Thursday, May 19, 2016

හුටන් දෙකක් සමඟින් හැටන් යාම හෙවත් මළගෙට නොගෙහුන් දානෙට යාම...

පහුගිය සතියේ මේ වෙලාව වෙද්දි ඇවරිතුමා හැටන් එක්ප්‍රස් එකේ නුවරට කිට්ටු කරලා. ඇවරිතුමාගේ විස්ස විජ්ජාල සගයෙක් වුන සීසර් තුමාගේ මෑණියන්දෑ අභාවප්‍රාප්ත වූ බව ආරංචි වුනේ පහුගිය සතියේ. එහි අවසාන කටයුතු සිදු වුනේ පහුගිය සිකුරාදා. ඒකත් බුදු අහම්බයකින්. අපේ අලව්ව ආසන සංවිධායක රගා මැතිතුමා සහ ජල්බරි සී.එස් ඒ මළගෙදරට සහභාගී වෙලා තිබුණා. රගාතුමා වෙනුවෙන් ලොකේෂන් බලන්න ගියපු ගමන් නුවර හිටි නිසා නාවලපියේ තිබූ මළගමට දෙදෙනා ම ගිහින් ආවය කියලයි කිව්වේ.

ඇවරිතුමා හැමදාමත් වගේ වැඩ කන්දකට යට වෙලා හිටි නිසා මළ ගෙදර යන්නට නිනව්වක් තිබුණෙ නෑ. නමුත් මුලට කෙසේවත් මරණෙට යායුතු ඇවරියා තින්ග්කින් එක අනුව අවම වශයෙන් බණ ගෙයට සහභාගි වෙන්න උවමනාව තිබුණා. ඒ නිසා ම සිකුරාදා ම ලීව් රික්වෙස්ට් එකක් දාන ඇවරි ගමනට සූජානම් වුනා. ලෝක කම්කරු දවසේ වැඩකරු ළමා ළපටින්ට නිවාඩු මොකටැයි අහලා අපේ පොඩි හාමුදුරුවො දහම් පාසල අවුරුදු නිවාඩුවෙන් පස්සෙ පටන් ගන්න යොදා ගෙන තිබුණෙත් මැයි පළමුදා. එදාට මුළු දහම් පාසලේ ම ළමයි නායක හිමියන් ඇතුළු ගුරු මණ්ඩලයට ම බුලත් දීලා වැදීම චාරිත්තරයක්. ගුරුවරුත් නායක හාමුදුරුවන් ප්‍රධාන සංඝරත්නයට වැදලා, සඟ මහළු පිළිවෙලින් බුලත් දෙනවා. පැය ගාණක් යන මේ චාරිත්‍ර කර්මයට සහභාගී නොවුනොත් ඒක ලොකු අඩුවක්. අනික ඇවරිතුමාට අවුරුදු අටකට පස්සේ 2016 දී නිවසේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයත් මඟ හැරෙනවා. පහුගිය අවුරුදු අටට ම අපි දෙපාරක් හිස තෙල් ගානවා. ඒ බින්දු අම්මා අතින් ගාන හිස තෙල් චාරිත්‍රය සහ ශිෂ්‍ය නායක නායිකාවන් පන්සලේ සූදානම් කරන අවුරුදු මේසය ඉඳුල් කරන්න ඇවිත් පන්සලෙන් හිස තෙල් ගා ගැනීම වසයෙන්. මෙදා සැරේ වාද්දුවේ ඉඳන් තමා හිසතෙල් ගාන්න වුනේ.


