Thursday, May 19, 2016

ඇන්ඩෘ පතිරේජ් හෙවත් මගේ ඩයනමික් අනන්‍යතාවය ‍

මේ පෝස්ටුව ඇවරිතුමා විසින් මුදල් ගෙවා තමුන්ගේ බ්ලොග් එකේ පළ කරන ලද බවට කරුණාවෙන් සලකන්න කියලා පොඩි නෝටිස් එකක් මුලින් ම දාන්න වෙනවා. මේ යාන්ස් කියවන තමුන්නැහේලා තමුන්නැහීලා නිකා සුළුපටුවට හිතුවට ආයිබෝං ඇවරිගේ සලාදය බ්ලොග් එක හින්දා ළඟදි විවාප්‍රාප්ත වෙච්චි අපේ හතර පේරුවේ කුළුපග දායක කාරකාදීන්ගේ දෙන්නා දෙමාල්ලෝ අතරේ, පවුල් අවුල් සමාජ පුරස්න, නඩු හබ, අඩ දබර, සංවාද විසංවාද, හේම ඇතිවෙලා තියෙන බව ඇවරි දැනගත්තේ නගර සභාවෙ කුණු එකතු කරන කොල්ලාගෙන්.

සරුත් කරන්නේ අපේ ජොබ් එක ම තමා නේ...?? කුණු එකතු කිරීම. කුණු කොල්ලා කතාවට සෙට් වුනේ එහෙම. ඇත්තට ම පුතා අපි කරන්නේ කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම. හැබැයි අපි ඔය අනෙක් කස්ටිය වගේ කසල වවාගෙන කන්නේ නෑ. සුද්ද සිංහලෙන් කිව්වොත් බලු ගූ වලට ඇඟිල්ලෙන් ඇනලා, තව නහයටත් තියලා, උඩු හුළඟටත් අල්ලලා මදිනම් මාධ්‍ය සාකච්චාවකුත් තියලා, බලුගූ ම තමයි ඕයි කියනවා වගේ ගොන් පාර්ට් දාන්නේ නෑ. ජරාවක් කියලා විසි කරනවා මිසක්කා. ඕකනේ ඉතිං සර්ට මල පනිනවනේ කියගෙන කොල්ලා ගිරා මාරු වුනේ ඇවරිතුමා ගැන දන්නා නිසා.

තමුන්ගේ බ්ලොග්එක යහපාල සිරිසේන බ්‍රෝ අංචියක් ඇදලා තහනම් කොරාවිය කියන බයට ඇවරිතුමා ස්වයං චාරිකාවේ කාරණාව ගැන ටිකක් හෝදිසි කරලා බැලුවා. කවුරුත් ගෙදර ඉන්න සෙනසුරදාවේ වෙස්වලාගෙන වීදි සංචාරයේ ගිය ඇවරිතුමා කාරණාව ඇත්තය කියලා සහසුද්දෙන් ම ඔප්පු කොරගත්තා. හැම ගෙදරක ම ගෑනු මනුස්සයන්ගෙන් ඇහුනේ එකම ජාතියේ කතාන්දර. “කෙහෙල්මල් සදාලයක් නිසා තමා මේ ඔක්කොම නස්පැත්තිය, හැම මඟුල ම ඒකෙ ලියවෙනවනේ. අපි කන බොන එක පවා. කොටින් ම දෙවියනේ යටට ඇඳන් ඉන්න එක පවා මූ ලියලානේ ගල් මූසලයා. මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය.. හොඳයි මං අහන්නේ හුස්මක් කටක් ගන්නවත් නිදහසක් තියේ ය කියල ද??

හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ ගෙවල්වල පිරිමි ඇවරිතුමාට පොඩි සහනයක් සලසා දුන්නා. ඒකනේ හාමිනේ මාධ්‍ය නිදහස කියන්නේ. අදහස් ප්‍රකාශනයේ නිදහස බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ  අය භුක්ති විඳිනවා. දැන් මොකෝ අවුල. අවුල ද කියවනවකෝ ඔය බ්ලොග් එක ටිකක්. කනින් කොනින් බ්ලොගයේ අබග්ගය ගැන ආරංචි වෙලා ඒ වෙනුවෙන් නියමිත හදි හූනියම්, යන්තර මන්තර ටිකක් ලෝකානුපංකාවෙන් තුමුල බැති ප්‍රේමයෙන් අපේ අවුසද වෙදනා විසින් ප්‍රෙස්ක්‍රයිබ් කරලා තිබුණා කියමුකෝ.

