Friday, October 21, 2016

චින්තප්පි නහෝති හෙවත් ළාමක ටින් ටින් කොළු කෙරිට්ටන්ගේ යුධ ජයග්‍රහණය...!!

කාලෙකින් සලාද ලියන්න ඇවරි ෂීනන්ට නොහැකි වුනේ වැඩ වැඩිකමට වඩා ආස කරන වැඩ වැඩි වුන නිසා කියන්න පුළුවන්. ආස කරන වැඩවලින් අති මහත් බහුතරය සමාජ සේවා, කඩේ යාම්, මරාල සහ නොයෙක් පර වැඩ වුනත් ආස කරන පුද්ගලික වැඩත් තියනවා කියලා ඈවර විතාන තේරුම් ගත්තේ මේ ඊයේ පෙරේදා. ඒ එක්ක ම පහුගියේ ටිකේ ඇනුවල් ඉයර් ප්ලෑන් එකේ තිබුණ සමහර කටයුතු වලටත් සහභාගී වෙන්න තිබුණා. දහම් පාසල් තරග ඒ අතර ප්‍රධානයි. 

මේ ගැන ඇවරිතුමා ම පෝස්ට් බර ගාණක් ලියලා තියෙන නිසා අමුතුවෙන් ලියන්න ඕන කරන්නෙත් නෑ. නමුත් තරග වැදීම සහ ලිවීම කියන්නේ ඇවරිතුමා තව තවත් තිරිහන් කරන ක්‍රියාදාමයක් නිසා ඒ වෙනුවෙන් අපි බුද්ධිමය ශ්‍රමය යොදවන්නේ ඉතා ම කැමැත්තෙන්. මෙදා පාර අපි දක්ෂ පුංචි කෙල්ලක් හොයාගත්තා වගේ ම ඇය ඉතිහාසය තරමක් වෙනස් කරන්න සමත් වුනේ ඇවරිතුමාට පුංචි දුකක් ඉතිරි කරමින්. පහුගිය අවුරුදු පහ ඇතුළෙ මුල් ම වතාවට හත්වන ශ්‍රේණියේ ප්‍රථමස්ථානය අපෙන් ගිලිහෙන්නේ බොහොම කණගාටුදායක විදියට හැබැයි මගේ කණ්ඩායමේ දැරිවියො හය දෙනාගෙන් තිදෙනෙක් ම ප්‍රථමස්ථාන දිනා ගැනීමෙන් ඇවරිතුමා තරමක් තෘප්තිමත් වුනා.

ඇවරිතුමාගෙ හොඳම ගෝලිය, හොඳම ආයෝජනය වුන ගීත්මාගේ මේ අවසාන අවුරුද්ද. ඇවරිතුමා සමඟ පුරා අවුරුදු හතරක් විතර ඈ වැඩ කළා. සෑහෙන්න පරිණත ලේඛිකාවක් වන ඈට අමතරව විශ්මිත් ඇවරිතුමාට අවශ්‍ය සහයෝගය දුන්නා.

ඇවරිතුමාව බොහෝ ම පුදුම කළේ සෙනුමිගේ ප්‍රථමස්ථානය. බටු ඇට දෙකක් උස නැති කෙලි පොඩිස්සිය මහ කම්මැලි ආච්චියෙක් කියලා ඇවරි මුල ඉඳන් ම දැනගෙන උන්නා. ඒත් ඒ කම්මැලිකාරිට වැඩක් කරන්න පුළුවන්කම ඇති බව මං දැනගෙන උන්නා.  විසාකාවයි,   මිස් ප්‍රදීපං ගවේසථයි හැරුණා ම වර්ෂා වෙහෙර දෙව් තොමෝ මේ පාර ෆේල්වුනා. ඒ කෙලී කෙහොමත් තරගය සඳහා හොඳ මානසික මට්ටමක හිටියෙ නෑ. ඇවරිතුමා පළපුරුද්දෙන් කිසිම තරගකරුවෙක් අනවශ්‍ය පීඩනයකට ලක් කරන්නේ නෑ. වර්ෂා මැඩම් ඔබතුමී මේ පාර තරග කරන්න අමාරු ම නම් තරග නොකළට කමක් නෑ. අපි නිතරම දිනන්න ඕන නෑ පුතා. ඒත් ඔයා ඉදිරිපත් වෙන එකයි වැදගත් කීවා ම ඇය කැමැත්තෙන් තරගෙට ගියා.

තරග දවසේ ඇවරිස්ට විභාගෙ තිබුණා නේ. නමුත් ඇවරිතුමා පේපරය ලියන්න කලින් උදේ හතට ගිහිල්ලා තමුන්ගේ කණ්ඩායමට කතා කරලා ආවා. පේපරේ නම් කියලා වැඩක් නෑ. චාර්ටඩ් ඉතිං චාර් ම තමා. හවස් අතේ තරග බිමට යද්දි අපේ බොහෝ දෙනා දිනන මානසිකත්වයේ හිටියා.

අපේ අමිලා අක්කාගේ පුංචි පුතා මේ පාර පළමු වතාවට ප්‍රායෝගික දැනුම තරගයට ඉදිරිපත් වුනා. අමිලා පෙරේරා මැතිනිය චැනට ඩී. එස් සේනානායක විද්‍යාලයේ විද්‍යාව උගන්වමින් හත්වන ශ්‍රේණියේ අංශ ප්‍රධාන හැටියට කටයුතු කරනවා. ඇය තමා ඇවරිට මුලින් ම අභිධර්මය ඉගැන්වූයේ එතුමියයි. කාමාවචර සිත් පණස් හතරයි, අකුසල අහිරික කිරිය සිත් වශයෙන් සිත් 89ක් ම ඉගැන්වූවා. එතකොට ඇවරි හය වන ශ්‍රේණියේ. ඒ කාලය වන විට ශ්‍රද්ධාවන්ත බෞද්ධ තරුණියක වූ ඇය මදුරුවෙක්වත් මරන්න එපා කියලා ඇවරිට තදින් අවවාද කළා මතකයි. සාමාන්‍යයෙන් ඇවරිතුමා ශාන්ත දාන්ත, විනීත තීන්ත කූඩුවක් වුනාට  ඒ කාලෙ මදුරුවො නම් මැරුවා. හවස අමාලි අක්කා ගෙදර පන්ති දාපු කාලෙ මදුරුවො වටවෙලා ලේ බිව්වත් මරන්නෙ නැතිව හිටියා. ඒකට ඇවරිගේ මලයා. සිරිපාල මහතා. මදුරුවගේ ලේ ගෙඩිය කියන කොටස මිරිකලා මරන්න තමා ඔහු කැමති. ජාති මස් වැද්දෙක් කියලයි ඇවරි මාතාව පුංචි කාලෙ බැන්නේ.

ඇවරිට පැය විසිහතරෙන් චෛතසික පණස් දෙක කටපාඩම් කෙරෙව්වෙත් අමාලි අක්කා. ඒ කාලෙ ඒ අය ගුරුවරු හැටියට අපිත් එක්ක සෑහෙන්න දිව්වා. ගුරු වෘත්තියේ ඇගේ පළමු පත්වීම අම්පාර පැත්තේ ඉස්කෝලෙකට. නමුත් ඇය කොළඹින් අඩු මිලට ප්‍රශ්න පත්‍ර මිටි ගණන් එහේ පාසල් වලට මුද්‍රණය කරවලා බස් වලින් ම ගෙනෙහින් සෑහෙන්න කැපවීමෙන් දරුවන්ට උගන්වන්න වැඩ කළා. ඇගේ විවාහ මංගල උත්සවයත් ඇවරිට මතකයි. උදේ ඇවරි වරුවක් නිවාඩු දාලා අමිල අයියත්, අපේ චමරි අක්කාත් එක්ක හෝටලයට ගිහින් පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය සූදානම් කිරීම් සහ පිච්ච මල් සැරසිලි කළා. කරලා බත්තරමුල්ලෙ මගේ කාර්යාලයට ගියා. ඇවරි මැක්කා වගේ අමාලි මැතිනිය ගැන ලියන්න හිතුවෙ මේ බ්ලොග් එකේ වෙන තැනක ඒ චරිතය ගැන ලියැවෙන එකක් නැති නිසා.

ඇගේ ස්වාමියා ලක් එෆ් එම් හි වැඩ කරන අයියාත් හරි හොඳ මහත්මයා. මුලින් ම ඔහු අපි එක්ක වැඩ කළේ ඉස්කෝලෙ හාමුදුරුවන්ගේ ආදාහනේ වෙලාවෙ. ඒ කාලෙ DSLR කැමරා හැමෝම ළඟ තිබුනෙ නෑ. ඒ අයියා මාර ගතී එකක් අරං ආව. ඔහු හරි සිම්පල් මනුස්සයෙක්. තව අපි දෙන්න එක්ක වැඩක් කළේ පෙරහැර අවසානයේ මනුස්සයෙක්ට හතිය හැදුන වෙලාවෙ. අයියා වහා ඉදිරිපත් වෙලා කාරෙකෙන් ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙ ගිහින් ජීවන්කෝ බචානේ කියා. කවුද කියලාවත් නොදැන ඒ මනුස්සයාව දෝතින් ම අරන් ට්‍රොලියට දැම්මේ දෙපාරක් නොහිතා. අන්න හීරෝ පුතා. පස්සෙ සෙරෙප්පු දෙක ගළවපු තැනක්වත් මතක නැති එක ඩිෆරන්ට් ඉස්ටෝරි ඉතිං...

 මෙදා ප්‍රතිඵල අපි හිතුවාට වඩා සාර්ථක වුනා. දැන් අපේ සීනියර් ප්ලේයර්ස්ලා පැන්ෂන් යන කාලේ. ඉතිං අලුත් ලේ හොයාගෙන අලුතින් ආයුධ රැස් කරන්න වෙන කාලෙ. අලුත් ආයුධ මුවාත් කරන්න අලුත් තාක්ෂණය සහ සෑහෙන්න ඉවසීමක් ඕන. ඒක මැණික් ගරනවා වගේ වැඩක්. අපිට ප්‍රථමස්ථාන දහයක් ම  ලැබුණා. ආයෙ අහන්න දෙකක් නෑ. මණ්ඩලේ කොච්චර කචල් වුනත් තණ්ඩලේලා තමා එක. අර පුංචි එකාත් දෙවැති තැන අරං තිබුණා.

මෙදා තරග බිමේදි ඇවරිතුමාගෙ හිත බොහෝ සෙයින් සසල වුන සිදුවීමක් වුනා. සියඹලාපෙ පැත්තෙ දහම්පාසලක ඇවරිතුමා වගේ කටයුතු සංවිධානය කරන ආදි දහම් දැනුම තරගකරුවෙක් වුන අපේ සහෝදරයෙක් රිය අනතුරකට මුහුණ දීලා කකුලකුත් කපා ඉවත් කර තිබියදී තරග බිමට ඇවිත් තිබුණා. කිහිළි වාරුවෙන් ආපු ඒ සහෝදරයාව දැක්කා ම අවංකව මං මොහොතකට ගොළුවුනා වගේ ම ඇහැට කඳුලු ආව. කොටින් ම මට කතා කරගන්න වචන හොයාගන්න අමාරු වුනා. අයියා කියවුනේ අමාරුවෙන්. නමුත් ඔහු ඒක ගානට නොගෙන හිනා වුනා. මොනවා කරන්න ද මල්ලි හැමදේම මිනිස්සුන්ටනේ වෙන්නෙ. සියල්ල අනිත්‍යයි. ඔහු බොහොම සැහැල්ලුවෙන් කීවා. එදා ඇවරිතුමා ගෙදර ආවෙ බොහෝ කැළඹීමෙන් හැබැයි පස්සෙ සතියකට සැරයක්වත් එතුමා අමතලා සැප දුක විමසන්න ඇවරි පුරුදු වුනා. මිනිස්සුන්ට කරදර ආවාම තමා මල්ලි තේරෙන්නේ අපි කොච්චර ශක්තිමත් ද කියලා. එතුමා මට බොහොම ළෙංගතුකමින් කාරණා වටහා දුන්නා.

තරග ජයග්‍රහණයට පස්සේ ඉරිදාත් හැපනින් කෝටියක් වුනා. ඒ ගැන පස්සේ ලියලා දාන්න හිතාගෙන දැනට නවතින්නම්..!!  

   

No comments: