Friday, January 27, 2017

උදේ දළදා රෑට සිරිපා හෙවත් Cast Away සින්ගල් අඩව්ව..!!




තිලිණි මැතිණියගේ අයදමින් කුරුණෑගල ප්‍රයාමය නිමාවට පත් කරලා ඇවරිතුමා කෙළින් ම ගිරා මාරු වුනේ තමුන්ගේ පුද්ගලික චාරිකාවට සාමාන්‍යයෙන් එක ට්‍රිපක් අහවර කරලා තව ට්‍රිපකට සෙට්වීම ඇවරිගේ ඉතා ප්‍රකට පුරුද්දක්. ඇවරිගේ පෙර ට්‍රැවල් හිට්ස් හැටියට අපේ ටුවරිස්මුස් සෙට් එක සීගිරියේ සිතුවම්ගේ ගෙදර ගියපු දවසෙත් එක රැයක් ඉඳලා අනෙක් දවසේ සවස වෙලේ එල්ලේ මැච් එකකුත් ගහලා, ගමේ කොල්ලන්ට පැරදිලා යාසෝ කැලුම් වර ජෝතිය ජයෙන් උදාරයි කියාගෙන, එදා සවස් ජාමේ තමුන්ගේ ගජේ පොරවල් සිටි අනුරාධපුර රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ නේවාසිකාගාරයට ගියා මතකයි.

අපි අනුරාධපුරේ පූජා නගරය බයිසිකල්වලින් කරුණා කරලා කි.මි 60කටත් එහා තිබුණ මින්නේරියෙන් නාන්න බයිසිකලේ ගාටන්න ගත්තේත්, අන්තිමේදී දිවුල්ගස් වැවෙන් නාලා, අලි පාරට ආපු නිසා කට්ට කෑවෙත්, කඅලුතා මහතා ඩී90 බස් හෝල්ට් එකේ දමා ඇවිත් යාපනේ හන්දියට මහා සයිකල් ධාවනයක් දැම්මෙත්, මහ රාත්තිරියේ බස් නැවතුමක් ඉස්සරහ ඇවරිතුමා ඩිප්ස් ගහන්න තියා ගත්තෙත්, ඔය ඔක්කොමත් කරලා හිටන් ක්ලෝසා අපි හිටපු කාමරේ යතුර පරිස්සමට කියලා කොළඹට ම ගෙනාවෙත් ඒ චාරිකාවෙ තමා. කවදාවත් කස්ටිය ට්‍රිපක් ප්ලෑන් කරද්දි තමුන්ට බෑ කියලා නොකියන ඇවැරි එක චාරිකාවක් අහවර කරලා හෝ එහි මගින් හෝ අනිකට සෙට් වෙන්න හරි දක්ෂයි.

සිරිපා කරුණාව ඇවරිගේ ඇනුවල් ඉවෙන්ට් එකක්. ආයෙ කොහේ නොගියත් සිරිපාදෙ යනවා නම් අවුරුද්දට කී සැරයක් වුනත් කාරි නෑ. අවස්ථා දෙකකදී එක ම අවුරුද්දේ දි දෙවර බැගින් කරුණා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් ආසයි. අවසාන වශයෙන් සිරිපා කරුණා කළේ අපේ පවුලේ උදවිය සමග නෑයන් හා වේයන් සමග කළ සිරාපා කරුණාව කියලා පෝස්ටුවක් ඇති මයෙ හිතේ. ඇවරිට අමතක නොවන සිරිපා සටහන් අතර කෝඩු කරුණාව, බාලදක්ෂ කරුණාව, ප්‍රේම කරුණාව, සහයක ඩැනී කරුණාව, වේයන් හා නෑයන් කරුණාව ප්‍රධානයි. හැබැයි එදායින් මෙදාවට කළ හොද ම කරුණාව තමා පැය දෙකක් තුළ මළුවට ම කළ 2016 හුදකලා කරුණාව.

කෝඩු කරුණාවෙදි අපි මළුවේ කාමර අරන් නැවතිලා හිටියා. ඒ ගැන පරණ පෝස්ටුවේ ඇති. බාලදක්ෂ කරුණාවෙදි සීත ගගුලේ ඉදන් මකර තොරණ ගාවට ආපහු ඇවිත් යන්න වුනා අපේ කොල්ලෙක් දාලා ගිහිල්ලා. තව ඒකේදි සොදා අයියා ඇවරි නිදිමතේ ෆුට් බෝර්ඩ් යද්දි කෝච්චියෙන් වැටෙන්න ගියා ම අල්ලාගෙන පණ බේරුවා. සහයක ඩැනී කරුණාව නම් ඉල්ලා ගෙන කෑමක්. ඇවරිගේ එක්ස් ඇවරි හාමිනේ එක අවස්ථාවක පුද්ගලික හේතුවක් මත තවත් කෙනෙක්ගේ සහායට යන ගමනක් සදාචාරාත්මක නොවේ යැයි කියමින් සිරිපා කරුණා නොකරන හැටියට බලවත් ඉල්ලීමක් කරනවා. සැදැහැති බෞද්ධ කාන්තාවක් වන හිටපු ඇවරි හාමිනේ එහෙම කියන්නේ සිරිපා කරුණාවට ඇති අකමැත්තට නොවෙයි. හුදෙක් ම ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා. නමුත් ඇවරිතුමා ඉතිං ලොකු සීන් නේහ්. ඉට්ස් ඕකේ බේබි කියාගෙන ඒ කරුණාව තමුන්ගේ අතිජාත මිත්‍රයාගේ සහයකයා හැටියට යනවා. නයිට් මේල් එකේ ගිහිල්ලා කට්ට හීතලේ හැටන් ස්ටේසමට වෙලා හාමිනේගේ ද්වේෂසහගත කෙටිපණිවිඩ කියවමින් තමුන් විහින් කරගත් ගොන්කම ගැන චිත්තාපර වෙමින් මදුරුවන් තලමින් මිත්‍රයා සමග කෝපි බිව්වා තාමත් මතකයි. කරුණාව හොදට කෙරුණත් පහුවදා අධි චෝදනා පත්‍රයක් විභාග කෙරුණාම තමා ඇවරිට වරදේ බරපතලකම තේරුණේ.


හැබැයි අද අවුරුදු විසි නවයේ දී තේරෙන හැටියට ඒ වරද වුනත් හුදෙක් ම සිරිපා කරුණාවට තියෙන නොනිමි ආශාව නිසා සිද්ධ වුන දෙයක් මිසක් හාමිනේ කියපු දේ නොසලකා හැරීම නිසා සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි. ඇවරි හිතන හැටියට ආයෙත් හදා ගන්න තියෙනවා නම් නොකරන ඓතිහාසික වැරැද්දක් තමා ඒ. මොකද ඇවරි එක කාන්තාවකගේ කුරිරු සතුටක් වෙනුවෙන් ගරුකටයුතු කාන්තාවක් තිදෙනෙකුගේ සතුට නැති කළා. හදවත කොනේ මා කදුළක් තියෙනවා කිසිදාන නොපැතූ - නොසිතූ ලෙසේ කියන්නේ අදටත් ඒ පසුතැවිල්ල තියෙනවා. කිඹුලි කන්න පැන්නේ ගගට බැස්ස නිසාය කියමුකෝ ආයුබෝන්. ඒත් කොහිල කටු ඇණෙනවා ඉවසන්න බැරිය කියන්නේ මගේ මිත්‍රයාට ඒ ගැන වගේ වගක්වත් නැති වීම නිසා. මොන ජීවිත ද චාමර මෙව්වා? සිරාවට ඒක නම් දුර දිග නොහිතා කළ පජාත ම වැරැද්දක්. ප්‍රේම කරුණාවෙදි නම් ඒ විදියට අමනාප වූ හාමිනේ පද්මෙට ම කරුණා කළා. ඒක ඇවරි වැඩිම කාලයක් ගත කළ කරුණාව. නඩේ ඈයො අරව කළා ඉදිකටුපානේ දී කියන්නේ, සෙනග වැඩි වෙලා ඉදිකටුපානේ නැවතිලා නිදාගත්තත් මතකයි. එහි බොහෝ සැමරුම් අදටත් තියෙන එක සතුටක්. විශේෂයෙන් ම පඩි නඟින සාම චෛත්‍යය පාරේ මතක.

වේයන් හා නෑයන් එක සුපර්බ්. සම්පූර්ණ වගකීම් දරන්නා හැටියටත් නඩේ ගුරා හැටියත් කළ ඒ කරුණාවෙදි මුළු නඩයක් සතුටු කරන්න හැකි වීම සතුටක්. අනික එච්චර අඩු වියදමකින් තිස් පහකට වේල් හයක් කන්න දුන්නා කිව්ව ම ඇත්තට ම පුදුමයි. නමුත් ඇවරි බොහොම සාර්ථකව ඒ අභියෝගය ජය ගත්තා. තනිව නෙමෙයි. ඒ වගේ හිතපු ගොඩාක් දෙනාගේ උදව්වෙන්. පවුලේ උදවිය අතර බොහෝ ප්‍රසිද්ධ කොණ්ඩයියාහ්.. ජුන්ඩට හීතලයි!! කතාව මේ කරුණාව හා සම්බන්ධයි.  

දැන් ෆ්ලෑෂ් බැක් අහවර කරලා මේ කාලෙට එමු. හිතුමනාපෙට ගියපු ඒ ගමන ඇත්තට ම උපරිම ෆන් සහගතයි. තනිව තමුන් කොච්චර ශක්තිමත් ද කියලා බලන්න තමා ඒ ගමන වැඩියෙන් යොදා ගත්තේ. තවත් 2017ට හොඳ පටන් ගැන්මක් සටහන් කරන්නත් ඒ වගේ වැඩක් හරියයි කියලා හිතුවා. ගමන පටාන් ගත්තෙ නුවරින්, කුරුණෑගලින් නුවරබස් එකක නැඟලා පට්ට නිදිමතේ හීත කාගෙන ආපු ඇවරි ඇහැරුණේ අලුත ඇරපු තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක හරියෙදි. ඒ වෙනකොට නුවර ඇහැරුණා විතරයි. ඒ ලංගම බසයේ කොන්දොස්තරවරයා තිලවර්ධන සාප්පුව ගැන දීපු කොමෙන්ට්ස් ටික ඉස්තරන්. අපරාදෙ කියන්න බෑ මහත්තයෝ නුවරටත් සිංහල රෙදි කඩයක් ආව. පහුගිය දවස්වල ඔතනින් යන්න බෑ සෙනඟ කන්දරාව. ඒ මිනිස්සු අවුරුදු ගාණක තොග අඩුවට ම දීලා ඉවර කරගත්තා. අපේ කට්ටිය ලෝක අවසානෙ වගේ ඇදුම් ගත්තේ.

මාළිගාව බහින්න කිව්ව ම ඇවරිත් මෙලෝ සිහියක් නැතුව බැස්සා. සිරිපා කරුණා කරන්න යන ගමනේ උදේ වරුවේ මාළිගාව වැඳලා බදුලු කෝච්චිය අල්ලගන්න වෙලාව තිබුණා. ඇවරිතුමා හිත පුරා දළදා වැඳලා, පිරිත් කියලා, නාථ දේවාලයට පඩුරු දාලා කාරිය වැල් බෝධියට ගියා. ඒක අපේ ගංගා මැතිනිය ඇවරිට ඇති කරපු පුරුද්දක්. එතුමිය ඇගේ හැම උපන්දිනයකට ම නුවර වැල් බෝධියට කිරිපිඩු හදාගෙන එනවා. ඉහළ ම මාලෙට නැඟලා පෝ අත්ත ළඟින් ඔළුව නවාගෙන, මුලින් ම වැල් බෝධින නාවන්න එක්ක ගියෙත් ගංගාවෝ ම තමා. ඒ හොඳ පුරුද්ද වෙනුවෙන් ඈට පින්. එදායින් පස්සෙ අඩු ම විනාඩි තිහක්වත් ඇවරි ඒ භූමියේ ගත කරනවා. බොහොම නිස්කලංක තැනක්. වාසනාවක් තිබුණොත් අලියත් බලාගන්න පුළුවන්. ඊළඟ වන්දනාව සංචාරක තොරතුරු කේන්ද්‍රය. එහි ඇවරිගේ සරසවි මිතුරිය මුණගැහුණා ම වන්දනා කටයුතු නිල වශයෙන් ඉවරයි. ඊළඟට උදේ කෑම. ඒකට ඇවරි යන්නේ ඇවරිගේ කැමතිම වේටර්වරිය සිටින සිංහල කඩේකට. ඒ හරියෙ පේස්ට්‍රි කඩ ටික නම් ඇවරිට අමතක නොවෙන්නේ හාමිනේ එක්ක මෙගා රොමයක් ඉන් එකක දී ඇදගත් නිසා. ඇවරිගේ චොයිස් එක වේටර්වරුන්/වරියන් සුදු කළු ඇඳුමින් සැරසී සිටින වඩා හොඳ සේවාවක් ඇති බොහෝ නිස්කලංක තැනක්. සාමාන්‍යෙයන් ඇවරි රාජකාරී වැඩ සමගින් අවම විනාඩි හතළිස් පහක් ඒ පතරාසය ගන්න බව සේවිකාව දන්නවා. තෝසෙ, ඉඳිආප්ප, පරාටා, පිට්ටු එකින් එක වෙන වෙනම ඇණවුම් කර කන්න පුළුවන්. කෝමත් මගේ තැන නිසා ඇය බොහෝ කරුණාවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන පමාවෙන් සපයනවා. විශේෂයෙන් ම උණු වතුර.

ඉක්බිති මහා නිෂ්ශබ්දතාවයක් වගේ විශාල කල් මැරීමක්. උඩරට කලා සංගම් ශාලාව ඇවරි කාලෙ කන්න කැමතිම තැනක්. අලුතින් ආපු නා නා විධ මෝස්තරවල අත්කම් නිර්මාණ බලබල ඒ ශිල්පීන් එක්ක කතා කරමින් ඇති තරම් වෙලාවක් කාලෙ කන්න පුළුවන්. වැව වටේ යන්නත් වෙලා තිබුණ නිසා ඇවරි ඒ වෝක් එක කළා. මල්වතු හාමුදුරුවන්ගේ පන්සලකුත් තියෙනවා ඇවරි නිතර යන එන. හරියට ම කීවොත් වැව රවුමේ අසපුව එහා පැත්තේ. ඒ රෝන්දෙට ඇවරි බොහොම මනාපයි. හැබැයි මහාමායාව ළඟින් යද්දි නම් නොසෑහෙන්න පරිස්සම් වෙනවා. ඔය ටික අහවර කළාම ඇවරිතුමා එන්නේ ඉස්ටේසමට.  


ඇවරි කවදත් වාඩි වෙන්න ආස මාතලේ වේදිකාවේ කෙළවරේ බංකුව එදත් හිස්ව තිබුණා. මොකද අර කලින් කී වලියෙන් පස්සේ ස්ටේෂන් එකට ඇවිල්ලා අපි එක ම බංකුවේ දෙකෙළවරේ වාඩි වෙලා හිටියේ. මොකක් හරි වැදගත් කාරණාවකට අපි දෙන්නා යොදාගත් ඒ ගමන මුල ඉඳන් ම අවුල්. අපි බස් එකේ ගිහින් කෝච්චියේ ආව. හැබැයි එදා රිටර්න් ජර්නි එක තමා ජීවිතේ නුවර-කොළඹ පළමු පන්තියේ වෙන් කළ ආසන සුපිරිම එක. දැන් කල්පනා කරලා බැලුවම තමා අපි ඒ කාලෙ කොච්චර වියර්ඩ් මිනිස්සු ද කියලා හිතෙන්නෙ. හිස්ට්‍රි රිපීට්ස් පුතා.


හැටන් දක්වා ගමන සෑහෙන්න දිග එකක් වුනාට ආසන බලාපොරොත්තුවක් ඇවරිට තිබු‍ණෙ නෑ. ඉෂාන් ෂිවන්දන බයික් එක ගන්න ඇවරිගේ ගෙදර එන ගමන් ඇඳපු ඇඳුම් ටික ගෙදරට දාගෙන යාමේ වගකීම බාරගත් නිසා ඇවරිගේ සැහැල්ලුව බොහෝ සැහැල්ලු වුනා. ඇවරිට ඕන වුනේ හැම ස්ටේසමක ම වගේ බැහැලා වෙන පෙට්ටියකින් නඟිමින්, කෝච්චියේ මුල මැද අග ආදී හැමතැනක ම ගමන් කරමින් මිනිස්සු එක්ක කතා කරන්න. ඒක බොහෝ විනෝදකාමීයි. ඇවරි එහි ගාඩ් කොලූ එක්කත් කතා කරලා ගාඩ් රූම් එකෙත් ටික දුරක් ගියා. තනිව ගියොත් මිසක් කීයටවත් සෙට් එකක් එක්ක ගිහින් එහෙම ජෝගි නටන්න බෑ.  විශේෂයෙන් ම තේ දලු නෙළන ළඳුන් හා කැඩුණු දෙමළින් කළ කතාබහ අමතක වෙන්නෑ. ඒ වගේ ම සුදු ජාතිකයන් එක්කත්. ගොඩක් අපේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වළස් අඩි (barefoot) පානිය නැඟලා ගියා. අවාසනාවට ඒක ඇවරිගේ වෘත්තිය නිපුණතාවය ලු ඉතිං. ලොල්   

No comments: