Thursday, August 6, 2015

දුවන අශ්වයන් සෙවීම හෙවත් මම දක්ෂ කථිකයෙක් නොවෙමි

දහම් පාසල් නිවාඩු දුන්නා හිටන්. එහෙනම් හොඳා... නෑ ඉස්කෝලෙ නිවාඩුවට සමාගාමීව දහම් පාසල් වලත් දෙවැනි වාරයේ නිවාඩුව ආරම්භ වුනා. ඒත් ගුරු මණ්ඩලය තරගවලට යන ළමයින්ව පුරුදු කරන්න හැමදාම ඉරිදා එන්න ඕන. වගකීම වෙනුවෙන් කැපවීම කියනවනේ.

සාමාන්‍යෙයන් අගෝස්තු මාසය කියන්නේ ටෙක්නිකලි ඇවරි නාකි කරවන මාසයක් වුනාට අගෝස්තුව කියන්නේ මාව තවත් තිරිහන් කරන මාසයක්. මගේ උපන් දිනය යෙදෙන නිසා ම කියනවා නෙමෙයි හැම අගෝස්තුවක දී ම මං අවම වශයෙන් ඉදිරි අවුරුදු දෙක සඳහා මගේ බුද්ධිමය ශ්‍රමය ආයෝජනය කරනවා. ඒ අපිට දුවන්න පුළුවන් හයියක් හත්තියක් තියෙන අස්සයෝ ටිකක් හොයාගන්න. මගේ දඩයම සාර්ථක වුනොත් මං තෘප්තිමත්.

වහෙන් ඔරෝ නැතිව කියනව නම් අපේ මණ්ඩලයේ ප්‍රථමස්ථානය රැක ගැනීම සඳහා මට පැවරී ඇති ගද්‍ය රචනා අංශයේ දක්ෂයන් සොයා යාම තමයි ඒ කාර්ය. අපි එක රොත්තට ගන්නේ ගෙවුඩ දළං කෑලි. මාස එකහමාරක් විතර ඒවා සීසන් කරලා කපලා ඔපදාලා මැණික් කරවලා තරගෙට යවන එක තමා වැඩේ. අවංකව මං දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෙන නිසා ඒ ගැන මං සතුටුයි. හැබැයි ගද්‍ය රචනා ලියනවා කියන්නේ හැමෝට ම කරන්න බැරි දෙයක්. ඒකට කුසලතාවයක් නැත්නම් පෙර පිනක් තියෙන්න ඕන. දහම් පාසල් තරග බිමේ දී කියන පෝස්ටුව කියෙව්වොත් මං මේ ගැන ලියලා තියෙනවා.

මේ පාරත් පළමු වටයේ ස්ක්‍රීනින් වලින් අපිට හොඳ කෙල්ලක් හෝ කොල්ලෙක් ලැබුණෙ නෑ. කොල්ලො නම් ජීවිතේට මේ ඉවෙන්ට් එකට එන්නේ නෑ. අදහස් හොඳ කොල්ලො හිටියට ඒ අයගේ අත්අකුරු අවලස්සන නිසා අපිට දිනන්න බෑ. ඒ අය දුවන අස්සයො කියන ලේබලයට වැටෙන්නේ නෑ. ඇවරි පුද්ගලිකව විශ්වාස කරන හැටියට මිනිස්සුන්ගේ අත් අකුරු කියන්නෙ ඒ අයගේ චරිතය පෙන්වන කැඩපතක්. ගොඩක් පිළිවෙලක් තියෙන අය තමයි අකුරක් සම්පූර්ණ වශයෙන් ලියන්නේ. සාමාන්‍යෙයන් පිරුණු බෝල අකුරු ලියන කෙල්ලෝ ඇත්තට ම ලස්සනයි වගේ ම බුද්ධිමත්. හැමෝ ම කැමති ලස්සන අත්අකුරු කියවන්න. සිංහල අත්අකුරු කතා කරනවා. ඒක ඇත්තක්. පහුගිය තරග වටවලදී මගේ සහයිකාවට මං ඒක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නුවා.

ඒකත් අපූරු කතාව. සාමාන්‍යෙයෙන් කොල්ලො කෙල්ලො බර ගාණකගේ අත්අකුරු කියවපු මට ස්ක්‍රිප්ට් එකකින් කෙල්ලෙක් මොනවගේ ද කියන්න පුළුවන්කමක් තියෙනවා. ගුරුවරුන්ට එහෙම ඉවක් ලැබෙන්නේ අත්දැකීමෙන්. හත්වන ශ්‍රේණියේ මේ පාර රචනා තෝරද්දි මට වහ කන්න හිතුනා. එකෙක්වත් අවශ්‍යය මට්ටමට ලියලා නැහැ. ඒ වගේ වෙලාවට මං කරන්නේ ලස්සන ම අත්අකුරු තියෙන රචනා දහයක් අරන් ඒ අතරින් කරුණු සහ වාක්‍ය බලලා තෝරා ගැනීම. මේක බුදු කණා සිලෙක්ෂන් එකක්. නමුත් මෙච්චර කාලෙකට වැරදිලා නෑ. මොකද මං විශ්වාස කරන හැටියට ළමයෙක්ට කරුණු පොවන්න පුළුවන්. ඒත් උපන් දා ඉඳන් ගේන අත්අකුරු මාසයකින් දෙකකින් හදන්න බෑ.

අන්තිමේදි මගේ හිතට කතා කරපු එක ස්ක්‍රිප්ට් එකක් තෝරගත්තා. ඒ රචනාවෙ කරුණු බින්දුවයි. එක ම දේ කෙල්ලට වාක්‍යක් හරියට ලියා ගන්න පුළුවන්. උසස් පෙළට සිංහල කළාට, සන්නස්ගලගේ ගෝලයෙක් වුනාට ඇවරි භාෂා විශාරදයෙක් නෙමෙයි. නමුත් බහුතරයක් අපේ සිංහල කොලු කෙල්ලන්ට සාමාන්‍ය වාක්‍යක් හරියට ලියාගන්න බෑ කියන එක මේ මොහොතේ යථාර්ථයක් වෙලා තියෙන්නේ. හේතුව උන්ට උක්ත අඛ්‍යාතයේ සම්බන්ධයක් තේරෙන්නැතිකම. පුතේ උක්තයට අනුව ආඛ්‍යාතය තියන්න. උක්තය ආඛ්‍යාතයේ වචන භේදය සමානයි, ලිංග භේදය සමානයි, පුරුෂ භේදය සමානයි. මම නම් මි. අපි නම් මු... ආදී වශයෙන් කොච්චර කිව්වත්මුන් ගම කනවා. අනික දැන් සිංහල හරි පොෂ් වෙලානේහ්. ඒක මළ විකාර විලාසිතාමය රචනා රීතියක්. උන් මට කියනවා සර් මිනිස්සු කුඹුර කොටති කියන වාක්‍යට වඩා මිනිසුන් කුඹුර කොටයි කියන වාක්‍යෙය් කික් එක වැඩියි ලු. නිකන් හිතන්න සර් මිනිස්සු කිව්ව ම ගහගන්න වගේ. මිනිසුන් කිව්ව ම නිවිලා වගේ හැඟීමක් එන්නැද්ද?? මගේ පන්තියේ කටකාරයෙක් වියරණ තර්කයක් ගෙනාවෙ එහෙම.

මං කොල්ලට උත්තර දුන්නේ මෙහෙම. ඇත්ත පුතා මිනිසුන් කිව්ව ම නිවිලා වගේ නෙමෙයි මැරිලා ම වගේ. ඇයි යෝදයෝ මිනිසුන් කියන්නේ මිනිස්සු කියන එකේ අනුක්ත පදේ නේ. දැන් කවුද කුඹුර කෙටුවෙ? මිනිසුන් නේ සර්? හරි පුතා. මිනිසුන් අනුක්ත නම් උන්ට පණ නැත්නම් කුඹුර කොටන්න පුළුවන් ද? බැහැ නේද? එහෙනම් කර්තෘ උක්ත කරලා මිනිස්සුන්ට පණ දෙමු. එතකොට මිනිස්සු වෙනවා. මිනිස්සු බහු වචන නම් තනියෙන් කොටන්න බැරි නිසා වර්තමාන කාල බහුවචනය කොටති වෙනවා. අනුක්තයට ආඛ්‍යාත තියන සිරිතක් සිංහලේ නෑ. ළමයි වාක්‍යක් ලියන්න කලින් ම කර්තෘ අනුක්ත කරන්නේ ඇයි කියන එක මට මාර ප්‍රශ්නයක්. හාමුදුරුවෝ, ශිෂ්‍යෙයෝ, උපාසිකාවෝ කියලා මුං වාක්‍යක් පටන් ගන්නේ ම නෑනේ. ඇත. වේ. කෙරිණි. වඩා හොඳය. තිබුණි ආදී වශයෙන් අවසාන වාක්‍යාංශ යොදාගෙන සියල්ල අනුක්ත කර ලිවීමේ මහ මජර ම රීතියක් දැන් ඉන්න තරුණ කොල්ලො කෙල්ලෝ පාවිච්චි කරනවා. ඒක මහ පිස්සුවක්.

කොහොම හරි මං අර කෙලී ලියපු කොලේ අවසාන තේරීම් කමිටුවට ඉදිරිපත් කළා. නෑ මේ ළමයා හරියන්නෑ. බලන්න මෙයා මොන ම කරුණක්වත් ලියලා නෑ. මගේ සහයිකාව ගෝරි දැම්මා. ටිකක් මතක් කරලා බලන්න බබා මීට අවුරුදු පහකට උඩදි ඔයත් ලියලා තිබුණෙ ඔය වගේ බයිලා ටිකක් තමා. ඒත් ඔයාට ලියන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා. මං එදා ඔයාව තෝර නොගත්තා නම් අපිට දිනන්න කෙල්ලක් නැති වෙනවා. කවුරු අකමැති වුනත් මං මේ කෙල්ලව යවනවා. අම් ඩන්.අද ඇවිත් ඉන්නව නම් එයාව මට ගේන්න. අපි ඉන්ටර්විව් කරලා බලමු. ඔයාට සැකයක් තියෙනවා නම් අපි එතනදි බලාගමු. වචනයක් නොදොඩා මටත් රවාගෙන එළියට ගියපු ඇය කියපු කෙල්ලව එක්කන් ආව.

අනේ ඈ බොහොම තැම්පත් චරිතයක් ඇති අහිංසක දැරිවියක්. අපි ඉතිං ආගිය විස්තර ඕපාදූප කතා කළා. ඇය දහම් පාසලට අලුතින් ආපු කෙල්ලක්. ඒ විතරක් නෙමෙයි. බස්නාහිර පළාත් මට්ටමෙන් රචනා දිනලා සමස්ත ලංකා දෙවැනිය වුන කෙල්ලක්. මට දැන් සතුට උතුරනවා. ඒත් විලන් කැරක්ටර්එකක් තමා ඇක්ට් කරන්න ඕන. ටිකක් සැර වුන මං  ඇයි දරුවෝ මේ බොරු කරන්නේ.....?ඇයි පළවෙනි රචනාව හරියට ලියුවෙ නැත්තේ?  ඔයාව හොයාගන්න මං කොච්චර මහන්සි වුනා ද කියලා දන්නව ද? බලන්න ඔයාව තරගෙට තෝර ගත්තා කියලා මේ ටීචර් මට කොච්චර බැන්න ද? දැන් හොඳ කෙල්ලවගේ මට රචනාවක් ලියලා දෙන්න, මෙන්න මෙයාගෙ හිත හැදෙන්නත් එක්ක.

එතනින් එහාට ඇගේ වගකීම් සියල්ල මගේ සහයිකාවට භාර කරලා මං ගියේ වාර අවසාන ශිෂ්‍ය සමිතිය පැවැත්වෙන ප්‍රධාන ශාලාවට. කාලෙකින් මං සමිතියකට ගියේ. ළමයින්ගේ සබකෝලය මැකෙන්න ඒක හොඳ තෝතැන්නක්. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යෙයක්. එතුමාට කතාවක් තිබුණ දවසේ ඩෙස්ක් එකක් යට හැංගිලා ඉඳලා පස්සේ දක්ෂ කථිකයෙක් වුනා කියලා අපේ නායක හාමුදුරුවෝ හැමදාම වගේ කියනවා. වැඩේ උපරිම වශයෙන් ගියා. විශේෂයෙන් ම මගේ පන්තියේ පොඩි උන් මාව පුදුම කරවන විදියේ ඉදිරිපත් කිරීම් කළා. අවසානයේ ගුරු මණ්ඩලය වෙනුවෙන් කතාව පැවරුණේ මට. කාල වරෙන් කෝ. මං එතරම් පබ්ලික් ස්පීකර් කෙනෙක් නෙමෙයි. කොහොමත් මගේ කට හොඳ නැති නිසාත්, ප්‍රසිද්ධියේ කතා නොකරන නිසාත් මුළු සභාව ම නිශ්ශබ්ද වුනා. දැන් ගැලවීමක් නෑ. මුන්ට වචන දෙකක් කතා කරන්නත් ඕන. මං පටන් ගත්තේ මේ මොහොතේ මේ සභාවේ සිටින වඩාත් ම සතුටු වන පුද්ගලයා මම යැයි කියා ගනිමින්.

ඒ කතාවට කට්ටිය ම උඩ බිම බැලුවා. මං උදාහරණයකට ගත්තේ සුසන්තිකාව. සුසන්තිකා දුවනවා අපි බලාගෙන හිටියාට සුගතදාස එකේ ඔලිම්පික් දිනන්න කලින් වට කීයක් දිව්වද කියලා කවුරුත් එයාගෙන් ඇහුව ද කියලා මං ප්‍රශ්න කළා. අන්න ඒවගේ මේ වේදිකාවට නැඟපු සියලු දෙනා සියපාරක් වත් පුහුණු වෙන්නැති කියලා මං කිව්වා. එතකොට අර යාළුවො තල්ලු කරද්දි මෙතනට නොආපු අය ආවෙ නැත්තේ ඇයි කියලා මං ඇහුවා. ඒ බය නිසා කියලා මං ඒ අයට කිව්වා. කාට ද අපි බය පුතේ?? අපිටමයි. නේද මාව වැටෙයි. අනෙක් අය මට හිනාවෙයි. ලැජ්ජ වෙන්න වෙයි.. බයයි නේද? හරි ඇයි බය ඇතිවුනේ. අර සුසන්තිකා වගේ දිනන්න කලින් නොදුවපු නිසා නේද? එහෙනම් අද ගෙදර ගිහින් දුවන්න හරි? නෑ ඊළඟ සමිතියේදි කතාවක් කරන්න සූදානම් වෙන්න. මෙතන හිටගන්න ලොකු ධෛර්යක්, ආත්ම විශ්වාසයක් ඕන කරනවා. ඒක ලැබෙන්නේ පුහුණුව තුළින්. ඔයා හොඳින් සූදානම් නම් කාටවත් බය වෙන්න උවමනා නෑ. අර හැරිලා ගියපු මගේ කථිකයා.. (අනේ අවාසනාවට එක කොල්ලෙක් කතාවකට ඇවිල්ලා හැරිලා ගියා) ඊළඟ පාර කතා කරයි. කමක් නෑ. ඒ ඔයාගේ පළමු අත්දැකීම. අපිත් ඒ දවස්වල එහෙමයි. ආදි වශයෙන් මං විනාඩි පහ හයක් කතා කළා. අවසානයේ අත්පොළසන් නාද වගේ ම කමෙන්ට්ස් ගොඩයි.


මගේ පන්තියේ දක්ෂයන්ට මං පුද්ගලිකව සුබ පැතුවා. අඩුපාඩු මතක් කළා. අවසානයේ දි මට මාකොළ මුතුහර රූපවාහිනී ළමා සමාජය මතක් වුනා. අදට වුනත් කොටුවෙන් පිට පනින්න. ඕනෑ ම අවදානම් තීරණයක් ගන්න. අවශ්‍ය පන්නරය මට ලැබුණෙ එතනින්. ඒ අයියලා අක්කලා ඉස්සරහ අපිට වැරදුනාට, කිසි අවුලක් වුනේ නෑ. ඒ දවස් වල සංවත්සර වේදිකාවේ කෙල්ලන්ගේ අත් අල්ලන් නටපු හැටි, තරගාවලියට සින්දු කියපු හැටි, නිවේදන තරග ඉදිරිපත් කරපු හැටි, සමූහ ගායනා, නාට්‍ය පිස්සු ජීවිතයක්. දැන් කාලෙ ළමියින්ට තමා ඒ මුකුත් නැත්තේ. පව් ඒක උන්ගේ වැරැද්ද නෙමෙයි. උන් හැදිච්ච විදිහේ වැරැද්ද. ඕං කිව්ව. ඔයා තමයි මේ පිස්සු විකාර ළමයින්ට උගන්නන්නේ. හා ළමයින්ගේ සබකෝලය නැති කරන එක විකාරයක් වෙන්නේ කෝමද? පිස්සු විකාර වුනත් මාත් ඒවට හරි ආසයි. වෙන්න පුළුවන්. ඒත් මම ආස නෑ... 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....