Friday, January 27, 2017

ඇවිල්ල යන්න හෙවත් 2016යේ නැට්ටෙන් ෆන් ගත් හැපී ජර්නිය
























2017 ගැන ලියන්න කලින් 2016 අවසානය ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. ඉන් එකක් තමයි කිරිගල්පොත්ත තරණය. මේ වැඩේ සිද්ද වුනේ බොහො ම අහම්බෙන්. ඇවරිගේ හොඳම යාළුවා සලාදය කියවන බොහෝ දෙනා දන්නවා ඇතිනේ. සුබූ, සුකුමා, ළඟපාත, ක්ලෝසා වගේ බොහෝ අන්වර්ථ නාම ඇති සුගීත් තමා ඇවරිතුමාගේ ළඟ ම මිත්‍රයා. ඇවරිගේ හොඳ ම මිතුරිය තමා සඳමිතුරිය. නැත්නම් තිළිණි ප්‍රේමතිලක. මේ දෙන්නාට ඇවරිතුමා ගැන සෑහෙන්න වද දීලා තියෙනවා. කවද හරි මුන් දෙන්න කට ඇරපු දවසකට ඇවරිගේ සායම හේදන බව ෂුවර්. දෙන්නට ම ඇවරි කාලෙකින් කතා කරලා නැත්තෙ මගේ වෙලාවල් මුන් දෙන්නට ම සෙට් වෙන්නෙ නැති නිසා මොකද මං රෑ එකට දෙකට කතා කරද්දි දෙන්න ම සැප නින්දේ.

සුගී-තිළිණි දෙන්නත් හොඳ යාළුවෝ. මේ ඩබලට ම පොදු සමානකම් ගොඩක් තියෙනවා. කවදාවත් ඇවරිට මේ හොඳම යාළුවො දෙන්නගේ උපන්දින මතක හිටින්නේ ම නෑ. තිළිණිට කවදාවත් උපන්දිනේට විෂ් කරන්න වෙන්නෙ ම නෑ. සුගියා නම් ඊට වඩා වස්ති අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවල්වලදි සමහර දේවල් මුන් දෙන්නට නොකියා කරලා කෙළවගෙන සුගියා අවුලක් බන් කියාගෙන ආයෙත් පොර ගාවට ම යන වෙලාවල් වගේ ම, බෑ බබා මේකට මං උදව් කරන්නේ නෑ. කියලා සඳමිතුරිය සහාසික විදියට සමහර අන්ඩපාල ව්‍යාපෘතිවලින් ඉවත් වෙන වෙලාවලුත් තියෙනවා. ජීවිතේ ඇවරි කරන ලොකු ම වැරැද්ද තමා මේ දෙන්නට සමහර දේවල් නොකියා සිටීම. සුගී නම් ඒ වෙලාවට බොහොම කූල් එකේ ඉන්නවා. උඹ ඉතිං කෙළවගත්තන් එන්නේ මං ගාවට නේ. හැබැයි සඳමිතුරී නම් එහෙම වෙලාවල් වලදි වාඩුව ගන්නවා. තමුසෙ මට කිව්වෙ නෑනේ..! කොරලා බලමුකෝ එහෙනම් කියාගෙන ඇය නම් අනිවා ගේම ඉල්ලනවා.

හැමදාමත් තිළිණි ගෙදර එන්න කියලා කිව්වට ඇවරිගේ වැඩ රාජකාරි නිසා ඒ ගමන් මඟහැරිලා තියෙනවා. නමුත් අපේ කව්වා, සමා සහ අනුරාධි එහේ කිහිප පාරක් ම ගිහින් තියෙනවා. (මතක හැටියට ගිය වෙසක් නිවාඩුවට) කව්වා ගැන කිව්වොත් එයා ගර්ල් ඔෆ් හර් ඕන් තමා. කරුණා නිධාන වූ සමා මැතිනිය, ද හෝම් මේකර් නමැති, කොච්චර අමාරු වෙලාවක දී වුනත් එකමුතුව වැඩ කරන්න මිනිස්සුන්ව සංවිධානය කරන මේ කුල කත වැඩකදි හැමෝට ම වෙන වෙන ම අවධානය දෙමින් ඔවුන් ගැන සොයා බලන්න තරම් කෙයාරින් අතින් ඉස්තරම්. අනිත් කෙනා අනුරාධි. හෝලි පීස් ඔෆ් ෂිට්!! එතුමිය අනුෂ්කා ෂර්මා වගේ බ්රෑන්ඩ් එකක්. පිස්සු කියන එකේ අනන්තය. ඇදහිය නොහැකි කාන්තාවන් අතරින් අග තනතුර දෙන්න පුළුවන් අපේ අනුරාධිට. මොකද පොර ඊළඟට මොකක්ද කරන්නේ කියලා ඈටවත් ෂුවර් නෑ. මෙත්මල් පිබිදේවා නිසා ම හොඳයි.

සාමාන්‍යෙයන් එංගලන්ත කැලැන්ඩරයට වැඩ කරන ඇවරිතුමාට නිල නිවාඩු ලැබෙන්නේ අවුරුද්ද අවසානයේ හෝ අප්‍රේල් ඊස්ටර් බ්‍රේක් එකට. ඒ කාලය ලංකාවේ අවුරුදු නිවාඩුත් එක්ක යන කාලය නිසා ලොකුවට පිස්සුවක් නටන්න ලැබෙන්නෙ ඉයර් එන්ඩ් වැකේෂන් එකේ තමා. දෙසැම්බර් නිවාඩුවට කුරුණෑගල එන්නැයි තිළිණි ආරාධනා කළේ කාලෙකට කලින්. නමුත් අපේ විද්වත් මණ්ඩලය යෝජනා ස්ථිර කළේ නත්තල් සති අන්තයට. කව්වාගේ මිත්තණිය අන්ත්‍රාවීම නිසා ඇයත් ෂෝර්ට් නෝටිස්ඩ්ස් නිසා සමා මැතිනියත් ගමනට නොඑන බව ප්‍රකශ කළාම ඒකත් කටින් යන ට්‍රිපක් වෙයි කියලා අපේ ගයිඩා ඉෂාන් බය වුනා. ඇවරිට නැවතත් රාජකාරි වාර්තා කරන්න තිබුණෙ බදාදා නිසා සති අන්තයේ කුරුණෑගල ඉඳලා සඳුඳා නුවර දවසක් ගෙවා එදින රාත්‍රී හැටන් ගිහින් සිරිපා කරුණා කරන්න ඇවරි වැකේෂන් ප්ලෑනක් ගහලා තිබුනෙ. ඒ අහු අස්සේ බර කරත්ත කියන්නේ ඇවරිගේ ඉහමොළ රත් වුනේ ඉෂාන් ගෙදර ආවම.

අපි කොටුවට යන ගමන් ඉෂානෝ චාරිකා සැලැස්ම විස්තර කළා. මචං අපි යන්නෙ කිරිගල්පොත්ත නඟින්න. වට් යකෝ ලංකාවෙ දෙවැනියට උස ම කන්ද? ඇවරිට ඌරු ජුවල් නැඟලා දැන්..! උඹ දන්නවනේ මං වෙජිටේරියන් හිටන් පේවෙලා ඉන්නේ සිරිපාදෙ කරුණා කරන්න කියලා. ඇවරිතුමා ඉෂානාට සත්තමක් දැම්මා. නොට් අ බිග් ඩීල් බ්‍රෝ උඹට මේ වැඩේ පුළුවන්. උඹ කියන්නේ දවස් දෙකට කඳු දෙකක් නඟින්න කියලද? හරි එහෙමයි කියලා උඹ දැන් පේවිච්ච එකේ සිරිපාදෙ නොයා ඉන්න ද? මස්ද කන්නේ මාළු ද කන්නෙ කියලා ඇවරිටත් හිතාගන්න බැරි තැනකට ආව. නමුත් කටු බොඩිය ගැන සීයට දෙසීයක් විශ්වාස කරපු නිසා දෙක ම කරනවා කියලා ඇවරිතුමා ඒකමතික තීරණයකට ආව.