ලෝකෙ රටේ චාරිත්‍ර ඉෂ්ට කොරන්ඩය කියලා දහම් පාසලට ගොඩ වෙන ඇවරිතුමා හැමෝට ම වැන්දා. අපේ ඇඩ්ලින් ටීචර් හැමදාමත් වගේ බදාගෙන ඔළුව ඉඹිද්දි මතක් කළේ “අනේ මගේ රත්තරන් කොල්ලන්ගේ ඔළු අපි කී වතාවක් ඉඹලා ඇත්ද කියලා.... අච්චර වයස දැන් ළමයි හතර දෙනෙක්ගේ තාත්තෙක් වෙන අපේ ගුරු මණ්ඩලේ දුමින්ද අයියා බුලත් දුන්නමත් කිව්වේ ඒ කතාවමයි. ඇත්තට ම ඒ අයට අපි කොච්චර වයස ගියත් ලොකු වුනත් තාමත් පුංචි දරුවො වගේ. ඒක මාර නොස්ටොල්ජික් හැඟීමක්. විනාඩියකට හරි මගේ පන්තියට ගොඩ වෙලා බැලුවම ළමයි මැයි පෙළපාලි ගිහිල්ලා. බොහෝ දෙනා ඇවිත් හිටියේ නෑ. තවත් පැය බායක් විතර අවුරුදු උත්සවය ගැන යන ප්‍රශංසා, ඇගයීම්, ගල් මුල්, ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් වගේ වැඩ වලට ගියා. ගිය අවුරුද්දේ උපන් දිනයට ඇවරිගේ නැඟණියන්දෑ දුන් බෝනික්කාවත් ඇවරිට නැතිවෙලා තිබුණා. මිෂිකා නමින් හැඳින්වුන ඇයව බබාට නමක් හි දී නම් කෙරුණෙ බිනරමලී කියලා. මිෂිකාව සෙවීම තමුන්ගේ ඒජන්තවරියකට භාර කළ ඇවරි සියලු පාත්‍රවර්ගයාට සමුදීලා කඩිනමින් ගෙදර ආවෙ හැටන් එක්ස්ප්‍රස් එක අල්ලා ගන්නා අදහසින්.


නාවලපිටියට ටිකට් අරං ඇවරි දෙවන පන්තියේ සුදුසු අසුනක් හොයමින් ගියා. මඩේ නිවාඩු දවස කිව්වට දෙවන පන්තියත් කට කපලා. අන්තිමේදී තරුණ අංගනාවක් ළඟ ආවසනයක් ලැබුණා. නමින් නිත්‍යා වුන ඇය දමිළ ජාතික දෙහිවල පදිංචි කාරියක්. ඇගේ මිතුරිය අකිලා පොල්ගහවෙලින් ගමනට එකතු වෙන්න තිබුණා. දෙදෙනාම සත්ත්ව වෛද්‍යවරු. මටම ගැලපෙන බලු දොස්තරලා දෙන්නා ඇරුණා ම පවුල පිටින් බැක් පැකින් කළ සුදු ජාතික ග්‍රේ යුවළ එක්කත් ඇවරිතුමා කතා කළා. ඒ කපල් එක මාරයි. දෙන්නට හරි ඇඩෝරබල් කඩ්ලි පොඩි එකෙක් හිටියා. මේකා මුළු බොක්ස් එකේම සෙනඟත් එක්ක හිනා වෙනවා. මාරයි කියලා මං කිව්වේ. සූට්කේස් දෙකයි. පොඩ්ඩගේ ගෝකාට් එකයි. කපල් එකේ බැක්පැක් දෙකයි සියල්ල අරගෙන නුවර ගිය ඒ ජෝඩුවට අපේ අයත් ලොකු සහයෝගයක් දුන්නා. රඹුක්කන දී සියලු ම අඩුමකුඩුම කෙල්ලො දෙන්නාට පවරා දීපු ඇවරිතුමා අසුන පරිත්‍යාග කරලා තමුන්ගේ පුරුදු ස්ථානය පාපුරුව වෙත ඇදුනා.  


පොල්ගහවෙල ඉඳන් ඒක නුවරට ම ස්ලෝ. කාලා වරෙන් කෝ. හැබැයි රට තොට බලා ගන්න පුළුවන් නිසා කැමැත්තෙන් ම ෆුට් බෝඩ් ගියා. මගේ දොස්තර ඩබල කට කපලා නිදි. ඇවරිතුමාට උෂ්ණත්ව වෙනස ගැන පොඩි අදහසක් ඇතිවුනේ ඒ වංගියේ දී තමා. ඉහළ කෝට්ටේ බලන අතර අර බගතලේ පේන හරියේ කළුගල් පොකුණ පහුකළා ම උඩරට මාර්ගයේ පොඩී හීතලක් දැනෙන්න ඕන. වට පිටාවෙ ගස් කොළන් නිසා හීනියට හීතක් එන්න ඕන නමුත් දැන් ඒ හරියෙත් ගිනි රස්නෙයි. අපේ සීසර්තුමා කියපු හැටියට ඉස්සර ගලගෙදර කපොල්ල පනිද්දි කන් අඟුල් වැටුනාට දැන් වගේ වගක් නෑලු. ඕන්න ඔහොමයි උස්නත්ව වෙනස ඇවරිගේ ටිකිරි මොළයෙන් විග්‍රහ කොරලා තියෙන්නේ.


පේරා වලින් දොස්තර නෝනලා දෙන්නා බැහැලා අතවනාගෙන ගියා. හොස්ටල් ගෙනියන්න ගෙනාපු කිරිටොෆි කෑලි ටිකක් කකා ඇවරි නුවර සිහින නගරය වෙත ඇදුනා. කණ්ඩිලෙයි වන්ද තමා එල්ලා පිරච්චිනෙයි හැපනින් වුනේ. සරියාන මලෙයි පෙයියදු.... අඳුරු ලාගෙන මීදුම බාගෙන නුවරට වහිනවා. සාමාන්‍යෙයන් ඇවරිට නුවර කියන්නේ තනිවෙන්න කියාපු නගරය. නුවර ඉස්ටේසමේ අනාථ මාරුතේ ගත කරපු දවසක් ගැන ඇවරිතුමා පරණ මතකයකුත් අලුත් කරගත්තා. බංකුවක වාඩිවෙලා විනාඩි හතලිහක ට්‍රාන්සිස්ට් එක මඟ හරිමින් ඇවරි කාලය කද්දි ඇන්ජිම අනෙක් පැත්තට හයි කෙරුණා. ඇත්තට ම නුවර ට්‍රාන්සිස්ට් එක පැයකට කිට්ටුයි කියලා ඇවරිතුමා දැනන් හිටියේ නෑ. දන්නවා නම් බස් එකේ යන්න තිබුණා. ඒත් බස් සේරම පෙළපාලි ගිහින් නිසා කෝච්චියේ යාම හොඳා.


නුවරින් මගේ ගමන් සගයො වුනේ කාර්යාල සේවකයෝ. නැත්නම් කන්තෝරු කාරයෝ. ඒ අය ඒ දවස්වල නුවර කාලගුණයෙන් පටන් ගෙන බොහෝ මාතෘකා ඔස්සේ කතා කලා. හැමදාම මොනිටරේට කතා කරන, මොනිටරේට හිනාවෙන ඇවරිතුමා ඒ ඕපාදූප, අලාප සල්ලාප, සමාජ, දේශපාලන, ආර්ථික කථිකාව, සෑබෑ මැයි දිනය කාගේ ද වගේ හරබර දේශනා අනිත් තුන් දෙනත් එක්ක බෙදා හදා ගත්තා. නෑ මහත්තයො රටක් වුනා ම එහෙමනේ.... ආදී වශයෙන් ඒ අය දුන්න කොමෙන්ට්ස් පට්ට පට පට. කොහොම නමුත් නතිව ට්‍රැවල් කිරීමේ ලල් එකත් ඒක තමා.


වරකාපිටිය, උලපනේ වෙද්දි දලු කඩන සෙට් එක එක්ක කදේ දැම්මා. ආහ්.. එප්පඩි සුහම් අම්මා..! ඔරු කිලෝ එව්වළව්වා?.... කියලා පටන් ගත්තා ම ඔවුන් බොහෝ තොරතුරු දෙනවා. කඩවුලේ කියන්නේ කන් වලට ඇබ දෙකක් ඉල්ල ගන්න වෙන්නේ ඉස්ටේෂන් මාස්ටර්ගෙන් ම තමා. ගම්පොල පාස් වෙද්දි ගෝනි බිල්ලන් සහ හජ්ජි මරික්කාර් ගැන්සිය වගේ කස්ටිය සෙට් වුනා. ඒ වෙද්දි පොඩි පොදයක් තිබුණ නිසා පාපුවරුව සෑහෙන්න තෙමෙනවා. කාලෙකින් නාගන්න පුළුවන් චාන්ස් එක මඟ අරින්නේ මොකට ද කියලා හිතලා හීත නොබලා ම මං තෙමි තෙමී මා හා කතා කළ බැස යන මිනිසුන්ට අත වනමින් බොහොම සැහැල්ලුවෙන් ගමන් කළා. ගමනාන්තය නාවලපිටිය ස්ටේසමෙන් බැසගත් මං මුලින් ම කළේ බැංකු යාම. ඇවරිතුමාගේ ජංගමයාගේ බිල ගෙවලා, හෙව්වේ ෆුඩ් සිටියක්. දානෙ ගෙවල් වල කිලෝ පහේ හාල් එකක් ගෙනියන්න ඇවරිට පුරුදු කළේ චමරි අක්කා. ඒ අල්ලපනල්ලේ මට ඈවත් මතක් වුනා. ඇවරි මාතාවත්, ඇවරි හාමිනේත් ඕවර් ද ෆෝන් දානෙ ගෙදර ගෙනයා යුතු බඩු පිළිබඳ දීර්ඝ දේශනාවක් කරද්දි මං මිල්ක් බිස්කට් එකක් කඩාගෙන කෝපි බොනවා. සියලු අනුශාසනා අහන් ඉඳලා මට හිතුන දේ අරං බිල් කරගත්තා.


ගූගල් මැප් එකේ හැටියට ටවුමෙ ඉඳලා බලන්තොට පන්සලට කි.මි හයක් විතර තියෙනවා. හැටන් බස් හොයාගන්න ස්ටෑන්ඩ් එකට ගියා ම අයියා කෙනෙක් පාලම ළඟට යන්න කිව්වා. එතනදි රොම්බ තමිල් පේර් සන්දික්කලාම් වුනා. බඩුත් උස්සන් චාටර් කන්න බැරි තැන ඇවරි ඓතිහාසික නාවලපිටිය පාලම උඩ වාඩි වෙලා මිල්ක් බිස්කට් එකේ ඉතුරු භාගයට වග කිව්වා. බස් එකක් ආව නැති තැන තුන්සක රියක් කුලී පදනම මත ලබා ගත් ඇවාරිස් පන්සලට එහා හෝල්ට් එකට ආව. දැන් සිසාරොතුමා බණ ගෙදර නිසා උන්දැට කෝල් කරලා වැඩක් නෑ. ස්වයං නැවිගේෂන් සක්‍රිය කරගෙන අහල පහලට ඇන්ටනාව දාලා උඩු හුළඟේ ඉව ඇල්ලුවා.


ආහ් ඔය බණගේ තියෙන්නේ පල්ලෙහා. ආරුක්කුවක් දාල ඇති වැඩි දුරක නෙමෙයි පයින් යතෑකි. ඒ මං සලකුණු ඔස්සේ සීසර්තුමාගේ යැයි සිතිය හැකි නිවසට ඇවරියන් සේන්දු වුනා. හාමුදරුවො ධර්ම දේශනාව පටන් ගෙන තිබුණෙ ඊට පැය කාලකට කලින්. මට ස්වාමීන් වහන්සේ කෙලින් ම පේනවා. ඉතින් වාඩි වෙන්නත් බැහැනේ. හිටගෙන ම එකත්පස්ව ඉතිරි විනාඩි හතළිස් පහේ බණ අසමින් ඒ පින මියගිය මෑණියන්ට අනුමෝදන් කළා. ආහ් ඇවරි මතක බණ වලදි මේ ක්‍රමය පුහුණු කරන්නේ මාකොළ තිස්ස අයියගේ මතක බණ දවසක ඉඳන්. එදත් මං බණට පරක්කු වෙලා අම්මලා ඇතුළෙ බණ අහද්දි මං පිට ඉඳන් බණ ඇහුවා. මිය ගිය ප්‍රාණකාරයාට පිනක් අත්වෙන්න හිතාගෙන බණ ඇසීම පිනක්.

බණ අහවර වෙද්දි සීසර්තුමා පැමිණ මාව නිවස ඇතුළට ගෙන ගියා. ඒ වෙද්දි සීසරෝගේ පාසලේ මුල් ගුරුතුමාගේ කුළුපග දායකයෙක් වෙමින් එතුමාගේ අනන්තය දක්වා දිවෙන සීඝ්‍රගාමී දුම්රියේ පළමු පන්තියේ ආසනයක් මා වෙනුවෙන් වෙන්වී අවසන්.                                                             

No comments: