Saturday, September 21, 2013

යකඩ ගැහැනිය හැබැහින් දැකීම | Captured the iron lady at courts

මගේ කාලයේ වීරවරිය....

පහුගිය සතිය තුළ හුදකලා සංචාර බොහෝමයකින් ඇවරි ගොයියා පට්ට ලල් එකක් ගත්තා කියන්න පුළුවන්. සතිය පටන් ගත්තෙ ටිකක් ජල්තර් ජබිලිස් විදිහට. දැන් අලුත් ම න්‍යාය පත්තරේ හැටියට සැට්ඩේ ඇවරි ඩේ කියලයි නම් කරලා තියෙන්නේ. උදේ ම පොඩ්ඩන්ට ක්ලාස් එක කරලා දවල් වෙද්දි ශාන්ති භවාන් වෙත යන්නේ සතියේ හොඳ ම දිවා ආහාරය ගන්න. (ශාන්ති භවාන් කියන්නේ ඇවාස්ගේ පුංචි අම්මාගේ නිවස බව තතු දන්නෝ දනිති ඉතිං) සතියේ රස ම දිවා ආහාරය ගැනෙන්නේ ඉරිදා. අම්ම ගෙදරනේ.... හී හී... හොඳ ම සහ රස ම යන දෙක අතර වෙනස මොකක් ද ඇහුවොත් දුං දාන්න බත් දෙන නිසාත් ග්‍රේවි චිකන් කරියක් ඇති නිසාත් පුංචගේ ශාන්ති භවාන් ලන්ච් එක නැඟලා යනවා. තාමත් දණ ගාන පුංචි පහේ මට රසට අනලා අම්මා අතින් ම කවන නිසා ඉරිදා තමයි රස ම දවල් කෑම ගැනෙන්නේ.

සැට්ඩේ දවසම කයි කතාන්දර කියවලා, වෙරිටාස් දාලා, ස්ටෙලා වෙන නිසා වෙලාව යනව දැනෙන්නෑ. අන්තිමට පුංචා හවසට තේ එකත් හදලා දීලා ගෙදරින් එළවද්දි තමා මං නැඟිටින්නෙ. ඒ වෙලාවට ම මල්ලා පන්ති ඇරිලා දවල්ට කන්නත් එනවා. ඉතිං ආයෙත් ලගා ගහගෙන එතන. පස්සෙ නඟාත් සෙට් වුනාම තුන්දෙනා හන්දියේ ඒ මොහොතේ විලාසිතා ගැන වාද කරනවා. ඉන් පස්සෙ තමා ගෙදර යැවෙන්නෙ. අපි තුන් දෙනාගෙ මේ ෆන් ටයිම් එකට අප්පොච්චා නම් මනාප නෑ. ඇයි ඉතිං දවස ම අයාලේ නේ.... සන්ඩේ ඇවරි ඉතිං සත් ගුණවත් ධර්ම විද්‍යාල ආචාර්යවරයා වන නිසා ඒ දවසත් හබාස්. පහුවදා වැඩට යන දවසේ තමා රෙදි හෝදන්න මතක් වෙන්නේ හොඳේ. අපිට කොයින්ද බූල් බල්ලො කිව්වලු. දනි පනියේ නැඟිටලා අපුල්ලලා හෝදලා වනන්න ළබැඳි නැඟනියට පවරලා රාං කුරුල්ලා වගේ වැඩට යනවා. එදා හේම දවසක්. කොහොම හරි කොඹළ හන්දියට යන්න ඇවරි ගියා.

16 වැනිදා අමතර වැඩක් කරන්න තිබුණ නිසා පුංචි කාලේ ඇවරි දණ ගාපු මිහිඳු මාවත පුස්තකාලයට යන්න තිබුණා. එතන ඇවරි හරි ආස තැනක්. ඊට අමතරව කොළඹ මහජන පුස්තකාලය, සුචරිත, බෙල්මන්ට්, පේද්‍රිස් පාර්ක් පුස්තකාලවල මේ ඇවරි දණ ගාල තියෙනවා. ඒ කාලෙ මේ හැම තැනක ම අරලිය මල් වවපු ලස්සන ළමා උද්‍යාන වල අපි සෙල්ලම් කරපු හැටි ඒ තැන්වලට ගියා ම මැවිලා පේනවා. එදා ප්‍රේමදාස පිළිරුව අවට විශාල ජන ගංගාවක් රැස් වෙලා හිටි නිසා ඇවරිත් ආපු කාරිය හමාර කරලා ඒ පැත්තට ගියා. අද මැඩම් එනවලු නේද? කවුදෝ කිව්වා. මැඩම්? කවුද මැඩම්??? ශිවන්තියවත් මේ පැත්ත වඩිනව ද? ඒත් මෙච්චර සෙනඟක්?? වෙන්න බෑ යකෝ මේ මැද කොළඹ ආයෙ රාජපක්ෂලා ඇඳුම් ඇතුව මෙහෙ පස්පාගන්න විදිහක් නෑ... ඒක ෂුවර්. ඕන නම් කොටුව බෝගහ හරියට එයි... ඒ නිසා මැඩම් වෙන කවුරු හරි වෙන්න ඕනෑ.. ඇවරිගේ ටිකිරි මොළේට කම්පනා වුනා.

ඔෆිසර්, අර පැත්තෙ කලබයක් ද? ඒ පැත්තට ගමන් කරමින් සිටි ඇවරි බැරෑරැම් විදිහට ඇහුවෙ ළඟ හිටි කාකි බුවා ගෙන්. ඔෆිසර් කිව්ව ම මෑනුත් රෙස්පෙක්ට් පිට නෑ. මිස්ටර් අද මේ ශිරානි මැඩම් එනවනේ ඒකයි. හෝ... ඇයි මුකුත් විශේෂයක් ද? ඇවරි කලබලෙන් ඇහුව ම ඔපිසරයා නක්කලේට හිනා වුනා හලෝ... ඇයි සර් අද නඩුවනේ.. මිනිස්සු පොදි කන්නේ මැඩම්ව බලා ගන්න. බලන්නකෝ ජෙනරාල් බලන්න ආවටත් වඩා සෙනඟනේ. හා ඒකත් හේම ද? ඒත් හලෝ අගවිනිසුරුව මහේස්ත්‍රාත් උසාවි දාන්න බෑනේ. ඒ ප්‍රශ්නයෙන් නම් ඔපිසරයා කොර වෙලා මා දිහා බැලුවා. සර් ලෝ කරනවාද? මෑන්ස් මා දිහා බැලුවේ මූට කොමන් සෙන්ස් නැතිවුනාට ලොරි ටෝක් දාන්න දන්නවා කියන්න වාගේ බැල්මක්. ඒකනේ සර්. නීතියේ හැටියට අගවිනිසුරු මහේස්ත්‍රාත් උසාවියකට දාන්න බෑ තමා. ඒත් ඉතිං දන්නවනේ සාතන්ගේ හැටි. මාත් ඒ පැත්තට යන්නේ. සර්ත් යනවද?

රාජකාරියට යන්න පැය එකහාමාරක් තියෙන හන්දා මේ වැඩේත් ටිකක් ගතියක් ඇති නිසා ඇවරිත් ගියා. අපරාදෙ කියන්න බෑ ඔෆිසර් නිසා ළඟට ම යන්න හැකි වුනා. කළු කාරයකින් ආ ශිරානි තොමෝ හැමෝමත් එක්ක හිනාවෙලා ඇයව වටකරගත් නීතීඥ මහතුන් හා උසාවි බිමට ඇතුළුවුනා. ඒ යනකම් මමත් මේ මගේ කාලයේ වීරවිරියට සෑහෙන්න චියර් කළා. ඇය තුළින් ඒ වෙලාවෙ මතු වුනේ යකඩ පවුරුෂයක්. ඕඩියන්ස් එක දිහා බලාල අචාවිකව ඇය කිව්වෙ කිසිවකට නොසැලෙන ගතියක් තමන් ගාව ඇතිබව. කළු සාරිය ඇගේ ආත්ම විශ්වාසයේ කැඩපතක් හැටියටයි මට පෙනුනේ.

