඩට කිරි හට්ටි සැපයීම කරන්නෙ එයාලු.
මඩකලපුවේ කිරිහට්ටි වෙළදාම නිසා හැමදාම කෝච්චිය පරක්කු වෙලා තමයි එතනින් අද්දන්නෙ. ඒත් ඒ ඉරිදාවෙ වැඩියෙ කිරි හට්ටි තිබුණෙ නැති නිසා වෙලාවට ම ගිහින් තියෙනවා. අනික අර කෙල්ලෙක් එක්ක ගිහින් සීට් එකේ හිටියෙ නැති ඔෆිසර් වුනත් හරියට රාජකාරි කළා නම් මරණ ප්රමාණය අඩු කරගන්න තිබුණා. කොහොම වුනත් සුනාමිය කියන්නෙ මහ එපා කරපු ව්‍යසනයක්. නපුරු හීනයක්. හැබැයි යළි ගොඩ නැගෙන සුනාමියෙන් බැට කාපු ජීවිත මං දැක්කෙ මට්ටක්කුළියෙ දී. ඒ අපේ අම්මා නිසා.

සුනාමි පවුල් ගණනාවක් මට්ටක්කුළිය පුස්තකාලය ඇති ප්රජා ශාලා ක්රීඩාංගනයේ පදිංචි කරවලා හිටියා. ඒ අයට වියලි සලාක දෙනවා. පස්සෙ රතුකුරෙසෙන් ටෙන්ට් දෙනවා. ඊටත් පස්සෙ ලෑලි වලින් නිවාස හදලා දෙනවා වගේ ම 2007 දී ඔවුන් යළිත් පදිංචි කරවනවා මං බලා හිටියා. අපේ දුම්රිය සේවකයනුත් සුනාමිය වෙලාවෙ වටිනා රාජකාරියක් ඉෂ්ට කළා. හැබැයි දැන්නම් අපි ඉන්දියාවෙ ඇස්පෙසලිස්ට්ලා ගෙන්වලා තියෙන නිසා ඒ උන්දැලා ඕන නැතිවෙයි. කලින් කිව්වා වගේ මේ කතාව පරණ තුවාල අලුත් කරවන්න පුළුවන්. අනේ එහෙම නම් මට සමාවෙන්න....


 


 


 

Thursday, December 16, 2010

මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!

විශ්ව විද්යාතලය නිල වශයෙන් විශේෂවේ දී දෙවන සහ තෙවන වසරවල සිසුන්ට හා දෙවන වසර සිසුන්ට තහනම් කලාපයක් බවට ප්රකාශ කරන ලද්දේ ඊයේ (15) සවස ය. සිද්ධිය සැල කළ මාමා පසු දින ඔහු හා රාජකාරී කටයුත්තකට ආරාධනා කළේ ය. දැන් විශ්ව විද්යාසලය වසා ඇති බැවින් ඇරයුම පිළිගතිමි. පසුව පවුලේ වටමේසයේ දී කතාව ඇදී ගිය අතර අයෙක් “ඔය ජේ.වී.පී කාරයො නැත්නම් මුකුත් නෑ” යැයි කීහ. ඒ කතාව මට ටිකක් වැදුන බැවින් මෙසේ ලිවීමට සිත්වූ අතර මේ සියල්ල මා දරනා පුද්ගලික ආකල්පය සේ සැලකුව මනාය. ඊට විරුද්ධ වීමට ඔබට ශුද්ධ වූ අයිතියක් ඇත......
මාතෘකාව ජ.වි.ප ය වූ බැවින් එයින් පටන් ගනිමු. ප්රථම කඩයිම් ප්රශ්නයයි. මේ කියනාකාරයට කැලණිය විශ්ව විද්යා.ලයේ ජේ.වී.පී ය ක්රියාත්මක ද? මගේ සෘජු පිළිතුර නම් කැලණියේ ජ.වි.ප ය වළදමා බොහෝ කල් ගොස් ඇති බවයි. නමුත් එහි මරණ සහතිකය අභ්යීන්තර සිසුන් ලෙස අපි බාහිර ලෝකයාගෙන් වසන් කරමු. ඒ ජෙප්පන්ට සාමාන්ය. ජනතාව බිය යැයි දක්වන හණමිටි ගණන්කාරකම නිසා දැයි මම නොදනිමි. නමුත් විප්ලවවාදියා පයිසයකට ‍හෝ ගණන් නොගන්නා යුගයක තරුණ ජේ.වී.පී ගැටවුන් මොන කජ්ජක් ද?
උපතින් ම කොළ අලියෙක් වූ මා අවම වශයෙන් සරසවියේ දී හෝ පොද්දෙක් ජෙප්පෙක් වීමට සිහින මැව්වෙමි. ඒ ජ.වි.පයේ කැට හොල්ලන හෝ අන්තරේට කඩේයන්නෙකු වශයෙන් නොව මාක්ස්වාදය, සමාජවාදය නැතිනම් මානවවාදය, පුනරුදය ආදී කාරණා ගැන යම් දැනුමක් ලැබීමේ අභිලාශයෙනි. එහෙත් එහි කිසිදු තැනක කිසිවෙක් එවැනි ගැඹුරු දර්ශනයන් ගැන සාකච්ඡා නොකරන අතර අපේ විප්ලවාදී අදහස් සියල්ල ජිම් කැන්ටිමේ එල්ලා ඇති ලෙනින් මාර්ක්ස් ආදීන්ගේ ‍ඡායාරූප සමූහයටත් “අප මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය.” යන සිල්ලර ප්රකාශනයටත් ලඝු වී ඇත. මේ කාරණා දෙක සහ නිතිපතා දර්ශනය වන කේඩෑරි සටන්පාඨ ගත් අන්තරේ විශාල පුවරුව හැරුණු කොට කැලණියට පිවිසෙන ඔබට එහි සුවිශේෂී ජ.විපෙ බලකොටුවක් යැයි නොසිතෙනු ඇත. තත්ත්වය මෙසේ බැවින් එහි ජ.වි.ප ය ක්රියාත්මක බව කීම මහා මෝඩකමකි.
නමුත් ජ.වි.ප ය සම්බන්ධ මගේ එක්තරා පැහැදීමක් ද ඇති බව කිව යුතු ය. ඔවුන්ගේ විවේචන මම අගය කරමි. (සියල්ල විචේචන වලට සීමා වේ.) බල්ටි නැත-විසිල් පමණි. සත්යඔ දැන ගන්නට විදේශ නාලිකා නැරඹිය යුතු ලංකාවේ ඔවුන්ගේ පුවත්පත තරමක සත්යේ හෙළි කරන බැව් කියමි. ඒ මා ය. මගේ පියා නම් කිසි දිනක ඔවුන්ට ඡන්දය නොදෙනු ඇත. මා කුස හොවාගෙන ගිනි ගන්නා කිරිබත්ගොඩ නගරය මැදින් නිවසට පැමිණියේ මා නොවේ. රාජ්ය දේපල ගිනි තබනු බලා සිටියේ මා නෙවේ. පාන් පෝලිමේ රස්තියාදු වූයේ මා නොවේ. සීමාසහිත පිරිසකට ඇරයුම් කර පැවති විවාහය මගේ නොවේ. ඒ සියල්ල අපේ පරම්පරාව වෙනුවෙන් ඔවුන් විදි දුක් ය. මා ඒ කිසිත් නොදන්නා නමුත් අවසාන විග්රහයේ දී මේ වචන ටික ලියා තබමි. “ජේ.