Friday, August 21, 2015

රෝමියෝ අරවිදාලංකාරය හෙවත් හෙවත් ෂ්... සද්ද එපා ජනේලෙ අරින්න

ඇවරිතුමාගේ කාර්ය බහුලත්වය මත බොහෝ සලාද ලිවීම අතපහු වුනත් ලැබුණු කාර්යාලයීය විවේකයේ කඩිනම් සලාදයක් කොටන්න හිතුවා. ඇත්තට මට කාර්යාලයේ සදාල ලිවීම ඉතා පහසුයි, මොකද අයිස් ගහන අස්සෙ මං වැඩක් කරන බව ලොක්ක තුමාට පේනවනේ..ලොල්
කේක් ගෙඩියට වැට බැදීම - කලාබූෂණ ඇවරියා විසින් සිදු කළ පින්බර මොහොත!
නිමිත්ත අපේ ගංගා කුමාරිකාවගේ උපන්දින සාදය. එතුමියගේ ප්‍රිය වල්ලභ තෙමේ අපේ අචාන්දර හඳසියපත් තුමා තමන්ගේ හද පත්ලෙන් බුර බුරා නැගෙන ප්රේම ගංගාව එම මැතිනියට දනවනු පිණිස සූජානම් කොර තිබුණා වූ මාහැඟි කුසල කර්මයට අපිටත් අත ගහන්න පුළුවන් වුනා. චිලීගේ අභිරහස් උපන්දින සැමරුමෙන් පන්නරය ලද අරවින්ද හඳසියපත්ට තමන්ගේ හෝනේවාලී පත්නී ගංගාවන් වෙනුවෙන් විවාහයට පෙර සමරන අවසාන උපන්දිනය විශේෂයෙන් සමරීමට අවශ්‍ය වුනා. ඉතිං රෝමියෝ අරවින්ද කුමාරයා මේ ගැන මුලින් ම කතා කළේ ඇවරිට. අවුලක් නෑ අපි වැඩක් කරමු. අනිත් අයටත් කියන්න. එදා අපිට කිසිදු වගකීමක් නොදුන්න අරා ස්වයං කැපවීමෙන් සියල්ල සූදානම් කරලා තිබුණා. අපිට තිබුනෙ වැඩේට එන්න විතරයි.

මං සුපුරුදු පරිදි නයිට් විෂන් දාගෙන කඩවතට ඇවිත් සෙට් වුනා. ඒ සිකුරාදා රාත්‍රියේ මුල්ම සප්‍රයිස් එක ලැබුණෙ මට. මං මාෂිට කතා කළා. දැන් කොහි ඉන්නෙ කියලා අහන්න. අනේ මං එන්නෑ බං... හෙට උදේ ම ලෙක්චර්ස් යන්න වෙන නිසා මං නැවතුනා. නාලක නම් ඇති. ඉන්න මං එයාට ගන්නම්. හුකෑස්.. ඒකත් ජය සිරි මංගලම් කියමුකෝ. තොටයට ගත්තා ම ඒ සැණින් අරාගේ මණ්ඩිය මං ළඟට ආව. දොර ඇරියා ම මේන් මාෂි කාර් එකේ... සතුට වැඩිකමට මට කෑ ගැහුනා. එසැණින් චිලීත් රුචිර අයියාත් ඇවිත් අපිට ඉස්සරහින් නැවැත්තුවා. ඇවරි කෑ ගහගෙන ඒ කාර් එකට ගොඩ වෙද්දි එතන හිටි තරුණ ජෝඩුව තක්කු මුක්කු වෙලා බලාන හිටි බව මතකයි. හැබැයි ඉස්සරහින් නවත්තපු කාර් එකට නගින්න පස්සට ගියේ ඇයි කියලා කවුරුත් අහන්න එපා හරිය...

වදින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීම..
අපි කිරිල්ලවල බලා ගමන් කලා. ඔය අතරෙදි අපේ බුවාලා සුපුරුදු වරදක් කරලා. අපි සාමාන්‍යෙයන් වෘත්තිය ඡායාරූප ශිල්පීන් පිරිවරා ඉන්න පිරිසක් නේ... නමුත් කොහේ හරි යද්දි පුරුද්දක් වශයෙන් උන්ගෙන් මේ එකෙක් හරි කැමරාවක් ගෙනාව ද? ගෙනාපු කැමරාවෙ බැටරි තියෙනවා ද කියලා අහන එක පුරුද්දක් වෙලා. අර වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්න වගේ මුං ගාව කොයි වෙලෙත් තියෙයි කියලා හිතන්න අමාරුම දේ කැමරාව. කොහේට හරි ගෙනිච්චා කියමුකෝ. ඒත් කැමරාව ඩිකියේ. ආයෙත් කාර් එකට වරෙන්කෝ ඒක ගෙනියන්න. ඔය වගේ අපේ පොටෝ කැචර්ලා කියන්නේ සුපිරි පන්නයේ ආතල් සම්පාදනය කරන පිරිසක්.

එදා කැමරා අලකලංචියට මුල පිරුවේ කතානායක රෝමියෝ කුමාර ම තමා. ඇමතුම තොටමුණගෙන්... මචං මේ මාර සීන් එක කැමරාවෙ බැටරි බැහැලානේ බං. අපි අරාලගේ ගෙදර ගිහින් ඩබල් එකේ බැටරියක් ගේන්නම්. උඹලා නවත්තගෙන හිටපල්ලා. ඔය කොළේ. දැන් දොළහට කාලයි.

අපි ගංගලගේ පාරටත් හරවලා, ඉස්සරහට ගිහින් නවත්තන් හිටියා. පහුවදා මෙඩිකල් තිබුණ නිසා රුචිර අයියාත් අමාරුවෙන් හිටියේ. ඒ දෙන්න නින්දෙන් ඇහැරිලා ඇවිත් තිබුණෙ. බලපන්කෝ මුංගේ වැඩ. එක්කො ටිකක් කලින් කිව්ව නම් මං හරි කැමරාව ගේනවනේ...?? ටිෂූ කඩදාසියකට කබ පොට්ටනියක් කඩා ගන්න අතරේ චිලී කිව්වා.
මධ්‍යම රාත්තිරි දොළහට මිනිත්තු කීපයක් තියෙද්දි අපි ගංගාවන්ගේ නිවසට සේන්දු වුනා. ගිය ගමන් අපි හොර අඩි තිය තිය වත්ත මායිමට ඇතුළු වුනා. ඉස්සරහ ගෙදර මිනිස්සු ජාම වෙලාවට මේ මොකා කියලා බලන්නා වගේ ලයිට් දාලා අපේ වැඩේ ජල්තරස් කරන්න උත්සහ ගත්තා රෝමියෝ අරවින්ද මන්තරයක් මතුරපු නිසා බයට ම ඒ මිනිස්සු දොර වහගත්තා. අරා හොඳම මන්තරේ දෙසා වදාරන්න පටන් ගත්තේ ඇවරිතුමාට.. අනේ බං... විජහට ඔය කේක් එක සරසලා ගනින්... අපි දැනටමත් පරක්කුයි.

වැල යන පැත්තට ගහ උලුවස්සා කිව්වාලු. රෝමියෝ අරා ඉටිපන්දම් හැට හුටාමාරක් අරං ඇවිල්ලා.. ඇත්තට ම ගංගා මෙච්චර වයස ද මචං..? මං ප්‍රායෝගිය පුරස්නයක් ඇහුවා නැත්නම් ඒ ඉටිපන්දම් තිහ ම කේක් ගෙඩියෙ කොටන්න ඕනැ ද දන්නෑනේ..?? නෑ නෑ අපි වටේට විතරක් ඉටිපන්දම් ගහමු. ඒ ඔවදන මාෂියෝනාගෙන්. මාත් හා කියල බාර ගත්තා. අන්තිමේ දී අර ලස්සන කේක් ගෙඩිය වටේට කම්බි වැටක් ගහල වගේ ඉටිපන්දම් ගහලා.

දැන් ඉතිං මේක පත්තු කරගෙන අපි වත්ත මැදින් ගියොත් හොල්මනක් කියලා ඒ මිනිස්සු හිතාවි. එතනට ගිහින් පත්තු කරමු. අපි තීරණයක් ගත්තා. අන්තිමේ දී අපි වත්තට ඇතුළුවන මායිමට ගිහින් කඩිනම් සැලසුමක් ගැන හිතුවා.

අරා තමා දැන් අණ දෙන නිලධාරී. අර පේන්නේ ගංගාගෙ ජනේලෙ අපි දොරින් යනවා ද? ජනේලෙ ඇරියාම සප්‍රයිස් කරනවා ද? අරා සීරියස් පිට ඇහුවා.  

ඒකෙ ඉතිං ලොකු සප්‍රයිස් තියෙන එකක් යැ බං. තොටමුණ කට කොණකින් හිනා වුනා. උඹ හැමදාම ගංගාගේ කාමරේට ජනේලෙන් පනින එකේ අද කියලා මොන වෙනසක් ද? උඹට පුරුදු වුනාට අපිට ජනෙල් වලින් පැනලා පුරුදු නැති නිසා දොරනේ ම යමන්. කස්ටිය වත්ත ඉස්සරහා නැවතිලා සුදම් සබාවක් පවත්වන අතරේ ගේ ඇතුළෙන් කවුද කවුද කියලා සද්දයක් ඇහුවා.!!

මේකට කොටු දාන්න ඕනෑ වෙයි ද?
ඒ එක්ක ම ගංගාගේ කාමරෙත් ලයිට් වැටුනා. ආනේ හොරා.. ඒත් කවදාවත් නැතුව අද දොළහට ම විෂ් කරද්දි මං හිතුවා මොකක් හරි ඇති කියලා. අපි කේක් එකත් අරං ගේ ඇතුළට ගියා. ගංගා මැතිනියගේ පියාණන් අපිව සාදරයෙන් පිළිගත්තා. රාත්‍රී මෙහෙයුමේ රහසිගත ඒජන්ත ගංගාවන්ගේ මල්ලි තුමාත් අපිට එකතු වුනා. කේක් කාල, කතා පවත්වලා, තේ බීලා හේම අපි අවසානෙට ගෙදර යද්දි පාන්දර දෙකට කිට්ටුයි. රෝමියෝ අරා තුමාගේ කැමති ම පාට සෝස පාටට නිසා සියලු ම තෑගි සෝස රැපින් වල ඔතලා තිබුණා.

අනේ බලන්න හව් ස්වීට් ආහ්... අරා කේක් ගෙනත් තෑගි අරං සියල්ල සූදානම් කළා වගේ ම අපිට කන්නත් අරං ඇවිල්ලා. මේ මහ රෑ ඔයාලට කරදර කරන්න බෑනේ ගංගා. මං කන්න බොන්නත් අරං ආව.. ලොලේ ලොල්.

බලපන්කෝ ඉතිං ගංගා අරවින්දව මකවලා හදපු හැටි... ඕකනේ කියන්නේ හොඳට හරි නරකට කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්න ඕන.. මාෂියෝනා උදාන වාක්‍යක් ප්‍රකාශ කළා. ඔව් ඔව් කොල්ලන්ට නම් හොඳට.. බැඳපු අපිට හැම විට ම නරකට.. තොටමුණ ආදිපාද ඌණ පූර්ණයක් දුන්නා. කේක් කැවීමෙන්, බීම පෙවීමෙන් හටගත් සකල කුසල පුන්‍ය සම්භාර ධර්මය රෝමියේ අරවින්දානන්දට සහ ජුලියටෝ ගංගාවන්ට අනුමෝදන් කරමින් නිද්‍රා මරගාතයේ බඹමින් ඇවරිතුමා නිවසට සම්පාප්ප වුනා.

පසු කතාව
පහුවදා මං ඇදෙන් නැඟිට්ටේ අපේ කුළඟන සමිතියේ සභාපතිතුමියගේ ඇමතුමකින්. තාම බුදි ද? දැන ගෙන අහන්නේ ඉතිං.. මේ ඊයෙ අරා මාර වැඩක් නේද කළේ. දැන් මොකක් ද මාර වැඩේ? ඇයි ඌ සුපර් මෑන් වගේ ලන්කට් එක උඩින් ඇඳන් ආව ද? නෑ අනේ බලන්නකෝ අරවින්ද එච්චර රොමැන්ටික් සූකිරි කුක්කෙක් කියලා අපි නිකමටවත් හිතුවද?
අනිවා... ගංගාට කියන්න ඕන ඌව කූඹිච්චියන්ගෙන් පරිස්සම් කරගන්න කියලා. අනේ පලයන් යන්න. අන්න බලපන් ආදරවන්ත සුවාමිපුරුසයෝ.... ඇමතුම විසන්ධි වුනා..

ඊළඟ ඇමතුම කුළඟනේ භාණ්ඩාගාරිකතුමියගෙන්. ඊයෙ රෑ අරා මනමේ කුමාරයාට ම ඇන්දා නේ බං.. නෑ.. ඒකනේ ඌ මනමේට ඇඳලා එද්දි ගංගා හවුස් කෝට් එක පිටින් හිටපු එකයි අවුල. අනේ මේ බලපන් උඹලා සේරගේ ම කාර්ඩ් කුඩු. අරා තමයි ජාතිත් ආදරවන්තයා.
.

මං කළුබෙරියා ජංගමදුකේ කෙටි පණිවිඩ බැලුවම ඒ හැම එකක ම අරා ගැන කියලා තිබුණා. යකෝ මූ එක පාර්ටියෙන් සෑහෙන්න ළකුණු දාගෙනනේහ්...!! අපේ හඳසියපත් චන්දරේ සත්‍ය ප්‍රේමය් භෘංග රාජයා හෙවත් අමරණීය රෝමියෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔයාකාරයට තමා.         



කට කණේ කියන්නේ මේවාට....

3 comments:

  1. අන්න සප්‍රයිස්....................

    ReplyDelete
  2. Next post will be Ava's best surprise ever :D

    ReplyDelete
  3. Next post will be Ava's best surprise ever :D

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....