මං ඇත්තට ම මීට වඩා ළඟට ශීරානි බණ්ඩාරනායක මැතිනිය දැක්කේ අවස්ථා දෙකකදී විතරයි එකක් විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සංචාරක නීතිය ඉගෙන ගනිද්දි අපිව ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයට එක්ක ගිය ක්ෂේත්‍ර චාරිකාව. එදා අධ්‍යාපන අමාත්‍යංශය වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් සංඝබෝධි විද්‍යාලයේ පහ වසරේ දරුවන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරගැනීමට අදාළ මූලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවක් තමයි ඇය විභාග කරමින් සිටියේ. මං මීළඟට ඇය දැක්කේ තනතුර අහිමි කරපු මුල් ම කාලෙ ලියාපදිංචි නොකළ අලුත් ම කාරයකින් විශ්ව විද්‍යාලය ළඟින් බොහොම සෙමින් ගිය දවසෙදි. එදා කාරය නතර කරලා නුවර පාරේ බිමට බැස්සහම ඇවරි හරියට ම ඈ අඳුනාගත්තා වගේ ම එතන සෙනඟ පිරුණු නිසා කාරය ඉක්මණින් ඉගිලිලා ගියා. මේ මාගේ තුන්වන දැක්ම.

එදා මිනිස්සු අර මනුස්සයට කරපු දේ ගැන හරියට කම්පා වුනා වගේ ම පර්සි අංකල්ට අම්ම මෝ වෙන්න දෙහි කැපුවා. ලංකාවෙ 43 වැනි අගවිනිසුරුවරිය 1975 අංක 1 දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ, එන්.ඩී.බී බැංකුවේ ගිණුම් තුනක් ගැන ඇගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ වාර්තාවේ සඳහන් නොකිරීම යන චෝදනාව මත, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ චූදිතයෙක් බවට පත් වුනා වගේ ම ලංකාවෙ අග විනිසුරෙක් පහළ උසාවියක විත්ති කූඩුවට නඟින පළවෙනි පාර කියලයි අපිත් එක්ක කතා කරපු නීතීඥ මහත්තයෙක් කිව්වෙ. අයිසේ මේ රටේ හිටපු අගවිනිසුරුටත් එහෙම නම් අපිට නීතියේ මොන සරණ ද? කියලා කළු කබා මහතා සමුගත්තා.  


අනේ ඇත්තට ම හතුරන්ට පන්න පන්නා ගහන නීතියේ ස්වාධිපත්‍යට මෙච්චර කෙණෙහිළිකම් කරන පර්සිට සාතන් කියන එකේත් ගැඹුරු දර්ශනයක් ඇති බව ඇවරි තේරුම් ගත්තා. හැබැයි ආපු මිනිස්සු ඔක්කොම ශිරානිට මැඩම් කිව්වා. නිකම් ඩෙනිම දාලා හිටපු ත්‍රී වීල් අයියලා වුනත් මැඩම්ට මුං කළ තරමක් බලු වැඩනේ කළේ කියලා කතා වීමෙන් ම බාහිර සමාජයට ඇය වීරවරියක් බව ඇවරි තේරුම් ගත්තා. පසුව ආරංචි වූ හැටිය‍ට පෙබරවාරි 19ට නඩුව කල් ගියා. සමහර විට ඇවරි එදාටත් උසාවි බිමේ ඉන්න පුළුවන්.... 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....