Monday, April 3, 2017

ථොක ථොකං ඛණේ ඛණේ හෙවත් ගැ/පි/ම/ප පන්තියේ ලැයින්කිරිල්ල

ඇවරිතුමා පස්ට පන්චුවල් නිසා ගිය අවුරුද්දේ පෝස්ට් පබ්ලිෂ් වෙන්නේ දැන්, ඒ කිව්වේ 2017 පළමු කාර්තුවත් අහවර වුනාට පස්සේ. මේවා ලියලා තිබුණට අප් කරලා නැත්තේ වෙලාවක් නැති කමින්. කෝම නමුත් මේ පෝස්ටුව ගිය දිසැම්බරයේ ලියවුන බව හිතාගෙන කියෙව්වනම් හරි....!!!!!


පහුගිය ඉරිදාවේ දහම් පාසල් දරුවන්ට නිවාඩු දුන්නා. ඇවරිතුමා ඉතිං කවදාවත් වෙලාවට කලාවට ඒ වැඩවලට නොයන නිසා අඩුම වසයෙන් අවසාන දවසේවත් වෙලාවට යන්න හිතාගෙන ටිකක් කල් වේලා ඇතිව නැගිට්ටා. ඇවරි මාතාවත් එදා ප්‍රාන්තයෙන් පිට හිටි නමුත් ඇමතුමක් දීලා ඇවරිතුමා ඇහැරවලා තිබුණා. ආයෙ ඇවරිමාතාගේ රේඩාරය රජ දහනෙන් පිට හිටියත් වැඩ ඉතිං. ක්වික් රෙෆරන්ස් ම තමා.

2016 ඇවරිතුමාගේ දහම් පාසල් චාරිකාව ගැන තරමක සාධනීය වාර්තාවක් ලබා දෙන්න පුළුවන්. ඊට හේතු වුනේ ඇවරි ඇල්මෙන් දහම්පාසල් යාම නෙමෙයි, සහෝදර ගුරුතුමී අංශ ප්‍රධානී චන්දිමා මැතිනියගේ නොපැමිණීම. විවාහප්‍රාප්ත වුනාට පස්සේ පදිංචිය වෙනස් වීමත් එක්ක චන්දිමා මැතිනිය දහම් පාසල් ගමන නවත්වනවා. ඉතිං ඇවරිතුමාට කලින් අවුරුදු වල ඇරියස් පිටින් කවර් කරවන්න සිද්ද වෙන්න බොහොම සෝචනීය ආකාරයට පින්වතුනි. ඉස්සර ඇවරිතුමා උයන්කෙළියට ප්‍රාන්තයෙන් පිටයන කාලෙදි චන්දිමා මැතිනිය ඇවරිගේ පන්තියත් බාර ගෙන සෑහෙන්න හොඳ සහයෝගයක් දීලා තියෙනවා.

කොටින් ම ඇවරිතුමා මාතලේ හැදුවා මම ගේ තට්ටු කියාගෙන, කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු කියාගෙන ආසික් එකේ කොටු පනින කාලෙ, ජස්ට් අ මැටර් ඔෆ් ෆෝන් කෝල් නිසා ම, “මැඩම් අද මං මාතලේ...!! පීස් හෙට ගිහිල්ලා පන්තිය කරන්න.“ කිව්වම “මෙහෙම බෑනේ නලින ඔයා රට වටේ ම උඩිච්චියො එක්ක සවාරි යන්නයි, එතකොට මං ගිහින් පන්ති දෙකක් එකට දාලා උගන්නනයි සාධාරණ නෑනේ??“ ආදී වශයෙන් මේඝ ගර්ජනා පවත්තලා ඒ මදිවට හිටන් ජාතිය ඇමතීමේ හේෂාරාවයත් පවත්වලා කරලා කාරිය බර බරේ දැම්මාට සනුහරේ එක පන්තියට දාලා, ඒ ඇත්තී මගේ දරුවො ටිකත් අපූරුවට බලාගන්න බව ඇවරි ඇස්දැකීමෙන් දැනගෙන හිටියා.