දැන් සීරියස් කියවීමකට යමු.....

පිළිම වන්දනා නොකරන ඇවරිගේ ඇන්ග්ලිකන් චින්තය අනුව සලාදය කියවන අය වෙනුවෙන් අලුත් ගයිඩ් එකක් රිලීස් කරන්න හිතුනේ බොහෝ දෙනා අපි ලියන දේ ටපලාගෙන තම තම නැණ පමණින් ඒවා විග්‍රහ කොරගෙන සලාදය ලිවීම සමාජ අපචාරයක් යැයි කියන තරමට ම ජන මතයක් ගොඩ නඟලා තියෙන නිසා. බල්ලො බිරුවාට කඳු පාත් නොවන නිසාත්, හෙණ ගැහුවත් කම්මලේ බල්ලාට වගේ වගත් නොවන නිසාත්, පාළු ගෙවල්වල වළං බිඳින්නට මුරකාරයින්ගෙන් අවසර ගත යුතු නොවන නිසාත් සලාදය දිගටම ලියන්න ඇවරි තීරණය කරනවා.  
සලාදය මෙච්චරකල් කියවපු, කියවන අයට මතක් කළයුතු වැදගත් කාරණා ටිකක් තියෙනවා. පළමුවැන්න තමා සලාදය යනු සත්‍යක් නොවන බව. මෙහි එන සිද්ධි, නම් ගම්, ඡායාරූප පවා මනං කල්පිත දේවල්. කොටින්ම ඇවරි ඉන්න ඒවා පවා. ඒ හැම එකක් ම ඉන්ද්‍රජාලික යථාර්ථයක් ඇතුළෙ හැදිලා තියෙන්නේ. ඇවරිතුමා කියන්නේ කල්පිත චරිතයක් මිසක් ඒ නලින පතිරගේගේ ජීවිත කතාව නෙමෙයි. බ්ලොග් එකේ ඉන්න ඇවරි මාතා, ඇවරි පිතා, ඇවරි හාමිනේ යන චරිත වුනත් එහෙමයි. සදාලය ලියන්නේ ඇවරිතුමා මැරෙන්න කලින් කියවන්න. හැබැයි ඇවරිතුමාගේ චරිතය බ්ලොග්එක ලියන නලින පතිරගේගේ චරිතයට බොහෝ සමානයි. නමුත් වෙනස්. මොකද නලින පතිරගේ කියලා කෙනෙක්ගේ පැවැත්මක් නෑ. එයාට නලින්, ඇන්ඩෘ, මිස්ටර් පතිරගේ, ඒකේ දෙමළ වර්ෂන් එක ඇන්ඩෘ පතිරේජ්, වගේ නම් ගොඩක් තියෙනවා. එතකොට අපි බොහොම කරුණාවෙන් කියන්නේ මේ එකකට එකක් පටලවා ගන්න එපා.

කොටින් මහැබෑ ජීවිතේ ඔබ දකින මනුස්සයා නෙමෙයි සලාදය ලියන්නෙ. ඒ කෙනා වෙනස්. ප්‍රතිපත්තියක් විදියට සලාදයෙන් කිසිවකු ඉලක්ක කර මඩගහන්නේ නෑ. සදය උපහාසයට ලක් කරනවා පමණයි. ඒකත් ඇස් රතුවෙන තරමට ආවොත් අපි පෝස්ටුව ගලවනවා. මේ මෑතකදීත් අපි පෝස්ටුවක් ගැලෙව්වා. මුලු අවුරුදු හතට ම පෝස්ට් දෙකයි ගලවලා තියෙන්නේ. අපෙ නෑ බොරු පොත - ඔය කාගෙත් වතගොත මගේ පෝස්ට් එකේ ඇත තමා.

අනුන්ගේ කුණු හේදීම නෙමෙයි සලාදය කියන්නේ. හැබැයි අනුන්ගේ බ්ලොග් එකක් කියවලා ඒ මගේ කතාවයි කියන්න එපා. කිසිම විටක කිසිදු දෙයක් වූ හැටියට ම සලාදයේ ලියැවෙයි කියලා හිතන්නත් එපා. ඒක ලොවෙත් ජාති ජෝක් එකක්. මහාවංශය කියනනේත් සම්පූර්ණ ඇත්තක් නෙමෙයිනේ. ඒ වගේ තමා. කොහොම වුනත් කතුවරයාගේ ආදාන ග්‍රාහීත්වය ඊට එකතු වෙනවා. එතකොට අදහස වෙනස් වෙන්න පුළුවන්.   

