Tuesday, October 15, 2013

පස් වසරකට පසු පෙම්වත් වේදිකාවේ තනිවුනෙමි....

හුඟක් වෙලාවට ඇවරි කෝච්චියේ ගමන් කරන්න කැමැත්තක් දක්වනවා. ඒ එහි ගමන ටිකක් ඝෝෂාකාරී වුවත් සුව පහසු නිසා. අනික සංඥා එළි ඇවරිට පෙන්නන්න බැරි නිසාත් කෝච්චි ගමන අත්දැකීම් එකතු කරවන නිසාත් ලොකු ම දේ කෝච්චියේදී නින්ද යන්නැති නිසාත් ඇවරි ඒ ගමනට මනාපයි.

පහුගිය දා ගල්කිස්ස දක්වා ඇවරි යන චාරිකාවේදී මරදානෙන් අලුත්ගම දුම්රියට මාරු වීමට සිදු වුනා. දුම්රිය නවතා තිබුණේ නවවැනි වේදිකාවේ. නවය නපුරුලු අප්පා. ඒත් නවය හරි ම රොමැන්ටික් නැද්ද මං අහන්නේ? ඒක ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් වෙන් වූ නිහඬ හුදකලා රාජ්‍යක්. සාමාන්‍යයෙන් මේ වේදිකාව කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් භාවිතා කෙරුණත් අද විශේෂයෙන් මේ කෝච්චිය නව වැනි වේදිකාවෙන් ධාවනය වෙනවා. ඇවරි අර දිග ලී පාලම දිගේ එද්දි අතීත සැමරුම් මතක් කරන්න ගත්තා. ඒ දවස්වල එකහමාරට ඉස්කෝලෙ අහවර වුනා ම අපි කඩිමුඩියේ නවවැනි වේදිකාවට එන්නේ අර හොග්වොට්ස් වලට යන කෝච්චිය අල්ල ගන්න එන තරම් උනන්දුවකින්. හැමදාම ඉතිං අලුත් කතාවක් තියෙනවනේ. අනික රොටරි යන වට පිටේ සියලු පාසල් වල බාලිකාවන් නිසාත්, දිගු කාලීන පාසල් මෙන් ම  ටෙක්නිකල් කොලීජි යන පෙම්වත්තු, දිගු කාලීන ප්‍රේමාපේක්ෂකයන්, අත්උදව්කරුවන්, පිළිතුරට කල්මරන්නියන් මෙන් ම සැමට සිනා පාන්නියන් මේ කෝච්චියේ කොතෙකුත් යන නිසා ඒක එක ම පෙම්වත් වේදිකාවක් වෙනවා.

මතක හැටියට සතියේ දවස් තුනක් ඇවරි මේ කෝච්චියෙන් නුගේගොඩ රොටරියට ගියා. අත්තිඩිය සර්ගෙ ඉතිහාසය පන්තියට අඟහරුවාදත්, සන්නස්ගල සර්ගෙ පන්තියට බදාදත්, අනුරාධ සර්ගෙ ලොජික් පන්තියට සිකුරාදත් ආදී වශයෙන්. මෙන්ඩිස් හෙවත් රඹා, චණ්ඩි මල්ලි, විස්පර්, ඇතුළු සෙට් එක කෝමත් යන්නෙ පාදුක්ක කෝච්චියේ. අපිත් උන්ගේ ගොඩට ම සෙට් වෙනවා. ඉතිං වලි දාගෙන, කෙල්ලන්ට මරාගෙන, ආදර බැලුම් හෙළාගෙන, මේ ඉස්ටේසන් හත අටට යන ගමන අපූරුයි. ලොකු ම අමාරුකාරයා බෙලියා. පොර කොහෙන් හරි යට සායක් පටලවගෙන ඒකට ඇමිණෙන්න ගිහිල්ලා බෙල්ල කඩාගන්නවා. ඊළඟට රඹා. හරි අහිංසක කෙල්ලන්ට නංගි නංගි ගාගෙන ගිහින් අල්ල ගන්න රඹා දස්සයා. ඇවරි නම් ඔය මොකකටවත් සම්බන්ධ නෑ ඕං, අරුන්ට ලව්ලෙටර් ටිකක් උදව්වක් හැටියට ලියලා දුන්න ඇරෙන්න.

මේ පාදුක්ක කෝච්චිය ලී වලින් හදපු එකක්. එය වංගු මතින් යද්දි දෙපැත්තට පැද්දෙන විදිය දැක්ක ම දැන් නැතුවට දැන් ගැලවිලා විසි වෙයි කියලා හිතෙනවා. ගිණි ගහන නගර මැදින් යද්දි අහස සිඹින උස ගොඩනැගිලි, සීවලී පුර මුඩුක්කු පේළි වගේ ම කිලෝමීටර් දෙකක් විතර කොළඹ රාජකීය ගෝල්ෆ් පිටිය මැදිනුත් යන නිසා ඒ ගමන හරි ම විචිත්‍රයි. දවස පුරා හාර්ඩප් වෙලා ඉද්දි ගෝල්ෆ් පිට්ටනියේ නිල්ල නිලන ගහ කොළ වගේම කුඩා වැව් පිස හමාගෙන එන හුළඟ අපේ කට්ටියගේ කටවල් අවුස්සනවා. රඹා එවෙලෙට හරි ඉමෝෂනල් වෙලා ළඟ ඉන්න කෙල්ලන්ට හයිකු කියවනවා.
මේ බලන්න නංගි,
හරිත පැහැ මිටියාවත දිගේ ගලා එන සුසීත සුළං රොද
ඔබ හට මා හදේ පැලපදියම්ව ඇති ආදරය
කියන්ටැයි පුන පුනා කොඳුරා පවසයි

හැමදාමත් වගේ මෑන්ස් මුල ටික කියන්නේ ඇස් වහගෙන පස්සේ මුළු පෙට්ටි ම පොර දිහා බලන නිසා මෑන්ස් නවතිනවා. ඒ දවස්වල අපිට ඇත්තට ම ලැජ්ජාවක් නෑ. අනික ඒ විහිලුවක් කියලා හැමෝ ම දන්නවා. රඹා අපේ ආර්ට් එකේ අයිකොන් එකක් වගේ ම බාලිකා පාසල් වලත් ප්‍රකට චරිතයක්. ඉතිං ඒ මෑන්ස්ගෙ හැටි නිසාත් හැමදාම දකින කිකිළියෝ කෙකර ගානවට අපිත් කැමති නිසාත් අවුලක් නෑ. අනික කෝච්චියේ යන ගුරුවරියො අපේ නිත්‍ය රසිකාවියො නිසා කෝමත් අවුලක් නෑ. ආර්ට් ඩේ එකට හේම පැනගෙන එන්නේ මේ කෙල්ලො නෙමෙයි තරුණ ගුරුවරියො. අපි ඒ දවස්වල එතෙන්ට පැරඩයිමය හදලා තිබුණා. මේ මුල විතරයි. ඒ දවස්වල ගත්තු අහිංසක විනෝදයන් ඉදිරියේ ලියන්න අදහසක් තියෙනවා.

අවුරුදු පහකින් ආවත් වේදිකාව ඒ විදිය මයි. අලුතින් තීත්ත ටිකක් සායම් වෙලා. අනේ අපේ උන්දැලා ආයෙත් පාසල් ඇඳුමෙන් විහිළු තහළු කරගෙන මෙහි එනවා නම්.... ඇවරිට ලස්සන සිද්ධියක් මතක් වුනා. අර දේවි බාලිකා, ගෝතමී පලහිලව්ව. එහෙම කිව්වට පලහිලව් දෙක. දෙන්න ම ගැන පස්සට ලියන්න බැරියැ??

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....