අපි ටිකක් කලින් ගිහින් ඉඳගනිමු කියලා හිතාගෙන ෆ්ලැට්ෆෝම් ටිකක් දෙකක් අරන් ගියාට මාතර ඉඳන් ආපු රජරට රුජින නිවාඩු සමයේ නිවෙස් බලා යන්නන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුණා. අනේ ඉතිං අපි තුන්දෙනා දෙයියනේ කියලා ෆුට්බෝර්ඩ් එකක් ළඟ හඳුන්කූරක් හේම පත්තු කරලා පත්තර කොළයක් කාරිය එළාගෙන ඈඳි ගත්තා. අපිට සෑහේන්න ඩීසන්ට් පිට ගමන් කරන්න සිද්ද වුනේ ඉෂාන් කොලූගේ පොඩි ඩක්කුවක් ඒ කෝච්චියේ ම අනුරාධපුරේ යන බවට ලැබුණ විශ්වාසකටයුතු බුද්ධි තොරතුරක් නිසා. අනේ ඒ ඇත්ති පින් සිද්ධ කොරගන්න යන ගමනේ අපි ආයෙ හරහට ඉඳලා උදලු දාන්නේ මොකටෙයි?? එව්වා හිත නිවන කතාලු පින්වතුනි.  

කාලෙකින් මුණගැහුණු එක ම ක්ෂේත්‍රයේ ඇවරි, ඉෂානෝ අනුවෝ තුන්කටුව හෝටල්වල ඉන්න උන්ගේ සෑහෙන්න පතුරු ඇරියා. උන්ට හචිමක්වත් නොගියානම් තමා පුදුමේ. කොම්පැනි ගැන කතාවෙන් කතාවෙන් අනුරාධි බණ්ඩාරවෙල පටන් ගන්න අලුත් බිස්නස් එක ගැනත් සෑහෙන්න කතා උනා. ඇත්තට ම බන් උඹේ මල් කැඩිල්ලේ හැටියට උඹට බණ්ඩාරවෙලින් මල් කඩයක් ම දාතෑකි. මෙත්මත් ෆ්ලෝරා වගේ එකක් කීව ම අනුට හිනා ගියා. මග දිගට කඩචෝරු කකා රුජිනගේ වේගෙට පැද්දි පැද්දි ගිය ගමන අපූරුයි. අපි කුරුණෑගලින් බහිද්දි අපිව පිළිගන්න ටිලින් ඇවිත් හිටියා.

සින්දු කියන්න බැරි ශ්‍රීමාලි සින්දු කියද්දි අපි රොක් වුන ආකාරය.. :)
කොහෙද අනුරාධි ගිය තැන ගම ඊටින්කොරගෙන නැට්ටෙ ඉඳන් ගා ගන්නවානේ. ටිලින්ගේ තාත්තා ඉස්සරහ ම අපේ කාර්ඩුත් කුඩු කරගෙන කෝචිචියෙන් බැස්ස ගමන් ම ඇගේ සුපුරුදු සෝකාලාපය පටාන් ගත්තා. අනේ ඇවරි අපි සුපර් මාර්කට් එකකට ඉස්සෙල්ලා ම යන් ඈ. මං බ්‍රෂ් එක ගෙනල්ලත් නෑ. තව ඩිෂිබිල් පැකට් එකක් ගන්නත් ඕන. සනීපයි කියහන්කෝ. අපි ටවුම පහු කරලා පෙරේරා සහ පුත්‍රයෝ ළඟ නැවැත්තුවා ම සීනි මුරුක්කු ගන්න ගිහින් අනූ තව කෙළියක් කළා. කඩේ කොල්ලට කැටයම් මාලාවක් දාන ගමන් කතාව.  අපි තාම දවල්ටත් කාල නෑ අප්පා. ඒත් සීනි මුරුක්කු සෝයි. පැකට් එකක් ම දෙන්න ඉතිං. තව කේක් එකකුත් ඕන. ඒත් සීනි නේ??? ඉෂාන් කීවා ම, නෑ අනේ අයිසින් ෂුගර්!! අයිසින් ෂුගර් මහා හයියෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් එක දෙවනත් කළ අනුරාධිගේ අධිරංගනයට අපි කටවල් තදකරගෙන හිනාවුනාට කඩේ බුවාලා මැඩම් කිය කියා බඩු දුන්නා. ඊළඟට එතුමිය අමෘතවහ මාදිලියේ විනෝදයක් සැපයුවේ පාරේ ගියපු ටිපර් රථ රියදුරෙකුට. මාත් එක්ක පාර පැනපු මේ ඉබ්බි මම පාර පැනලා පස්ස බලද්දි පාර මැද හිටගෙන ඉන්නවා. කොපර කොපර පිපිඤ්ඤා නැතුව විජහට පැනපන් වාහේ..!! ආයෙ මක්කැයි පාර මැද්දෙ කොරනවා?  කාර්පට් පාරේ පිඹගෙව ආපු ටිපර්කාරයත් හෝන් ගහගෙන ඇවිත් පාරෙ හිටිය ඇන්ටි පාර දැකලා නතර කළාමත් මේක නෙමේ පාර පනින්නේ. අනේ ඉතිං අන්තිමේදී මේ ළමා මැහැල්ල ආරක්ෂාකාරීව පාර මාරු කිරීමේ මෙහෙයුමට තිලිණිට ම සම්බන්ධ වෙන්න වුනා.

