Monday, October 24, 2016

යෝගා නැති ඉරිදාව හෙවත් කසාදයෙන් වෙනස් වීම

මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න - කියලා හිතාගෙන ඇවරිතුමා ශනිදා අලුයම් පැයට ටිකක් කලින් සයන තේවාවට සෙන්ටර් වුනා. ඉරිදා ප්‍රමාද වෙලා ඇහැරෙනවා කියන්නේ ඉතිං හොදි ඕන නැති සීන් කෝන් එකක්. දැන් දැන් ඇවරිතුමා යෝග මූමන්ට්ස් ටිකක් උදේට උදේට ප්‍රැක්ටිස් කරන නිසා භෞම මුහුර්තයෙන් බව්වා පාරක් දාගෙන උදේට සූර්ය නමස්කාරය සඳහා වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. කොළ කැඳ කෝප්පයක් බීලා, සරමත් බාගෙට මැදගෙන නැෂනල් එක පටලවන් දහම්පාසල් දුවන අවිවේකී හැපනින් ඉරිදාවේ මොන යෝගා ක්ලාස් ද බොලන්. හැබැයි ජැක්ලීන් දැරිවි අප්ලෝඩ් කරපු වීඩියෝ ටිකක් බලාපු ඇවරිට මහා ප්‍රාචීරය හරියෙන් බෝල් ජොයින්ට් එකක් ගියත් කමක් නෑ කියලා යෝගා - ෂෝගා පාරක් දාගන්න හිතුනා. මයෙ අම්මාපල්ල ඒ කෙලී හලි කියුටුවට කාන්ති කඩා හැලෙන දේහේ රබර් ඉලාස්ටික් වගේ නව නවා කරන අංගර ඉංගර දැක්කාම හැට පැනපු ආච්චිලට වුනත් එහෙම නොහිතෙනවා නම් ඒක බොරුවක්.

කොහොම හරි ඈවරිවිතානෝ දහම් පාසල් මෝර්නින් එසැම්බිලියටත් යන්න සෙට මෝල් වුනා. 2016 අවුරුද්දට ම ඒ ඇවරි උදෑසන වත් පිළිවෙත් සඳහා සහභාගී වූ දෙවන නැත්නම් තුන්වෙනි දවස. මොකදෑ ඉතිං උදේ පාන්දරින් නැඟිටලා නෝනා මාත්තියලට තේ හදලා, ළමයින්ගේ හේමත් වැඩ රාජකාරි ඉෂ්ට සිද්ද කරගෙන නොවැ ඇවරි දහම් පාසල් යන්නේ. ඔයා නම් මාර ගුරා ලොකූ. ළමයි කොහොම ඉගෙනගන්නව ද මන්දා වෙලාවට වැඩ කරන්න. ඇවරිගේ නැඟණි පරානය රන් මැණිකා හැමදාම ඇවරිගේ සන්ඩේ මෝර්නින් සෝ එක ගැන දක්වන්නේ එහෙම ප්‍රතිචාරයක්.

පාරට බැස්ස ම නම් ඇවරිතුමා පියමනින්නේ බොහොම ශාන්ත දාන්ත ගමනින්. සුදු පිරුවට ඇඳගෙන, ඉරිමා උදේ දත් තිස් දෙක ම පෙන්වමින් හිනා වෙවී, මිහිකත සනහ සනහා පා ගමන් යන ඇවරිතුමා දකින බොහෝ දෙනා පෙරළා සිනා වුනත් හැමදාමත් එතුමාගේ ඉදිරියට කවදාවත් ම හිනාවකින් සංග්‍රහ කරලා සතුටු කරන්න බැරි කෙනෙකුත් එනවා. ඇය දහම් පාසල් දරුවෙකුගේ මවක්. හැමදාමත් ප්‍රධාන පාරින් පන්සල දෙසට හැරෙන වංගුවේ දී හෝ ඒ ආසන්නයේ දී ඇවරිතුමාට මේ කාන්තාව හමුවෙනවා. ඇගේ සරදම හරි අපූරුයි. “අදත් පරක්කුයි නේද සර්...” ඇය මගෙන් පිළිතුරක් අපේක්ෂා කරන්නේත් නෑ. ඇවරිතුමා පිළිතුරක් දෙන්න තරම් උත්සහ කරන්නේත් නෑ. හැබැයි මේ කියන දවසේනම් ඇයව මට හමුවුනේ පන්සල උඩදි. එදා කවදාවත් නැතුව පන්සලේ වතාවත් සඳහා ගිය ඇවරිතුමා දැකපු ඒ මාතාව හැමෝට ම ඇහෙන්න මෙහෙම කිව්වා. “අද නම් සෑහෙන්න විශේෂයක් තියෙන දවසක්. නැත්නම් කවදාවත් නලින සර් මේ තරම් උදේ එන්නේ නෑ.” ඇගේ කතාවෙන් වටේ හිටි බොහෝ දෙනා මා දිහා බැලුවා. හැමෝට ම ඇහෙන්න ඇවරිතුමා උත්තර දුන්නේ හැරෙන තැපෑලෙන්. “ඔව්.. සෑහෙන්න විශේෂ දවසක් තමා. ගිය සතියෙ අපි ප්‍රථමස්ථාන දහයක් එක්ක ශාසනාරක්ෂක තරගවලින් මණ්ඩලේ ප්‍රථමස්ථානය දිනා ගත්තා. අද ප්‍රතිඵල දෙන්නයි යන්නේ...” ඒකනේ ම කිව්වේ කියාගෙන ඒ අම්මා ඇවරිතුමා සමීපයට ආවා.