වී.පී එක කියන්නේ කවමදාකවත් ලංකාවෙ බලයට එන්නෙ නැති එන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති කාලකණ්ණි පක්ෂයක්” මේ කතාව ඔබ ද අඩු වැඩි වශයෙන් අසා ඇතුවාට සැක නැත. එහෙත් නියමාකාරයෙන් නිරීක්ෂණය කරන්න මේ බව කියන්නේ තරුණ අප නොව දැන් මැදි වියට ආසන්න පිරිසක් පමණි.
අපි සියල්ලෝ ම ධනවාදී අර්ථ රටාවට පුරුදු වූ අප තුළ සමාජවාදී අදහස් වගා කරන්නට යාම තවත් ගොන්කමකි. සියල්ල වෙනස්වන විට සරසවි සිසුහු ද තම ආකල්ප වෙනස් කරගත් හ. ජ.වි.ප ය සුදු අලියෙකු වූ කල ඔවුහු 2005 දී එක රොත්තට සාටකයේ එල්ලුණේ විලාසිතාවට මෙනි. යුද්ධය දිනාගත් පසුව විශ්ව විද්‍යාලය තුළ එකදු ජෙප්පෙක් දක්නට නොලැබුණි. අද රටේ උද්ඝෝෂණ කරන, කැරළිකාරී හෝ මොනයම් හෝ විරුද්ධ ක්රියාමාරගයක් ගන්නා සියලු සරසවි ශිෂ්යින්ගෙන් අසා බැලුවහොත් ඒ බහුතරය ඡන්දය පාවිච්චි කළේ මහ එකාට ය. කැලණි සරසවියේ සිසුන් බොහෝ දෙනා මර්වින්ගේ ගැන්සියේ නිත්යු සාමාජිකයෝ වූහ. මුලින් වලිවලදී හැප්පුනු එම පිරිස් පසුව එක ම සාදයේ දී නැටුම් ගැයුම් කළහ. එක බෝතලය ‍බෙදාගත්හ. “මචං මූ එදා අපේ හතුරා... දැන්නම් බුදු බොක්ක” යනුවෙන් කියමින් අප පැමිණි ගම්වාසීන් සමග ඇතිවූ ගැටුමේ දී ඉදිරිපෙළ සිටි ආධාරකරුවෙක් හදුන්වා දෙන ලද්දේ මා මිතුරෙකි. ඉකුත් ජනාධිපතිවරණයේ දී සියලු සිසුන් ඉල්ලා සිටියේ මහඑකාට මිස ජෙනරාල්ට නෙදෙන ලෙසයි.
දැන් මහඑකා යකා වී ති‍බේ. අපේ පාළුයකා වී තිබේ. සියලු උපකුලපතිවරු පිම්පියන් ලෙස මහින්ද සූත්තරයට නටනවා විනා ස්වාධීනව ක්රියා නොකරති. ඇත්ත වශයෙන් ම එසේ කළ නොහැකිය. අද ඇත්තේ ජේ.වී.පි ය හා සිසුන් අතර ගැටුමක් නොව මහරජා ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ගැටුමකි. එහි පාට නැත. අන්තරය නැත. ඇත්තේ යටත් වී දිවි රැක ගන්නවාද විරුද්ධ වී මිය යනවා ද යන්න තෝරා ගැනීම පමණි. සමස්ත වශයෙන් ලංකාව පුරා ඇත්තේ මේ තත්ත්වයයි. වරදාන මත දුවන බෙලහීන රජයකි අද අපට ඇත්තේ. තීරුබදු 50% අඩුකර වාහන දෙන්නේ ඒ නිසා ය. චන්ද්රිකා තම වැන්දඹුකම පෙන්වා යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය දිනා දකුණට සිග්නල් දමා වමට හැරෙව්වා සේම මහ හූරා කන්න දුන් පතේ පැහැරීමට වැඩි වෙලා නොගත්තේ ය. පුද්ගලික විශ්වි විද්යාේලය පිහිටුවේ එහෙයිනි. රටේ පාලකයා ගැන නම් මට දුකය. එය වෙන ම කිව යුතු කතාවකි. රට රටට ඇග විකුණා මුදල් ගන්නා හිගන්නෙක්, දොඩම්ගොඩ බදා ගත් තම්බියෙක්, කේවට්ටයන් මහවුසදයන් පිරිවර කරගෙනත් ලොව ඉදිරියේ නිතිපතා හෙළුවෙන් සිටින රජෙක්???? ඒ වූ කලි කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතු තත්ත්වයකි.