අවුරුදු විසි ගාණක් ම නිස්සරණාධ්‍යාෂයෙන් දහම් පාසල් ගුරු සේවයේ හිටි ඇයට පන්ති දෙකක් කරනවා කියනේ කිරි කජු වැඩක්. ඉතිං දෙවැනි වාරයේ සිට ඇය දහම් පාසල් නොපැමිණීම පිළිබඳ ඇවරි කිසිම කහටක් නැතිව ඇගේ පන්තියත් භාර ගත්තා. එදා උදේ වරුවේ අපි අවසාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. සවස් වරුවේ පුංචි ප්‍රයිවෙට් වැඩක් කළා. පන්තියේ ළමයි හතළිහක් එක්ක එක්සර්සයිස් එකක් කළාම ඒක ප්‍රයිවෙට් වැඩක් වෙන්නේ නෑනේ ඇවරිතුමෝ. එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගානවාද මන්දා?? ලොල්

ඒක ප්‍රයිවෙට් වෙන්න තමුන් ගැන අහන නිසා. අර බුකියේ සෙයාර් වෙන පෝස්ට්වල වගේ ඔයාටත් සුපිරි ම ළමා කාලයක් තිබුණා නම් මතක ඇති අපි ගැ/පි/ම/ප කළා. දැන් එහෙම සුප්පා සුපිරි ළමා කාලයක් නොතිබුණ සසුන් ලැදි, දෑ හිතකාමී, සුපේෂල අම්බරු රත්නයන් සහ එම රත්නාවන් මගෙන් අහපල්ලා ඒ මොකා ඒ යකෝව් කියලා..?? දෙන ලද අකුරකින් පටන් ගන්නා ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, රටවල්, පත්තර, චිත්‍රපටි වගේ දේවල්වල නම් ලිවීම තමා මේ සෙල්ලම. මුලින් ම ලියා අවසාන කළ තරඟකරුවා සීයට ගණන් කරන අතරේ අනික් අයට ලියන්න පුළුවන්. ඉවර වෙන අයත් ගණන්කරන්න එකතු වෙනවා. සීයට ගැන්නා ම කාලය අවසානයි. කෙනෙක් ලියපු පිළිතුර තවත් කෙනෙක් ලියා ඇත්නම් ලකුණු පහයි. නැත්නම් දහයයි. 

ඉතිං ඔය ගම් වගේ ලියද්දි පානදුර වගේ දන්න කියන ගමක් නොලියා පදියපැලැල්ල වගේ සුඹුලකටානට කිට්ටු හද්දා ඩොටේ නමක් ලියන්න කස්ටිය පරිස්සම් වෙනවා. ඔය සෙල්ලම දහ දොළොස් දෙනෙක් ඉද්දි කළාට හතළිහක් පණහක් ඉද්දි කරන්න අමාරුයි. අනික ඉස්සර අපිත් සෙල්ලම් කරද්දි කස්ටිය එවෙලෙට ලියලා උත්තර දෙන වෙලාවල් වගේ දූෂණ අක්‍රමිකතා හේමත් වාර්තා වුනා. විශේෂයෙන් ම අපේ චමිත අයියා, ඒ වගේ විසමාචාර්යන් සඳහා නම් දැරූ අංකූරෙක්.

එදා අපි කළේ මම ගැන ටෝක් ෂෝ එකක්. අතිශය රහසිගත තමුන් ගැන වාර්තාවක්. කොටින් ම තමුන් කවුද කියලා තමුන්ට ම හොයාගන්න පුළුවන් වැඩක්. වැඩසටහන මෙහෙයවන්නා වන ගුරුතුමාත් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලියනවා. හැබැයි කාගෙවත් උත්තර කාටවත් පෙන්නන්න කවුරුත් බැඳිලා නෑ. දහම් පාසල නිසා ඒ ප්‍රශ්න දහමට ටිකක් බර කරලා දෙන්න ඇවරිතුමා උත්සුක වුනා. උදාහරණයක් විදියට මට වැඩියෙන් ම තරහා යන්නේ? මම වැඩියෙන් ම කඩන සිල්පදය? තහර ගියාම මං කරන්නේ? අන්තිමට කෑගහලා ඇ‍ඬුවේ? අන්තිමට කරපු මතක හිටින පින්කම? වගේ මහ අංජබජල් කර්පට් ප්‍රශ්න තිබුණ සෙෂන් එක්ක ඒක. අන්තිමට කියවපු පොත? කැමතිම පාට? ආදී සාමාන්‍ය ප්‍රශ්න ඇතුළත් කොටසකුත් ඒ ප්‍රශ්නමාලාවෙ තිබුණා. ඒකෙන් ළමයා ගැන සාමාන්‍ය අදහසක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කොටස අපිට දෙන්න ඕන. මොක ද ළමයින්ට පුද්ගලිකව අපි කතා කරද්දි ඒ අය ගැන පුංචි දැනුමක් අපිට ඒකෙන් ලැබෙන නිසා. අනික් ටික තමුන්ට ගෙදර ගෙනිහින් පරිස්සමට තියලා තව අවුරුද පහකින් අරගෙන බලන්න කියලා ඇවරිතුමා ළමුන්ට යෝජනා කළා.

ඉතිං ළමයි ඔයාලට ම බලාගන්න පුළුවන් තව අවුරුදු පහකින් ඔයා හොඳ මිනිහෙක් වෙලා ද නැත්නම් තවත් නරක ඇට්ටරයෙක් ඇට්ටරියක් වෙලා ද කියලා. ආලෝකයෙන් අන්ධකාරයට ගිහිල්ලා ද නැත්නම් අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා ද කියලා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. මට ආලෝකෙ ගෙනදේවි ජෙනරේටරේ නිසා ඕවත් ප්‍රස්න ද නේ ළමයි? ආදී ජෝක්ස් එක්ක වැඩේ සීරීයස් ගියා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. සමහර විට තව අවුරුදු පහකින් දැන් ඔයාගෙ ලොකු ම රහස එච්චර ලොකු දෙයක් නොවේවි. අද ලියන රහස අනිත් අයටත් පෙන්නලා ඔයා හිනාවේවි. සමහර විට එචාට ඔයාට ලෝකෙන් වසන් කරන්න බොහෝ රහස් තියෙන්නත් පුළුවන්. හැබැයි කාටහරි එදාට දැන් මට ලෝකෙන් වසන් කරන්න එච්චර ලොකු රහසක් නෑ කියලා කියන්න පුළුවන් නම් එයා ගොඩක් හොඳ ළමයෙක්. මොකද දරුවනේ රහස් කියන්නේ බොහෝවිට හොඳ දේවල් ගැන නොවන නිසා. ඔබ විවෘත වෙන තරමට ඔබේ හොඳ බොහෝ දෙනා දකීවි.

ළමයි කොච්චර ඒ ප්‍රශ්න මාලාවට ආසා කළා ද කියනවා නම් සර් තව ප්‍රශ්න දෙකක් අහන්න වගේ ඉල්ලීම් කළා. එතකොට ඇවරිතුමා ඇහුවේ එක ප්‍රශ්නයයි. ජීවිතේ කවදා හරි දවසක කවුරු හරි ඔයාලගෙන් මේ ප්‍රශ්න අහලා තියෙනවා ද කියලයි. බොහෝ දෙනා කීවෙ නෑ කියලා..! කමක් නෑ පුතාලා දැන් මං ඇහුවනේ. තේරුම් ගත්ත ද තමුන් කොච්චර හොඳ ද හෝ නරක ද කියලා. මතක තියාගන්න පිරිසිදු බව හෝ අපිරිසිදු බව තියෙන්නෙ තමුන් අතේමයි. “සුද්ධි අසුධ්ධි පච්චත්තං- නාඤ්ඤමඤඤෝ විසෝධයේ“ ඔබත් මමත් ඇතුළු අපි හැමෝ ම අත්තෝ අසුද්ධා වුනාට බහි සෝබමානා ටයිප් මිනිස්සු. ඇතුළෙන් කුණු වෙලා හිත් අපිරිසිදු වෙලා, වෛරයෙන් වියරු වැටිලා ඕජස් ගලනවා. හරියට හන රෙදි වලින් ඔතපු මළ සිරුරු වගේ.  නමුත් එළියෙන් හැමෝටම පේන්න කසී සළු වගේ සැහැල්ලුවට ජීවත්වන බව පෙන්නනවා. කසී සළු දන්නවනේ? සිනිඳුයි දෙපැත්ත පේන තරම්. ඉතිං ඔබගේ කළු චරිතයක් කියලා, ඔබේ හිතේ ලෝබ, ද්වේෂ, මෝහාදී කෙළෙස් බොහෝයි කියලා පසුතැවෙන්න කොහොත්ම එපා. ඔයාලා අහලා නැතුවත් ඇති,



වැහි වලාකුළ පෑ කළු යැයි ඔබේ
නොහොබිතියි කිසිලෙස් නොසතොස් නොවන්
සිරුර පෑයෙනු ගත් සුදනෝ ලොවේ
නොහඳුනත් උතුමන් ගුණයෙන් විනා

බලන්න වැහි වළාකුළත් එහෙනම් කළුපාටයි නේ. නමුත් එයා තමා වැස්ස ගේන්නේ. ඒවගේ මිනිසුන් උතුමන් වෙන්නේ ඔවුන් තුළ ඇති ගුණයෙන් මිසක් පෙනුමෙන් නොවේ. දැන් ඔයාලගේ රිද්මෙට රොක් කළොත් මේම කියතෑකි.

කාලේ මේතෝ ක්‍යාහුවා දිල් වාලේ හේයි
තේරේ තේරේ තේරේ චාන්දනි වාලේ හේයි
මද සඳෙන් තවත් සුපුන් සදක් උදාවේ..// හොයි හොයි

මං කළුවුනාට මොකද හවතක් තියෙනවා කියලයි කියන්නේ. ඔබේ චන්ද්‍රයා මමයි. හරියට අභ්භා මුත්තෝච චන්දිමා වගේ. නැත්නම් වළා ගැබෙන් මිදුන සඳක් වගේ. තාමත් පරක්කු නෑ, චුට්ට චුට්ට නරක අඩු කරගන්න උත්සාහ කරන්න. හරියට අර රන්කරුවා රිදියෙහි මළ අරින්නාක් වගේ. (කම්මාරෝ රජතස්සේව - නිද්ධමේ මල මත්තනෝ) ඇවරිතුමා තමුන්ගේ කී නෝට් ස්පීච් එක අහවර කළේ කොල්ලො කටවල් ඇරන් සීතල වෙලා ඉද්දි. සාමාන්‍යෙයන් පන්තියේ දී සින්දු කියලා, බයිට් කරලා පිස්සු නටවලා තමුන්ගේ ළමයින්ව ඕන තැනට ගෙනල්ලා හෙළට පලච්චාවෙ කියලා තල්ලු කරන එක ඇවරිතුමාට සාමාන්‍ය දෙයක්. හැමදාම දහම් පාසල් ආව කියල තේරුමක් ම නෑ. අඩුම තරමේ එකෙක්වත් තමුන්ගේ ජීවිතය වෙනසක් කරගත්තා නම් අපේ කාලයට සාධාරණයක් ඉෂ්ට වෙනවනේ.


මේ අවුරුද්දේ ඇවරිතුමාට කරගන්න බැරි වුනේ බේබීස් ඩේ අවුට් එක විතරයි. ඒකත් කූල් ප්ලෑනක් 2017ට පෝස්ට්පෝන්ඩ් හැබැයි. තවත් හැපනින් ඉරිදාවක් අහවර වුනේ ඒ විදියට. දහම් පාසලේ හිටි ඇවරිතුමාට සෙනිකෙට ආපු කෝල් එකක් නිසා සෑහෙන්න හැපී එකක් ආව. ඒ සෙනික ඇමතුම් සලාදය පසුව බලාපොරොත්තු වන්නලු හොඳේ..!!

ප.ලි - අර උඩ සින්දුවේ ඉස්සර ජනප්‍රිය ලින්ඩ්සේ බාලිකා වර්ෂන් එකක් තිබුණා අපේ රුසිරු අරුණෝදි අක්කා නිතර කියපු.
මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ //
අපි බඳිමු ඕන කෙහෙම්මලක් උනාවේ //
ඕනෙනම් තවත් ඩිවෝස් එකක් උනාවේ හොයි හොයි//

3 comments:

ලිඛිතා said...

:-)

ඉයන් said...

නියම පෝස්ට් එකක් ඇවරි

මට ආලෝකෙ ගෙනදේවි ජෙනරේටරේ ++++++++++

Pra Jay said...

++++++++++