ඇත්තට ම සර් ඇයි උදේට පරක්කු වෙන්නේ? සමාවෙන්න මට එහෙම අහන්න අයිතියක් නෑ. ඒත් සර්ගෙ පන්තියේ ළමයි සර් උදේ ම එනවා නම් හරි කැමතියි. මගේ දරුවත් සර්ගෙ පන්තියේ ඒකයි ඇහුවේ. හ්ම්.. ඒකට නම් කාරණා ගොඩක් තියෙනවා. එක තමා මං සෙනසුරාදා වැඩ ගොඩක් ඉවර කරලා පරක්කු වෙලා නින්දට යන එක. දෙක පාන්දරින් කවුරුත් නැගිට්ටවන්නේ නැති එක. නැගිට්ටාමත් මගේ රෙදි අයන් කරලා වැඩ ඉවර වෙන්න වෙලා යන එක.” අපෝ එච්චර ප්‍රශ්න නම් බැන්දාම හරියයි... “බැන්දාම මේ ටිකවත් කරන එකක් නෑ. දැන් පේන්නේ නැද්ද චන්දිමා ටිචර්.” ඇවරිගේ උත්තරෙන් එහි හිටි හැමෝට ම හිනා ගියා. “චන්දිමා අක්ක අවුරුදු විස්සක් ම ළමයින්ට ඉගැන්නුවා. එයාගේ තරුණ කාලෙම  හිටියෙ ළමයි එක්ක. දැන් මැරි කළාම ඒ අය නාවට කමක් නෑ. පුළුවන් කාලෙ ඇති තරම් ඒ අය අනුන්ගේ ළමයින්ට උගන්නන්න මහන්සි ගත්තා.” ඒන නම්  ඇත්ත. හැබැයි මේ යස්ස පැටව් ටික ආන්බාන් කරන්න ටීචර් හිටියා නම් හොඳයි. පන්සිල් දෙන්න සූදානම් වුන නිසා ඇවරි ධර්මශාලාව පැත්තට ගියා.

ඇවරි වුනත් තාමත් සර්විස් එකේ ඉන්නේ ඒ නිසා. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම්. කිච්චෝ මනුස්ස පටිලාභෝ නිසා ලැබුණු මනුස්ස ආත්මෙන්, සමාවෙන්න ඕන අත්භවයෙන් (බෞද්ධ අපි අනාත්මවාදීන් නේහ්) උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. තව කොච්චර කාලයක් මට මෙහෙම කරන්න පුළුවන් වේද දන්නේ නෑ. ඒ කාලෙ උපරිම දෙයක් කරන්න තමා උත්සාහ කරන්න ඕන. එකෙක් හරි හැදුනොත් ඇති. අපි වැඩ කරන්න ඕන ඒ එකා වෙනුවෙන්.    


එදා රැස්වීමෙදි ජයගත් ළමුන් ඉදිරියට  කැඳවා ඔවුන්ට ආශිර්වාද කිරීමක් සිද්ධ වුනා. එදා සැප්තැම්බර් දාහත් වෙනිදාට යෙදුන අනගාරික ධර්මපාල දිනය වෙනුවෙන් විශේෂ දේශනයක් සංවිධානය කරලා තිබුණා. ගොඩක් කරුණු දැන කියාගන්නත් පුළුවන් වුනා. පුළුවන් තරම් උදේ රැස්වීමට එන්න උත්සහ කරන්න ඕන කියලා ඇවරි හිතා ගත්තා. 

No comments: