Sunday, May 17, 2015

නත්ථි ජාතස්ස අමරණං හෙවත් සීයට හයක් මදි වීම

මේ දිනවල ලියැවෙන සියලු ම සදාල පැත්තකට විසි කරලා ඇවරි තුමා මේ තනන්නේ පහුගිය සති අන්තයේ තමුන් සහභාගී වුනු අම්පෙගම මුත්තණ්ඩීගේ අවමංගල්‍ය පිළිබද කෙටි සටහනක් ලියන්න. මේකෙ පට්ට අවුල් තැන් ඇති. මොකද මං ලියන්නේ මට කියාගන්න ඕන කරන කතාන්දර ටිකක් මිසක් සම්පූර්ණ විස්තරයක් නොවන නිසා. තම තම නැණ පමණින් ගළපා ගැනීම ඔබට බාරයි. මාස හයක වගේ කාලයක් එක් තැන්ව සිටි අපේ කුලරත්න මුත්තණ්ඩී පහුගිය සතියේ අන්ත්‍රා වුන පුවත ඇවරිට දැනුම් දුන්නේ ඇවරි මාතාව විසින්. එක් තැන්ව සිටි මුත්තණ්ඩීව බැලීමට ඇවරි පිතාණන් කිහිපවරක් ම ගමේ පැමිණියත් ඇවරිට ඒ අවස්ථාව ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඇත්තේ තරමක ශෝකයක්. මේ අවමඟුලටත් කෙසේ හෝ සහභාගී වීමටත් ගායක් අරං වැඩක් කරන්ටත් ඇවරි හිතා ගත්තේ තමුන්ට දැනෙන දෙයක් කරගන්න බැරි වීම පිළිබඳ පශ්චත්තාප වෙමින්.


මඟුලට නොගියත් මරණයට යායුතු ඇවරි න්‍යාය මත පිහිටා පහුගිය දා පැවති පල්ලි මල්ලිගේ විවාහ මංගල්‍යයට ඇවරිට යන්න නොලැබුණත් ඒ දෙපළගේ යුග දිවියට සලාදයේ සුබ පැතුම් මෙයින් එක්කරනවා. අවසාන පැයේ දී මුල් ගෙදර යාමේ වුවමනාව මට තිබුණත් අපේ කන්තෝරුවේ තත්ත්වය ටිකක් දරුණු අතට හැරීම නිසා මට ඒ අදහස අත්හරින්න සිද්ධ වුනා. නමුත් අපේ පවුලේ උදවිය ඒ උත්සවය වෙනුවෙන් සහභාගී කරවීමේ කටයුත්ත ඇවරි තුමා සිදුකළා. ඇවරි පියාණන් නම් මඟුලට නොගිහින් කලින් ම සැරහී මළගෙදර ගියේ එහි යාම එතරම් ම වැදගත් කටයුත්තක් කරගනිමින්. අවසන් කටයුතු සිදු කළ සෙනසුරාදා දක්වා ම එතුමා අවශ්‍ය කටයුතු සඳහා උදව් උපකාර කරමින් එහි රැඳී සිටියා.


කොහොමින් කොහොම හරි ආයතනික ගැටලු, ආරක්ෂක තත්ත්වයන්, අත්‍යාවශ්‍ය සේවා සියල්ල ගැළපීම මත ඇවරි තුමාට කොළඹින් පිටත් වෙන්න සිද්ධ වුනේ සෙනසුරාදා උදේ වරුවේ. ඇවරිගේ සහෝ තුමා අපේ සිරිපාල ෂීනන් සහ එම මැතිනියත් ඇතුළුව අපි තිදෙනා මරදානෙන් හයයි තිහට ධාවනය වන සීඝ්‍රගාමියෙන් ගම රට බලා පිටත් වුනා. මේ වන විට අපේ ගයියා මහතා අසනීප වී සිටින බව ආරංචි වීම හේතුවෙන් පාන්දර පහයි තිහට ඇවරි කළේ ගයියාට කෝල් කිරීම. ලොකු අමාරුවක් නෑ මචං. වෛරස් උණක් ගත්තා. දවස් ටිකක් අල්ලලා හිටීවි. සඳුදා උදේ ම ගයියා බැලීමට යායුතුයි කියලා ජනපති දිනපොතේ අප්ඩේට් වුනේ ඒ ආකාරයට.  


අපි මළගෙදරට එද්දි වෙලාව නවයහමාර විතර වුනා. ඒ වන විටත් අපෙන් සිද්ධ වෙන්න ඕනා කරන වැඩ කටයුතු සියල්ල සිදුවෙලා තිබුණෙ මළගෙදර වෙනුවෙන් විශේෂයෙන් සහභාගී වුන විශේෂ කාර්ය බලකායක් අතින්. ඒ අය ගැන පසුවට ලියන්නම්. මළගෙදරට ගිහින් විනාඩි තිහක් ඇතුළත ඇවරිත් ගේමට එන්ටර් වුනේ තවත් බලා හිටියොතේ මුකුත් ම කරගන්න බැරි වෙන නිසා. අපි යද්දි පියදාස සීයා සහ ස්වාධීන රූපවාහිනී ඉංජිනේරු අංශය අපූරුවට චිතකය නිර්මාණය කරලා තිබුණා. ඉතිරි වෙලා තිබුණ තොරණ කෙළින් කරන වැඩේට අපිත් දායක වුනා.


මේ අභාවප්‍රාප්ත අපේ කුලරත්න මුත්තණ්ඩී ගැන කෙටි සටහනක් ලිනවා නම් එකදාස් නවසිය විසි එකේ උපන් එතුමා අවුරුදු අනූ හතරක් බොහොම නිරෝගීව ජීවත් වෙලා අප අතරින් වියෝ වුනා. ලංගම සේවකයෙකු වුන එතුමා හොඳම කොන්දොස්තර විදියට සම්මාන ලබා ගත්තු කෙනෙක්. එතුමාගේ ලොකු පුතා තමයි, මාකොළ වෙළඳ ව්‍යාපාරික ජයතිලක කුලරත්න මහතා, හෙවත් අපේ ආදර ජොනතන් ජයා. දෙවන පුතා, අපි දන්න (කොට්ටවෙ මාමා) හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ඩිප් ප්‍රඩක්ට්ස් ආයතනයේ විදායක නිලධාරී අපේ ගාමිණී මාමා. තුන් වැනි දුව ඇල්පිටිය පැලැන්දගොඩ තැපැල් ස්ථානාධිපතිතුමාට දීග ගිය නැන්දා. පවුලේ බාලයා තමා අපේ ස්වාධීන රූපවාහිනියේ කළමනාකාර ඉංජිනේරු ආනන්ද බාප්පා. ඇවරිට නම් නැතිවුන මුත්තණ්ඩි මාර බ්‍රෑන්ඩඩ් චරිතයක්.


අපිට පුංචිකාලෙ ඉඳන් සුදු මහත්තයෝ කියලා අපිට කතා කරපු, බෝධිසත්ව ගුණෝපේත, අන්තිම අහිංසක මේ චරිතය වගේ බ්‍රෑන්ඩඩ් සීයෙක් වෙන්න මටත් ලොකු ආසාවක් ඇති වුනා. ඒ මළගෙදරට ආපු ජනසන්නිපාතය දැක්කා ම මේ මුත්තණ්ඩි කොපමණ ජනතාවක් හම්බුකරලා තියෙනවා ද කියලා තේරුණා. එතුමාගේ පුත්තු දෙන්නා ජයා සහ ආනන්ද අයියා තාත්තා ගැන කිව්වෙ මෙහෙම කතාවක්. “කවදාවත් තාත්තා අපිට ලෝබකම් කරලා නෑ. ඇති පදමට කන්න දුන්නා. සල්ලි එකතු කළේ නෑ. ෆ්‍රිජ් නොතිබුණ ඒ කාලේ රෑ දහයේ බස් එකේ එයා මාළු කූරි තුන්දෙනෙක් ගේනවා මතකයි. අපොයි ඔව්, එක්කන් එන්න යන කෙනාට තමා පරිප්පුව. ජයාත් කතාවට එකතු වුනා. දවසක් තාත්තා පොල්කට්ටට ඉටිපන්දම තියාගෙන ඉස්සරහින් යනවා. මං මාළු කූරයි කරේ තියන් එනවා. දැන් මට තේරෙනවා පිටිපස්සෙන් කවුරුහරි මාළු ටික අදිනවා. පස්සෙ මං තාත්තට කිව්වහම මාළුවලට කෙළගහන්නය කියලා මාව ඉස්සර කරගෙන එක්කන් ආව. අපිට ගෙදරදි කන්න නොලැබෙන වටලප්පන් අරං දෙන්න හැම මාසෙ ම ගාල්ල නැෂනල් හෝටලේට එක්ක ගියා. එහෙදි බුරියානි ද අරවාද මේව ද ඉල්ලන දෙයක් දුන්නා. අම්මණ්ඩි තරහයි මස් ගේනවටග මං ඉතිං තාත්තෙ මසයන්නක් ගේන්නයි කිව්ව ම පොර දන්නවා වැඩේ. ඒ වගේ අපිට කන්න දුන්නේ. හැබැයි මං තාත්තට දවසක් කිව්වා. තාත්තා පණස් පහෙන් පැන්ෂන් ගියා ම මං අවුරුදු 35ක් මං තාත්තාට කන්න දුන්නා. මං තාත්තාට කිව්වා ඒ රෙකෝර්ඩ් එක මං කැඩුවාය කියලා. තාත්තා මට කන්න දුන්නට වඩා කාලයක් මං තාත්තාට කන්න දීලා තියෙනවා. ආනන්ද බාප්පා ආඩම්බරෙන් කිව්වා.


මේ සිංහල බෞද්ධ අපේ වැඩිහිටියන්ට සැලකීම කියන එක උපරිමයෙන් ම පෙන්නපු අවස්ථාවක්. එක් තැන් වෙලා හිටපු මුත්තණ්ඩිගෙ කැත කුණු සියල්ල ආන්නද බාප්පාත් වස්තු පුංචිත් දිනපතා අස්කරලා සුවදට තියාගෙන හිටියා. අප්පිරියාවක් නැතුව වස්තු පුංචි ගෑනියෙක් වෙලත් ඒ සේරම තමුන්ගේ තාත්තාට වගේ කළා. ඒ තරම් කැපවීමකින් කවුරුත් කරනවා අපි දැකලා නෑ යාළු. මේ ලියන මොහොතේත් මගේ ඇස් වලින් කඳුලු වැටෙන්නේ ඒ තාත්තා වෙනුවෙන් දුවා දරුවන් දැරෑ අප්‍රමාණ වෙහෙස ගැන මතක් වෙලා. ඔය ඔක්කොම කරලා හෝදලා ඕඩික්ලෝන් දැම්මා ම බං අහිංසක විදියට අපි දිහා බලලා අත් දෙක එකතු කරනවා අපිට වඳින්න. අර ඔක්කොමත් හරි එතකොට තමා පපුව දාලා යන්නේ.         
මළ ගෙදර කටයුතුත් උපරිමයට ම කරන්න අපේ කලින් කී විශේෂ කාර්ය බලකාය සෑහෙන්න ගටක් දුන්නා. මේ වි.කා.බ කියන්නේ 2014 අවුරුද්දේ ගාල්ලෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිච්ච කොල්ලො කෙල්ලො හැට පස්දෙනාගේ කණ්ඩායමේ හැට තුන්දෙනාට. ඇවරිගේ අප්පච්චි සාමාන්‍යෙයන් කෙනෙක්ට ක්‍රෙඩිට් එකක් දෙන කෙනෙක් නෙමේ. අනේ මන්දා ලොකු පුතා පඩියට කට්ටියක් දැම්මත් උන්වගේ වැඩ කරන්නේ නෑ. මේ කවුරුවත් කියලා නෙමෙයි. උන් ම බලලා කරනවා. මාකොළින් ගිය බස් ගාණක සෙනඟට උන් කන්න දුන්න හැටි පුදුමයි. අර මිනිය ගාව වුනත් කෙල්ලො ටිකක් ඇවිත් වරින් වර මොප් කළා. තොරණ ගහන්න බඩු දුන්නේ උදේ හයට උන් පැය හතර පහෙන් වැඩේ ඉවරයි. මොන වැඩේ කරන්නත් උන් ළඟ ඒකට දක්සයෙක් හිටියා. අනික බලන්න කාටවත් උන් නිසා හිරිහැරයක් නෑ. කාටවත් හිත් අමනාපකමක් නෑ. හරියට බෙදාගෙන කරනවා වගේ. හොඳ දෙමාපියන්ගේ දරුවො. ඒ මිස්ටර් පතී ගේ අදහස.


ඇත්තට ම ඒ ටීම් එක පස්ට පොරවල් ටිකක්. මුන් ඔක්කො ම ආනන්ද බාප්පගේ පොඩි පුතා ප්‍රමිදයාගේ යාළුවෝ ගැන්සිය. ප්‍රමිදයාගේ ගාල්ල මහින්ද විද්‍යාලෙ ගැන්සිය අපිත් එක්ක අපේ මුත්තණ්ඩිගේ මරණෙ වෙලාවෙදි බැහැලා ම වැඩ කළා. උන් හැම දානයටකට ම ආව. මෙතන ඊට වඩා කඹ සේකරලා, නලාරත්නලා හිටියා. අනාගත ඉංජිනේරුවොනේ. උන් එක්ක හැප්පිලා වැඩ කරන්න ලැබීම ඇත්තට ම සන්තෝසයක්. ඒ කෙල්ලො සෙට් එකත් ආයේ ඕන නෑ කියලා ඉතිං. මං සෑහෙන්න තරුණ වුනා ඒ ටීම් එකත් එක්ක හරි හරියට ගැටිලා. ආයෙ කතා දෙකක් නෑ මුන් ටික මොරටුව හොල්ලලා තමා නවතින්නේ. පහුගිය වෙසක් එකට කැරකෙන කූඩුවක් එහෙම ගාල්ලෙ හයි කළෙත් මේ කස්ටිය තමා. උන් අපිට කොච්චර ළඟ වුනාද කියනවා නම් අපේ නෑයින්ට අපි කියන නෑකම ම උනුත් කියන්න ගත්තා.


අපි ගිහින් කාල අහවර වෙද්දි ම මට සුපුරුදු පරිදි කවි කොළ මෙහෙයුම පැවරුණා. ලොකු පුතා කවි කොළයක් ප්‍රින්ට් කරමුද වස්තු පුංචි මටත් ලොකු අක්කාටත් වැඩේ භාර කළා. ප්‍රතිපාදනත් දුන්නා. දවසේ ඉතුරු හරිය මට පැවරුණේ ටයිප් සෙටින් කිරීම. ඊළඟට අම්පෙගම ප්‍රින්ට් ෂොප් වහලා. බටපොලට ගියා. කොහොම හරි ප්‍රින්ට් කළත් කපා ගන්න තැනක් නෑ. ප්‍රෙස් එකට ගිහින් කාරණේ කිව්ව ම එහි අධිපතිතුමා අපිට බොහොම ආදරෙන් සලකලා වැඩේ කරලා දුන්නා. රුපියල් පණහයි ගත්තේ. අවුරුදු විසි දෙකක් පරණ බටපොල ප්‍රෙස් එකේ දී අපි කවි කොළ ටික කපා ගත්තා. ආපහු එද්දි නම් මං ජීවිතාසාව අතහැරලා ආවෙ. ඒ තරම් ම අපි වේගෙන් ආවෙ අවමංගල සභාව පටන් ගනී කියන සැකයෙන්.



නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා, ස්වාධින රූපවාහිනී, ලක්හඬ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාත් මේ මළගෙදරට ආපු ප්‍රභූන් වුනා. අපේ නෑයන්ගෙන් බහුතරය ගංගාගේ රසිකයො නැත්නම් ශිෂ්‍යෙයා. කලා භූෂණ රෝහිනී කැටිපෙආරච්චි මැතිනිය ගංගාගෙන් පැණි වළලු ගැනත් ඇහුවා. ගංගාගෙ ලෙක්චර් අහපු ලොකු අක්කා, සහංගි අක්කා ගිහිල්ලා තමුන්ගේ ප්‍රොපා එක්ක කාලෙකින් කතා කළා. ගංගා ආවෙ කළු ටයි පටියකින් එහෙම සැරහිලා. ගංගා මළ ගෙදරට එනවා දැකපු අපේ සාන්ති පුංචි හිතලා තියෙන්නේ ඒ අවමංගල්‍ය අධ්‍යක්ෂක කියලා. අනේ මේ අපේ තාත්තාගේ අවසාන වෙලාව නේද...? නැතිනම් දැන් මේ මනුස්සයා පෙට්ටිය වහයි නේද කියලා කම්පනා වෙලා සාන්ති පුංචි ලතෝනි දීලා ඇඬුවා. පස්සේ තමා ගංගා කවුද කියලා ඈ දැනගත්තේ. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....