ඊළඟ කාරණේ අපි අල්ලස් ගන්න සලාද ලියන්නේ නෑ. පැටිකිරිය ඩොට් කොම් සඳහා රෙකමදාරු දෙන්නේ නෑ. අපි මෙච්චර කල් කාට හරි ගහලා තියෙනවා නම් ඒ ඇවරිතුමා අතිශයින් ආදරය කළ අයට පමණයි. එහෙම නැතිව සමාජ සමයං වෙනුවෙන් අපි බ්ලොග් ලියලා නෑ. එහෙම අයට ගහන්නේ කැලෑ පත්තර ආයිබෝන්. අපි එක කැලෑ පත්තරයක් කැම්පස් යන කාලෙ කළා. ඒක නලින පතිරගේ මහතාගේ බුකියේ පින්තූර අතර ඇති.

කලින් කිව්වාවගේ සලාදය කියන්නේ ඇවරිතුමාගේ වාජිකරණයක්. සලාදය ඇවරිව තිරිහන් කරනවා. අවුරුදු පහකට කලින් කළ දෙයක් ගැන වුනත් අපිට දැන් මේ මොහොතේ කියවන්න පුළුවන්. ඒක ඒවගේ ම දැනුත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතිං අපි වයසට යන්නේ නෑනේ. ඊට අමතරව සතුට. ප්‍රශ්න තියෙන පෝස්ට් අපි පැය විසිහතරක් තුළ අයින් කරනවා. ඒක ස්ථිරයි. හැබැයි ඒ බලවත් ඉල්ලීමක් කළොත් විතරයි.

කොහොම නමුත් බහායිවරුන් වගේ ම ඇවරිතුමාත් සමායික යහජීවනය අගය කරනවා. ඒක නිසා ම ගැටලු ඇතිවෙන තැන් අවම කරන්න අපි උත්සාහ කරනවා. කොටින් ම අපි ලියපු සම්පූර්ණ බ්ලොග් එකක් පබ්ලිෂ් නොකර තියෙන්නේත් මේ කාරණය නිසා ම තමා. කපලින් යූ ඕකේ නම් ඒ බ්ලොග් එකේ සම්පූර්ණ ආදර කතා, හමාරී අ දූරී කහානීස් - ඇවරි ඒවාට කියන්නේ එහෙමයි. (අපේ අසම්පූර්ණ ආදර කතාවන්) විසි දෙකක් ම ලියලා තියෙනවා. ජීවතුන් අතර ඉන්න ඇත්ත චරිත එක්ක. හැබැයි අපි අදටත් ඒ අන්සොලිසිස්ට් කතාන්දර එකක්වත් එළියට දාලා නෑ. මොකද ඒවා ආවොත් තුන්වන ලෝක යුද්දෙ එතැනින් පටන් ගන්න නිසා.

ඒ වගේ ම අපි ලියපු බොහෝ පෝස්ට් දැන් පළ කරන්න බැරි වෙලා. මොකද මේවා දැම්මොත් රට්ටු කියාවි අපි පළිගන්නවා කියලා. ඒක නිසා ඇවරිට කා එක්කවත් අමනාපයක්, තරහවක් නෑ. ජීවිතය එක ම සාදයක්. ඔබ ආරාධිතයෙක් ලෙස සාදයට ඇවිත් අනේ මගේ පින්තූර ගන්නෙපා යැයි කීම සදාචාරාත්මක නෑ. තමුන්ගේ ඔළුවල තියෙන කුණු සලාදය මත අතුරාලා දෙකම හරිහරියට කොටා බාලා දැන් දිරවාගන්න බැරියෝ කියලා කෑ ගහනවාට වඩා ළඟ ම ඇති වැසිකිලියට පාර ඇසීම ඥානවන්තයි.

අවසාන වශයෙන් කිසිදා පළ නොකෙරෙන පෝස්ට් කිහිපයක ටයිටල්ස් ලියලා ම නවතින්නම්. ජය වේවා...!

නාමු පයින්ගොස් පීනා හෙවත් අකේ පුයිස් අභියෝගය

මල්ලි මොකෝ සීන් එක හෙවත් සිඳුලෝලී සේලරුවාගේ කතාව


රෙඩා පොට් කිරීම හෙවත් ඔයා එනව ද? නැත්නම් කාමරෙන් එළියෙ නිදියනවා ද?

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....