අපි තුන් දෙනා ගෙදරට එද්දි හවස පහට කිට්ටුයි. තිලිණිගේ අම්මා ඇවරිව බොහොම ආදරෙන් පිළිගත්තා. බොහෝ අහිංසක ගැමි කුලකතක් වූ ඕ තොමෝ කොච්චර දුරබනුවෙන් ඇවරි හා කතා කළත් හැබැහින් දැක්කෙ එදා. ඒ අම්මා ඒ දවස්වල ඉඳන් ම එහෙම තමා. ඇවරි වෙනුවෙන් ම හදන අවුරුදු කැවිලි පාර්සලය ආසම මුංකැවුම් එක්ක වරද්දන්නෙ නැතුව එවන ඒ මාතාව හරි කරුණාවයි. දෝණියැන්දට නම් ඒ අත්ගුනේ, ඒ සච්චාරිත්තර ආදී ගුණවත්කම්වලින් එක අඩුක්කාලක සේසයක්වත් නැති වග වෙනම කතාවක්. එළ කිරෙන් දෙව්වත්- අඟුරු සුදුවන කලක් නම් නැත් කියනවනේ.  

ඇවරි මාතාව බැඳලා දුන්න බත් මුල කෑම තමා ඉස්සෙල්ලා ම කළේ. පස්සේ අපි තිලිණිලගේ ගේ ඉස්සරහ කුඹුරට ගියා. ඒ පැත්ත මාර නිස්කලංකයි. කොටින් ම කිසිම සද්දයක් නැති තරම්. ඒ මදිවට ඇල් පවන් හමා සුගන්ධයෙන් සුගන්ධ වීම. හීනි හීතලක් තිබුණ එකත් සෑහෙන්න වෙනසක් දැනුනා වෙලෙද්දි ඒ වෙල මැද පන්සල. ඒ සෙටප් එක ඇවරි සෑහෙන්න වින්දා. සවස් වෙද්දි හීතල ටිකක් වැඩි වුනත් ඉෂාන් අපිට නියමිත බඩු බාහිරාදිය ගන්න යමු කියපු නිසා කඩමණ්ඩියට ආව.

අපි වෙනුවෙන් ටිලින්ගේ අයියාගේ කාමරය සූදානම් කරලා තිබුණා. එහි ඔහු විසින් සාදා තිබූ රොකට්ටු හේම ඇවරිගේ සියුම් පරීක්ෂාවට ලක් වූ බවත් කියන්න ඕන. පහුවදාට ගෙනියන ගමන් මලු සූදානම් කරන්න, වතුර පුරවන්න වගේ වැඩ වලින් පස්සේ අපි නින්දට ගියා. ආයෙත් පාන්දර හතරට ඇහැරුණේ හෝර්ටන් තැන්නට යන්න. ටිලින්ගේ ඤාතී පුත්‍ර රත්නය සහ ඇගේ පිස්සු යෙහෙළිය ශ්‍රීමාලිත් අපේ ෂර්පාවරයා වුනු ලක්ෂිතත් ඇතුළුව හය දෙනෙක් ගමනට එක් වුනා. උදේ කෑමට සෙට්වුනේ නුවරඑළියට.

පොලිතින් නම් වානා, ඇවිල්ලා යන්න..//, ඒක වෙන කන්දක්, වගේ යාන්ස් ඇතුළත් දෙවන කොටස බලාපොරොත්තුවන්න.



4 comments:

Unknown said...
This comment has been removed by the author.
Iresha Anuradi said...

Today only i saw this.. awariii.. ahuweyankoo patiyoo

නලින පතිරගේ said...

Welcome darling ;)

Ishan Kahapola Arachchi said...

මම මේක දැනුයි දැක්කෙ.. ඇවිල්ල යන්න ඇවිල්ල යන්න....