විභාග ප්රතිඵල නිකුත් වී ඇත.


සාමාන්‍යයෙන් අපේ ගෙදර ඕනෑ ම දේකට මුද්රිත දැනුමක් තියෙන බව පිළිගැනීමකට ලක් වෙච්චි කාරණයක්. බුද්ධිමය දේපල බල්ලට දාලා උපුටා ගැනීම් සදහා අවසර ඇති එක ම ස්ථානය කියලත් බෙ‍හෝ දෙනා දන්නවා. ඔය හදිස්සියට අපේ නෑ, වේ පිරිස් වලට නිබන්ධනයක් පැවරුමක් ඕන වුනොත් අපේ ගෙදරට කෝල් කරලා එකක් ගෙන්වා ගැනීම සේවාදායකයන්ට පුරුදු වෙලා. ඒ පුරුද්ද අපිට ආවෙ අපේ අම්මා ඒවා සංරක්ෂණය කරන්න පටන් ගත්තු නිසා. දැනටත් අපි ප්රින්ට් කරන හැම නිබන්ධනයක් ම ඩීවීඩී කරලා තියලා ඕන වුනොත් නැවත ප්රින්ට් කරවනවා. අපිට දැනට විවිධ විෂයගත පාසල් පැවරුම් දෙසියයකට අධික ගණනක් තියෙනවා. මේවායින් ඇතැම් ඒවා එක රැයකින් උසස් පෙළ ව්‍යාපෘති වෙන වෙලාවල් නැතුව නෙමෙයි.

නමුත් කොපි කළත් හරියට ම වැඩේ කරවන්න අපි උනන්දු කරවනවා. මොකද නැත්නම් උන් නාගන්න නිසා. උදාහරණයක් විදියට අපේ අක්කගේ එන්. අයි. බී. එම් නිබන්ධනයක් කොපි කරපු බුවෙක් මෑතක දී ඉල්ලන් කෙළවගත්තා. ඒක අපේ එකතුවේ තිබුණේ කොහොම ද දන්නෑ. අවාසනාවට අපිට අක්කට කතා කරන්න බැරිවුනා. අර යක්සයා පටුන කියවලා අරං ගිහින් එහෙමම දීලා. බලද්දි සමහර යුනිට්ස් ඒ අවුරුද්දෙ උගන්නලත් නෑ?????

මේ වගේ තවුසන්ඩ් ඩොලර් සිද්දියක් අපේ අධ්‍යයන අංශයේත් උනා. විභාග කටයුතු සම්බන්ධයෙන් අපේ අංශයට තියෙන්නෙ එච්චර හොද අතීතයක් හේම නෙමේ. උදාහරණයක් හැටියට ගිය සෙමෙස්තරයක අපේ විසිටින් ලෙචෙක් උගන්නලා. ළමයි දැන් විභාගෙට ඉගියක් හේම ඕනැද කියලා අහලා මිනිහා හදන්න ඉන්න ප්රශ්න වලින් පුංචි ඉගි දුන්නා. අපි දේශන ඉවර වෙලා වැඩකට කාර්යාලයට ගියා ම ලෙචා වාඩිවෙලා ඉන්නවා. මෑන්ස් නිකමට ව‍ගේ ‘දැන් පේපර් එක හදලා භාර දෙන්න තියෙන දවස කා.කා.ස ගෙන් ඇහුවා ම මිනිහා ලෙචාට මරු ටෝකක් දුන්නා..... “ආ, සර් ගෙනත් දෙන්නකෝ මං හිතන්නේ දිනේ නම් පහුවුනා. ඒත් අපි ඔක්කො ම පේපර් යැව්වනේ. මමමයි ගෙනිහුන් දුන්නේ???” ඉතිං අයිසේ උගන්නපු මං නෙමෙයි ද පේපරේ හදන්නේ?????

හැමදාම මෙහේ මෙහෙමයි. සිලබස් එකට පෙපර් එක හැදෙනවා. ලෙචා උගන්නපුවාගෙන් වැඩි දෙයක් නෑ.... අපේ එක පෙ‍්පරේක ප්රතිඵල නිකුත් කරලා හෙඩි සයින් කරලා බෝර්ඩ් එකට දාලා තිබුණලු. නමුත් ඒ විෂයේ අපි කිහිප දෙනෙක්ගේ ඉදිරිපත් කිරීම් Presentations තාම පවත්වලා නෑ. ඒ වගේ ම එක ශිෂ්‍යාවකගේ ලකුණු විස්සක නිබන්ධනය වෙනත් විෂයක නිබන්ධන සමග මාරු වෙලා වෙනත් ආචාර්යවරයෙක් වෙත ගිහිල්ලා. අපේ හැමෝ ම දන්න නිසා සර් කෝල් කරලා අර කෙල්ලට කිව්වලු ඇගේ නිබන්ධිකාව ගෙනියන්න එන්න කියලා. ඈ කැම්පස් පටන් ගත්ත ම එන්නම් කිව්වට මොකෝ නිබන්ධිකාව නැතුව ම ප්රතිඵලත් නිකුත් කරලා. දවස් දෙකක් තිබුණ ප්රතිඵල ලේඛනය අද (13) උදේ නවයහමාර වෙද්දි ගලවලා තිබුණා. විභාග නොකළත් රිසල්ට් දෙන එක ම විශ්ව විද්‍යාලය කැලණිය වෙන්නැති මයෙ හිතේ????? අනේ මේක අවාසනාවට සත්‍ය කතාවක්. ජාතික සරසවියක අන්තර්ජාතික වැරැද්දක්!!!!!!!!!!!!!

Wednesday, December 15, 2010

අන්තරාභවය..


ඇවරියා කියන්නේ ලිහලා බලන්න තිවයන දේ ඇණලා බලන ජාතියේ පොරක් කියලා දැන් දන්නවා ඇතිනේ. ඔන්න ඔය කාරණේ නිසා ම තාමත් ඇකඩමික් පටන් නොගත්තත් සදුදා දවසේ කැම්පස් යන්න හිතුවා. ඔන්න ඉතිං හැමදාම වගේ රටේ ලෝකෙ හැමෝට ම වෙලාවට සෙට් වෙන්න කියලා ඇවරි පැයක් හමාරක් ප්රමාද වෙලා කැම්පස් මංගැච්චා.
අද අපේ අක්කගේ වෙන්ඩ පුත්ර රත්නයට ආරක්ෂාවට කියලා වරු පිරිතක් කියෙව්වා. උදේ ම ෂංගරතනය ඩිලිවරි කරන්න සෙට්වු‍නේ ඇවරිට. ඇවා ඉතිං කෘතහස්ත බවුද්ද දායකයා නිසා වැඩේ සෙට්වුනා. කියපු විදියට මාත් පාන්දරින් ම පන්සලට ඇඩ්මිට් වුනාට මොකෑ හාවුදුරුවො පේන්න නෑ. මං ආවාසෙට ගියා. ඇරුණු දොරින් මං දැක්ක ගමන් "අම්මට සිරි අද එහේ පිරිත නේද?" කියලා කියපි. මටත් හිනා. එහෙයි අවසර දත මැදලා වඩින්න කියලා මාත් දන්ගෙට ගියා. ඒ වැඩේ කොරලා අපේ මාමගෙන් වරුවක අධ්‍යයන නිවාඩුවක් අරං තමයි මං කැම්පස් ගියේ. මේ දවස්වල අපි මැරිච්ච සේවාදායකයන්ටනේ වැඩ. ඒ වග වෙන පෝස්ටයකින් කියන්න බැරියැ.
කැම්පස් එක පට්ට වෙනස් වෙලා. දැන් පුද්ගලික විස්ස විජ්ජාලයක් ගානයි. ඇතුල් වෙද්දි ම ටිකක් නුහුරට තේරේවි. මනා පාලනයක් ඇති බව හොදට තේරෙනවා. කාටවත් පිස්සු නටන්න බැරි බව ලෙසට ම දැනෙනවා. හරියට අර අධි ආරක්ෂක කලාපයකට ඇතුල් වුනා වගේ. ගේට්ටු වල දී අයි.ඩී බැලිල්ල පට්ට සිද්ධිය. ඒක හැමදා‍ම කළොත් හොදයි. එතකොට අපිට අයි ඩී බෙල්ලේ එල්ලන් එන්න බැරියැ. හික්ස්.... ම් තව අපේ පැකලටියේ එක ගේට්ටුවක් පහළ පිවිසුම තාම වහලා නිසා පුදුරු මං පෙත් අවහිර වෙලා කියලා දැනුනා.
ම්.... මාස ගානකින් කැම්පස් එකට පය ගැහුව ම හතර වරම් වගේ පේන්නේ බත් ගන්නත් අයි.ඩී පෙන්නන්න වුනාමලු. ඒකත් සංවර්ධනාත්මක පියවරක්. හැබැයි දැන් පුස්තකාල පරිශ්රය සපුරා වසා දමා ඇති නිසා පෙම්වතුන් පමණක් එහි ගැවසෙනවා දකින්න පුළුවන්. අන්න ඒක සාධනීය තත්ත්වයක්. අපිට සයිබාව එතෙන්ට ම ගේන්න පුළුවන් නම් නිදහසේ ප්රේම කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න පුළුවන් වෙයි නේ. එතකොට අර ගහලා තියෙන "මෙහි ලිංගිකත්වය බල්ලන්ට පමණයි" කියන එක ඉස්සරහින් ම ගහන්න බැරියැ. වී.සීටත් පේන්ඩ??? තව පොලිස් කුක්කො ටිකකුත් ඇවිදින් හිටියා. හැබැයි අද එක ම ජීප් එකක්වත් දකින්න පුළුවන් වුනේ නෑ. එතකොට... ඉස්සර මුරපොල තිබුණේ ජිම් එකට පිවිසෙන පළමු ගේට්ටුව ළඟනේ... මට තේරෙන හැටියට දැන් ජිම් එකට පිවිසෙන ගල් පඩිපෙළ ළඟ හැමදාම පිළිගැනීමේ නිලධාරියෙක් විදියට ආරක්ෂක සේවකයෙක් ඉදීවි.
කටකතා සහ දූෂමාන ආරංචි වලින් කැම්පස් එක පිරිලා. ඒ අතරින් හොද ම කටකතාව විදියට මං ඇහුවෙ "වී.සීගෙ ලිස්ට්" එක ගැන කතාව. ආරංචියේ හැටියට නව අධ්‍යයන වර්ෂයට ලියාපදිංචියේ දී ලිස්ට් එකේ නම ති‍බුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කරනවලු. එතකොට අපිටත් ජ'පුර වගේ දියුණු වෙන්න පුළුවන්නේ???
දැන් සියලුම හොස්ටල්වල කාන්තාවො ඉන්න නිසා කැලණියේ පුරුෂාධිපත්‍ය නැති වෙයි කියලා එක කෙල්ලක් කිව්වා. හැබැයි කොල්ලො ටිකක් ප්රවේසමෙන්.... අහලා බැලුවොත් හොස්ටල් නොලැබුණු පළමු වසර කෙල්ලක් නැති තරම්. ඒක අලුත් ආරම්භයක් වේවි. අපේ අයියලාටත් වැඩ ලේසියි නේ.... මං කියන්නේ සියල්ල අත ළඟනේ??? ඒ වගේ ම කාමර. කවුරු කොහොම කිව්වත් බෝඩිම් කාමර ඇති තරම් තියෙන බව ඇවරි කියනවා. හැබැයි පහසුකම් ගැන මං කතා කරන්නෑ..... ඒත් හොස්ටල් යද්දිත් අයි.ඩී බලන නිසා දැන් තෙවන වසර සහෝදරත්වය බෝඩිම් හොයන්න පටන් අරං.
රැගින් ගැන කියන්න තරම් දෙයක් නෑ. නමුත් පුද්ගලිකව රැග් කිරීම දකින්න පුළුවන්. මේ සදහා හොද ම තැන වෙලා තියෙන්නේ ආර්ට්ස් එකේ අර අලුතින් හදපු වැසිකිලිය ආශ්රිත ප්රදේශය. මං හිතන්නේ ඒක හෙට දවසේ හොද නවකවධාගාරයක් වේවි කියලයි. මේ පාර සාපේක්ෂව රැගින් අඩු වුනත් කොල්ලන්ට බේරෙන්න බැරි වේවි. කියන්න කණගාටු කාරණය කොල්ලො විතරක් පළමු වසර කියලා පේන්න කමිස ඇදලා යට කරලා එන එකයි. කෙල්ලන්ව නම් හොයාගන්න බැහැ. පරිපාලනයට මේක නවත්වන්න ම ඕන නම් ‍Dress Code Casual කියලා උන්ට කියන්න තිබ්බා. මේ පාර අපිට ඉන්නේ එච්චර රැග් වෙච්ච දෙවන වසර පරම්පරාවක් නෙමෙයි. ඒ නිසා ම ඇරියස් කවර් කරන්න දත කන හිස්ටීරියාකාරයෝ දකින්න නැති වේවි.
එතකොට කාගෙ කාගෙත් මහ ගෙදර වෙච්චි ජිම් එක ඇරලා. හැබැයි සමහරුන්ගෙ තිප්පොලවල් ‍වුණ එහි එහා පැසේජය තාමත් වහලා. ජිම් එකේ කන්න බොන්න නම් මුකුත් තිබුණේ නෑ. මේ තත්ත්වය ගොඩක් සතුටු දායකයි. හැබැයි නියම කතාව තේරුණේ අපි විද්‍යාපීඨයට ගියාට පස්සේ. අපිට ඇකඩමික් පටන් ගත්තත් ඉතිං වැඩ කරන බව තේරෙන්නෑනේ. අපි නිකන් ආබස්සර බඹ ලෝකෙන් බැහැලා වගේ එහෙ මෙහෙ පාවි පාවී ඉදලා සයන්ස් එකට විසිට් එකක් දැම්මා. කැම්පස් එකේ ඉන්නෙ කියලා තේරුණේ එතකොට. එහේ විද්‍යාගාර, දේශන ශාලා සියල්ල පිරිලා, බරාදයන්ගේ ළමයි යන සාද කතා ඇහෙන ජීවී ලෝකයක් එහි තිබුණා. මහ මූසල පාළුවකින් වෙලාගත්ත අපේ පීඨ හරහා ඇවිදලා විද්‍යාපීඨයට ආවා ම මාර වෙනසක් දැනුනේ. එහි සියල්ලෝ ම වැඩ. අපි තාම වැඩ අල්ලන්න හිතනවා??? මේ වෙනස නියමාකාරයෙන් අවුරුද්ද පුරා ම දැනේවි!!!

Friday, December 10, 2010

සුඹුලකටාන විස්ස විජ්ජාලෙ උනත් ඉල්ලපන් ජ’ පුර නැතුව ??

ජපුර ගැන කතා කරලා වැඩක් නෑනේ. කොහොමත් මේ ලංකාවේ කැම්පස් ගැන කතා කරලා වැඩක් නෑ. ඒවයෙ මහ ඇත්තො ගැන කතා කරලා ම වැඩක් නෑ. කොළඹින් ශානිකා ඇන්ටි කරන තරමක් ගොන්කම් කරන්නෙ. හැබැයි පහුගිය දවසක යුරෝපා සංගමයේ ශිෂ්‍යත්ව කිහිපයක් දිනා ගන්නට ඈ සමත් වුන බවත් කියන්ඩ ඕනෑ. මේ උප කුලපතිලා බුරුතු පිටින් මහින්දගෙ සාටකේ එල්ලෙන අය. ශිෂ්‍ය මර්දනය කියන්නෙ ඒ අටය අනිවාර්යය කටයුත්තක්. පුද්ගලිකව මං දන්න කාරණේ නම් මේ නාකි මිනිස්සු හරි ම අසරණයි.

මං කැමති ම උපකුලපති නම් කරන්න කිව්වොත් මං කියන්නෙ සබරගමුවෙ උපකුලේ ගැන. ලොකු නෑ කමක් නැතත් එතුමා කෙළින් වැඩ කරන වී.සී කෙනෙක් කියලා ප්රසිද්ධියක් තියෙනවා. තව කැලණියෙ අපේ ලොක්කක් හරි ම ලිබරල් වැඩ පිළිවෙළක් ගෙනියනවා. එයා මර්දනය කරන්නෙ පුංචි පුංචි විදියට. ලොකු ලොකු ගේම් ගහන්න යන්නෑ. ඒකනෙ අපි සරත්ට ආදරේ. උදාහරණෙකට කිව්වොත් කැම්පස් ළමයින්ගෙ මතය පිටට යයි කියලා මෙච්චර කල් ඔය පෝස්ටර් අළවපු මහජන බැංකු තාප්පය මේ අය සිමෙන්තියෙන් පිරියම් කරලා තියෙන නිසා නැවතත් කිසිම පෝස්ටරයක් ඒ බිත්තියේ ගහන්න බැරි වේවි. හරි ඒ තාප්පය නම් මහජන බැංකුව සතු දේපළක් කියන්නකෝ. ඒත් විද්‍යාපීඨ තාප්පය කෙළවරත් ඒ ආකාරයට ම සකසා තිබීමෙන් වී.සී ලොක්කගෙ උපාය වැරදි බව පේනවා.

දැන් මෙතනදී බැංකුව විසින් මේ වැඩේට යොදාගත් බාසා ම විශ්ව විද්‍යාලය විසින් ද යොදාගත්තා වෙන්න බෑනේ. වෙන්න පුළුවන් දෙය වී.සී ලොක්කා විසින් ම මේ කටයුත්ත සිදු කිරීමයි. ආ අපේ කැම්පස් එකේ තවත් තැනක් ‍කුලියට ලබා දෙන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒ අපේ වී.සී තුමාගේ සංකල්පයක් මත නවීකරණය කර ඉදිකෙරුණු ජ්‍යෙෂ්ඨ පොදු කාමරය කියන පුස්තකාලයට නුදුරු බිල්ඩිම. ඒක හැදෙන කාලෙ ඉදල ම ඇවරි හරි ම උනන්දුවෙන් හිටියේ. දවසක් සේවයෙක්ට කියලා දෙවන මාලයට නැංගත් එක්ක. හැබැයි ගිය සෙනසුරාදා ඇවරිට එහි යන්න අවස්ථාව උදා වුනා. ඒ අම්මගේ පශ්චාත් උපාධිය නිම කිරීමේ සාදය එහි පැවැත්වීම නිමිත්තෙන් තිබූ සාදයට සහභාගී වෙන්න ලැබුණ නිසා.

මේ ස්ථානය අවම මිලට (රු 1000/=) එවැනි කටයුතු සදහා ලබා දෙන්න පරිපාලනයේ අදහසක් තියෙනවා. දැක්ක ගමන් ඇවරිට හිතුනේ පුංචි පබ් එකකට වගේ අයිඩියල් තැන. ලොබියක් සහිත මේ බිම්කඩට කැම්පස් එකත් හොදින් පේනවා. මේකෙ පුංචියට හරි රෙස්ට්ටුරන්ට් එක්ක තිබ්බ නම් නියමයි කියලා මට හිතුනා. (හැබැයි මේ ස්ථානය දිවා කාලයේ රෙස්ට් රූම් එකක් තමා) අපිටත් මේක වෙන් කරගන්න පුළුවන් ද කියලා බලන්න ඕනෑ. හ්ම් අර මං ගියයි කියපු පාර්ටිය නම් මෙලෝ රහක් නෑ. ඔන්න සර්ලා කස්ටියට ම විස්කි එකයි. විස්කිය ලෙචාලා බාගෙට ගහලා ගියා ම ළමෝ ටික ඉතිරිය ගැහුවා. නාකි විසේ නේ??

කො‍හොම නමුත් අර අපේ ‍ගොනා අපිට හොදා කියනවා වගේ වී.සී උත්තමයා අපිට ම ගැලපෙනවා. එයාගේ මාළිගාව ගැන නම් රට්ටු කතන්දර කියනවා. ඒත් අපිට මොකෑ. හැබැයි අර තාප්ප සිද්ධියෙන් නම් එයා බලාපොරොත්තු වුනේ මොනාද මන්දා. ඔන්න ඔය වගේ පුංචි වැඩක් ඇති මෑන්ස්ගෙ කොටුව ගහලා යන්න. අපේ බුවාස්ල රිටන් දෙද්දි බලමුකෝ..................??